IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


මත්ද්‍රව්‍ය ජාවාරම කවදා නිමවේද?

මත්ද්‍රව්‍ය ජාවාරම යනු නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය කිරීම, බෙදාහැරීම හෝ විකිණීම හෝ සම්බන්ධ කටයුතු යටතට අයත් වන අපරාධයකි. මත්ද්‍රව්‍ය ජාවාරම සහ මත්ද්‍රව්‍ය භාවිතය යනු එකිනෙකට බද්ධ වූවකි.

මත්ද්‍රව්‍ය ජාවාරම ඉහළ යන විට මත්ද්‍රව්‍ය භාවිතය ද ඉහළ යයි. මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යන විට මත්ද්‍රව්‍ය ජාවාරම ඉහළ යයි. මෙය එකිනෙකට වෙන් කළ නොහැක්කකි. මූලික වශයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම නීති විරෝධී ව්‍යාපාරයකි. කුඩා පරිමාණ ලෙස වීදියේ සිදුවන ජාවාරම්වල සිට මහා පරිමාණ අපරාධ සංවිධාන දක්වා වපසරිය මත්ද්‍රව්‍ය ජාවාරමට අයත් වේ. එනම් විශාල පරාසයක් පුරා පුළුල්ව ව්‍යාප්ත වූ ජාලයකි. මෙය සෘජුවම අපරාධ හා සම්බන්ධ ක්‍රියාවකි. මෙරට සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ ද මත්ද්‍රව්‍ය වේ. අපරාධකරුවෝ බොහෝ දෙනෙක් මෙම මත්ද්‍රව්‍ය මගින් උපයන මුදල් විශුද්ධිකරණයෙන් නීත්‍යනුකූල මුදල් බවට පත් කිරීමට උත්සාහ කරති.

මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා බොහෝ රටවල ව්‍යාප්ත වූවකි. ලෝකයේ භයානකම ව්‍යසනය අන්තරායකර මත්ද්‍රව්‍ය වන අතර, එය ලෝකයේ බලවත්ම ව්‍යාපාරයක් බවට ද පත්ව තිබේ. එම නීති විරෝධී ව්‍යාපාරයේ ආධිපත්‍යය දරන්නෝ බොහෝ විට පාතාල නායකයෝය. රන් ත්‍රිකෝණය නමින් හඳුන්වන තායිලන්තය, මියන්මාරය සහ ලාඕසය වැනි රටවල් මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රමුඛ රටවල් වේ. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින ජාවාරම්කරුවනට ඉන්දියානු සාගර කලාපය යනු තෝතැන්නකි. මෙම මුහුදු සීමාවේ සිට ලෝකයේ ඕනෑම කලාපයකට මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදු කිරීමට ඔවුනට පහසුවක් වී තිබෙන්නේ භූගෝලීය පිහිටීම නිසාය. ඉන්දියානු සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවරමේ ප්‍රධාන හුවමාරු මධ්‍යස්ථානයකි. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ගුවන් මාර්ග හරහා, කන්ටේනර් සහ මුහුදු මාර්ග හරහා සිදු වේ. බහුලව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුවන්නේ මුහුදු මාර්ග හරහාය. ධීවරයන් සහ ධීවර යාත්‍රා මගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදු කරනු ලබයි. ලොව බොහෝ රටවල් මේ හරහා සම්බන්ධ වේ. එයින් අපරාධ ජාලයක් ද නිර්මාණය වේ.

ජාතික අන්තරාදායක ඖෂධ නියාමන අධිකාරියේ වර්තාව අනුව 2025 වර්ෂයේ ජනවාරි මස සිට ජුලි මස වනවිට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවන් ගණන 1,13,708 කි. ශ්‍රී ලංකාවේ වර්තමාන මත්ද්‍රව්‍ය ජාවරම පිළිබඳව සැලකීමේ දී අයිස් මත්ද්‍රව්‍යයේ විශාල වැඩිවීමක් සිදු වෙමින් පවතී. 2025 වර්ෂයේ ජනවාරි මස සිට ජුලි මස වනවිට අයිස් කිලෝ 1390 ක් පමණ අත්ඩංගුවට ගෙන තිබේ. මෙරට ඉතිහාසයේ ගොඩබිමේ දී එකම ස්ථානයකින් සොයා ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස සැලකෙන අයිස් හා හෙරොයින් කිලෝ 635 ක් ගිනි අවි තොගයක් තංගල්ලේ දී අත්අඩංගුවට ගැනීම ආසන්නම සිදුවීම වේ. මෙම මත්ද්‍රව්‍ය තොගයට අයිස් කිලෝ 390 ක් හා හෙරොයින් කිලෝ 245 ක් අඩංගු විය. 2023 වර්ෂයට සාපේක්ෂව බැලූ කල 2024 වර්ෂයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ අත්ඩංගුවට ගැනීම් සියයට 41 කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව පැහැදිලි වන කරුණ වන්නේ වසරින් වසර මත්ද්‍රව්‍ය ජාලය පුළුල් වන බවය. දත්ත වාර්තා අනුව වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නෝ වයස අවුරුදු 19 ත් 26 ත් අතර තරුණයෝය. ඒ අතරින් වැඩි ප්‍රතිශතය පිරිමිය.

සමාජ විද්‍යාත්මකව අධ්‍යයනයේ දී පෙනී යන්නේ මත්ද්‍රව්‍යවලට වඩාත් යොමු වී ඇත්තේ කම්කරුවන්, රැකියා විරහිත ප්‍රජාව සහ ස්වයං රැකියාවල නියැළෙන්නන් බවය. සිදු කළ පර් යේෂණයකට අනුව සනීපාරක්ෂක කම්කරුවන් වැඩි වශයෙන් මත්ද්‍රව්‍යවලට යොමු වී ඇති බව නිගමනය විය. එයට හේතුවී තිබෙන්නේ ඔවුන්ගේ රැකියාවේ ස්වභාවයයි. සමාජ ආර්ථික අස්ථාවරත්වය පුද්ගලයන් මත්ද්‍රව්‍ය ජාවරම් කෙරෙහි යොමු වීමට බලපායි. මත්ද්‍රව්‍ය ජාවා‍රමෙන් ඉතා කෙටි කාලයක් තුළ වැඩි මුදලක් උපයා ගත හැකි වීම මත්ද්‍රව්‍ය ජාවාරම් කෙරෙහි යොමු වීමට ප්‍රධාන සාධකයකි.

මත්ද්‍රව්‍ය ජාවාරමේ සමාජීය බලපෑම පිළිබඳව විමසා බැලීමේ දී එය සෘණාත්මක බලපෑමක් ඇති කරයි. එනම් පුද්ගලයා, පවුල, සමාජය කෙරෙහි ප්‍රබල ලෙස බලපෑම් කරයි. සමාජයක් තුළ කුඩාම ඒකකය වූ පවුලේ සිට සමස්ත සමාජයේම පිරීහීම මෙමගින් සිදු වේ. පවුල් සංවිධන බිඳ වැටීම, පුද්ගල සෞඛ්‍යයට ප්‍රබල ලෙස හානි කිරීම, සමාජය තුළ වගකීම් රහිත පුද්ගලයකු බවට පත්වීම, සමාජ අපචාර අපයෝජන දූෂණ ඉහළ යාම, සමාජ අපකීර්තිය, සමාජයෙන් හුදකලා වීම, ආත්මාභිමානයට හානිවීම ආදී බලපෑම් රාශියක් මත්ද්‍රව්‍ය හරහා සමාජය තුළ සිදුවේ.

කාන්තාව සහ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව විමසීමේ දී මේ වසරේ ගෙවී ගිය මාස 8 කට ආසන්න කාලයේ දී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් 524 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්ව ඇති බොහෝ කාන්තාවන් අවුරුදු 22ත් 60ත් අතර විවාහක කාන්තාවන් වන අතර ඉතා සුළු පිරිසක් තරුණියෝය. එම තරුණියන්ගේ මවුපියෝ බොහෝ දුරට අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ හෝ ජාවාරමේ නිරත වන්නෝය. ඔවුන්ගේ ජාවාරමට සහාය දීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටිය දී බොහෝ තරුණියන් අත්අඩංගුවට ගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඊට අමතරව ගංජා සම්බන්ධයෙන් කාන්තාවෝ 378 ක්, හෙරොයින් සම්බන්ධයෙන් කාන්තාවෝ 434 ක්, මත්පෙති සම්බන්ධයෙන් කාන්තාවෝ 23 දෙනෙක්, හෑෂ් සම්බන්ධයෙන් කාන්තාවෝ 6 දෙනෙක්, වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කාන්තාවෝ 39 ක්, කොකේන් සම්බන්ධයෙන් කාන්තාවෝ 2 දෙනෙක් ඉකුත් මාස 8 ඇතුළත අත්අඩංගුවට ගනු ලැබ සිටිති. මේ අනුව මෙම වසරේ මුල් මාස අටක කාලය තුළ වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 882 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 2024 වසරේ දී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් කාන්තාවෝ 428 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ඒ අනුව මේ වසරේ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන්ගේ වර්ධනයක් දැකිය හැකිය. ඉකුත් වසරේ හොරොයින් සම්බන්ධයෙන් කාන්තාවෝ 530 ක්, ගංජා සම්බන්ධයෙන් කාන්තාවෝ 621 ක්, හෑෂ් සම්බන්ධයෙන් කාන්තාවෝ 2 ක්, මත්පෙති සම්බන්ධයෙන් කාන්තාවෝ 34 දෙනෙක්, කොකේන් සම්බන්ධයෙන් කාන්තාවෝ 4 දෙනෙක්, වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කාන්තාවෝ 43 දෙනෙක් අත්අඩංගුවට පත්ව සිටිති.

කාන්තාවන් මත්ද්‍රව්‍ය වෙළෙදාම් නොකරන ප්‍රවාහනය නොකරන ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත නොවන බවට සමාජයේ යම් විශ්වාසයක් ගොඩනැගී තිබුණි. මෙම විශ්වාසය ඉතාමත් සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ප්‍රයෝජනයට ගනු ලැබ ඇති බවක් පෙනී යයි. ඔවුහු ඉතා පහසුවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ වෙළෙඳාමට කාන්තාවන් යොදා ගත්හ. ජාවරම්කරුවන්ගේ විශ්වාසය වූයේ කාන්තාවන් හරහා කරන මෙම ජාවාරමට ආරක්ෂක අංශවලින් බාධාවක් නොවන බවයි. අතීතයේ දී ආරක්ෂක අංශත් බොහෝ අවස්ථාවලදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කාන්තාවන් වැඩිදුර පරීක්ෂණයට ලක් නොකිරීම ද ජාවාරම්කරුවන්ට විශාල පිටිවහලක් විය. එබැවින් දීර්ඝ කාලයක් තිස්සේ බොහොම පහසුවෙන් කාන්තාවන් යොදවා ගනිමින් මේ කටයුත්ත කරගෙන ගියේය.

ශ්‍රී ලංකාව තුළ මෙලෙසින් මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්තිය සඳහා බලපෑම් කරනු ලබන සාධක රාශියකි. ඉන් ප්‍රබල සාධකයක් ලෙස දේශපාලන අනුග්‍රාහකත්වය දැක්විය හැකිය. වරදකරුවන් මුදා ගැනීම, දඬුවම් ලිහිල් කිරීමට දේශපාලන සම්බන්ධතා හරහා සිදු කරනු ලබන බලපෑම මත්ද්‍රව්‍ය ජාවාරම තවදුරටත් ව්‍යාප්ත කිරීමට දායකත්වයක් සපයයි. දේශපාලන සම්බන්ධතාව වියුක්ත කළ යුතුය. ඇතැම් ප්‍රධාන මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා මත්ද්‍රව්‍ය ජාවාරම සමාජගත කිරීම සිදු වෙයි. යම් යම් ටෙලිනාට්‍ය චිත්‍රපට හරහා ද මත්ද්‍රව්‍ය ජාවරම් සඳහා තෝතැන්නක් නිර්මාණය කරයි. එබැවින් මාධ්‍යයේ වගකීම් සහ කාර්යභාරය වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් අවම කිරීමට අවශ්‍ය උත්තේජනය සහ පෙළැඹවීම ලබා දීමය. මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩීමට ක්‍රියාත්මක වන නීති පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම වැදගත් වේ. නීති පද්ධතිය ශක්තිමත් කිරීම හරහා පුද්ගලයන් මත්ද්‍රව්‍ය ජාවාරම් වෙත යොමු වීම සීමා කිරීමට පවතින ශක්‍යතාව ඉහළ යනු ඇත. ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය වැරැදි සඳහා වන නීතිරීති ඉතා දැඩිවන නමුත් නීතිරීති ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණයේ විශාල දුර්වලතා පවතී. එම නිසා පවත්නා නීති සහ කාර්ය පටිපාටි සමස්ත අපරාධ මර්දනයට වැඩි බලයක් ලැබෙන ලෙස නැවත සංශෝධනය කිරීම ජාතික අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.

එම කාර්යයේ දී නීතියේ ශක්තිමත්භාවය පිළිබඳව ව්‍යවස්ථාදායකය සැලකිලිමත් වීම වැදගත්ය. පුද්ගලයකු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ විට ඇප මත නිදහස් කිරීම පමණක් නොව ඔවුන්ට විකල්ප වෘත්තීන් ක්‍රමවේද වෙත යොමු කිරීම, පුනරුත්ථාපනයට යොමු කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය. එලෙසම කුඩා දරුවන්ගේ සිටම මත්ද්‍රව්‍ය ජාවාරම සහ දඩුවම් නීතිය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක් විය යුතුය. රජයකින් ඉදිරිපත් කෙරෙන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්වල මූලිකවම ඉලක්ක කරගත යුත්තේ එම මත්ද්‍රව්‍ය ජාලය සතු සෑම ස්ථරයක්ම අඩපණ කිරීමයි. මෙම ජාලය පාරිභෝගිකයාගේ සිට අන්තර්ජාතික බෙදාහරින්නා දක්වා විශාල වපසරියකට විහිදී ගියත්, ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ යාන්ත්‍රය තුළ ඉලක්ක ගත වන්නේ හුදෙක්ම පහළම ස්ථරයේ බෙදා හරින්නා සහ භාවිත කරන්නා පමණි. එබැවින් නිසි ලෙස සෑම ස්ථරයක්ම නියෝජනය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණය සිදු කළ යුතුය.

(*** සටහන - ශෂිකා අබේරත්න)



අදහස් (2)

මත්ද්‍රව්‍ය ජාවාරම කවදා නිමවේද?

Lalith Tuesday, 07 October 2025 12:00 AM

බයවෙන්න එපා නෝනා... තව මාසයයි.

:       0       0

Kamal Koyrala Thursday, 09 October 2025 11:03 AM

ලංකාවේ යල්පැනගිය රෝම, ලන්දේසි නීති ඉවත්කර දණ්ඩ නීතිය දැඩි කළ යුතු අතර මත්ද්‍රව්‍ය සදහා මරණ දණ්ඩනය ඇතුළත් කළ යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 286 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site