IMG-LOGO

මානව හිමිකම් ජාත්‍යන්තර ප්‍රතිචාර

මීට පෙර මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරුන් වන නවනීදම් පිල්ලෙයි හා සෙයිද් රාද් අල් හුසේන් යන දෙදෙනා නිල සංචාර සඳහා මෙරටට පැමිණෙන විට ඇති වූවක් මෙන් කිසිදු ආන්දෝලනයක් හෝ උනන්දුවක් පසුගිය සතියේ වත්මන් මහ කොමසාරිස් ෆොල්කර් ටූර්ක් මෙහි පැමිණෙන විට ඇති වූයේ නැත.

බොහෝ ජනමාධ්‍යයනට වත්මන් මහ කොමසාරිස්වරයාගේ පැමිණීම එතරම් වැදගත් පුවතක් වූ බවක් පෙනේනට නොතිබිණි. මෙම නිලය හොබවන පුද්ගලයන්ට නිතරම විරෝධය දක්වන සිංහල ජාතිකවාදී නායකයන්ගෙන් හෝ සංවිධානවලින් ඔහුට විරෝධයක් එල්ල වූයේ ද නැත.

එ.ජා. මානව හිමිකම් කවුන්සිලයට හා එහි ප්‍රධානියා වන මානව හිමිකම් පිළිබඳ එ.ජා. මහ කොමසාරිස්වරයාට එරෙහිව ජනමතය ගොනු කිරීමට ඔවුන්ට මෙම සංචාරය හොඳ නිමිත්තක් වුවද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පමණක් ෆොල්කර් ටූර්ක් හට යාපනයේ චෙම්මනි සුසාන භූමියට යාමට ඉඩ දීම ගැන විරෝධය පළකර තිබිණි.

සමහර විට මීට පෙර පැවැති ආණ්ඩුවල කාලවල දී විවිධ දූෂිත ගනු දෙනුවල නිරත වූවන් පසු පස මේ දිනවල නීතිය හඹා එන නිසා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ සංචාරයට වඩා එම සිද්ධි ගැන ඔවුන්ගේ අවධානය වැඩියෙන් යොමුවීම මේ තත්වයට හේතු වූවා විය හැකිය.

එහෙත් මෙවර මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් දෙමළ දේශපාලනඥයන්ගේ හා දෙමළ ජනමාධ්‍යවල විශාල උනන්දුවක් හා බලාපොරොත්තුවක් දක්නට ලැබිණි. ඒ විශේෂයෙන්ම අනූ ගණන්වල දී විශාල ආන්දෝලනයක් ඇති කළ යාපනයේ චෙම්මනි ප්‍රදේශයේ සමූහ මිනී වළක් යැයි සැක කළ හැකි තැනකින් මේ දිනවල මිනිස් ඇට සැකිලි රාශියක් සොයා ගැනීම නිසාය. පසුගිය දිනවල එම ස්ථානයෙන් පාසල් බෑග් හා සෙල්ලම් බඩු සමග කුඩා ළමයින්ගේ ඇට සැකිලි ද මතු කර ගැනිණි.

ඒ අනුව යුද්ධය පැවැති කාලයේ දී කුඩා ළමයින් ද ඇතුළු සාමාන්‍ය වැසියන් ඝාතනය කරනු ලැබ ඇති බව මානව හිමිකම් කවුන්සිලයට සාක්ෂි සහිතව පෙන්වා දිය හැකි නිසා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා එම ප්‍රදේශයට කැඳවාගෙන යාමට දෙමළ දේශපාලනඥයෝ විශාල උනන්දුවක් දැක්වූහ.  ඒ අනුව මහ කොමසාරිස්වරයා ද එම ප්‍රදේශයට ගොස් එහි පැවති හින්දු ආගමික පූජාවලටද සහභාගි විය.

කෙසේ වෙතත් මහ කොමසාරිස්වරයාගේ සංචාරය අවසානයේ දී ඔවුන් අධෛර්යවත් කරන සුළු තත්වයක් ඇති විය. ඒ සිය සංචාරය නිම කරමින් මහ කොමසාරිස්වරයා කළ ප්‍රකාශයක් හේතුවෙනි. මෙරටින් පිට වී යන්නට පෙර ජූනි 26 වැනිදා ජනමාධ්‍ය හමුවක් පැවැත්වූ එ.ජා. මානව හිමිකම්  ප්‍රධානියා යුද්ධය පැවැති කාලයේ සිදුවූ මානව හිමිකම් සම්බන්ධයෙන් වගවීමේ යාන්ත්‍රණය පිළිබඳව තීරණය කිරීම ශ්‍රී ලංකාවේ ස්වෛරී අයිතියකැයි කීම ඔවුන්ගේ සිත් තැවුලට හේතුවී ඇත.

ඔහුගේ ප්‍රකාශයේ  එක් තැනෙක ඔහු මෙසේ කීවේය. ‘‘විශ්වාසනීය වූද අදාළ සිද්ධිවලදී විපතට පත්වූවන්ගේ විශ්වාසය දිනාගත හැකි වූද දේශීය වගවීමේ යාන්ත්‍රණ සමග ඉදිරියට යාමට ශ්‍රී ලංකාව දැඩි වෙහෙසක් දරා ඇත. ජාත්‍යන්තර මට්ටමේ සහයෝගය ලැබ යුක්තිය දිනා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන් බාහිරට යොමු වූයේ එහෙයිනි. අවසානයේදී එය රජයේ වගකීමක් වන අතර මෙම ක්‍රියාවලිය දේශයට අයත් වූවක් වීමත් ජාත්‍යන්තර මාර්ගවලින් ඊට ආධාර කළ හැකිවීමත් වැදගත්ය. තොරතුරු එක් රැස් කොට ආරක්ෂා කිරීමටත් නීතිය උල්ලංඝනය කිරීම් හා අපයෝජන විශ්ලේෂණය කිරීමටත් මගේ කාර්යාලයට බලය පවරනු ලැබ ඇති අතර එම අරමුණ සඳහා විශේෂිත වූ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර වශයෙන් ගන්නා අනාගත වගවීමේ උත්සාහයන්ට සහාය දීමට එම ව්‍යාපෘතියට  පුළුවන.’’

ශ්‍රී ලංකාවේ වග වීමේ යාන්ත්‍රණය දේශීය එකක් විය යුතුද නැත්නම් ජාත්‍යන්තර එකක් විය යුතුද යන්න ඔහු මෙහිදී සෘජුව පැහැදිලි කොට නැත. මේ නිසා ඇතැමුන් එය තම තමන්ගේ රුචිය අනුව දේශීය යාන්ත්‍රණයක් ලෙසත් ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ලෙසත් සලකා ඇති බව පෙනේ. ජනමාධ්‍ය ද මේ දෙආකාරයටම පසුදා පුවත් පළ කොට තිබිණි.

එසේ වුව ද‘‘අවසානයේ දී එය රජයේ වගකීමක් වන අතර මෙම ක්‍රියාවලිය දේශයට අයත් වූවක් වීමත් ජාත්‍යන්තර මාර්ගවලින් ඊට ආධාර කළ හැකි වීමත් වැදගත්ය.’’ යනුවෙන් ඔහු කරන ප්‍රකාශය අනුව එම යාන්ත්‍රණය දේශීය එකක් විය යුතු යැයි ඔහු සිතන බව පෙනේ. අප උපුටා දැක් වූ ජේදයේ අවසානයේ ඇති ‘‘ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර වශයෙන් ගන්නා අනාගත වගවීමේ උත්සාහයන්ට’’ යන වාක්‍යංශය මගින්ද ‘‘ශ්‍රී ලංකාවේ අනාගත වගවීමේ උත්සාහයක්’’ ගැන ඔහු සඳහන් කරයි.

ආරක්ෂක හමුදා හා කොටි සංවිධානය අතර යුද්ධය නිම වී වසර 12ක් ගතවීත් ශ්‍රී ලංකාවේ කිසිදු රජයක් දේශීය වගවීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොකිරීම නිසා ශ්‍රී ලංකාවේදී මානව හිමිකම් උල්ලංඝනය කළ බවට සැක කරන පුද්ගලයන්ට එරෙහිව තම තමන්ගේ බල ප්‍රදේශ තුළදී නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඔවුනට එරෙහිව තහංචි පනවන ලෙස 2021 දී එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාවක් මගින් සාමාජික රටවලින් ඉල්ලීමක් කෙරිණි. ‘‘ජාත්‍යන්තර වශයෙන් ගන්නා අනාගත වගවීමේ උත්සාහය’’ යනුවෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා පසුගිය  සතියේ සිය කතාවේ සඳහන් කරන්නේ මෙම ඉල්ලීම අනුව ගනු ලැබිය හැකි ක්‍රියා මාර්ගයි.

මෙසේ මානව හිමිකම් පිළිබඳ එ.ජා. මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳ දේශීය යාන්ත්‍රණයක් අනුමත කිරීම එ.ජා. මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී  ලංකාව සම්බන්ධයෙන්  සිය ග්‍රහණය ලිහිල් කිරීමකි. පසුගිය ඔක්තෝබර් මාසයේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කළ යෝජනාව ප්‍රතික්ෂේප කළ විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා ද ශ්‍රී ලංකාව දේශීය වගවීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

මෙවැනි ලිහිල් තත්වයක් ඊනියා ‘‘යහපාලනය’’ කාලයේ ආරම්භයේදී ද ඇති විය. එවක සිටි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් ද 2016 පෙබරවාරි මාසයේ මෙරට සංචාරයක නිරත විය. ඔහු ද සිය සංචාරය අවසානයේ දී පැවසුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වගවීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් තීරණය කිරීම ශ්‍රී ලංකාවේ ස්වෛරී අයිතියක් බවයි. ඊට පෙර හා පසුව පැවැති රාජපක්ෂවරුන්ගේ පාලන කාලවල දී මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එවැනි ලිහිල් බවක් පෙන් වූයේ නැත.

ඊට ප්‍රධාන හේතුව රාජපක්ෂ පාලන කාලවල දී ආණ්ඩුව මානව හිමිකම් කවුන්සිලය සමග ගැටුම්කාරී ආකල්පයකින් කටයුතු කිරීමත් සංහිඳියාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදිමදි කිරීමත් නිසාය.‘‘යහපාලන’’ කාලයේ දී හා වත්මන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ දක්නට තිබුණේත් දක්නට ඇත්තෙත් වෙනස් තත්වයකි.

යහපාලන කාලයේ දී උතුරේ හමුදාව විසින් අත්පන් කරගෙන තිබූ ඉඩම් යම් ප්‍රමාණයක් ඒවායේ අයිතිකරුවන් වෙත නිදහස් කිරීමට පියවර ගනු ලැබීය. සංහිඳියාව සඳහා යම් යම් ආයතන පිහිටුවනු ලැබීය. දෙමළ ඩයස්පෝරාව සංවිධාන ගණනාවකට එරෙහිව පනවනු ලැබ තිබූ තහනම ඉවත් කෙරිණි. යුද්ධයේදී මියගිය දෙමළ ජනයා සැමරීමට උතුරු නැගෙනහිර ජනතාවට තිබූ බාධා බොහෝ දුරට ඉවත් කෙරිණි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 දී මානව හිමිකම් කවුන්සිල ඉදිරිපත් කරන ලද යෝජනාවට ශ්‍රී ලංකා රජය සම අනුග්‍රහය දැක්වීය. වගවීමේ යාන්ත්‍රණයට විදේශ විනිශ්චයකාරවරුන් සහභාගි කරවා ගැනීමට ද රජය එකඟ විය. එදා මහ කොමසාරිස් අල් හුසේන් මෙරටට පැමිණියේ  එවැනි වටපිටාවකය.

කෙසේ වෙතත් අල් හුසේන්ගේ ශ්‍රී ලංකා සංචාරයට සති කිහිපයකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකීමේ යාන්ත්‍රණයට විදේශ විනිශ්චයකාරවරුන් සහභාගි කරවා ගැනීමට විරෝධය පෑවේය. එසේ වුවද මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්  අල් හුසේන් වගවීමේ යාන්ත්‍රණය පිළිබඳ තීරණය ගැනීම ශ්‍රී ලංකාවේ ස්වෛරී අයිතියකැයි පැවසීය.

මෙවරද මානව හිමිකම් කොමිසමේ ග්‍රහණය ලිහිල් වීමට බලපාන්නට ඇත්තේ ආණ්ඩුවේ ඇතැම් කටයුතු  විය යුතුය. ජාජබ ආණ්ඩුව ද යුද්ධය පැවැති කාලයේ සිට වසා දමා තිබුණු උතුරේත්  කොළඹත් ඇතැම් මාර්ග විවෘත කළේය. මෙවර ද යුද්ධයේ දී මියගිය දෙමළ ජනයා සැමරීමට කිසිදු බාධාවක් නොවීය. මැයි 19 වැනිදා ආණ්ඩුව පැවැත්වූ ජාතික රණවිරු දින උත්සවයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යුද ජයග්‍රහණය උත්කර්ෂයට නංවනවා වෙනුවට සංහිඳියාව අවධාරණය කරමින් කතාවක් කළේය.

රාජපක්ෂ පාලන කාලවලදී දක්නට ලැබුණු තත්වයට වඩා වෙනස් වූ මෙම තත්වය වත්මන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ අවධානයට ලක් වී තිබිණි. ඔහු සිය සංචාරය අවසානයේ දී ජනමාධ්‍ය අමතා කළ කතාවේ දී ජාතික රණවිරු දින උත්සවයේදී ජනාධිපතිවරයා කළ කතාව පිළිබඳව විශේෂ සඳහනක් කොට තිබිණි.

කෙසේ වෙතත් යුද්ධ කාලයේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් දෙමළ දේශපාලනඥයන් අපේක්ෂා කරන ආකාරයේ විසඳුමක් එ.ජා. මානව හිමිකම් කවුන්සිලයෙන් නොලැබෙන බව දැන් නම් පැහැදිලිය. ගාසාහි ජන සංහාරයක නිරත වී සිටින ඊශ්‍රායලයට එරෙහිව ගත්තා සේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් හා යුක්තිය පසිඳලීමේ ජාත්‍යන්තර අධිකරණය මගින් ශ්‍රී ලංකාවේ හමුදාවනට එරෙහිව හා ඇතැම් දේශපාලනඥයන්ට එරෙහිව පියවර ගත යුතු යැයි දෙමළ දේශපාලනඥයෝ පවසති.

එහෙත් එවැන්නක් සඳහා එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ උනන්දුවක් නැත. එම කවුන්සිලයේ 2021දී සම්මත කරන ලද යෝජනාව අනුව මෙරට මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් 2015දී වෙනම ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවීමේ අදහසක්ද එම කවුන්සිලයට ඇති බවක් නොපෙනේ. 2021 යෝජනාවෙන් කියවෙන්නේ  ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කළවුන්ට එරෙහිව වෙනත් රටවල් නීතිමය ක්‍රියාමාර්ග  ගතයුතු බවකි. ඒ සඳහා එම රටවලට අවශ්‍ය සාක්ෂි කවුන්සිලයේ වෙනම දත්ත ගබඩාවක රැස් කරනු ලැබ තිබේ.

එහෙත් එය සිදු වනු ඇත්තේ එම රටවල් කැමැති නම් පමණි. අනෙක් අතට දැන් ශ්‍රී ලංකාවේ දේශීය වගවීමේ යාන්ත්‍රණයක් අවශ්‍ය බවද කවුන්සිලය කියයි. එය ද සිදුවේ යැයි නිශ්චිතව කිව නොහැකි කරුණකි. සිදුවිය හැකි එකම දේ තවත් කාලයකට මෙම කරුණු දෙමළ දේශපාලනයේ කේන්ද්‍රීය තේමා පාඨ වීමයි.

(*** එම්.එස්.එම්.අයුබ්.)



අදහස් (0)

මානව හිමිකම් ජාත්‍යන්තර ප්‍රතිචාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 877 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site