IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ලංකාවේ උසම ගම්මානයේ උසම තැන සිට

නුවරඑළිය කී සැනින් අපගේ සිතට ගතට දැනෙනුයේ මිහිඳුම් සළුවෙන් වසාගත් හිරිගඩු මල් පූදින අධික ශීතලකි. ශ්‍රී ලංකාවේ උසම ගම්මානය පිහිටියේ මෙවැනි අතිශය සුන්දරවූ පුංචි එංගලන්තයේ හෙවත් නුවරඑළියේය. ගතේ මෙන්ම සිතේ පතුලටම කිඳා බැසගත් එකී ශීතල පරයමින් මම පසුගියදා ලංකාවේ උසම ගම්මානයේ උසම තැනට ගියෙමි. ශ්‍රී ලංකාවේ උසම ගම්මානය ශාන්තිපුරයයි. නුවරඑළියේ සිට ශාන්තිපුරයට ඇත්තේ කිලෝමීටර් හතරක් වැනි දුරකි. නුවරඑළිය නගරයේ සිට මහනුවර මාර්ගයේ කෙටි දුරක් පැමිණි පසු වම් අත දෙසට අධික නැග්මක් සමග පිහිටි මාර්ගය වැටී ඇත්තේ ශාන්තිපුරය දක්වාය. මෙකී පිවිසුම් මග හඳුනාගැනීමට අසීරුව ඇති අතර කිසිදු නාම පුවරුවක් ඒ සඳහා සකසා නොමැතිකම දෙස් විදෙස් සංචාරකයන්ට මහත් අඩුවකි. ශාන්තිපුරය දක්වා වැටී ඇති මාර්ගයද ප‍්‍රතිසංස්කරණය නොකිරීම නිසා දැඩි ලෙස අබලන්ව පවතී. ශාන්තිපුර ගම්මානය පිහිටියේ කිකිළියාමාන කඳු මුදුනතය. එම ගම්මානය ආරම්භ කොට ඇත්තේ 1962 වසරේදීය. එවකට නුවරඑළිය මහ නගර සභාවේ පුරපතිව සිටි විලියම් ප‍්‍රනාන්දු මහතා මෙම ගම්මානය ආරම්භ කිරීමට අපමණ වෙහෙසක් දරා තිබේ. විවිධ පුද්ගලයන් ගේ විවිධ වූ බලපෑම් හමුවේ මෙම ගම්මානය ඉදිකර ගැනීම සඳහා විලියම් ප‍්‍රනාන්දු මහතා මාරාන්තික උපවාසයක් පවා ක‍්‍රියාත්මක කොට තිබේ. ඔහුගේ ඒකී ඒකායන අධිෂ්ඨානය මල්ඵල දරමින් මෙසේ ශ්‍රී ලංකාවේ උසම ගම්මානය බිහිවී ඇත. පුරපතිවරයාගේ එකී නිර්භීත වැඩපිළිවෙළ නිසා මධ්‍යම කඳුකරයේ ගම්මාන පිහිටුවීම සඳහා පනතක් පවා සම්මත කර ගැනීමට ඔහුට ශක්තිය ලැබී ඇත. ඒ අනුව ගොවිජන ව්‍යාපාරයක් ලෙස 1962 වසරේදී ශාන්තිපුර ගම්මානය ආරම්භ කොට ඇත. එවකට පැවැති නුවරඑළිය-මස්කෙළිය බහු ආසනය තුළ තවත් මෙවැනි ගම්මාන 18 ක් ආරම්භ කිරීමට විලියම් ප‍්‍රනාන්දු පුරපතිවරයාට හැකි වී තිබේ. තලවකැලේ ගුණානන්දපුර, හැටන් රුවන්පුර, ආගරපතන, කිත්සිරිමෙවන්පුර, පතන ජයසිරිපුර, බෝපත්තලාව වලගම්බාපුර ඊට තවත් නිදසුන් කීපයකි.ලංකාවේ උසම ගම්මානය මෙසේ ශාන්තිපුර ලෙස විලියම් ප‍්‍රනාන්දු පුරපතිවරයා විසින් නම් කොට ඇත්තේ තවත් එක් විශේෂ කාරණාවක් අරභයාය. ඒ මෙම පුරපතිවරයාගේ දේශපාලන ජීවිතේ නොමැකෙන සෙවණැල්ල සේ ළඟින් සිිටි තම ආදරණීය බිරිඳගේ නම මුල්කර ගෙනය. ඇයගේ නම ශාන්ති වූ අතර ශ්‍රී ලංකාවේ උසම ගම්මානය එම නිසා ශාන්තිපුර නම් විය. මුහුදු මට්ටමේ සිට අඩි 7,342 ක් තරම් ඉහළින් පිහිටි මෙම ගම්මානය තුළ තවත් වාර්තා රැුසක් පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පිහිටි උසම බස් මගී ආවරණය, උසම පන්සල, උසම නිවස, උසම ප‍්‍රදේශයේ පිහිටි මහාමාර්ග, උසම ජලාශය ආදී බොහෝ උසම ස්ථාන ඇත්තේ මෙහිය. ශාන්තිපුර ගම්මානය ඉදිකොට ඇත්තේ සුන්දර කිකිළියාමාන කන්ද මතය. කඳු මත ගම්මාන ඉදි කිරීම බොහෝ පාරිසරික ගැටලූවලට ඍජුව තුඩු දෙන සාධකයකි. මෙම ගම්මානයට පහළින් පිහිටා ඇත්තේ දෙස් විදෙස් සංචාරකයන් වැල නොකැඞී යන එන නුවරඑළිය නගරයයි. ජල පෝෂක ප‍්‍රදේශ එළි පෙහෙළි කර මෙම ගම්මානය ඉදිවීම නිසා දැනට නුවරඑළිය නගර වැසියන් සේම ශාන්තිපුර ගම්මානයේ වැසියෝද උග‍්‍ර ජල හිඟයකට මුහුණ පා සිටිති. විශේෂයෙන්ම ශාන්තිපුර ගම්මානයේ වැසියන්ගෙන් 95% ක් පමණ ජීවන වෘත්තිය වන්නෙ කෘෂි කර්මාන්තයයි. එම නිසා මෙම ගැටළුව තව දුරටත් ඔඩු දුවමින් පවතී. ශාන්තිපුර ගම්මානය බොහෝ ඈත ඉතිහාසයට නෑකම් කියන ප‍්‍රදේශයක් බව ඉතිහාස කතා කාරණාවලින් කියවේ. ඒ අනුව වීර කැප්පෙටිපොල අධිකාරම් නිලමේවරයා කලක් රහසිගත ලෙස සැඟවී සිටි ගල් ලෙනද පිහිටා ඇත්තේ මෙකී සුන්දර කිකිළියාමාන කන්දේය. ශ්‍රී ලංකාවේ වඩාත් උසින්ම පිහිටි සිද්ධස්ථානය ලෙස සැලැකෙනුයේ සමනල ගිර පිහිටි ශ්‍රී පාදස්ථානයයි. මිහිදුමෙන් තොර දිනවලදී ශාන්තිපුර ගම්මානයේ සිට බලන කල සමනල කන්දේ පිහිටි ශ්‍රී පාදස්ථානය සුන්දරව පෙනෙන බව ගම්මු කියති. එහෙත් මෙරට උසින්ම පිහිටි පන්සල පිහිටියේ මෙහිය. එය මුල් කාලයේදී ශාන්තිපුර විහාරය ලෙස නම් කොට තිබුණද එය පසුව ”චේතියගිරි විහාරය” ලෙස නම් කොට ඇත. විහාර භූමියේ වූ විශාල ගල්තලාවක් මත චෛත්‍යයක් ඉදිකොට ඇති අතර ඉන් පසුව මෙම විහාරස්ථානය චේතියගිරි විහාරය ලෙස නම් කරන ලදැයි එම විහාරස්ථානයේ විහාරවාසී හිමිනමක් කීහ. ශාන්තිපුර ගම්මානයේ මදක් ඉහළට වන්නට රජය විසින් එහි උස් බිමක නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදිකොට තිබේ. එම නැරඹුම් මධ්‍යස්ථානය දැනට පාලනය කරනු ලබනුයේ නුවරඑළිය ප‍්‍රාදේශීය සභාව මගිනි. මෙම නැරඹුම් මධ්‍යස්ථානය තුළ පවතින වැසිකිළි පද්ධතිය සඳහාද ජලය නොමැතිකම හේතුවෙන් වසා දමා තිබේ. නැරඹුම් මධ්‍යස්ථානයක් එහි තනා ඇතත් ඇතැම් දිනවලට නැරඹුම් මධ්‍යස්ථානයේ සිට සිරි නැරඹීමට එකඳු පුද්ගලයකු හෝ නොපැමිණෙන බව එහි වර්තමාන පාලිකාව වන කේ.වයි.එම්. බියටි‍්‍රස් මහත්මිය සඳහන් කරයි. මෙම නැරඹුම් මධ්‍යස්ථානයේ ඉහළට ගොඩ වූ විට අවට පරිසරය සිත් සේ නැරඹිය හැක. එක් පසකින් ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල ගිරත්, තවත් පැත්තකින් පිදුරුතලාගල කඳු වැටියත්, තවත් දෙසකින් නුවරඑළිය නගරයත් එහි පිහිටි ග්‍රෙගරි වැවත් අතේ දුරින් සේ තිබෙනු දැකිය හැකිය. නුවරඑළියට යන එන ඔබ ශ්‍රී ලංකාවේ උසම ගම්මානයට ගොඩවී ඇද්දැයි මම නොදනිමි. මෙම සටහන නෙත ගැටී ඉන්පසු දිනක ඔබ නුවරඑළියට එන්නේ නම් මෙතැනට ඇවිත් යන ලෙස මම ආරාධනා කරමි. එවිට ඔබට ඉහළ අහසේ ඈතින් පෙනෙන මීදුම් සළුවෙන් හැඩ වැඩ වී අවට චමත්කාරය නෙතේ රඳවා ගමට, රටට යා හැකිය.

සටහන හා සේයාරූ -- ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ
නුවරඑළිය නගරය පෙනෙන හැටි නැරඹුම් මධ්‍යස්ථානයට ග්‍රෙගරි වැව පෙනෙන අයුරු නැරඹුම් මධ්‍යස්ථානය ශාන්තිපුර විහාරස්ථානය



අදහස් (0)

ලංකාවේ උසම ගම්මානයේ උසම තැන සිට

ප්‍රසන්න - පිටිවැල්ල- ගාල්ල Saturday, 07 March 2015 04:07 AM

ඇත්තටම හොඳ වැඩක් මේ ගැන තොරතුරු කිව්වට ස්තූතියි. (ර)

:       0       0

ඩබ් එම් ජයතිලක Sunday, 04 December 2011 03:19 PM

ශාන්ත චන්ද්‍රසිරි ඔබට ගොඩක් ස්තුතියි. මෙය සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් රජයේ අවධානය යොමු විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1613 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 558 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 638 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site