IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මත්ද්‍රව්‍ය විරෝධී සටනට සහායවීම කාගේත් යුතුකමක්

ගෙවුණු 2022 වසරේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, පොලිස් ස්ථාන හා වෙනත් අංශ එක්ව දිවයින පුරා කළ වැටලීම්වල දී හෙරොයින් කිලෝ 1548 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 46258 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසන බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් කෝටි 2090 කට අධික  බවද එම ප්‍රවාත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

රට හමුවේ ඇති බරපතළම තර්ජනය මෙම මත්ද්‍රව්‍ය වේ. දැනට පවතින ආර්ථික අර්බුදය දුරින් දුරුවී ඩොලර් වැසිවැටී අප රට සෞභාග්‍යයේ මතු මහලට ඔසොවා තැබුව ද එබඳු රටක ආසිරි සිරිය විඳිමින් ජීවත්වීමට මිනිස් පරම්පරාවක් මේ රට තුළ කුඩු වසංගතය නිසා ඉතිරි නොවනු ඇත. ඒ වෙනුවට සිහි විකල්වූ අත් පා කෙසඟවී ගිය රෝගී මිනිස් පරම්පරාවක් ඉතිරිවනු ඇත. මත් රකුසාට එරෙහි සටන අන් සියලු සටන්වලට ඉහළින්  ඔසොවා පෙරට ගත යුතු වන්නේ එහෙයිනි.

අප රට දූපතකි. එය අතිරේක වාසියක් බවට පත් කර ගත යුතුය. අප රටට කුඩු ගෙනෙන්නේ විදේශවලිනි. ඒ සඳහා ඇත්තේ මාර්ග දෙකකි. එක් මාර්ගයක් ගුවනය, අනෙක් මාර්ගය මුහුදය. ගුවන් මාර්ගය ආරක්ෂාකාරී කරවීම පහසුවෙන් කළ හැකිය. මුහුදු මාර්ගය ආරක්ෂා කර ගැනීම අසීරු වුවද එය කළ නොහැක්කක් නොවේ. ශ්‍රී ලංකා  නාවික හමුදාව ඒ වෙනුවෙන් සක්‍රීයව යොදා ගත හැකිය. කරුණු කාරණා එපරිදි වුවද අප රට ලෝක මත්ද්‍රව්‍ය ජාලයේ මර්මස්ථානය බවට පත් වූයේ කෙසේ ද යන්න බලධාරීන්ගේ අවධානයට යොමු කළ යුත්තකි.

මත්ද්‍රව්‍ය සම්බන්ධ දේශපාලන සංවාදවල දී අප රටට කුඩු ගෙන්වන්නේ දේශපාලනඥයන් බවට නිතර කියැවෙන්නේය. රටට ඇති බරපතළම තර්ජනය එබඳු ප්‍රකාශවලින් හෑල්ලුවී යයි. කුඩු ගෙන්වන්නේ දේශපාලනඥයන් නම් ඔවුන්ගේ නම් ගම් ප්‍රසිද්ධියේ කීමට තරම් කශේරුකාවක් තිබිය යුතුය. එසේ සාක්ෂි නොමැතිනම් කට වාචාලකමට නන් දෙඩවීමෙන් සිදුවන්නේ ඇත්ත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අවශ්‍ය රැකවරණය ලැබීමය. මත්ද්‍රව්‍ය ගංවතුරක් රට පුරා පැතිර යාමට එබඳු අනුග්‍රාහක බවතුන්ගෙන් ද ලැබෙන්නේ මනා පිටිබලයකි.

මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා සූක්ෂම හා සංවිධානාත්මකව සිදුවන්නකි. මෙයට දෙතුන් වසරකට පෙර වාර්තා වූයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළුණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගත් බවය. පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය පිහිටුවා තිබෙන්නේම මෙන්ම එහි ප්‍රධානම රාජකාරිය මත්ද්‍රව්‍ය වැටලීමය. ජාවාරම්කරුන් අත්අඩංගුවට ගැනීමය. එබඳු වැදගත්, තීරණාත්මක හා සංවේදී ආයතන ව්‍යුහයක් තුළට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රිංගීමට හැකි වූයේ නම් එමගින් පැහැදිලි වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම කෙතරම් සංවිධානාත්මකව සිදු වන්නේ ද යන්නය. මෙම සංවිධානාත්මක බව අතීතයට පමණක් වලංගු වන්නක් නොවේ. එය අදට මෙන්ම හෙට ද වළංගු වන්නකි. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රට මුදා ගැනීමට නම් බලධාරීන්ට එහි අභ්‍යන්තරයේ නිවැරැදි පැත්ත වටහා ගැනීම වැදගත්ය.

විදේශයන්හි සිට මෙරටට ගෙනෙන මත්ද්‍රව්‍ය ඈත මුහුදේ දී බෝට්ටුවලට පටවා ගොඩබිමට රැගෙන යන බව මත්ද්‍රව්‍ය වැටලූ බොහෝ අවස්ථාවල අනාවරණය වූවකි. මෙම බෝට්ටු ඇත්ත මාළු බෝට්ටු විය හැකිය. අමතරව මහාධන නිධානයක් උපයා ගැනීමට ඔවුන් එසේ පෙළඹෙනු ඇත. නැතහොත් මෙම බෝට්ටු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහාම යෙදවෙන බෝට්ටු වේ. එහෙයින් මුහුදු යන සෑම බෝට්ටුවක්ම මාළු ඇල්ලීම සඳහා යන්නේ ද යන්න පරීක්ෂා කළ යුතුය. ඒවා අසීරු දේ නොවේ. මත්ද්‍රව්‍ය මැඩලීමට ඇත්ත අවංක වුවමනාවක් තිබේ නම් බොහෝ පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි දේය.

ජාතික ආරක්ෂාව යනු ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීම පමණක් නොවේ. මෙවැනි භයානක අනතුරුවලින් රට ආරක්ෂා කිරීමට ජාතික ආරක්ෂාවට අයත්ය. එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ මෙහෙයුමට නිර්ලෝභීව සහාය දැක්වීම සෑම පුරවැසියකුගේම වගකීමය. එම වගකීම නිසි රිසි ලෙස ඉටු නොකරන්නේ නම් එමගින් විනාශ වන්නේ ඕබේම දරුවාගේ ජීවිතය වේ.

(***)



අදහස් (0)

මත්ද්‍රව්‍ය විරෝධී සටනට සහායවීම කාගේත් යුතුකමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site