IMG-LOGO

වදයක් නොවිය යුතු බදු ගෙවීම

ඕනෑම රටක ඉදිරි ගමන සකස් කරගැනීමේදී ඔවුන්ටම ආවේණික වූ බදු කළමනාකරණ සැලැස්මක් අත්‍යවශ්‍ය වේ. ආර්ථිකයේ ප්‍රමුඛතා ලැයිස්තුවෙහි ප්‍රධානම තැනට එය පත් කරගත යුතුය. එය කිසියම් රාජ්‍යයක යහපාලනික සැලැස්මක් ලෙස ද සැලකිය හැකිය. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව කළ අධ්‍යයන අනුව ලංකාව ඇතුළු දියුණු වෙමින් පවත්නා රටවල බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ප්‍රධාන අභියෝග තුනක් කෙරෙහි අවධානය යොමු වී තිබේ.

ඒ අතුරින් ඔවුන් පෙන්වා දෙන එක් අභියෝගයක් නම්‌, දියුණු වෙමින් පවත්නා රටවල පවතින අඩු බදු ආදායමයි. දෙවැන්න, බදුවලට අදාළ නීති රීති පැනවීම හා එම නීති රීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ගැටලු‍වයි. බදු කළමනාකරණය සම්බන්ධයෙන් පවත්නා දුර්වලතා දියුණු වෙමින් පවත්නා රටවල බදු සම්බන්ධයෙන් වන තුන්වැනි අභියෝගය ලෙස ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙයි.

කෙසේ වෙතත්‌, මේ පෙන්වා දෙන ප්‍රධාන අභියෝග තුන සම්බන්ධයෙන් අපගේ දැඩි අවධානය යොමු වීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ අතරම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඔවුන්ගේ නිර්දේශ කෙරෙහි ද මෙහිදී සැලකිලිමත් වීමට සිදු වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් ප්‍රධාන කාරණා දෙකක් අවධාරණය කරයි. එකක් නම්, කාර්යක්ෂම විය යුතු බවයි. දෙවැන්න, වංචා සහ දූෂණ අවම කිරීමේ අවශ්‍යතාවයි. අයි.එම්.එෆ්. පෙන්වා දෙන කාර්යක්ෂමතාව නම් කාරණයේදී නැවතත් බදු සම්බන්ධ මාතෘකාව අවධානයට ලක් වේ. මේ අනුව සර්ව සාධාරණ බදු ක්‍රමයක් තිබිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටියි. එසේම ඒ මත ලංකාවට දිගු කාලීන සංවර්ධනයක් ළඟා කරගැනීමට අවශ්‍ය නම් බදු මගින් රටේ ආදායම වැඩි කරගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලිව පෙන්වා දෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඒ සඳහා යෝජනා කරන්නේ බදු ප්‍රතිසංස්කරණයක් කිරීම වැදගත් බවයි.

ලංකාවේ මේ වන විට බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන කාරණයත්, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කළ ඉහත සඳහන් කාරණා දැනට ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තියට කෙතරම් සමපාත වන්නේ ද යන්නත් විමසා බැලීම වටී. අපේ රටේ බදු කළමනාකරණය දෙස අවධානය යොමු කළහොත්, සාමාන්‍ය ජනතාව බදු සම්බන්ධයෙන් දක්වන ආකල්පය සහ ඒ පිළිබඳව ඔවුන්ට ඇති අවබෝධය ගැටලු‍කාරි, අර්බුදකාරි තැනක තිබෙන බව පැහැදිලිය. මේ අනුව ලංකාවේ බදු සංකල්පය ජනගත වී ඇති ආකාරයේ යම් ගැටලු‍වක් දැකිය හැකිය. එහෙත්, සංවර්ධිත රටවල් බොහොමයක ආකල්පය මීට වෙනස්ය. එවැනි රටවල බදු සම්බන්ධයෙන් ජනතා මතය නිර්මාණය වී තිබෙන්නේ එය රටේ සංවර්ධන උපායමාර්ග හා යටිතල පහසුකම් සඳහා වන අත්‍යවශ්‍ය කාරණයක් ලෙසය.

මේ අනුව පෙනෙන්නේ බදු සම්බන්ධයෙන් අපේ රටේ පොදු සමාජයෙහි සංවාදය නිවැරැදිව ගොඩනැගී නැති බවය. බදු ගෙවීම සම්බන්ධයෙන් පුරවැසියකුට ඇති යුතුකම් වගකීම් හඳුනාගෙන කටයුතු කිරීම ද අවශ්‍ය වේ. එහිදී අපගේ යෝජනාව වන්නේ, සාමාන්‍ය මිනිසුන් අතරට නොයන බදු ප්‍රතිපත්ති සම්බන්ධව මහජනයා අතර විශ්වාසයක් ගොඩනැගිය යුතු වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවය. එය රජයේ මූලිකත්වයෙන් සිදු විය යුතු වගකීම් සහගත කාර්යයකි. බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විශ්වාසය තහවුරු කිරීමේදී අලෙවිකරණ ක්‍රමවේද සහ උපායමාර්ග භාවිත කළ හැකිය. ජනතාව බදු ගෙවිය යුත්තේ ඇයි යන ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන සේ එම ක්‍රමවේද භාවිතයට ගත යුතුය. පුරවැසියන් බදු ගෙවීම යනු, ඔවුන් රටේ සංවර්ධනයට දායක වීමක් බවත්, රටේ අධ්‍යාපනය ලබන දරුවන් පවා එම වරප්‍රසාද ලබන්නේ පුරවැසියන්ගේ බදු නිසා බවත් රටේ ජනතාවට ඒත්තු ගැන්විය යුතුය. තමන් බදු ගෙවිය යුතුය යන හැඟීම සහ විශ්වාසය ජනතාවට ඇති වන්නේ ඒ අනුවය.

බදු ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේදී ව්‍යාපාරික ප්‍රජාවත් සාමාන්‍ය පොදු ජනතාවත් ආණ්ඩුවත් අතර අන්‍යෝන්‍ය සහසම්බන්ධයක් සහ මනා සන්නිවේදනයක් අත්‍යවශ්‍ය වේ. එහෙත් මෙරට බදු ප්‍රතිපත්තිය හමුවේ එබඳු සතුටුදායක සන්නිවේදනයක් දැකිය නොහැකිය. බදු රැස් කිරීම පිළිබඳව යම් යම් දැනුවත් කිරීමේ වැඩමුළු ආදිය දක්නට තිබුණත් බදු සංකල්පය බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පොදුවේ පුරවැසියාට සමීප වන විධිමත් වැඩසටහන් දැකිය නොහැකි තරම්ය. බදු සංකල්පයේ වැදගත්කම පොදු ජනයා අතරට නොයාමට බලපා ඇති ප්‍රධාන හේතුවක් නම්, බදු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන භාවිතයට ගන්නා අලෙවිකරණ උපකරණ වඩාත් සම්ප්‍රදායික වීමයි. එහෙත්, ලෝකයේ බොහෝ රටවල බදු සම්බන්ධයෙන් මේ වන විට ක්‍රියාත්මක වන්නේ ඩිජිටල් තාක්ෂණයයි. බදු එකතු කිරීම, දැනුවත් කිරීම, හා ප්‍රතිපත්ති සම්පාදනය යන කාරණාවලදී එම රටවල් සමාජ මාධ්‍ය ඇතුළු නව මාධ්‍ය සක්‍රීය ලෙස භාවිතයට ගන්නා බව දැකිය හැකිය. බදු ක්‍රමය ජයගත් සාර්ථක ව්‍යාපාරික චරිත පිළිබඳව ජනතාවට හඳුන්වා දීම, බදු ගෙවන වෘත්තිකයාගේ වැදගත්කම ආදි විවිධ මාතෘකා යටතේ සැකසුණු නව දැනුම් පද්ධතියක් පවා නව තාක්ෂණය ඔස්සේ ජනතාව වෙත ගෙන යාමට බොහෝ රටවල් ක්‍රියා කරන බව පෙනෙන්නට තිබේ. එයින් පුරවැසියාට තම රටේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව විශ්වාසයක් ගොඩනැගෙන අතර, ජනතාව බදු ගෙවිය යුත්තේ ඇයි යන ප්‍රශ්නයට ද නිසි පිළිතුරු ලැබේ.

ඉදිරි කාලයේ බදු ගෙවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ගොඩනැගිය යුත්තේ මෙවන් ජනතා විශ්වාසයකි. තමන් බදු ගෙවිය යුතුය යන හැඟීම ජනතාවටම ඇති වන තත්වයක් එමගින් ඇති වේ. අපේ රටේ ඉතිහාසය පුරාම පැවැති ගැටලු‍ව නම්, රාජ්‍යය, ආණ්ඩුව, පරිපාලනය සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසයක් විනිවිදභාවයක් නොතිබීමයි. එහෙත්, වර්තමානයේ සමාජ ආර්ථික දේශපාලන හැසිරීම් සම්බන්ධයෙන් යම් යම් වෙනස්කම් ඇති වෙමින් තිබෙන නිසා බදු ගෙවීම් සම්බන්ධයෙන් ද ජනතාවට යම් විශ්වාසයක් ඇති වීමේ හැකියාව පවතී. එම විශ්වාසය ඇති වෙමින් තිබෙන මේ මොහොතේ රජය කළ යුත්තේ බදු ගෙවීම සඳහා යොමු කරන උපකරණ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමයි. ටින් අංකය යනු, බදු අංකය යැයි රාජ්‍ය සේවයේ වෘත්තිකයෝ බොහෝ දෙනා සිතති. එහෙත්, එය වැරැදි අදහසකි. එහි නිවැරැදි අදහස ජනතාවට තවමත් සන්නිවේදනය වී නැත. මෙම සන්නිවේදනය සඳහා නව තාක්ෂණික ක්‍රමෝපාය යොදා ගැනීම අවශ්‍ය වේ. ඒ සඳහා ආණ්ඩුව ක්‍රියාකාරීව මැදිහත් වීම වැදගත් වේ. එයින් මෙරට ක්‍රියාත්මක බදු පතිපත්ති පිළිබඳව ජනතාවට වඩාත් නිවැරැදි බදු දැනුමක් ලබා ගැනීමට හැකි වනු ඇත.

මහජනයා බදු ගෙවිය යුත්තේ ඇයි ද යන්න පැහැදිලි කරන වැඩසටහන් පළාත් මට්ටමින් ප්‍රාදේශීයව ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. පුවත්පත්, රූපවාහිනී වැනි ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ද මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා යොදාගත හැකිය. පාසල් දරුවන්ට මේ සම්බන්ධව දැනුමක් ලබා දීමෙන් අනාගත බදු ක්‍රියාවලිය විධිමත් කළ හැකිය. ග්‍රාම නිලධාරිවරයා ඇතුළු ගම් මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරින්ගේ සේවය ලබා ගනිමින් ජනතාව දැනුවත් කිරීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන්නට පුළුවන.

එසේම, බදු ගෙවීම් සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධ ලේඛන, පෝරම් පත් බොහොමයක් තවමත් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සකස් වී තිබෙන බව පෙනේ. මෙය අවාසනාවන්ත තත්වයකි. මෙරට ග්‍රාමීය ජනතාවට එම මාධ්‍යය දුරස් විය හැකිය. එම නිසා බදු ගෙවීමේදී සිංහල හා දෙමළ භාෂාවලින් කටයුතු කිරීමේ පහසුකම් සපයා දීම අත්‍යවශ්‍ය කාරණයකි. ජනතාව බදු ගෙවීමෙන් ලස්සන රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වනු ඇති බවට වන හැඟීම ඇති කරන නිරන්තර දැනුවත් කිරීම් අත්‍යවශ්‍යය. පාසල් අධ්‍යාපනයට ද මෙම කාරණා ඇතුළත් කළ යුතුව ඇත. එබැවින් යම් යම් නිර්මාණාත්මක යෙදවුම් සඳහා පිවිසීම වඩාත් කාලෝචිතය.

කෙනකු නිවැරැදිව බදු ගෙවීම නිසා ඉන් ලැබෙන බදු ආදායමෙන් මහාමාර්ග හෝ පාසල් පද්ධතිය හෝ වෙනත් සංවර්ධන කටයුතු රටේ සිදු වී ඇති අන්දම මාධ්‍ය මගින් ජනතාවට පෙන්විය යුතුය. බදු ගෙවීම පිළිබඳ විශ්වාසයක් හා හැඟීමක් ජනතාවට ඇති වන්නේ එවන් කාරණාවලිනි. රට ගොඩනැගීමට නම් බදු ගෙවිය යුතුය යන ආකල්පය සමාජයෙහි ඇති කිරීමය වඩාත් වැදගත් වන්නේ. එය වඩාත් පාරදෘෂ්‍යභාවයෙන් යුතුව මහජනයාට ඒත්තු ගැන්වීම ආණ්ඩුවේ වගකීම වේ.

ආර්ථික විද්‍යාවේ සාමාන්‍ය සංකල්පයක් වන්නේ බදු ක්‍රමය සරල විය යුතු බවය. සාධාරණ විය යුතු බවය. බදු කළමනාකරණය ක්‍රමවත් විය යුතු බවය. සරල සහ මිත්‍රශීලි බදු ක්‍රමයක් පවතින විට ඉන් ලැබෙන ප්‍රයෝජනය වඩා ඵලදායි වේ. බදු ගෙවීම් සම්බන්ධ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම යුගයේ අවශ්‍යතාවකි. එසේ වූ විට වර්තමානයේ පවත්නා තාක්ෂණික ගැටලු‍ රාශියකට විසඳුම් සපයාගත හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන කාර්යක්ෂමතාව සඳහා ද එය සාධනීය කාරණයක් වනු ඇත. ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් දක්වා ඔසවා තැබීමට නම් අධ්‍යාපනය, සෞඛ්‍යය, වංචා දූෂණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන අතරම බදු ක්‍රියාවලිය වෙත ද අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. එම නිසා බදු ක්‍රමය පිළිබඳව ඇති අවධානය තවදුරටත් විධිමත් හා පුළුල් කළ යුතුව ඇත. මෙරට ඉතාම සාර්ථක බදු ප්‍රතිපත්ති සැකසී ඇති බව කිව යුතුය. එහෙත් සමාන්‍ය ජනතාවට අවශ්‍ය දැනුම නිසි පරිදි ලබා දීමට බදු ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කරන ආයතන සමත් වී ඇතැයි කිව නොහැකිය.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මාලිමා ආණ්ඩුව ගෙනා වැදගත් සංකල්පයකි. එහෙත් එය අප ක්‍රියාත්මක කළ යුත්තේ මතුපිට සරල කාරණා අනුව යමින් නොවේ. ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල පවත්නා අර්බුද ප්‍රායෝගික හා න්‍යායාත්මක ලෙස විසඳා ගැනීමට ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය ඉතා සාර්ථකව යොදාගත හැකිය. විශේෂයෙන්ම ලංකාවේ බදු ක්‍රමය වෙත ද මෙය භාවිත කළ නොහැක්කේ නොවේ. ඒ සඳහා සාර්ථක අලෙවිකරණ ක්‍රමෝපාය මාර්ග ගැන අවධානය යොමු කරමින් විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම වඩාත් කාලෝචිතය. බදු ක්‍රමය පිළිබඳ ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමට එය හේතු වනු ඇත.

(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)



අදහස් (0)

වදයක් නොවිය යුතු බදු ගෙවීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 259 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 784 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site