IMG-LOGO

මට තිබෙන්නේ කලකිරීමක්

කලක් යුද හමුදාවේ සේවය කළ ඇය පසුව තමන්ගේම නිමි ඇඳුම් ව්‍යාපාරයකුත්, උද්‍යාන අලංකරණ ව්‍යාපාරයකුත් ආරම්භ කළේ තම සැමියාගේ මඟපෙන්වීම නිසාවෙනි. පසුව මහේන්ද්‍ර පෙරේරා යටතේ කලාව ඉගෙනගත් ඇය මැලේසියාවේදී සිනමාව පිළිබඳව වැඩිදුර අධ්‍යාපනයක්ද හැදෑරුවේ කලාවට ඇති ආශාව නිසාවෙනි. තම සැමියා අධ්‍යක්ෂණය කළ කුළුඳුල් සිනමා නිර්මාණය  ‘හිතුමතේ ජීවිතේ’ නිෂ්පාදනය කරමින් ශ්‍රී ලාංකේය සිනමාවට නිෂ්පාදිකාවක් ලෙස එක්වන ඇය නමින් විහාරා සමරසිංහය. දැනට තිරගත වන ‘ආශාවරී’ චිත්‍රපටයට පසු ඊ.ඒ.පී. මණ්ඩලයේ තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටය පිළිබඳවත්, වත්මන්  සිනමාවේ පවතින අභියෝග පිළිබඳවත් අපි විහාරාගෙන් ප්‍රශ්න කළෙමු. මේ එම සංවාදයේ ලිඛිත සටහනයි.

 

සත්‍ය කතාවක් ඇසුරෙන් ‘හිතුමතේ ජීවිතේ’ චිත්‍රපටය කරන්න එයා සිතුවේ ඇයි?

මාධ්‍ය විසින් සත්‍ය කතාවක් කියලා ප්‍රසිද්ධ කර පස්සේ මාධ්‍ය විසින්ම එය සත්‍ය කතාවක් නොවන බවට ප්‍රකාශ කළා. එහෙත් මේ කතාව මෙරට සිදුවූ සත්‍ය කතාවක්. සුමතිපාල, ඩේල්ෆ්හම් කඳවුරේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය බව ආචාර්ය චාල්ස් දයානන්ද ලියූ පොතක සඳහන් වෙනවා. එහෙම වුණත් පොලිස් විමර්ශන හමුවේ සත්‍ය සිදුවීමක් ඇසුරින් යන්න ඉවත් කරන්න සිදුවුණා. ඒ පිළිබඳව අපට කනගාටුවක් නෑ. ‘හිතුමතේ ජීවිතේ’ සිනමා නිර්මාණය ජාත්‍යන්තරව ඇගැයීමට ලක්වුණා. විශාල වියදමක් දරා ප්‍රවීණ නළු නිළි පිරිසක් යොදාගෙන මම මේ නිර්මාණය වෙනුවෙන් දායක වුණා.

 

මේ කාලයේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන එක සියදිවි හානිකර ගන්නවා වගේ වැඩක් නේද?

හොඳ නිර්මාණවලට තවමත් ලාංකේය සිනමාව තුළ විශාල ඉල්ලුමක් තිබෙනවා. එහෙත් කරන්නන් වාලේ කරන අඩු වියදම් නිර්මාණ නිසා ප්‍රේක්ෂකයන් මදින් මද පසුගිය කාලය තුළදී සිනමාවෙන් ටිකෙන් ටික ඈත්වුණා. ඒ වගේම පවතින කොවිඩ් තත්ත්වයත් මෙයට බලපෑවා කියලයි මම හිතන්නේ. හොඳ නිර්මාණයකට අතගැසීම සියදිවි නසාගැනීමක්  වෙන්නේ නෑ. මොකද එය ප්‍රේක්ෂකයා ආදරෙන් වැළඳගන්න බව මට විශ්වාසයි. ඒ නිසයි හොඳ නිර්මාණයක් වෙනුවෙන් මුදල් ආයෝජනය කළේ.

 

චිත්‍රපටයක් නිර්මාණය කළත් අද පවතින බෙදාහැරීමේ රටාව නිසා එය ප්‍රේක්ෂකයා වෙත ගෙනයෑම අසීරු වෙලා තියෙනවා නේද? ඒ තුළ නිෂ්පාදකයා අනාථයි නේද?

ඉතාම වැදගත් කාරණාවක්. විධිමත්  ක්‍රමවේදයක් නොමැති නිසා බෙදාහැරීමේදී විශාල ගැටලු මතුව තිබෙනවා. මෙය සියලු චිත්‍රපට බෙදා හැරීමේ මණ්ඩල අවංකවම එකතුවී කටයුතු කළ යුතු කාලයක් ලෙසයි මා දකින්නේ. එහෙත් තවම එහෙම වෙන්නේ නෑ. සිනමාපටයේ ගුණාත්මකභාවය ගැන කිසිදු සැලකිල්ලක් නොගෙන හිතන හිතන විදිහට සමහර මණ්ඩල බෙදා හැරීම් සිදුකරනවා. මේක විශාල අසාධාරණයක්. ඔබ කිව්වා වගේ මෙතනදී නිෂ්පාදකයා අනාථ වෙනවා තමයි. ඒ හින්දයි එකතුවී වැඩ කරන්න කියා මා ඉල්ලන්නේ.

 

අද වන විට සිංහල චිත්‍රපට පෙන්වන්න වෙලා තිබෙන්නේ සිනමා ශාලා 40 කටත් අඩුගාණකයි. සිනමාශාලා බොහොමයක් වැහිලා ගිහින්. ඒ තත්ත්වය තුළ කොහොමද සිනමා කර්මාන්තයක් ගෙනියන්නේ?

මටත් මේ පිළිබඳව තිබෙන්නේ දැඩි කලකිරීමක්. සිනමාව පිළිබඳව වගකියන සංස්ථාවක් තියෙනවා. මේ කාරණා සොයා බලා කටයුතු  කිරීම තමයි ඔය කියන ආයතනයේ වගකීම වෙන්නේ. ඒක හරි හැටි වෙනවාද? එහෙම නම් මේ තරම් සිනමාහල් වැසීයයිද? මට තිබෙන ප්‍රශ්නය ඒකයි.

 

ඔබේ චිත්‍රපටයට චිත්‍රපට සංස්ථාවෙන් කිසිම උදව්වක් ලැබුණේ නැද්ද? ජාත්‍යන්තර සිනමා උළෙලවල් ජයග්‍රහණය කළා නේද?

ජගත් සම්මාන ලැබුණත් එහෙම දැනෙන තරමේ උදව් නම් අපට ලැබී නෑ. ඒ වගේම මම උදව් බලාපොරොත්තු වුණේත් නෑ.

 

රාජ්‍ය මට්ටමින් සිනමා ජාතිත ප්‍රතිපත්තියක් පසුගියදා එළිදක්වනු ලැබුවා. මේ පිළිබඳව ඔයා දැනුවත්ද? මොකද ඒ ගැන හිතෙන්නේ?

තවම නම් මට කියවන්න ලැබුණේ නෑ. එහෙත් රටක සෑම කර්මාන්තයක් සඳහාම ප්‍රතිපත්ති අවශ්‍ය වෙනවා. චිත්‍රපට කර්මාන්තය කියලා වෙනසක් නෑ. අවශ්‍ය වන්නේ මේවා යටගහලා හමස් පෙට්ටියට යොදා ක්‍රියාත්මක කිරීමයි. එහෙම දෙයක් වුණොත් එය සිනමා කර්මාන්තයේ හෙට දවස වඩා යහපත් තත්ත්වයකට ගෙන ඒමට රුකුලක් වෙයි.

 

මේ යන රටාව තුළ අපේ සිංහල සිනමාවට ඉදිරියේදී මොනවා වේවිද? නිෂ්පාදිකාවක් ලෙස ඔබට ඒ ගැන මොකද හිතෙන්නේ?

බාල බොළඳ නිර්මාණ බිහිවෙන රටාවක් මත මෙය තව තවත් පිරිහේවි. ගුණාත්මක වශයෙන් වාණිජ වගේම කලාත්මක සිනමා නිර්මාණ අවශ්‍ය වෙනවා. විධිමත් හැදෑරීමක් සහිත අධ්‍යක්ෂවරුන් අපට අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් විශාල අර්බුදයක් ගොඩනැගේවි.

 

ඔයාගේ ඉදිරි කටයුතු කොයි ආකාරයටද පෙළගස්වා තිබෙන්නේ? සිනමා කර්මාන්තය පැත්තට ඉදිරියටත් එන්න හිතාගෙනද ඉන්නේ?

ඔව්. හොඳ නිර්මාණ බිහි කිරීමට නම්, ඒ පිළිබඳව මනා හැදෑරීමක් වගේම සිනමාව පිළිබඳව අධ්‍යයනය ඉතාම වැදගත් අපි තව තවත් නිර්මාණකරණය ගැන ඉගෙන ගෙන ඉදිරියේදී සාර්ථක නිර්මාණ බිහිකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එළිපිට කතා කිරීමට අකැමැති වුණත් සිනමාව තුළ අද බොහෝ ප්‍රශ්න තිබෙනවා. අලුත් සාර්ථක නිර්මාණ බිහිවෙන්න තිබෙන අවකාශය ඉතාම අඩුයි. සමහර ප්‍රවීණ සිනමාකරුවන්ගේ කෙණහිලිකම්වලටත් මුහුණදීමට සිදුවෙනවා. ඒ වගේම හොඳ අයත් මේ තුළ ඉන්නවා.

සියල්ලම හොඳින් වටහාගෙන අවබෝධයෙන් හිමින් සිනමාව තුළ ගමනක් යන්න මා බලාපොරොත්තු වෙනවා. ‘හිතුමතේ ජීවිතේ’ චිත්‍රපටය දැඩි මහන්සියක ප්‍රතිඵලයක්. මේ චිත්‍රපටය අපේ ආදරණීය සිනමා රසිකයන් වැළඳගන්නා බව මට දැඩි විශ්වාසයක් තිබෙනවා. එය තමයි අපේ සතුට.

(***සමන්ත යහම්පත්)



අදහස් (2)

මට තිබෙන්නේ කලකිරීමක්

nimal Sunday, 20 March 2022 05:34 PM

ඔබට තිබෙන්නේ කලකිරීමක් නම් හිතුමතේ ජීවිතේ අතහැර මිථ්‍යාව පසුපස නොයා මහණවීම සුදුසුම විසඳුම වන්නට පුළුවනි...!

:       2       6

CIscoTuesday, 22 March 2022 11:19 AM

මහණ වෙන්නේ කලකිරීම නිසා නෙවෙයි. උතුම් නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site