විදුහල්පතිවරයා තම අතට පත්ව තිබූ ලියුම් තුනක්ම එක හුස්මට කියාගෙන ගියේය. ලියුම් තුනම කියවා බැලූ විදුහල්පතිවරයාගේ හිත තිගැස්සී ගියේ ඒවායේ සඳහන් කර තිබූ දේවල් දැකීමෙනි. ඒ ලියුම් තුනෙන් දෙකක් විදුහල්පතිවරයා අතට පත්කර තිබුණේ පාසලේ ගුරුවරියක හා ගුරුවරයකු විසින් වන අතර අනෙක් ලියුම විදුහල්පතිවරයාගේ නමට එවා තිබූ එකකි.
මේක බලාගෙන ඉන්න හොඳ වැඩක් නොවේ. අදම පියවරක් ගත යුතු යැයි කල්පනා කළ විදුහල්පතිවරයා මොහොතක්වත් ප්‍රමාද නොවී කතා කළේ පල්ලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්. එම්. අසිත ලක්රුවන් මහතාටය.
පොලිස් ස්ථානාධිපතිවරයා අතට ඒ ලියුම් විදුහල්පතිවරයා විසින් පත් කෙරෙන්නේ ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහාය. ලියුම කියවා බැලූ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ද හිත මොහොතකට තිගැස්සී ගොස් ඇතැයි කියති. ඒ ලියුම්වල සිසු සිසුවියන් - ලියා තිබුණේ බස් එකෙන් හැමදාම ඉස්කෝලෙට එද්දී, ඒ බස් එකේම එන මාමා කෙනෙකුගෙන් සිදුවන බව කියන සමහර අශෝභන ක්‍රියා සම්බන්ධයෙනි.
මේ මාමා බස් එකේදී සිසුවියන්ට කරන බව කියන ක්‍රියා සම්බන්ධයෙන් කිසිවක් මෙහි සටහන් නොකරන්නෙමු. ඒ වෙන කිසිවක් නිසා නොව ඒ තරම් ඒවා හිරිකිත නිසාය. ඒවා ගැන එළිපිට කතා කිරීමට හැකියාවක් කොහෙත්ම නැත. නීති පොතේ සඳහන් වන ආකාරයට මාමා කර ඇත්තේ සිසුවියන් පිරිසක් ලිංගික අපයෝජනයට ලක්කිරීමය.
ලියුම්වල සඳහන් කර ඇති ආකාරයට මේ මගී බස් රථය නිතිපතාම පාහේ හලාවත දෙස සිට එන එකකි.
මෙම බස් රථය ආණමඩුව හරහා අනුරාධපුරය දක්වා ධාවනය වන්නෙකි. බස් එකේ පිටුපස අසුනේ වාඩි වී එන මේ මාමා සිසුවියන් අතේ තිබෙන බෑග් පවා ඔහුගේ ඔඩොක්කුවේ තබා ගැනීමට තරම් කාරුණික වන්නෙකි. හැබැයි ඒ කරුණාව හොඳකට නම් නොවේ. ඔහුගේ පහත් ආශාවන් සපුරාගැනීමට පහසුකර ගැනීමට හා සිසුවියන් තමන් ළඟින්ම රඳවා තබා ගැනීමට යොදන උප්පරවැට්ටියකි.
එහි සිසුන්ට ඔහු සිටින අහලකටවත් ඉන්න දෙන්නේ නැත. මොකක් හෝ දෙයක් කියා සැරවැර දමා එළවා ගනිති.
උස කෙට්ටු ආදී වශයෙන් මේ මාමාගේ හැඩරුව පවා සිසුවියන් ලියූ ඒ ලියුම්වල සඳහන් කර තිබුණ අතර මේ කිසිවක් ගැන මව්පියන්ට කියන්නට ගියේ නැත්තේ ඔවුන් අනවශ්‍ය ලෙස කලබලයට පත්වේ යැයි සිතාය.
මේ සියලු කරුණු කාරණා සිසුවියන් ලියා ඇති ලියුම්වල සඳහන්ව තිබූ ඒවාය.
සිසුවියන් පවසන මේ ‘අනංග මාමා’ අල්ලා ඔහු දරුවන් - ලිංගික අපයෝජනයට ලක්කරන අවස්ථාවේම කොටුකර ගැනීමට පොලිස් පරීක්‍ෂක ලක්රුවන් මහතා කදිම සැලැස්මක් සකස් කළේය.
පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් කැඳවූ පොලිස් ස්ථානාධිපතිවරයා ඔවුන්ට උපදෙස් ලබාදී ඇත්තේ වෙස් වලාගෙන ගොස් සිසුවියන් සඳහන් කර තිබූ බස්රථයේ ගමන් කරන ලෙසය.
බස් රථයේ පසුපසම අසුනේ ගමන් කරන නිසා ලෙහෙසියෙන් ඔහුව හඳුනා ගැනීමට පහසුවනු ඇතැයි පොලිසියේ අදහස වී ඇත. බස්රථයට ගොඩනැගුණු පොලිස් නිලධාරීන්ට වැඩි වේලාවක් යන්නට මත්තෙන් ඔවුන්ට අවශ්‍ය පුද්ගලයා හඳුනාගැනීමට හැකිවිය.
සිසුවියන් ලියුම්වල සඳහන් කර තිබූ දේවල් පොලිස් නිලධාරීන්ට ඇස් පනාපිටම දක්නට ලැබී ඇත.
බස් රථයේ පිටුපස අසුනේ වාඩිවී සිටි මනමාල පෙනුමක් ඇති මෙම පුද්ගලයා සිසුවියන් කරේ එල්ලාගෙන තිබූ බෑග් ඉල්ලාගෙන ඔඩොක්කුව මත තබාගෙන සිටින අතරවාරයේ ඔහු සූක්ෂම අන්දමින් කරන අශෝභන ක්‍රියා දෙස පොලිස් නිලධාරීන්ද බලා සිට ඇත්තේ ඔහුට නොදැනෙන්නමය.
පොලිසියේ උකුසු ඇස් ඒ තරමට තියුණු විය. පොලිස් නිලධාරීන් තමන් කවුදැයි කියා හඳුන්වා දී ඔහු අත්අඩංගුවට ගත්තේය. ඔය ගොල්ලෝ බොරු චෝදනා කරන්නේ. මමත් දරුවෝ තුන් දෙනෙක් ඉන්න තාත්ත කෙනෙක්. වැඩ කරන්නේ බැංකුවේ. මේ බස් එකේ මම හැමදාම වැඩට යන්නේ. බස් එකේ ඉන්න මේ යන දරුවෝ මගේ දරුවෝ වාගේ මම සලකන්නේ යැයි කියමින් සැකකරු තමන්ගේ නිර්දෝෂි භාවය පෙන්වා උත්සාහ කළේ ගැලවී යාමටය.
අත්අඩංගුවට ගත් සැකකරු රැගෙන ආවේ පල්ලම පොලිස් ස්ථානය වෙතය. පොලිසියට රැගෙන ආ අවස්ථාවේද කියන්නට පටන්ගත්තේද බස් එකේදී කී කතාවමය. පොලිසියේ මහත්වරු බොරු කියා තමාව නිරපරාදේ අල්ලාගෙන ආ බව ඔහු කිව්වේ දිව්රමිනි.
අපිට බොරු කියලා තමුන්ව අත්අඩංගුවට ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ තේරුණාද? තමුන්ගේ කෙරුවාව සේරම සාක්කි ඇතිවම අපි ළඟ තියෙනවා. පොලිස් නිධාරියෙක් එසේ පවසමින් සැකකරුට රූපරාමු පෙළක් පෙන්වා සිටියේය. මේ වියපත් බඹරාට තරු පෙනුනේ ඒ රූපරාමු දෙස ඕනෑකමින් බලා සිටි අවස්ථාවේය.
පොලිස් නිලධාරියා සැකකරු සිසුවියන්ට සිදුකරන අශෝභන ක්‍රියා රහසිගතව කැමරාවකින් රූගතකර ගෙන තිබුණේ කාටත් හොරාය. ඒ පොලිස් ස්ථානාධිපති ලක්රුවන් මහතා කල්තියා ලබාදී තිබූ උපදෙස් මතය.
මෙතෙක් වෙලා පොලිස් නිලධාරීන් සමග කටගසමින් සිටි වියපත් බඹරා නිරුත්තර වුණේ ඔහු කළ ක්‍රියා ඔහුගේ දෑසින්ම දැක බලා ගැනීමට හැකිවීම නිසා විය හැකිය. පනස්හතර හැවිරිදි වියේ පමණ පසුවන මෙම සැකකරු දරුවන් තිදෙනෙකුගේ පියෙක් වන අතර බැංකුවක කාර්යාල කාර්ය සහායකයකු ලෙස රැකියාව කරන අයෙකි. විදුහල්පතිවරයා සහ ගුරුවරියන් දෙදනා සහ ගුරුවරයා ළමයින්ට බොහොම ලෙන්ගතුව සමීපව සිටින නිසා තමන් මේ ගැන මේ විදියට ලියුමකින් ලියා දැන්වූයේ හමුවී කීමට ලැජ්ජාවක් දැනුණු නිසා බව සිසුවියන් පොලිසියට පවසා තිබෙන බව දැන ගැනීමට ඇත.
වයඹ සහ උතුරු පළත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන සහ පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පුත්තලම කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්.බී. රත්නායක මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී සමන් දිසානායක මහතාගේ මෙහෙයවීම යටතේ පල්ලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්.එම්. අසිත ලක්රුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් උපපොලිස් පරීක්‍ෂක හේරත්, පොලිස් කොස්තාපල්වරුන් වන ගාමිණී (41442), සෙනෙවිරත්න (41387), ජානක (41422), අසංක (72591) යන මහත්වරුන් සහ කාන්තා පොලිස් කොස්තාපල් ලිහිණි (2012) මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ ගුරුවරු සහ ගුරුවරියන් නිසා ඒ දරුවන් ආරක්ෂා වුණා. ගුරුවරියන් දෙදනා සහ ගුරුවරයා ළමයින්ට බොහොම ලෙංගතුව සමීපව නොසිටිය නම් දරුවෝ මේවා නොකියන නිසා මේ අපරාධය හෙළි නොවෙන්නත් ඉඩ තිබුන. (බ)
මනමාල පෙනුමක් තිබුනත් මා වියපත් අයෙකු නොවේ. තවම කිසිවෙකු විරුද්ධත්වයක් පෙන්වා නැත. (බ)
මෙපමණ රට පුරා මෙවන් අපචාර සිදුවන්නේ ඇයිද යන්න පුදුමයක්. රටේ ළමා අපචාර බොහෝ වාර්තා වන්නේ වෙන්නප්පුව හලාවත ප්‍රදේශයෙන්. (නි)
අපි නිතරම අපේ දරු දැරියන් ගැන විමසිල්ලෙන් සිටිය යුතු කාලයකි මේ (නි)
මේ පිටිකළ මිලානෝ, දකුණේ මිනිස්සු පවුල් පිටින් මරාගන්නවා. අහිංසක මිනිසුන්ගේ අතපය කපනවා. දකුණේ අපරාධ වල කෙළවරක් නැහැ. මේ සිද්ධියක් අල්ලාගෙන දඟලන්න එපා. පොදුවේ රට පුරාම අපරාධ. එක ප්‍රදේශයකට විතරක් ඇඟිල්ල දික්කරන එපා (නි)
සිසුවියන් පමණක් නොව දැන් කාලේ වියපත් කාන්තාවකටවත් නිදහසේ ගමනක් යන්න බැරිතරම් (නි)
මා සිංගප්පූරුවේ ජීවත්වන කාලයේදී දුටුවේ හැම මගී බස් රථයකම ආරක්‍ෂිත කැමරා සවිකර මගීන්ගේ ආරක්ෂාව තහවුරු කර තිබීමයි. නමුත් ඊටවැඩිය මුදලක් අපේ දේශපාලුවන්ව ජීවත් කරවන්න අසරණ මහජනයාට ගෙවන්න සිදුවෙලානේ. බලන්න ඔවුන් දෙන පොරොන්දු... (නි)
මේ වගේ ළමා අපචාර වැඩි වශයෙන් සිදුවන්නේ පුත්තලම් දිස්ත්‍රික්කය තුල වීම එක්තරා විදියක විශේෂ හේතු තියෙන්න පුළුවන්.මම කලින් සතියේ කියවාපු ලිපියක තිබුනෙත් මේ දිස්ත්‍රික්කය තුල සිදුවූ ළමා අපචාරයක්.එයට හේතු සොයා බලා යම් කිසි විසඳුම් යෙදුවහොතින් එය මුළු රටටම කරන සේවයක් වේවි . (බ)