IMG-LOGO

මානව හිමිකම් අභූත චෝදනා

ශ්‍රී ලංකාව ස්වෛරී, නිදහස් ස්වාධිපති රාජ්‍යයකි. සෑම රාජ්‍යයකම නිවහල්භාවය ස්වාධීනත්වය හා ස්වාධිපත්‍යය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පිළිගෙන තිබේ. මානව හිමිකම් කවුන්සලය පිහිටුවා ඇත්තේද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන ප්‍රඥප්තියට යටත්වය. අපට පැහැදිලි වන කාරණය නම් 2009-2025 දක්වා කාලය තුළ මානව හිමිකම් සම්බන්ධ චෝදනා රාශියක් ශ්‍රී ලංකාවට එරෙහිව නිරන්තරයෙන් ඉදිරිපත් කර ඇති බවය. මීට දින කිහිපයකට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මෙවන් පරිසරයක් තුළය.

මෙරටට පැමිණි මානව හිමිකම් නියෝජිතයන් සියලු දෙනාම ගෙන බැලූ කල පැහැදිලිවන්නේ මෙසේ පැමිණි සෑම නියෝජිතයෙක්ම මානව හිමිකම් වගවීමේ යාන්ත්‍රණය සම්බන්ධව ශ්‍රී ලංකාවට එරෙහිව දිගටම යම් යම් නිර්දේශ ලබා දී ඇති බවය. මේ නිර්දේශ සම්මත කෙරෙන්නේ මානව හිමිකම් කවුන්සිලයෙනි. ඔවුන් සම්මත කළ 46-1 නිර්දේශය, 56-1 නිර්දේශය 57-1 නිර්දේශය ආදියෙහි ඇතුළත් කාරණා මෙරට එම කාලය තුළ පත්ව සිටි සියලු‍ම ආණ්ඩු දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇත. එහෙත් නිර්දේශය ඉදිරියට යයි.

මේ සදහන් කළ සියලු‍ නිර්දේශවල කරුණුවල බැරෑරුම්කම නම් ලංකාවේ මානව හිමිකම් උග්‍ර ලෙස කඩ වී ඇති බවත් මෙරට සමූහ මනුෂ්‍ය ඝාතන සිදු වී ඇති බවත් දැක්වීමය. මේ සම්බන්ධ සාක්ෂි එකතු කිරීම සඳහා ලංකාවෙන් පිට යාන්ත්‍රණයක් ඔවුහු පවත්වාගෙන යති. එම යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ ලංකාවට පැමිණ පරීක්ෂණ පැවැත්වීමෙන් නොවේ. එහෙත් එම යාන්ත්‍රණයේ සාක්ෂිවලින් පෙනෙන්නේ එම සාක්ෂි සපයා ඇත්තේ අදාළ කාලය තුළ බටහිර රටවල ඩයස්පෝරාවේ එල්ටීටීඊ හිතවාදීන් බවයි. මානව හිමිකම් කවුන්සිලය මේ යාන්ත්‍රණය හරහා ලංකාවට ගෙන එන්නේ මෙම සාක්ෂි මත පදනම් වූ නිර්දේශයි. එබදු අවස්ථාවක ලංකාවට අභ්‍යන්තරව මැදිහත්වීමට මෙරට  කිසිම රජයක් ඉඩ දී නැත. එය ඉතාමත් වැදගත් කාරණයකි.

ලංකාවට එදා මෙදා කාලයේ මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජිතයන් ඔවුන් විසින්ම දිගින් දිගටම නිර්දේශ ලබා දෙනු ලැබ ඇති බව පෙනේ. එම නිර්දේශ බොහොමයක අවධාරණය වන්නේ ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් යහපත්ව කටයුතු නොකරන බවයි. ඔවුන්ගේ නිර්දේශය එසේ වුවත් 2025 මාර්තු 27 වැනි දින කැනඩාවේ සිටින දේශප්‍රේමී නීතිඥයන් එරට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය කාරණය මෙහිදී මතක් කිරීම අවශ්‍ය වේ. ඔවුන් එසේ කළේ දෙමළ ජනයා සඳහා අධ්‍යාපන සතිය නමින් පනතක් ඔන්ටාරියෝවල සම්මත කරගෙන තිබීමය. එම පනතින් ප්‍රකාශ වූයේ ලංකාවේ මූලික මිනිස් අයිතිවාසිකම්වලට වඩා සමූල මනුෂ්‍ය ඝාතන සිදු වී ඇති බවය. එහෙත් ඊට අදාළ කිසිම නිශ්චිත සාක්ෂියක් මෙහි අන්තර්ගතවී නොමැති බව පෙනේ. ඔවුන් නිර්දේශ සකස් කරන්නේ   ලංකාවෙන් පිට එකතුවන සාක්ෂි මත පදනම්ව බව ඒ අනුව පැහැදිලිය. නීතිඥයන් මෙම මූලික තර්කය ඉදිරිපත් කළ පසු කැනඩා ශ්‍රේෂ්ඨාධිකරණය එකහෙළා ලබා දුන් තීරණය නම් මෙම පනත කැනඩාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවය. එසේම 93 වගන්තිය උල්ලංඝනය කිරීම නිසා මෙම පනත නිවැරැදි නොවන බවය. ඊළඟට මෙහිදී අවධාරණය වූ  වැදගත් කාරණය නම් ලංකාව කිසිසේත්ම සමූල ඝාතන සිදුකර නොමැති බවයි. එසේ චෝදනා කිරීමට තරම් කිසිම සාක්ෂියක් ඔප්පු වී නොමැති බවයි. මෙරට සමූල ඝාතන සිදුවූ බව පෙන්වීමට එම පනත ඉදිරිපත් කළ සාක්ෂිවන්නේ චැනල් 4 නාලිකාවේ ඉදිරිපත් කළ විස්තර බව මේ වන විට ඔප්පු වී තිබේ.

මේ අධිකරණ නියෝගය අපට හොඳ අවස්ථාවකි. මන්ද යත් මේ මතය තහවුරු කොට ඇත්තේ කැනඩාවේ ඉහළම අධිකරණයකි. එසේ කියා තිබියදීත් කැනඩාව කළේ මියගිය එල්ටීටීඊ හිතවාදීන් සැමරීම සඳහා විශාල පිළිරුවක් නිර්මාණය කිරීමය. ඊට ප්‍රතිචාර වශයෙන් මෙරට විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා කැනඩා මහ කොමසාරිස්වරයා කැඳවා මෙහි සැබෑ යථාර්ථය කුමක්දැයි පැහැදිලි කර දුන්නේය. නිශ්චිත සාක්ෂියක් නොමැතිව ඉදිරිපත් කරන මෙම මතවාදවල විනිවිදභාවය සම්බන්ධයෙන් කරුණු පෙන්වා දී සිටියේය. මෙබඳු ක්‍රියාකාරකම් ලංකාවේ ජාතික සංහිදියාවට තර්ජනයක් බවත් අමාත්‍යවරයා කැනඩා මහ කොමසාරිස්වරයාට පෙන්වා දී තිබුණේය. විවිධ පනත් මාර්ගයෙන් මෙසේ ක්‍රියාකිරීම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොතකා හැරීමකි. කිසිම විධිමත් සාක්ෂියක් නොමැතිව විනිවිදභාවයකින් තොරව මෙසේ ක්‍රියාකරන්නේ මොන පදනමින් දැයි ප්‍රශ්න කළ යුත්තකි.

මෙරට උතුරු නැගෙනහිර යුද්ධය අවසන් කාලයේදී සිදුවූයේ දෙලක්ෂ අසූ පන් දහසක් ජනතාව අනාරක්ෂිත කලාපවලින් ආරක්ෂක ප්‍රදේශ දක්වා රැගෙන එමින් එම ජනතාව මුදාගැනීමය. එහිදී ජිනීවා සම්මුතිය කිසිසේත්ම උල්ලංඝනය කිරීමක් සිදු වී නැත. එවැන්නක් සිදුවී ඇතැයි කෙනකු චෝදනා කරන්නේ නම් එය විනිවිදභාවයෙන් යුතුව ඔප්පු කළ යුතුව තිබේ. එසේම එක්තරා අවස්ථාවක ඇමෙරිකා   එක්සත් ජනපදයේ උතුරු කැරලිනාහි දී ද  ලංකාවට එරෙහිව මෙවැනිම මානව හිමිකම් චෝදනාවක් එල්ල වූයේ ලංකාවේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කර ඇති බව කියමිනි. එහෙත් එහිදී වෙනත් පාර්ශ්ව පෙන්වා දුන්නේ තානාපති කාර්යාලවලින් එවැන්නක් නොකියන බවත් සියයට පනහක් ද්‍රවිඩ ජනතාව වෙසෙන්නේ සිංහල ජනතාව වැඩියෙන් වාසය කරන දකුණු ප්‍රදේශවල බවත් ය. එම ද්‍රවිඩ ජනයාට කිසිම අසාධාරණයක් සිදු වී නැත.

එහෙත් මේ යථාර්ථය ජාත්‍යන්තරයට නිවැරැදිව විනිවිදභාවයෙන් යුතුව සන්නිවේදනයවීමේ ගැටලු‍වක් පවතී. එය අපේ යාන්ත්‍රණයේ දුර්වලතාවකි. කිසියම් රටක දී අපේ රටට එරෙහිව සැබෑ විනිවිදභාවයෙන් තොරව යම් කටයුත්තක් සිදුවන විටදී රටක් හැටියට වහාම ඒ වෙනුවෙන් සියලු‍ දෙනා එක්ව ප්‍රතිචාර දැක්වීමේ සංවිධානාත්මක පරිසරයක් ගොඩනැගී තිබිය යුතුය. ශ්‍රී ලංකාව යනු ජාතික සංහිඳියාව වෙනුවෙන් සැලකියයුතු කාර්යභාරයක් කළ රටකි. අප ජාත්‍යන්තරයට ගෙන යා යුත්තේ ඒ පොදු මතයයි. එසේ නොමැතිව එක් එක් පුද්ගලයන්ගේ හෝ කණ්ඩායම්වල ව්‍යාපෘති අනුව ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන අනුව පමණක් කටයුතු කිරීම පිළිගත නොහැකි දෙයකි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 59 වැනි රැස්වීම මේ වනවිට පැවැත්වේ. එය මෙම මස 9 වැනිදා දක්වාම පැවැත්වීමට නියමිතව තිබේ. මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණියේ එම රැස්වීම පැවැත්වෙන අතරතුරය. ඔහු ලංකාවේ සැබෑ තත්ත්වය ඒ අනුව දකින්නට ඇත. ඒ අනුව මේ වනවිට මානව හිමිකම් කවුන්සිලය අපට එරෙහිව කරුණු තුනක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත. ඉන් එකක් නම් 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවයි. කෙසේ වෙතත් මානව හිමිකම් කවුන්සිලය මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන කාරණයේ යම් සත්‍යතාවක් ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට මානුෂීය මුහුණුවරක් ලබාදීමට නොහැකිය. මෙම පනත ගෙන ඒමට බොහෝ හේතු බලපා තිබුණත් ඒ කාලයේ සිටම එය යොදාගත් බව පෙනෙන්නේ දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමටය. ඒ වෙනුවට අපට ජාතික ආරක්ෂණ පනත ක්‍රියාවට නැංවීමේ හැකියාව පවතී. අප ඒ සම්බන්ධයෙන් වහා අවධානය යොමු කිරීම වැදගත් වේ. මේ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් අවශ්‍ය වේ.

දෙවැනි කාරණය නම් ඔන්ලයින් පනතයි. මෙහි කාරණා අටක් සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. එමගින් යම් යම් ආකාරයෙන් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය වන බව කියැවේ. කෙසේ වෙතත් වෙල්කර් ටර්ක් මහතා නිවැරැදිව හඳුනා නොගත් කාරණය නම් 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති  පනතේ 19 වැනි ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ   භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අසීමිත යැයි කියා   නොවේ. රාජ්‍ය ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව, අපහාසය, මහජන සෞඛ්‍ය වැනි හේතු මත සාධාරණ සීමා ඉදිරිපත් කළ හැකිය. එය ඇමෙරිකා එක්සත් ජනපදය පවා අනුගමනය කරන ක්‍රමයකි. එබැවින් මෙම පනත සම්බන්ධයෙන් පුළුල් සාකච්ජාවකට හා අවබෝධයකට පැමිණ මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශ ඉදිරිපත් කිරීමට තිබුණි.

වෙල්කර් ටර්ක්  මානව හිමිකම් කොමසාරිස්වරයා අවධාරණය කරන තවත් කාරණයක් නම් ලංකාව යම් දියුණුවක් ලබා ඇති බවත් එය දීර්ඝ දියුණුවක් බවට පත්විය යුතු බවත් ය. ඒ සඳහා තාක්ෂණික ආධාර ලබා දීමට ඔවුන් සූදානම් බවත් ය. ඔහු ඉතා වැදගත් දෙයක් මෙහිදී ප්‍රකාශ කරයි. එනම් දේශීය යාන්ත්‍රණයක් යොදාගත යුතු බවත්  එය ජාත්‍යන්තර ප්‍රමිති අනුව  සකස් කළ යුතු බවත් ය. ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ  පමණක් නොව පොදු රාජ්‍ය මණ්ඩල ආධාර ආදියද ලබාගෙන මෙම යාන්ත්‍රණය ගොඩනැගීමේ හැකියාව පවතී. එහෙත් 2009 සිට මේ දක්වා සියලු‍ ආණ්ඩු ඒවාට සූදානම් වන්නේ කිසියම් ප්‍රශ්නයක් පැනනගින අවස්ථාවේදී පමණය. සිදුවිය යුත්තේ එය නොවේ. ඊට අවශ්‍ය විසඳුම් ඉදිරිපත් කරමින් දිගුකාලීන හා කෙටිකාලීන සැලසුම් කල්තබා සකස් කිරීමය.

මැක්ස්වල් පරණගම කොමිෂන් සභා වාර්තාව උදාහරණයකට ගතහොත් අතුරුදන් වූවන් පිළිබඳ සියලු‍ විස්තර එහි ඇතුළත් වේ. ඒවා සිදුවූ ආකාරය දැක්වේ. එල් එල් ආර් සී වාර්තාව, උගත් පාඩම් කොමිෂන් වාර්තාව ආදිය මේ සඳහා ප්‍රයෝජනයට ගත හැකිය. මේ සියල්ල දේශීය යාන්ත්‍රණයක් යටතේ සැකසූ ඒවා වේ. ඒත් කිසිම රජයක් මේ වාර්තා ප්‍රයෝජනයට ගනිමින් මේ කියන දේශීය යාන්ත්‍රණය ජාත්‍යන්තර ප්‍රමිති අනුව සකස් කිරීමට උනන්දු වූ බවක් නොපෙනේ.

මානව හිමිකම් කවුන්සිලයේ තම නියෝජිතයන් පිරිස ඉන් පිටතට ගැනීමට  ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පියවර ගත්තේය. 46-1, 56-1, 57-1 ආදිය ඉදිරියට ගෙන ගියේ ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහය ඇතිවය. දැන් ඇමෙරිකාවේ සහයද ඔවුනට නොලැබේ. දැන් අප කළ යුත්තේ අපට හිතවත් රටවල් හා එක්ව මේ සම්බන්ධ සාධාරණ මතයක් ජාත්‍යන්තරව ගොඩනැගීමට උනනන්දු වීමය. දැන් නව ආණ්ඩුවක් බලයට පත්ව සිටියි. ඔවුන්ට නව දර්ශනයක් ඇති බව පෙනේ. එහෙත් මේ වනතෙක් පාර්ලිමේන්තුවේ මානව හිමිකම් පිළිබද කාර්ය සාධක බළකායක් නොමැත. ගම් මට්ටමින් ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් ද දැකිය නොහැකිය. අඩුම තරමේ මානව හිමිකම් සම්බන්ධ අමාත්‍යවරයකුවත් ලංකාවේ නැත. ජාතික සංහිදියාව, වගවීම සම්බන්ධයෙන් දිගින් දිගටම ලංකාව කෙරෙහි අවධානය යොමු වන විට මේ ගැන ගැඹුරින් සිතා බලා කටයුතු කළ යුතුව ඇත. කෙසේ වෙතත් මානව හිමිකම් සම්බන්ධයෙන් ප්‍රධාන රටවල් පහක් අප දෙස බලා සිටියි. අප දැන්  කළ යුත්තේ අපගේ හිතවත් රටවල් සමග එක්ව ඉදිරි වසර පහ සදහා මානව හිමිකම් සම්බන්ධයෙන් අපගේ යෝජනා හා වැඩපිළිවෙළ හඳුන්වාදීමය. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව ලෝකයට පෙන්වීමය.

ශ්‍රී ලංකාවේ මූලික මිනිස් අයිතිවාසිකම් රකින්නට 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යහපත් දෙයක් කළේය. එනම් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමය. එපමණක් නොව ඒ සම්බන්ධයෙන් වෙනම පනතක් ගෙන ඒමය. එහෙත් මෙහි ක්‍රියාකාරීත්වය ගැනවත් මානව හිමිකම් කොමසාරිවරයා කතා කළ බවක් පෙනුණේ නැත. ඒ නිසා මෙය තවදුරටත් පණ ගන්වා ක්‍රියාත්මක කළ යුතුය.

(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)



අදහස් (0)

මානව හිමිකම් අභූත චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 877 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site