ඉස්සර කාල මැජ්ච ඇහිරුකුලට මන්දොකෙරුවොත් මේ ඇත්තන්ට දඩු කැච්චවල්වලින් මංගච්චල නගර පොජ්ජට මංගච්චල කතා දමන්න තරම් ඇත්තන්ට ගැටළු පොජ්ජවල් තිබෙන්න කොදොයි.
හැබැයි අද දවස් පොජ්ජෙ මේ මහ සමාජ පොජ්ජ කියන එකම මේ ඇත්තන් බල පොජ්ජෙන් ඒ තැනට ලාබච්චල තිබෙනවා.
ඉස්සර කාලේ නම් මේ ඇත්තන්ට වාහනවලින් ගිහිල්ල නරගයට ගිහින් කතා කරන්න තරම් ගැටළු අපට තිබුණේ නැහැ. හැබැයි අද දවසේ බාහිර සමාජය අපේ අය බලෙන් එතැනට තල්ලූකරල තියෙනවා.
ආදිවාසී නායක උරුවරිගේ වන්නියලැ ඇත්තෝ ඉරිදා ලංකාදීප සමග පිළිසදරකට එක්වෙමින් එසේ පැවසුවේ මේ දිනවල ආන්දෝලනයක් බවට පත්ව ඇති ආදිවාසී නායකයා ගේ වාහනය පිළිබදව විමසූ අවස්ථාවේය.
ඇත්තටම නායකතුමා මොකක්ද මේ කතාව?
පාලිත හූරා ඕක පරණ කතාවක් නේ. මේ පහසුකම ජනාධිපතිතුමාගේ උපදෙස් මත මට ලැබුණේ 2010 වසරේ ආදිවාසී දිනය දා පටන්.
ජනාධිතිතුමා එක්ක එතුමාගේ නිල නිවාසයේදී අපේ ගැටලූ පිළිබඳව කතා කර කර ඉන්න කොට ජනාධිපති තුමා කිව්වා මට ආදිවාසි කටයුතුවලට වාහනයක් දෙන්න කියල.
වාහනයක් ගන්න මම කැමති උනේ නැහැ. මම කිව්වා මට වාහනයක් දැනට ඕන නැහැ. ගමන් පහසුකමක් දුන්නොත් හොඳයි කියල. ඒ අනුව 2010 අවුරුද්දේ ඉඳල මහියංගණය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මගේ නිල ගමන් බිමන් සඳහා රියදුරෙක් එක්ක කැබ් එකක් එවනවා.
”ඔන්න කියනකොටම එන්නේ ඒ කැබ් එක. අද මට හෙන්නානිගල ආදිවාසීන්ගේ ශ‍්‍රමදාන කටයුත්තකට යන්න තියෙනවා. ඒකයි වාහනය ගෙන්වගත්තේ යැයි පැවසූ ඔහු 250 - 2075 අංකය දරණ කැබ් රථය ළඟටම මා කැටුව ගියේය. බලන්න හූරා මේක තමයි වාහනේ. එසේ කියමින්් එහි තත්ත්වය දැක බලාගන්නට සැලැස්විය.
එය අබලන් වාහනයකි. රියදුරා වන කේ.ජී.ජී.පී. ජයරත්න මහතා මෙසේ කීවේය.
”මම මහියංගණය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයටත්, ඉඩම් කොමසාරිස් කාර්යාලයටත් අනුයුක්තව රැුකියාව කරනවා. කාර්යාලයට වාර්තා කළාම නායක තුමාගේ ගමන් බිමන් සඳහා නායකතුමා කතා කළාම එනවා. මේක අබලන් වාහනයක්. මග දිගට කැඩි කැඞී තමයි යන්නේ. සමහර දාට නායකතුමාටත් බැහැල තල්ලූ කරන්න වෙනවා. වීදුරු වැඩ කරන්නේත් නැහැ. බොහොම අමාරුයි ඇතුල තැම්බෙනවා. නායකතුමා නිතරම කියනවා වාහනවල යන්න කැමැති නැහැ. ඒත් ආදිවාසී කටයුතුවලටත්, ආරාධනාවලටත්, සාකච්ඡුාවලටත් යන්න ඕන නිසා වාහනේ නැතිව බැහැ කියල.”
වන්නියැලැ ඇත්තෝ යළිත් පිළිසඳරට එක්වෙමින්
”අපිට මේ රට තුළ පමණක් නොවෙයි රටින් පිටටත් ලෝකයටත් අපේ ප‍්‍රශ්න ඉදිරිපත් කරන්න වෙනවා. ඒ සඳහා නවීණ තාක්ෂණයත් උදව් කර ගන්න වෙනවා. දේශීය කටයුතුවලදී මට වාහනයක් තියෙන්න ඕනෑ. වාහනයක් නැති නම් ඒ වැඩ කරගන්න අමාරුයි.
අපේ රටේ අවුරුදු 30 ක් යුද්ධය තිබ්බා. යුද්දෙට පස්සේ රට නිදහස් වුණා. ඊට පස්සේ සොයා බැලූවම අපේ පරම්පරාව දිස්ත‍්‍රික් 6 ක ගම්මාන 58 ක ලක්ෂ 5ක් පමණ ජීවත්වන බව අනාවරණය වුණා.
ඒ මිනිස්සුන්ගේ ප‍්‍රශ්න ගැටලූ ගැන කතා කරන්න ඒ ගෙවල්වලට යන්න වාහනයක් තියෙන්න ඕනැ.
ඇත්තම කියනව නම් මට වෙලාවකට කරදරයක්. රටේ කොතැනක හරි ජාතික මට්ටමේ උත්සවයක් තියෙනව නම් මට ආරාධනා කරනවා. ඊට අමතරව පළාතේ විවිධ උත්සවවලට, දේශනවලට ආරාධනා කරනවා.
එහෙම ගිහින් සහභාගිවෙන්න වාහන කුලියට ගන්න මට සල්ලි නැහැ. ඒ නිසා ගෝත‍්‍රික නායකයා හැටියට ඒ කටයුතුවලට යන්න මට වාහන පහසුකමක් තිිබිය යුතුයි.”
ආදිවාසීන් ගැන බාහිර සමාජය හිතන්නේ එහෙම නෙවෙයි නේද? මම නැවත නායකතුමාට ප‍්‍රශ්නයක් යොමු කළෙමි.
|
රියැදුරු කේ.ජී.ජී.පී. ජයරත්න |
”මිනිස්සු හිතන හැටි හරි. මිනිස්සු හිතන්නේ ආදිවාසිීන් ජීවත් වෙන්න ඕනැ කැලෑවේ කැලෑවට ඕන විදියට කියල. ඒ සඳහා ඒ අයට ඒ පරිසරය තියෙනවා කියල හිතාගෙනයි එහෙම කියන්නේ. හැබැයි මිනිස්සු කොහොම කතා කළත් ඔය කතා දමන මිනිස්සුම තමයි මේ ආදිවාසීි මිනිසුන්ගේ ඒ නිදහස නැතිකරල තියෙන්නේ.
ඒ පරිසරය නැති කරල අපට කියනව ආදිවාසී මිනිස්සු කැලෑවෙම ඉන්න ඕන කියල.
මේ කතාව අත්දෙක පිටුපසට බැඳල වතුරට දාල පීනන්න කියල කියනවා වගේ කතාවක්.
කියන කතාව ඇත්ත තමයි. හැබැයි එහෙම වෙන්න නම් පරිසරය තියෙන්න ඕනැ. එහෙම නැතිනම් පරිසරය නැති කොතැනකද පරම්පරාවක් ආරක්ෂාවෙලා තියෙන්නේ.
ආදිවාසීන් දියුණු ලෝකයට ගමන් කරමින් සිටිනවා නේද?
මම නම් හිතන්නේ අපේ අය දියුණු වෙලා නැහැ. ඒ අය සිටින තැනම ඉන්නවා. මටත් තේරෙන්නේ නැහැ මේ යන්නේ කොයිබට ද කියලා. අපේ අය මේ ගමන හිතාගෙන යනවා නොවෙයි. ඒ අය ලඟට සමාජය එනවා.
මේ කාලයේ හැටියට කාලය අනුව වෙනස් නොවී ජීවත්වෙන්න අමාරුයි. එහෙම හිටියොත් කවදා හරි අනෙක් මිනිසුන්ගේ අතකොලූවක් බවට පත්වෙනවා. හැබැයි අපේ සංස්කෘතිය අනුව ජීවත්වෙන එක ලොකු අභියෝගයක්. නමුත් ඒ අභියෝගය බාරගෙන අපි අපේ විදියට ජීවත් වෙන්න උත්සාහ කරනවා.
ලෝකයේ අනෙක් රටවල්වලට සමගාමීව අපේ ගෝති‍්‍රක ජනයා අනාගතය සකස් කර ගනීද?
අපි වගේ ගෝත‍්‍රිකයන් ජීවත් වන රටවල් රැසක එම ගෝති‍්‍රක ජනයා මට හමුවෙලා තියෙනවා.
ඕස්ටේ‍්‍රලියාව, අපි‍්‍රකාව වගේ රටවල ගෝත‍්‍රික ජනයාගේ ගෙවල්වලටත් මම ගිහින් තියෙනවා. කතා බහ කරලා තියෙනවා. ඒ ගෝත‍්‍රිකයන්ගේ ඉංජිනේරුවරු, වෛද්‍යවරු, විදුහල්පතිවරු වගේ රැකියාවන් කරන අයත් ඉන්නවා. අපේ මිනිස්සු ඒ වගේ තැනට යන එක වරදක් නොවෙයි. හැබැයි එහෙම වෙනකොට තමන් කව්ද තමන්ගේ ගෝත‍්‍රය කුමක්ද කියන එක අමතක කරන්නේ නැතිව එතැනට යා යුතුයි.
අද දවසේ අභියෝග මොනවද?
අපේ පරම්පරාවත් කොටස් දෙකකට බෙදිලා. කට්ටියක් පරම්පාරවේ හැටියට ජීවත්වෙන්න උත්සාහ කරනවා. තවත් පිරිසක් ඉස්කෝලේ ගිහින් ඉගෙන ගෙන බාහිර සමාජය සමග ජීවත්වෙන්න උත්සාහ කරනවා. කණඩායම් දෙකම එකම පරම්පරාවේ. ඒ කණ්ඩායම් දෙකටම නායකයා හැටියට මම උදව්කරන්න ඕනැ. උදව් කරන්න ගියාම ගැටලූ මතුවෙනවා.
දැන් ඉගෙන ගන්නා අය රස්සා අරන්දෙන්න කියල ඉල්ලනවා. මට දෙන්න පුළුවන් රස්සාව එක්කො දඩයමක් කරගන්න කියන එක. නැති නම් හේනක් කොටාගන්න දෙන එකයි. රස්සා හොයල දෙන්න නම් මම ආණ්ඩුව එක්ක කතා කරන්න ඕනැ. ආණ්ඩුවටත් කතා කළාම ආණ්ඩුවෙන් රස්සාවක් ගන්න බැරි නම් එතනත් ගැටලූවක්.
පරම්පරාවේ හැටියට ජීවත්වෙන්න උත්සාහ කරන අය දඩයමක් කරගන්න, මීයක් කඩාගන්න කැලේට ගියාම වනජීවි එකේ මහත්තුරු අපේ අය අල්ලල උසාවි දානව. ඒකටත් මට යන්න වෙනවා. මේ වගේ ගැටලූ රාශියක පැටලිලා ඉන්නේ.
අලූත් ඇමැතිතුමා එක්ක මේ ප‍්‍රශ්න ගැන කතා කළේ නැද්ද?
ඔය කියන්නේ විජයමුනි සොයිසා ඇමති ගැන නේ.එතුමා ඌව මහ ඇමති කාලේ ඉඳල හොඳටම දන්නවා.ළඟින්ම ආශ‍්‍රය කළා. ඒ දවස්වල නම් කැලේ කොලේ සතා සිව්පාවා ගැන අපේ පරම්පරාව ගැන කතා කළා. හැබැයි අමැති උනාට පස්සෙ තාම අල්ලගන්න බැරි උනා.
දෙපාරක්ම මෙහාට එනවා කියල පොරොන්දු උනා. අපි රුපියල් දස දහසක් පමණ වියදම් කරලා කෑම හදලා උත්සව සංවිධානය කරලා බලං හිටියත් දෙපාරම ආවේ නැහැ. පණිවුඩ එවල තිබුණා සනීප නැහැ කියල. හැබැයි බලන්න යන්න නම් ඉන්න ඉස්පිරිතාලයක් නම් හොයාගන්න බැරි උනා.
අපේ පළාතෙම කෙනෙක් නිසා කැලෑ ඇමති තුමා මේ ප‍්‍රශ්න තේරුම් අරන් විසඳුම් දෙන්න ඕනැ. එහෙම කරයි කියල මං විශ්වාස කරනවා.එහෙම කලේ නැතිනම් බලපෑම් කරල කරව ගන්නයි හිතාගෙන ඉන්නේයි ආදිවාසී නායකයා පැවසුවේ ගැඹුරු ස්වරයකිනි.
බදුල්ලේ පාලිත ආරියවංශ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා වාහන වල කැලේ පොජ්ජේ කොහේ යන්නද? මොනවා කරන්නද? (නි)
ඇත්තටම මෙතුමා බොහොම හොද කෙනෙක්,නැණවත් නායකයෙක්. අද රට යන අත අනුව මෙතුමා හිර වෙලා ඉන්නේ. මෙතුමා පාසල් නොගියට විශ්ව විද්‍යාලයක දැනුම් සම්භාරයක් අත්දැකීමෙන් ලද කෙනෙක්.එතුමාට සාධාරණයක් ඉටු විය යුතුයි.එලෙසම එතුමාට එතුමගේ පාඩුවේ එයාලගේ පාලනය සම්ප්‍රදායිකව කරගෙන යන්න ඉඩ දිය යුතුයි. තමන්ගේ දරුවා පන්සිල් පද පහ දන්නේ නැහැ,එත් ඒ අය යනවා ආදීවසින්ව සිල් සමාදන් කරවන්න... මේ අයට පාඩුවේ ඉන්න දෙන්න. මෙතුමා කාගෙවත් හිත නරක කරන කෙනෙක් නොවේ. ඒ නිසා සමහර වෙලාවට නිහඬව ඉඩ දීල ඉන්නවා.එතුමාගේ ගතිය ඒ (නි)
කොලඹින් කාර්‍යාලයක් ලැබුණා නම්.(නදී)
රිෂාර්ඩ් මහත්තයෝ,අපේ රටේ හොදයි. වෙන රට වල වැදිනායකවරු ඉන්නේ ඒකේ-47 තියාගෙන තමා. උදාහරණ අප්‍රිකන් රටවල්. ඒකනේ මිනිමරා ගන්නේ (නි)
අපේ කට්ටිය නම් ඉල්ලුවොත් ඉල්ලන්නේ ඒ.කේ.-47 වගේ ඒවා (දී)
තාක්ෂණික දියුණුවෙන් ප්‍රයෝජන ගන්න මෙතුමාට ලැප්-ටොප් එකකුත්, අන්තර්ජාල සම්බන්ධතාවය ලබා ගන්න ඩොන්ගලයකුත් දුන්නානම් හරි. (නි)
වන්නියේ ඇත්තන්ට හොඳ වාහනයක් දුන්නම මොකෝ. එයත් ජන නායකයෙක් එයාගේ ජනතාව ගැන හොයල බලන. නගරේ ඉන්න අපේ දේශපාලකයෝ වගේ නොවෙයි එයා (අ)
වැද්දෝ කියන්නේ පෞරාණික පරම්පරාවක්. ඒ මිනිස්සුන්ගේ, ජීවිතේ තියෙන්න ඕනෑ වනාන්තරයත් එක්ක නේද? (නි)
ඔන්න වාසනාව උදා වුනා වැදිනායක වන්නිය ලැත්තන්ටත්. බය නැතිව කොලොම් තොටට මන්ගච්චලා බියර් පොඩ්ඩක් බීලා කැසිනෝ සෙල්ලන් පොජ්ජකුත් දාල මහ ඌරත් මුණ ගැහිලා ගම් පොජ්ජට මන්ගච්චන්ට පුළුවන්.(නදී)
අනේ බොලේ වන්නිල ඇත්තන්ට දඩයමේ යන්නත් පුලුවන් දඩු මොනරයක් දිලා තියෙන්නේ.ගස්ටික කපලා පාරත් අධිවෙගි කරන්නත් වෙවි නේද මිතුරනේ (අ)
ගාමිණී-සිරි රසවත් අත්දැකීමක් කා සමගත් බෙදාගැනීම ගැන සතුටුයි. වැදි රැහේ ඇත්තන්ට බඹර කපන්න, මී කඩන්න, සතුන් එළාගන්න වනාන්තර අහිමි වුණා වගේම කැලේ කොටා හේන් වැපිරීමට පුරුදුවී සිටි හේන් ගොවියන්ටත් ඒවගේම ප්‍රශ්න ඇතිවුණා. නමුත් ලංකාවේ වනාන්තර දැනටමත් ශීඝ්‍රයෙන් ක්ෂයවීගොස් තිබීමෙන් වන සංරක්ෂණය පිලිබඳ බොහෝ ගැටළු උද්ගතවී තිබෙනවා. ගොවි ජනපද පිහිටවීම හා කඩිනම් ජලාශ යෝජනාක්‍රමත් ඊට බොහෝසේ දායකවුණා. වාරි පද්ධතිය රටට අත්‍යවශ්‍ය උවත් නව ජනාවාස ව්‍යාප්තකිරීම පිණිස හෙළි පෙහෙළි කළ වනාන්තර හැකිතාක් දුරට යලි ස්ථාපිත කිරීම අවශ්‍යයි. ඒ සඳහා ලක්ෂ පහක් පමණවූ වැදි ජනතාව විශාල හඬක් නැගිය යුතුව තිබෙනවා. නැවත වනාන්තර වගා කිරීමත්, වන සතුන් බෝකිරීමත්, දඩයම නීතිගතකොට වන සත්ව ගහනය මානව කළමනාකරණය කිරීමත් අවශ්‍යයි. එවැනි කටයුත්තකට ගාමිණී-සිරි රසවත් අත්දැකීමක් කා සමගත් බෙදාගැනීම ගැන සතුටුයි. එවැනි කටයුත්තකට වැදි රැහේ නායකයාට ප්‍රවාහනයට සුදුසු වාහනයක් තිබීම මුලික අවශ්‍යතාවයක් බව පෙනීයනවා. (අ)
වන්නියලා ඇත්තෝ කියන කතාවත් හරි එක අතකට.නායකයෙක් හැටියට වගකීම් රැසක් ඉටු කරන්න ඇති බවක් පෙනී යනවා.වාහනයක අවශ්‍යතාවය අනුව දැනට කර ඇති විකල්පයත් හරි.250 - කැබ් රථයට වඩා පරණ මාදිලියේ වාහන පාරේ හොඳින් දුවනවා.මෙම වාහනය හරියට නඩත්තු කරලා නැති වගයි මට නම් පෙනීයන්නේ. (දී)
අපේ රටේ ඇමතිගේ බල්ලට අසනීප වුණමත් යන්නේ ඩිෆෙන්ඩර් එකේ, එතකොට අපේ රටේම ඉන්න අපේ ආදිවාසි නායක යන්නේ කැඩිච්ච වාහනයක..ඔහොම තමා අපි මේ ගොල්නට සළකන් වදිහ. මොකද මේගොල්ලෝ අපේ රටේ හොද දෙනෙක්ට එන ප්‍රදර්ශන භාණ්ඩ පමණයි. (අ)
කැබ් එකේ ඒ . සී. ගැනත් ලගදීම වන්නියාලේ ඇත්තෝ කතා දැම්මේ නැත්තම් තමයි පුදුම. (නි)
මාර වැඩේ නේද (නි)
මට මේ අවස්ථාවේ පරණ සිද්ධියක් මතක් උනා.ඇත්තම කියනවානම් ආදී වාසීන් ගැන ලොකු ඇල්මක් තිබුනා හිටපු අගමැතිවරයෙක් වූ ඩඩ්ලි සේනානායක මැති තුමාට.එකල වැදී නායක තිසාහාමි ඉතාමත් ලඟින් ඇසුරු කළා වගේම විදේශ සංචාර පවා එකතුකරගෙන ගියා.දිනක් මෝටර් සයිකලයක නංවාගෙන ගිහින් තිසාමි.තිසාහාමි කීවලු " හුරි හුට..හුට දඬු ගච්චි...පෝරු ගම්පොච්චේට මන් ගච්චි කියලා .. " කෙසේ වෙතත් ඩඩ්ලි සේනානායක මැති තුමා අභාවප්‍රාප්ත වී අවසන් ගෞරව සඳහා චිතකය තැන්පත් කර තිබුනේ පරණ පාර්ලිමේන්තුවේ.සෙනග පෝලිම තිඹිරිගස්යායේ සිට.පෝලිමේ නොගොස් කෙලින්ම යාහැකි මග නම් කැමරාව තමා .අලුයම12.30 - 1.00 ට විතර ඇති .පොරවත් කරේ දාගෙන ,දුන්න,ඊතල සමග තම අසහාය මිතුරු නායකයාට අවසන් ගෞරව දක්වන්න එනවා ..වැදී නායක තිසා හාමි .ආරක්ෂක නිලධාරීන්.කැමරාව සමග මම දැකල ප්‍රෙස් ද ? ප්‍රෙස් ද ?ඇහැව්වා.මමත් කීවා බොරුවට .. ඔව්..ඔව්..කියල..එහෙනම් ඉක්මනට ගන්න පින්තුර...තිසාහාමි යන්න කලින්. ලේක් හවුස් එනකොට තිසා හාමි ගිහින්.මාව ලේක් හවුස් එකතුකරගෙන ගිහින් වාඩි කරවල.. සංග්‍ර කරලා ..ඉන්ටව් කරලා..එවෙලේම ..දිනමිණ,ඩේලි නිවුස්,තිනකරන් පත්තරවල මුල් පිටුවේ " වැදී නායකයා නිහඬ උපහාරයක යෙදෙයි " තිසාහාමිගේ පින්තුරයයි - මගේ නමයි. ඊට පසුදින ඉරිදා (1973/04/16),සිළුමිණ,ඔබ්සවර් ,ද්‍රවිඩ පත්තරවල මුල්පිටුවේ පලවී තිබුනා.වැදී නායකයෙක් නිසා මට අහම්බෙන් ලැබුණු ප්‍රසිද්ධිය ගැන අදත් මම ඉතාමත් ඉහලින් සතුටු වෙනවා..තරුණ කාලයත් ..ෆොටෝ එක නිසත් පාරේ යන්ඩ බැහැ.... කෙල්ලොත් විහිළු කළා ..මට තිසා හාමි කියලා... (දී)
නීල් රණා - මල්ලී ප්‍රතිචාර දක්වන්නන් අතරේ අප්‍රසාදයට ලක් වුවත් ,මගේ ප්‍රතිචාරය අගය කිරීම ගැන ගොඩාක් ස්තුතියි.නෑදායින්ගේ විරුද්ධ වාදීකම් මද්‍යයේ විජයට රජකම ගන්න උදව් කල කුවේනිය සරණ පාවා ගැනීමෙන් පසු ඇයට දාව උපන් ජීවහත්ථ,දිසාල වන ගත උනේ කුවේණිය අතරමන් වීමෙන් පසු නැදායින්ගෙන් මැරුම් කෑමෙන් පසුවයි.ජීවහත්ථ,දිසාල දෙපළගෙන් පැවැත එන්නන් වැද්දෝවත් ,ආදීවාසීන් වත් නොව විජයගේ ලෙයින් බිහිවූ අපේ මුතුන් මිත්තොයි.විදේශ සංක්‍රමිකඉන් අනාදි මත් කාලයක් තිස්සේ රට සුරා කද්දී ,වනගත පරිසරය,වනජීවීන්, රැක බලා ගත්තේ මේ උදවිය." ආනා රුනා රුන් කටුස්සා ..වේ ගෙඩි .. වේපලු බාන් බුස් .- .අන්විල.. ටුන්විල..සුදු ඉලක්කම්... ටික්කා මානා.. ටුක්.." කුඩා කාලයේ අපි සෙල්ලමට කීවත්, ආදී වාසීන්ගේ අලි එලවන මන්තරයක්ලු. (දී)
ඔහු ගෝත්‍රික නායකයෙක්. දීර්ග ඉතිහාසයකට හිමිකම් කියන ඇත්තෙක් ඔහුට හා එම සමාජයට මීට වඩා බොහෝ පහසුකම් ලැබිය යුතුය. (ස)
සිංහලයන්ගේ සංස්කෘතිය අන්‍ය ජාතින් සහ අන්‍ය සංස්කෘතීන් විනාස කරනවා කියන ගමන්ම සිංහලයා දේසපාලන අරමුණු වෙනුවෙන් වැද්දන්ට දොලපිදේනි දෙමින් වැදී සංස්කෘතිය විනාස කරති. (දී)
මේකට තෙල් ගහන්නෙත් අපේ බදු මුදල් වලින්ද? (දී)