තුන් ලොවක් අමා දම් සිසිලෙන් නිවා සනහාලූ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ මනු ලොව පහළ වූ, රාජශ්‍රීයෙන් විරාජමානව ගිය කපිලවස්තුව අද නටබුන් පුරවරයකි.
තිලොව පරසිඳු රම්‍ය-සුරම්‍ය-සුබ ත්රෛමාලිගයෝ එහි නැත්තා හ. අනිත්‍ය වසඟයට පත් ඒ සියල්ලෝ කාලයේ වැලි තලාවෙන් වැසී ගොසිනි. ලොව නන් දෙසින් පැමිණ දඹදිව චාරිකාවේ යෙදෙන සැදැහැවතුන් හට දැක බලා ගැනීම සඳහා අදට ඉතිරි ව ඇත්තේ කපිලවස්තුව අගනගරය කොටගත් ශාක්‍ය රාජධානියේ නටබුන් ව ගිය අත්තිවාරම් කොටස් පමණකි.
සහසක් බුදුවරුන් පහළ වන බුද්ධ භූමියේ වත්මන් තත්ත්වය එසේ වෙත් දී, ඒ උතුම් දහම සුරැකි ශ්‍රී ලංකා ධර්මද්වීපය, 2017 වසරේ එක්සත් ජාතීන්ගේ නිල වෙසක් උත්සවය සැමරීමේ සත්කාරක දේශය වශයෙන්, එකී මාහැඟි කර්තව්‍යය උදෙසා ලහි ලහියේ සූදානම් වෙමින් පවතී. මෙම ඓතිහාසික වෙසක් සැමරුමට සමගාමීව, එදා කපිලවස්තුවේ ශ්‍රී විභූතිය යළි ජීවමාන කරවමින් පිළියන්දල, කහපොළ ප්‍රදේශයේ අක්කර 78ක භූමි භාගයක් පුරා ඉදිවන ‘ශාක්‍ය රාජධානිය’, ශ්‍රී ලංකාවෙන් සකළ විධ බෞද්ධ ලෝකයාට දායාද වන තවත් මහානීය සදහම් තිළිණයකි.
උදාර නිමැවුමක ශක්තිය
අධිකරණ සහ බුද්ධසාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පූර්ණ මැදිහත්වීමේ, දැඩි කැපවීමේ සහ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් යථාර්ථයක් බවට පත්වීමට නියමිත, ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන මෙම ස්වර්ණමය ව්‍යාපෘතියේ සංකල්පය සහ සැලසුම් නිර්මාණකරණය ‘ආසියා ආලෝක පදනම’ (Light of Asia Foundation) සභාපති නවීන් ගුණරත්න මහතා ප්රමුඛ විද්වත් මණඩලයක් විසින් කරනු ලබන අතර ඉදිකිරීම් සහ ව්‍යාපෘති කළමණාකරණය ‘1:2:4 Designs ආයතනය විසින් කරනු ලබයි.
දෙස් විදෙස් පුරාවිද්‍යා මහාචාර්යවරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය මත සිදු කෙරෙනා මෙම අසමසම ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශකත්වය දරනු ලබන්නේ, තිස් වසරකට අධික කාලයක් ලූම්බිණි - කපිලවස්තු පුරාවිද්‍යා පරිශ්‍රයන්හි ප්‍රධාන පුරාවිද්යාඥවරයා වශයෙන් කටයුතු කළ නේපාල ජාතික ආචාර්ය බසන්ත බිදාරි මහතා වන අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ හිටපු අධ්යක්ෂ ජනරාල් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය නිමල් ද සිල්වා මහතා මේ සඳහා ස්වකීය නොමසුරු උපදේශන දායකත්වය සපයයි.
සක් රජදහනේ අසිරිය
රුපියල් මිලියන 500ක දැවැන්ත ව්‍යාපෘතියක් වන මෙය අදියර 4ක් යටතේ කි‍්‍රයාත්මක වන අතර මෙහි ඉදිවන ‘ශාක්‍ය රාජධානිය’, එදා කපිලවස්තුවේ අක්කර 48ක් පුරා විහිද පැතිරී පැවති රම්‍ය-සුරම්‍ය-සුබ මාළිගාවන්, වැව්-පොකුණු, උද්‍යාන, රැස්වීම් ශාලා ආදී සියලු අංගෝපාංගයන්ගෙන් යුතු, ඒවායේ ප්‍රමාණයෙන් සහ විශාලත්වයෙන් සමාන, පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම භාවිත කරමින් ඉදිකරනා අනුරුවකි. මෙයට අමතරව බුද්ධ චරිතය හා සෘජුව සබැඳි ලූම්බිණි, ඉසිපතන සහ කුසිනාරා උද්‍යාන සමඟින් ජනතාව උදෙසා භාවනා උද්‍යාන සහ ශාලා, පුස්තකාල සංකීර්ණයක්, සන්නිවේදන මධ්‍යස්ථානයක්, නිර්මාංශ භෝජනාගාර, වාහන නැවැත්වීමේ පහසුකම්, ආරක්ෂක කැමරා පද්ධති, ප්‍රථමාධාර සේවා ඇතුළු නවීන යටිතල පහසුකම් සහිතව මෙම සුවිසල් උද්‍යාන පරිශ්‍රය ඉදිකිරීමට සැලසුම් කොට තිබේ.
බුදුසමය අලුත් ඇසකින්
අසිරිමත් බුද්ධ චරිතයේ සුවිශේෂී අවස්ථාවන් පිළිබිඹු කරමින් නවීන ‘හොලෝග්‍රැම්’ තාක්ෂණය ඔස්සේ සජීවීකරණය වන මෙම උද්‍යාන සහ මාළිගා සංකීර්ණය, ලෝක බෞද්ධ ප්‍රජාව වෙත, 2017 එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උත්සව සැමරුම අළලා පිදෙන මහඟු තිළිණයකි. නවීනත්වය සහ පෞරාණිකත්වය යහමින් මුසු වූ මෙවන් ආකාරයේ දුර්ලභ, වටිනා නිර්මාණයක් ලොව වෙනත් කිසිදු බෞද්ධ රටක වර්තමානයේ අපට හමු නොවේ. ඒ අනුව දෙස් විදෙස් බෞද්ධ - අබෞද්ධ සංචාරකයන්ගේ ආකර්ශනයට නියත වශයෙන් ම පාත්‍ර වන මෙම ‘ශාක්‍ය රාජධානිය’, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා මහෝපකාරී වන අතර, ගෘහ සහ උද්‍යාන නිර්මාණකරණයේ ශී‍්‍ර ලාංකේය විශිෂ්ටත්වය ලොවට විදහාපාන අසමසම නිර්මාණයක් වශයෙන් ද මෙය ජාත්‍යන්තර පිළිගැනීමට පාත්‍ර වනු ඇත.
ලෝසතහට දහම් ගඟුල
සැලසුම් කොට ඇති පරිදි පළමු අදියරේ දී ඉදිවන මාළිගා සංකීර්ණය සහ උද්‍යානයන්ට අමතරව සෙසු අදියරයන් හි දී මෙහි ඉදිවන අධි තාක්ෂණ සන්නිවේදන මධ්‍යස්ථානය ඔස්සේ ශී‍්‍ර සම්බුද්ධ ධර්මය, භාෂා 15කට අධික සංඛ්‍යාවකින් ලොව පුරා වෙසෙන ජනතාවට ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍යයෙන් විසුරුවා හැරෙන අතර, මෙම අමිල කර්තව්‍යය හා අත්වැල් බැඳගැනීමට දැනටමත් ලොව දැවැන්ත බෞද්ධ රටවල් සිය කැමැත්ත සහ සහයෝගය පළකොට තිබේ. තව ද ලොව සියලු භාෂා සාහිත්‍යයන්ට අයත් බෞද්ධ පොත්පත් සහිත අන්තර්ජාතික පුස්තකාල සංකීර්ණයක් ස්ථාපිත කිරීමට බුද්ධසාසන
අමාත්‍යංශය මෙහි දී පියවර ගෙන ඇත. එසේ ම පුද්ගල ආධ්‍යාත්ම වර්ධනය ඉලක්ක කොටගනිමින්, වත්මන් තරගකාරී ජීවන රටාව තුළ බහුල වශයෙන් ඉස්මතු වන මානසික ආතතිය වැනි පීඩාකාරී තත්ත්වයන්ගෙන් මිදීමට ජනතාවට ඉඩහසර සහ නිවැරැදි මග පෙන්වීම සිදු කිරීමේ අරමුණින් මෙහි ස්ථාපිත වන, සක්මන් මළු, ශෛලාසන, පැන් පොකුණු ආදියෙන් සමන්විත භාවනා කුටි සහ උද්‍යාන සංකීර්ණය මෙම පරිශ්‍රයට එක් කරනු ලබන්නේ අමිල වටිනාකමකි.
විශිෂ්ටත්වයේ සුසංයෝගය
අධිකරණ සහ බුද්ධසාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍යංශ ලේකම් චන්ද්‍රපේ‍්‍රම ගමගේ මහතා ප්රමුඛ අමාත්‍යංශ කාර්ය මණ්ඩලයේ අප්‍රතිහත ධෛර්යයේ, කාරුණික උපකාරයේ සහ නිවැරැදි මගපෙන්වීමේ ප්‍රතිඵලයක් ලෙසින් ලොව හමුවේ යළි ජීවමාන වන ඒ පෞරාණික ශාක්‍ය රජදහනේ ඉදිකිරීම් සහ ව්‍යාපෘති කළමණාකරණය, ගෘහ නිර්මාණ සැලසුම් සහ ඉදිකිරීම් ක්ෂේත්රයේ ලක්දිව සුපතල ‘1:2:4 Designs’ ආයතනය විසින් සිදුකරනු ලබන අතර, ලොව හොඳම බෞද්ධ චිත්‍රපටය ලෙසින් 2014 වසරේ ජාත්‍යන්තර සම්මානලාභී ‘ශී‍්‍ර සිද්ධාර්ථ ගෞතම’ සිනමා කෘතිය බෞද්ධ ලෝකයාට දායාද කළ, එමෙන් ම පුරා වසර අටක් ‘ජාත්‍යන්තර වෙසක් චිත්‍රපට උළෙල’ සහ ‘සිනමා දන්සැල’ සංවිධානය කරමින් ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ බුදු දහමේ පණිවුඩය ලොවට රැගෙන යාමේ උත්තරීතර කර්තව්‍යය සිදු කළ නවීන් ගුණරත්න මහතා ප්රමුඛ ‘ආසියා ආලෝක පදනම’ සිය අත්දැකීම් සහ නිර්මාණශීලී සංකල්පයන් උපයෝගී කරගනිමින් මෙම මාහැඟි ව්‍යාපෘතියේ නිර්මාණ සැලසුම්කරණය සිදුකරනු ලබයි.
ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ සහ බිහි වන දැවැන්තම බෞද්ධ නිර්මාණයන් අතර පෙරමුණේ ම වැජඹෙන මෙම ‘ශාක්‍ය රාජධානිය’, ශ්‍රී සම්බුද්ධ ධර්මය ලොව පුරා ව්‍යාප්ත කරමින්, ශ්‍රී ලාංකීය බෞද්ධ අනන්‍යතාව ලොව හමුවේ විදහා දක්වන අද්විතීය නිමැවුමකි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු බුදු වරු පහල වන්නේ අප උපන් හෙළ බිමේ !!! එසේනම් අප උපන් හෙළ බිමට ඉන්දියාවේ ආකෘති ආදේශ කරමින් යම් නිර්මාණයක් කරන්නේද එය අපගේ ප්‍රෞඩ ඉතිහාසයට කැළලක් වේ. මුලින්ම අපි සෙවිය යුක්තේ අපගේ සැබෑ ඉතිහාසයයි. ඉන්දියාව අනුව යමින් ඉන්දියාවේ ආකෘති ලංකාවේ පිහිටවීම අප ගෝතම බුදුන් වහන්සේටත්, හෙළ බිමේ ප්‍රෞඩ ඉතිහාසයටත් අවැඩක් සිදුවිය හැකිය. අප උපන් හෙළ බිම බුදුන් උපන් ජන්බුද්දීපයයි.
මෙම මුදලින් කුණු කඳු තුරන් කිරීමේ යන්ත්රාගාරයක් ඉදිකළ හැකිය. බුදු හාමුදුරුවන් වැඩ සිටියා නම් මේ පිරිසට උපදෙස් දෙනු නොඅනුමානය.
සියලු බුදුවරු පහල වන්නේ අප උපන් හෙළ බිමේ !!! අද වන විට සියලු කරුණු කාරණා සොයාගෙන හමාරයි. සෙල් ලිපි ඉන් ප්‍රධාන සාධකය... මහාවංසය හෙළ බිමේ ලියන්නේ මහා වංශිකයෝ මෙහි සිටි නිසා... කකුසඳ බුදුන් කල හෙළ බිම - ඔජදීප, කෝනාගම බුදුන් කල- වරදීප, කස්සප බුදුන් කල- මණ්ඩපදීප ලෙසද ගොතම බුදුන් කල- ලංකාදීප ලෙසද හඳුන්වන ලදී. දීපය යනු දිවයිනක් යන්නය. ඉන්දියාව දිවයිනක් වන්නේ කෙසේද ? සියලු බුදුවරුන්ගේ පහවීමට විශ්ව ශක්තිය රැඳී ඇත්තේ අප උපන් හෙළ බිම මතයි. මතු බුදුවන මෛත්‍රි බුදුන් වහන්සේද පහළ වෙන්නේ මේ හෙළ බිමමතයි. කාවන්තිස්ස රජු උන්වහන්සේගේ පියතුමා වෙනු ඇත. ඒ සියලු සෙල් ලිපි දැන් සොයාගෙනද ඇත.
ඇත්තටම මෙය අනවශ්‍ය වැඩක්,... ත්‍රිපිටකයෙ තියෙන කරුණු කියවා බැලුවා නම්, ගෝතම ලොව්තුරා බුදුන් වහන්සේ වැඩසිටි තැන දැන ගන්න පුළුවන්....ඉතිහාසය සෙව්වා නම් තමන්ට වැටහෙයි සත්‍ය වශයෙන්ම දඹදිව තිබුණ තැන... ඉන්දියාව නොවන වග... කනින්හැම් ඇතුළු රාජකීය ආසියාතික සංගමය ලියපු ඉතිහාසය වෙනස් එකක්.. බුදුරදුන් ගැන ලියවුණු දෙයක් ඇත්නම් ඒවා ලංකාවෙ ලියපු ඒවා. ඉන්දියාව ගැන වර්තමානයේ ඉතිහාසය ලියපු බාසාම් තුමා කියනවා අජාසත්ත රජු, කාලාසෝක රජු ඉන්දියාවේ හිටියේ නෑ කියලා.... පළවෙනි, දෙවෙනි ධර්ම සංගායනා එහෙ වෙලා නෑ කියලා, ඔය රජවරු සිටියේ අපෙ මව් රටේ....ඉතින් සංගායනා එහෙ නැත්නම් ඇයි ලංකාවෙ ලිව්වේ. නැහැ කියන අය ඉන්නව නම් සෙල්ලිපි ඉතිහාස ලියපු ඒවායින්, සන්නස් වලින් ත්‍රිපිටකයෙන් පෙන්නල දෙන්නම් ඇත්ත ද කියලා කරුණු ගලපලා බලන්න. ඉන්දියාවෙ බුදුන්ට පුජාකල එකදු ලෙනක් ගැන කිසිම සෙල්ලිපියක් නෑ.... රටේ බලධාරීන් මේ ගැන තවදුරටත් සොයනවා නම් ඉතා හොඳයි...
සියල්ල අවසානයේ විය යුත්තේ ගෞතම බුදුපියාණන්ගේ සදහම් පණිවුඩය නිවැරදි ලෙස මිනිස් සංහතිය අතරට යාමයි. වසර දහස් ගණනක් තිස්සේ බොහෝ ගිහි පැවිදි අය විසින් ලියා ඇති පරිවර්තනය කර ඇති පොත්පත් වල නිවන්මග වසා තිබෙන බව කිව යුතුය...
සුද්දන් විසින් හා ඊටත් පෙර මහාවංශ කතුවරයා විසින් විකෘති කරන ලද හා ඉන්දියානුකරනය කරන ලද ඉතිහාසය වැලලූතැනම වැලලී තියෙන්නට වෙර දරන්නේ ආත්මලාභය නිසාද? සංසාර පුරුද්ද නිසාද? සත්‍යයට භය නිසාද?ජාතියේ අවාසනාව නිසා දැයි නොවැටහෙයි.
ඉන්දියාවට කළවං වෙච්ච, විජය කියන එකාගෙන් පැවත එන අයට සත්‍යය පිළිගන්න අමාරුයි. බුදු සමයෙහි කළ නිර්මාණ සෙල් ලිපි මගින් නවීන විද්‍යාවට අනුව කාල නිර්ණය කර තහවුරු කරගත් සාක්ෂි ඇති තරම් තියෙනව බුදු හිමි ඉපදුණු වැඩවිසූ පුණ්‍ය භූමිය අප හෙළ බිම බවට. තිබෙන දෙය ආරක්ෂා කරමු. ආකෘති කුමකටද.
මේ ඉඩමෙන් කපපු ගස් වලට මොකද වුනේ ?