IMG-LOGO

රැකියා අයිතිය සුරැකීමේ අධ්‍යාපනයක්

අධ්‍යාපනය මුදලට විකිණීම යන මාතෘකාව අද වන විට නැවතත් කරළියට පැමිණ ඇත්තේ කොතලාවල වෛද්‍ය උපාධිය දේශීය සිසුන්ට නැවතත් විවෘත වීමත් සමගයි. පසුගිය මැයි 22 වැනි දා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කර සිටියේ මෙම වසරට අදාළව කොතලාවල වෛද්‍ය පීඨයට සිවිල් සිසුන් බඳවා ගැනීම් නොකරන බවයි.

මෙම ප්‍රකාශයත් සමග සමාජයේ දැඩි කතාබහක් මේ පිළිබඳව ඇතිවිය. එම තත්වය තවදුරටත් මතභේදයට ලක් කරමින් පසුගිය දා රජයේ තීරණය වෙනස් කරමින් මෙම වසරේද දේශීය සිවිල් සිසුන් එම පීඨයට බඳවා ගන්නා බව ප්‍රකාශ කළේය. ඉන් පසු මෙම තීරණයට පක්ෂව සහ විපක්ෂව මේ වන විට බොහෝ අදහස් ඉදිරිපත් වෙමින් පවතී.

සැබැවින්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ වන්නේ 2009 වර්ෂයේදී ඒ වන විට ත්‍රිවිධ හමුදාවල පැවැති වෛද්‍ය නිලධාරීන්ගේ ඌනතාව සපුරාලීමේ අරමුණින් ය. පසුව සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ සිවිල් සිසුහු 864 දෙනෙක් 2017 වර්ෂයේදී කොතලාවල වෛද්‍ය පීඨය වෙත යොමු කරනු ලැබූහ.එකී පියවරෙන් පසු 2022 වර්ෂයේ සිට ක්‍රමයෙන් දේශීය සිවිල් සිසුන් මෙම පීඨයට බඳවා ගැනීම් ආරම්භ විය. මෙවන් තත්වයක් තුළ වත්මන් ආණ්ඩුව පැරැණි ක්‍රමයම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සමාජයෙන් විවිධ මත එල්ල වෙමින් පවතී.

මෙම තීරණය මගින් සැබවින්ම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට එල්ල විය හැකි අභියෝග මොනවාද යන්න සහ ඒ මගින් රටේ ආර්ථිකයට ඇති කරන බලපෑම කුමක් ද යන්නත් ගැඹුරින් සාකච්ඡා කිරීම වැදගත්ය. මෙහි ආර්ථික බලපෑම වෙත අවධානය යොමු කළහොත් එහි කෙටිකාලීන හා දිගුකාලීන විශ්ලේෂණ වෙන් වෙන්ව සිදු කළ යුතු බව මාගේ අදහසයි. යම් ආකාරයකට විදේශ විනිමය රට තුළ රඳවා ගැනීම මේ මොහොතේ ආර්ථිකයට වැදගත්ම කාරණයකි. ඒ ඔස්සේ බලන කල අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව රටින් ගලා යන යම් විනිමය ප්‍රමාණයක් රට තුළ රඳවා ගැනීමට මෙයින් හැකි වන බව සත්‍යයකි. නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේද පැහැදිලිවම දක්වා ඇත්තේ පෞද්ගලික අධ්‍යාපන ආයතන නියාමනය කරමින් ඒවායේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳවය. එවන් පසුබිමක රාජ්‍ය නියාමනයක් සහිත කොතලාවල

විශ්වවිද්‍යාලය මගින් වෛද්‍ය උපාධිධාරීන් බිහි කිරීමේ ගැටලු‍ අවමය.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශ සංඛ්‍යා දත්ත අනුව වෛද්‍ය උපාධිධාරියකු බිහි කිරීමට රජය ආසන්න වශයෙන් වැය කරන්නේ රුපියල් මිලියන 5.5 කට ආසන්න මුදලකි. එය දන්ත වෛද්‍ය උපාධිය සඳහා එක් අයකුට රුපියල් මිලියන 8.6 ක් ලෙසද පශු වෛද්‍ය උපාධිය සඳහා අයකුට රුපියල් මිලියන 9.3 ක් ලෙසද ආසන්න වශයෙන් සඳහන් වේ. මෙය වෙනත් විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ගත්විට ඉංජිනේරු උපාධිධාරියකු බිහිකිරීමට රුපියල් මිලියන 2.7 ක් ද අධ්‍යාපනවේදී උපාධිධාරියකු සඳහා රුපියල් මිලියන 3.1 ක් ද වශයෙන් සඳහන් වේ. ආර්ථිකමය වශයෙන් විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ රජය විශාල මුදලක් වැය කරමින් උපාධිධාරීන් බිහි කළත් ඔවුන්ට අවශ්‍ය වෙළෙඳපොළ නිර්මාණය කිරීම සඳහා අපොහොසත්ව ඇති බවයි. එවන් පසුබිමක පෞද්ගලික ක්ෂේත්‍රයෙන් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමෙන් රජයේ අයවැය මත වන පීඩනය යම් දුරකට අඩුවුවත් රැකියා වෙළෙඳපොළ මත ඇති කරන පීඩනය තවදුරටත් වර්ධනය වේ. තව ද එවන් තත්වයක් තුළ මතුවන බුද්ධි ගලනය වනාහි මෙරට ආර්ථිකයේ මධ්‍ය හා දිගුකාලීන වශයෙන් දැඩි පීඩනයක් ඇති කරන කරුණක් බව ද පිළිගත යුතුය. මෙම තත්වය සඳහා විසඳුම වශයෙන් ක්‍රමයෙන් ආර්ථිකය ප්‍රසාරණය කරමින් පුළුල් වන නිපුණතා සහිත ශ්‍රම බළකායට අවශ්‍ය රැකියා මෙරට තුළම ස්ථාපිත කිරීම හෝ විදේශ සමග එක්ව ගිවිසුම්ගත වීම වැදගත්ය. මේ වන විට ආර්ථික අර්බුදයෙන් මිදී ක්‍රමයෙන් සුව අතට හැරෙන ආර්ථිකයක් ලෙස ශ්‍රී ලංකාව විදේශ සමග පවත්වන සබඳතා අතිශය වැදගත් වන්නේ එබැවිනි.

ඒ වගේම මේ මාතෘකාව පිළිබඳ කතා කරන විට විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ මේ වන විට මෙරට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ නියාමනය වන සියලු‍ බාහිර, විවෘත සහ දුරස්ථ අධ්‍යාපන පාඨමාලා සම්බන්ධව ගත් කල මුදල් පදනම මත උපාධි ප්‍රදානය නොවන එකම ක්ෂේත්‍රය වෛද්‍ය ක්ෂේත්‍රය බවයි. අනෙකුත් සෑම විෂය ක්ෂේත්‍රයක් යටතේම මේ වන විට මුදල් පදනම මත උපාධි ප්‍රදානය වීම සිදු වේ. 2023 වර්ෂයට අදාළ දත්ත අනුව කලා විෂය ධාරාව යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අභ්‍යන්තර සිසුන් 36,466 ක් ලියාපදිංචි වන විට බාහිර සිසුන් 1,36,414 කි. අධ්‍යාපනවේදී උපාධිය සඳහා අභ්‍යන්තර වශයෙන් සිසුන් 348 ක් ද බාහිර වශයෙන් සිසුන් 3,447 ක් ද ලියාපදිංචිව ඇත. නීතිය හැදෑරීම සඳහා සිසුන් 1,841 ක් අභ්‍යන්තර වශයෙන් ද 3394 ක් බාහිර සහ විවෘත වශයෙන් ද ලියාපදිංචිව ඇත. සම සෞඛ්‍ය උපාධිය සඳහා මෙම සංඛ්‍යා අභ්‍යන්තර වශයෙන් 4,460 ක් ද බාහිර වශයෙන් 3,567 ක් ද වේ. ඒ අනුව 2023 වර්ෂයේදී රාජ්‍ය

විශ්වවිද්‍යාලවල ලියාපදිංචි වන වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව 8918 කි. දන්ත වෛද්‍ය සිසුන් 570 කි. පශු වෛද්‍ය සිසුන් 432 ක් පමණි.

දිගුකාලීන විශ්ලේෂණයේදී පෙනී යන්නේ තරමක වෙනස් තත්වයකි. අද වන විට මතු වී ඇති සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ ගැටලු‍ව ද පළමුව හට ගන්නේ මෙවන් තත්වයක් තුළය. තව ද අද වන විට රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් බිහි වන අධ්‍යාපනවේදී උපාධිධාරීහු ද රැකියා අවස්ථා පිළිබඳ ගැටලු‍වකට මුහුණ පා සිටිති. රටක අධ්‍යාපන ක්‍රමයේ ප්‍රමුඛත්වය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙන් ගිලිහී යන තත්වයක් කිසිසේත්ම අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට සුදුසු නොවනු ඇත. එසේ නම් ගැටලු‍ව ඇත්තේ සමාන අධ්‍යාපන අයිතිය හිමි කර දීම තුළ නොවේ. ගෙවීම් පදනම මත උපාධි පාඨමාලා ආරම්භ කිරීම තුළ නොව, ආර්ථික ප්‍රසාරණයකින් වෘත්තීමය අවස්ථා පුළුල් වීමකින් තොරව වෘත්තිකයන් බිහි කිරීමය.

මෙය හුදෙක් වෛද්‍ය උපාධිය සඳහා පමණක් ලගු කළ හැකි කාරණයක් නොවේ. අප දිගින් දිගටම පවසා සිටි ආකාරයට ශ්‍රී ලංකාව යනු සේවා අංශයේ අපනයන පුළුල් කිරීමෙන් වඩා හොඳ විනිමය ඉපැයීමක් ඇති කර ගත හැකි රාජ්‍යයකි. එහෙත් එහිදී ඊට සමගාමීව රැකියා වෙළෙදපොළ මත පීඩනයක් ඇති වන්නේ නම් එය තිරසාර විනිමය ඉපැයීමක් වන්නේ නැත. මේ සඳහා විසඳුමක් වශයෙන් කොතලාවල වෛද්‍ය පීඨයට අදාළව අධීක්ෂණ කමිටුව ඉදිරිපත් කර ඇති නිර්දේශ අතර මෙම සිසුන් අනිවාර්යයෙන්ම රජයේ රෝහල්වලට බඳවා ගන්නා බවට වන වගකීම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය භාර නොගත යුතු සහ පවතින පුරප්පාඩු මත එය සිදු විය හැකි බවට වන එකඟතාව මත පමණක් සිසුන් ලියාපදිංචි කළ යුතු යැයි සඳහන් වේ. එහි තවදුරටත් දක්වා ඇත්තේ එක් වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමකට බඳවාගත හැකි උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 150 ක් වන අතර එකසිය පනස් දෙනකුගෙන් යුතු එම ශිෂ්‍ය කණ්ඩායම තුළ සිටිය හැකි උපරිම සිවිල් ශිෂ්‍ය සංඛ්‍යාව 100 කි යනුවෙනි. තවද මෙම සිවිල් ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 10 ක ප්‍රමාණයකට පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානය කළ යුතු අතර, එසේ පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබන සිසුන් තෝරා ගත යුත්තේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය හරහාය. වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගන්නා සිසුන්ගේ අවම ඉසෙඩ් ස්කෝර් අගය 1.4000 ක් විය යුතුය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගන්නා සිසුන්ට විවෘත විශ්වවිද්‍යාලය හැර වෙනත් කිසිදු රාජ්‍ය විශ්වවිද්‍යාලයක පූර්ණකාලීන ශිෂ්‍යයන් ලෙස ලියාපදිංචි විය නොහැක. එමෙන්ම, මෙම වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයන් සඳහා වෙනම නිල ඇඳුමක් නිර්දේශ කළ නොහැක. මෙම වෛද්‍ය පීඨයේ සිසුන්ට පුහුණුව සඳහා සුදුසු රෝහල් ලබා දීම සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සිදු කරනු ඇත. ඒ අනුව පෙනී යන්නේ අ.පො.ස. උසස් පෙළ ඉහළම සාමාර්ථ ලබමින් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට එකතු වන සිසුන්ගේ රැකියා අයිතීන් ආරක්ෂා කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සුරක්ෂිතභාවය රැක ගැනීම වෙනුවෙන් ආණ්ඩුව යම් උත්සාහයක නිරතව ඇති බවයි. එහෙත් මේ සඳහා දීර්ඝ කාලීන වශයෙන් සුදුසු වැඩපිළිවෙළකට ගමන් කිරීම මේ වන විට අතවශ්‍යය කාරණයක් බව පැහැදිලිය.

(***)



අදහස් (1)

රැකියා අයිතිය සුරැකීමේ අධ්‍යාපනයක්

himal Wednesday, 09 July 2025 11:26 AM

මේ ලිපියට අනුව මුදල මත පදනම් වෙලා උපාධි දෙනවා කියලා වර්ගයක් තියෙනවා නම් එහෙම නම් නොමිලේ උපාධි දෙන කියලත් වර්ගයක් තියෙන්න ඕනෑ. අනික උපාධිය ‍රැකියාවකට උපයාගන්නා සුදුසුකමක් කියන එක ලිපියේ හරියට කියැවෙන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 203 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 705 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1116 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site