IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මාෆියා ජාවාරම්කාරයන්ට රාජ්‍ය සේවය බිලිදෙනු එපා

කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති, නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා ද පසුගියදා හදිසියේම තම ධුරයෙන් ඉල්ලා අස්විය. තමන් ඉල්ලා අස්වන බව දන්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතාට ඔහු ලිපියක් යොමු කර තිබිණි. එම ලිපියේ සඳහන් කර ඇති හේතු මොනවාදැයි අපි නොදනිමු. එහෙත් ධුරයෙන් අස්වීමේ තීන්දුව සම්බන්ධයෙන් අපගේ ‘ලංකාදීප’ය කළ විමසුමකදී ඒ මහතා හෙළි කළ කරුණු රටට ආදරය කරන සියලු‍ දෙනා තුළ ඇති කරන්නේ මහත් තැතිගැන්මක් සහ කලකිරීමක් බව පැවැසිය යුතුය.

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සහ හිටපු වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයා අස්වීම් සම්බන්ධ සිදුවීම් හේතුවෙන් රටේ වැඩි දෙනාගේ අවධානය ඊට යොමු වෙද්දී කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම යටපත් වී ගියේය. එහෙත් එම අස්වීමට තුඩු දුන් හේතු රටේ සියලු‍ දෙනාගේ අවධානයට ලක්විය යුතුය. කෘෂි රක්ෂණ මණ්ඩලය ගොඩ ගැනීමට නොහැකි ආයතනයක් බව තමන් ධුරය හෙබවූ අවුරුදු දෙකේදී පැහැදිලි වූ බව සඳහන් කරන ඔහු, කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් බව ද සඳහන් කළේය. එම දූෂිත මාෆියාව පරාජය කිරීමට කොතරම් උත්සාහ දැරුවත් එය තමන්ට කළ නොහැකි වූ බවත්, ඉහළ නිලධාරීන්ගේ සිට පහළට බොහෝ නිලධාරීන් සිදු කරන විනය විරෝධී අකටයුතුකම් පාලනය කිරීමට තමන්ට පුළුවන්කමක් නොතිබූ බවත් සභාපතිවරයා කීවේය.

ආයතනයක මාෆියාවක් තිබෙන විට එය පාලනය කිරීමට උත්සාහ ගන්නා බොහොමයක් ප්‍රධානීන් මුහුණ දෙන තත්ත්වයට ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා ද මුහුණ දී තිබෙන බව පැහැදිලිය. මෙවැනි ජඩ මාෆියාකාරයන් සමග සටන් කොට අතපය නොකැඩී බේරීමට හැකි වීම ගැන ඒ මහතා සතුටු විය යුතුය. රාජ්‍ය ආයතනවලට අරක්ගෙන සිටින දේශපාලන බහිරවයන් මෙහෙයවන මාෆියාවේ සියලු‍ ආකාරයේ දූෂිත වැඩවලට ඉහළින් ලැබෙන රැකවරණය ද එකතු වූ විට අවසානයේ පරාජය බාර ගැනීමට සිදුවන්නේ ඒවා වැළැක්වීමට උත්සාහ ගන්නා ආයතනයේ ප්‍රධානියාටය. ප්‍රේමචන්ද්‍ර මහතාට ද සිදුව ඇත්තේ එම කරුමයට කර ගැසීමට බව පැහැදිලිය.

ජාවාරම්කාර මාෆියාවට යටවෙන රාජ්‍ය ආයතන යනු රාජ්‍ය සේවයේ පිළිකා වන්නේය. මේ පිළිකාවට බෙහෙත් නැත. ඉහළින්ම තද නීති රීති යටතේ ක්‍රියාත්මක වන යාන්ත්‍රණයකින් තොරව මේ පිළිකාව සුව කළ නොහැක. නිසි ප්‍රතිකාර නොලබන පිළිකා රෝගියකුගේ මුළු සිරුරම එම පිළිකාව මගින් විනාශයට පත් කරන්නාක් මෙන් රාජ්‍ය ආයතන බොහොමයක් තුළට මේ මාෆියාවම කඩා වැදී එය විනාශ කිරීමට ද තිබෙන ඉඩකඩ බැහැර කළ නොහැකිය. රාජ්‍ය සේවය ජාවාරම්කාර මාෆියාවලට යට වී වැනසෙනු බලා සිටීමට නම් රජයක් තිබිය යුතු නැත. රජය වහාම මැදිහත් වී එම තත්ත්වය පාලනය කරගත යුතුය. එසේ නොකිරීම කෘෂි රක්ෂණ මණ්ඩලය වැනි ආයතනවල අවංකව සේවය කරන කාර්යක්ෂම නිලධාරීන්ට සිදු කරන බලවත් අසාධාරණයකි.

රාජ්‍ය ආයතනයක් ගොඩගත නොහැකි තරමට පිරිහී තිබේ නම් එම තත්ත්වයට වහාම පිළියම් යෙදීම විෂය බාර අමාත්‍යවරයාගේ ලොකුම වගකීමය. කෘෂි රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන්ගේ විනය විරෝධී කටයුතු පාලනය කළ නොහැකි බව යනු අමාත්‍යවරයාගෙන් එම වගකීම ඉටු නොවීමය. වැරැදිකරුවන්ට එරෙහිව විනයානුකූලව කටයුතු නොකර අමාත්‍යවරයා ඔවුන්ගේ කරට අත දාගන්නේ නම් එවැනි ආයතන පාලනයට සුදුස්සන් සොයා ගැනීම බරපතළ ගැටලු‍වක් වනු ඇත. පසුගිය කාලය තුළදී ඉල්ලා අස්වූ ආයතන ප්‍රධානීන් වැඩි දෙනකු නිහඬව සිටිමින් තමන්ගේ අස්වීම පෞද්ගලික හේතු මත ගනු ලැබූ තීරණයකට ලඝු කළත්, සැබෑව හෙළි වීමට වැඩි කාලයක් යන්නේ නැත. ඒ අර්ථයෙන් කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා තම ඉල්ලා අස්වීමට හේතු වූ කාරණා සංක්ෂිප්ත වශයෙන් හෝ ප්‍රකාශ කිරීම වැදගත් බව කිව යුතුය. සැබෑ ප්‍රශ්නය හඳුනා ගැනීමට එවැනි හෙළි කිරීම් හේතු වන බැවිනි.

කෙසේ වුව ද රාජ්‍ය සේවයේ සියලු‍ ආයතන මේ ආකාරයේ දූෂිත ආයතන වශයෙන් අපි නොසලකමු. රටට බරක් නොවී ආදායම් උපදවාගෙන ආදර්ශවත් ඵලදායී සේවාවක් ලබාදෙන රාජ්‍ය ආයතන බොහොමයක් තිබෙන බව ද සඳහන් කරනු කැමැත්තෙමු. අවංකව සිය රාජකාරි ඉටුකරන රාජ්‍ය සේවකයෝ ද බොහොමයක් වෙති. එහෙත් ගොඩගත නොහැකි තරමට තමන් සේවය කරන ආයතනය වට්ටන දූෂිත පිරිස් හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවය පිළිබඳවම ජනතාව කලකිරෙන බව ද පෙන්වා දිය යුතුය. එය එසේ නොවන බවට වගබලා ගැනීම දේශපාලන අධිකාරියේ වගකීමය.

රාජ්‍ය සේවය තුළ එකම ස්ථානයක දීර්ඝ කාලයක් සේවය කරන පිරිස් සහ දේශපාලන හෙංචයියන් විසින් ඇති කරගනු ලබන සමගි සම්මුති දූෂිත මාෆියා බිහි වීමට පාර කපයි. රැකගත යුත්තේ එවැනි දූෂිත මාෆියා ද දක්ෂ ප්‍රධානීන් ද යන්න තෝරාගත යුතු වන්නේ රජය බව ද පෙන්වා දීමට කැමැත්තෙමු.

(***)



අදහස් (1)

මාෆියා ජාවාරම්කාරයන්ට රාජ්‍ය සේවය බිලිදෙනු එපා

sujeewa Thursday, 03 February 2022 01:03 PM

මේ රට සංවර්ධනය කල යුතු නම් පළමුව කල යුතු වන්නේ මහජන මුදලින් වැටුප් ගන්නා ඕනෑම අයකුගේ සියළුම මූලික අයිතිවාසිකම් , ජනතා අයිතිවාසිකම් හමුවේ බලරහිත කිරීම සඳහා ව්‍යවස්ථාවෙන්ම ප්‍රතිපාදන සැලසීමයි. දෙවනුව කල යුත්තේ අන් සියළු සේවාවන්ට වඩා තමාගේ සේවාව උසස් යැයි පාරම්බාමින් කේවල් කරන ඊනියා සංවෘතබාවය නැති කිරීමයි. තුන්වනුව ‌අප රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රටක් බව සිහි කරගනිමින් ඒහි අර්ථය බලගැන්වීම සඳහා සමස්ථ රාජ්‍ය සේවයට පොදු වූ එක් එක් සේවා වලට විශේෂි නොවූ පොදු වැටුප් ව්‍යුහයක් සැකසීමයි. හතරවනුව රාජ්‍ය සේවයේ සදාකාලික නැතහොත් යාවජීව සාමාජිකත්වය අහෝසි කිරීම සඳහා තම රැකියාවෙන් කුමන තත්වයක් මත හෝ අතෘප්තිකර තත්වයට පත්වන හෝ අතෘප්තිකර බව හැඟවෙන අවස්ථාවලදී ඔහුගේ සේවය අවසන් කර රාජ්‍ය සේවයට පැමිණීමට අපේක්ෂිත අනාගත පරපුරට අවස්ථාව සලසා දීම සඳහා වන කඩිනම් ක්‍රියාමාර්ග ගත හැකි විධිමත් නීති ස්ථාපිත කිරීමයි. මෙලෙස නීති පනවා ඒ්වා නිසි පරිදි ක්‍රියාත්මක වන බවද ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමෙන් මහජන මුදලට බරක් වන සේවකයන් ඉවත් කර නවකයන්ට අවස්ථාව සලසා දිය හැකිය. වෙනස හෝ පරිවර්තන යනු එයයි.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 445 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2206 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site