IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


බලශක්ති අර්බුදයට විසඳුම්

ඒක පුද්ගල විදුලිය බල පරිභෝජනය රටක දියුණුව දක්වන තවත් දර්ශකයකි. මෙරට විදුලිය පරිහරණය ලෝකයේ සාමාන්‍යයට වඩා අඩුය. කර්මාන්ත, ව්‍යාපාර හා ගෘහස්ථ පරිභෝජනය ඉතා අඩුය. අධික විදුලිය ගාස්තු එයට හේතුවකි. බිල්පත් පියැවීම ප්‍රමාද වුවහොත් අතිරේක පොලියක් ද අය කෙරේ. පර්‌යේෂණ වාර්තා දක්වන පරිදි විදුලිය උත්පාදන ක්‍රම ඉතා අකාර්යක්ෂමය. උත්පාදනය හා බෙදාහැරීම තුළ පවතින සංකීර්ණ ගැටලු මෙරට සංවර්ධන සැලසුම් අඩාළ කර තිබේ. නිෂ්පාදන ක්‍රමවේදවල ගැටලු ඇත.

පරිසර හිතකාමී විදුලි උත්පාදන ව්‍යාපෘති වෙනුවෙන් ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 150 ක් පිරිනමා තිබේ. පද්ධති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම අපේක්ෂා කර ආසියානු සංවර්ධන බැංකුව තවත් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් අනුමත කර ඇත. මෙම ධනය උපයෝගී කරගෙන විදුලිය අංශයේ කාර්යක්ෂමතාවක් ඇති කළ යුතුය.

වසර 2030 වන විට උත්පාදනයෙන් සියයට 70 ක් පුනර්ජනනීය විදුලිය බවට හරවන ඉලක්කයක් තිබුණි. මණ්ඩලයේ දෛනික වාර්තා අනුව මෙම ඉලක්කය සාක්ෂාත් කරගෙන ඇත. අධික වැසි සමග බලාගාර ආශ්‍රිත ප්‍රදේශ පෝෂණය වී ඇති අතර, ජල විදුලිය උත්පාදනය සමස්තයෙන් සියයට හතළිස් තුන ඉක්මවා තිබේ. සියයට විසි එකක් ගල් අඟුරුවලින් හා සියයට හයක ප්‍රතිශතයක් දැවිතෙල්වලින් නිපදවේ. සූර්ය තාප විදුලිය උත්පාදනය සියයට එකක් බව දැක්වේ. පරිසර හිතකාමී විදුලිය පද්ධතිවලට තවත් ඇතුළුවිය හැක. තාක්ෂණය හා අලුත් පියවර අවශ්‍ය කෙරේ. වෙනස්කම්වලට සූදානමක් නැති ආණ්ඩුව සූර්ය විදුලි ජනනය අධෛර්ය කරන පියවරකට ගමන් කරමින් සිටී. අනාගත අවශ්‍යතා සලකා බලන පසු එය අවදානම් සහගතය.

 

විදුලිය උත්පාදනයේ විවිධාංගීකරණයක්

එල්නිනෝ තත්වයක් ඉදිරි කාලයේ දී ඇති විය හැකි බවට කාලගුණ අනාවැකි පළවේ. වැසි අඩුවන අතර, නියඟය දරුණු විය හැකිය. ජල විදුලියෙන් ඇති වාසි අඩුවන අවදානමක් තිබේ. පද්ධති සමබර කරන අතර, අනාගතය සඳහා සැලැස්මක් සකස් නොකළහොත් නැවත වතාවක් පාවෙන ඩීසල් විදුලිය බලාගාර පිටරටින් ගෙන්වන්නට සිදුවේ. දැවිතෙල්, ගල් අඟුරු වැනි ප්‍රභවවලින් විදුලිය නිපදවීම සුදුසු නැති අතර, ඒවා ක්‍රමයෙන් අඩු කරන ප්‍රතිපත්තිවලට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇත. පරිසරයට හානි කරන ක්‍රමවේදවලින් ඉවත්වීම සඳහා විදේශ ආධාර හිමිවේ.

ඉදිරියේ දී සිදුවිය හැකි ප්‍රවණතා පසෙකට තබන මෙරට ප්‍රතිපත්ති සම්පාදකයෝ දැනට සිදුවන තාවකාලික ගැටලුවලට උත්තර සොයමින් සිටිති. පද්ධති තුලනය සලකා සූර්ය විදුලිය උත්පාදනය අධෛර්යවත් කරමින් සිටී. එම සැලැස්මේ කොටසක් වශයෙන් සූර්ය විදුලිය අලුත් ව්‍යාපෘති සඳහා ගෙවන ඒකක ගාස්තුව අඩු කරන තීරණයක් ගෙන ඇත. ආරම්භයේ දී ඒකකයකට රුපියල් තිස් හතක් ගෙවන ලද අතර, පසුව එය රුපියල් විසි දෙක දක්වා අඩු කළේය. දැන් එය තවත් වටයකින් අඩු කරන බව ප්‍රකාශ වී තිබේ. කිලෝවොට් විස්සකට වඩා අඩු නිෂ්පාදකයන්ට ඒකකයකට රුපියල් දහනවයක් හා කිලෝ වොට් සියය ඉක්මවන උත්පාදනය සඳහා ඒකයකට ගෙවන මිල රුපියල් පහළොවක් දක්වා පහත දමා ඇත. ඉන්දියාව සමග කිලෝවොට් එකසිය විස්සක සූර්ය තාප බලාගාර දෙකක් සඳහා ගිවිසුම් අත්සන් කරන ලද වත්මන් ආණ්ඩුව එහි දී මෙම ගාස්තු සංශෝධනය අදාළ කරගෙන නැත.

අලුත් වාර්තා දක්වන පරිදි නිවාසවල වහල මත සූර්ය කෝෂ සවිකරන ලද නිවාස සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි. කර්මාන්ත හා ව්‍යාපාරික අංශ වේගයෙන් එහි නැඹුරුවන බව දැක්වේ. විදුලිය සඳහා ගාස්තු අඩුවන අතර, එහි දී නිෂ්පාදන පිරිවැය පහත වැටේ. එය සමස්ත ආර්ථිකයට වාසිදායකය. ඒකකයකට ගෙවන මිල අඩුකළහොත් සූර්ය කෝෂ විදුලිය උත්පාදනය පහත වැටේ.

 

හිතකාමී උත්පාදනයකින් විනිමය ඉතිරිය

දැවිතෙල් හා ගල් අඟුරු ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන එකහමාරක් පමණ වසරකට වැයවේ. ප්‍රවාහන කටයුතු සඳහා කරන ඉන්ධන ආනයනය ඇමරිකානු ඩොලර් බිලියන තුනක් බව දැක්වේ. විදුලිය උත්පාදනය පරිසර හිතකාමී ප්‍රභවවලට භාර කිරීමෙන් සහ විදුලිය වාහන ආනයනය දිරිගැන්වීමෙන් පමණක් දළ වශයෙන් වසරකට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් පමණ ඉතිරිකරගත හැකිය.

ආකෘතිය වෙනස්කිරීමට සූදානම් නැති රටක් වශයෙන් පැරැණි ගතානුගතික ක්‍රමවේද තව දුරටත් ආරක්ෂා කරන අතර, අවසානයේ දී දැනට පවතින අසංවිධිත ක්‍රමවේද හේතු කොටගෙන ඉදිරියේ දී දරුණු බලශක්ති අර්බුදයකට ගොදුරුවනු ඇත. විදුලිය බල මණ්ඩලයේ ඉලක්ක අනුව වසර 2040 වන විට රට තුළ ඇති වන අවශ්‍යතා සඳහා අලුත් ආයෝජන අවශ්‍ය කෙරේ. ඇමරිකානු ඩොලර් බිලියන 11ක් වැය කරනන්ට සිදුවන බව ගණන් බලා ඇත. එය ශ්‍රී ලංකාවට දරාගත නොහැකි වියදමකි.

2023 වසරේ විදුලිය බල මණ්ඩලයේ උත්පාදනය දත්ත අනුව දැවිතෙල් බලාගාරවල විදුලිය නිපදවීම ගිගාවොට් 2,039 කි. මෙහි ඒකකයක් සඳහා රුපියල් 71.60 ක් වැය වී ඇත. විදුලිය බල මණ්ඩලයට අයත් ගල් අඟුරු බලාගාරවලින් විදුලිය ඒකක ගිගාවොට් 5,151 ක් එම වසරේ නිෂ්පාදනය වී ඇති අතර, ඒකකයක් නිපදවීමේ පිරිවැය රුපියල් 35.14 කි. මණ්ඩලයට විදුලිය සපයන බාහිර සැපයුම්කරුවන්ගෙන් විදුලිය ගිගාවොට් 1,160 ක් මිල දී ගෙන ඇති අතර, එහි සාමාන්‍ය පිරිවැය ඒකකයක් සඳහා රුපියල් 69.40 ක් බව දැක්වේ. අඩුම විදුලිය පිරිවැය ජල විදුලිය සඳහා වන අතර, ගිගාවොට් 4,590 ක් නිපදවා ඒකක පිරිවැය රුපියල් 2.82 ක් බව සඳහන්ය. සුළං හා සූර්ය තාප බලාගාරවල විදුලිය උත්පාදනය ගිගාවොට් 3,192 ක් ඒකකයක් රුපියල් 16.29 ක පිරිවැයකින් නිෂ්පාදනය වී තිබේ.

 

අවදානම දකින අතර අන්ධකාරයට ගමනක්

විදුලිය බලය බෙදාහැරීම සමතුලිත කරගත නොහැකි වීමෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඉකුත් පෙබරවාරියේ රට පුරා විදුලිය විසන්ධි විය. පසුව අවුරුදු නිවාඩුකාලයේ පරිභෝජනය අඩු හෙයින් සූර්ය පැනල උත්පාදනයෙන් නොමිලේ ලැබෙන විදුලිය බලය අපතේ යැවීමට තීරණය කෙරිණ. මණ්ඩලයේ අනුචිත සැලසුම් අවසානයේ ජනතාව ගෙවන ලද වන්දිය ගැන ගැඹුරු සංවාදයක් රටට අවශ්‍යය. විදුලිය උත්පාදනය අවශ්‍යතා හමුවේ මෙරට ක්‍රමවේද යොමුවිය යුතු දිසාව මැනැවින් තීරණය කළ යුතු වේ. විද්‍යාත්මක හා තාක්ෂණ අතින් ලෝකයේ සිදුවන පරිවර්තනය සමග නිපදවන විදුලිය ගබඩා කරගත හැකි අවස්ථා ගැන අවධානය මෙහි දී වැදගත්ය.

වත්මන් ආණ්ඩුව ඩිජිටල්කරණය ගැන මහත් උනන්දුවකින් පසුවේ. පරිගණක පද්ධති ජාලගත කරන අතර, මහජනතාවට පහසුවක් ඇතිකරන ක්‍රමවේද සඳහා සැලසුම් සකස් කරමින් සිටී. ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි ඉතාම ඉක්මනින් ජාත්‍යන්තරය තුළ කෘත්‍රිම බුද්ධිය හා ඩිජිටල් ක්‍රමවේද පැතිරෙනු ඇත. එයට සමාන්තරව බලශක්ති අවශ්‍යතාව තියුණුවේ. දත්ත ගබඩාකර පද්ධති නඩත්තු කිරීම හා ඒවායේ උණුසුම පාලනය කරන ක්‍රමවේද සඳහා විදුලිය අවශ්‍ය වේ. වසර 2030 වන විට ලෝකය පුරා ටෙරාවොට් පැය 945 ක විදුලිය භාවිත වනු ඇති අතර, එය දැනට පවතින විදුලිය උත්පාදනය මෙන් දෙගුණයකි. අලුතින් එකතුවන විදුලිය ප්‍රමාණය දැනට ජපානය භාවිත කරන විදුලිය ඒකක ගණනට සමාන බව දැක්වේ.

ගෘහස්ථ පරිභෝජනය පමණක් නොව, සංවර්ධනය සමග ඇති කරන විදුලිය අවශ්‍යතා, ඩිජිටල්කරණය හා කොළඹ වරාය නගරය වැනි ස්ථානවලට ඇතිවන ඉල්ලුම ගැන අවධානය අවශ්‍යය. නිවාස ආලෝකවත් කර ඒවාට වැඩිම බිල්පත් ගාස්තු අය කර රට බලශක්තියෙන් ආවරණය වන බව දැක්වීම සුදුසු තත්වයක් නොවේ. වියළි කාලගුණ තත්ව යටතේ ජල විදුලිය බලාගාරවල ප්‍රශ්න මතුවන විට සූර්ය පද්ධති හා එයට සම්බන්ධ සුළං බලාගාර ගැන ඉලක්ක තිබිය යුතුවේ. ඒවායේ නිෂ්පාදනය ජාතික පද්ධතියට එකතුකරන ක්‍රමවේද වරින්වර වෙනස්කිරීමෙන් සිදුවන හානිය බරපතළය. අලුතින් ආයොජනය කරන පිරිස ගෙන එන ධනය, වානිජ බැංකුවල ණය සහ මෙම අංශවල සේවය කරන කාර්මික ශිල්පීන් මුහුණ දෙන ප්‍රශ්න පහසුවෙන් මගහැරිය නොහැකි බව අවධාරණය කළ යුතුය.

 

මහවැලියෙන් විදුලිය අපනයනයටත් ප්‍රමාණවත්

මහවැලි බහුකාර්ය යොජනා ක්‍රමය ආරම්භ කරන කාලවකවානුවේ දී එහි ජලාශවලින් නිපදවන විදුලිය අතිරික්ත වන අතර, ඉන්දියාවට ද ලබාදිය හැකි බව ප්‍රකාශ කෙරිණ. මහවැලි ව්‍යාපාරය අවසන්වන පසු එහි විදුලිය එම කලාපවලට ද ප්‍රමාණවත් වූයේ නැත. දැනට රට තුළ ආරම්භ කර ඇති ගල් අඟුරු බලාගාර හා දැවිතෙල් බලාගාරවල තාක්ෂණය හා ඒවායේ නඩත්තුව ගැන සලකා බැලිය යුතුව ඇත. මහවැලි ජලාශවල වේලි පවා නඩත්තු කිරීම අවශ්‍ය බව ප්‍රකාශ වී තිබේ. මෙම එක අංශයක විදුලිය දුබලතාවකින් රට තුළ පද්ධති අකර්මණ්‍ය විය හැකිය. එය බරපතළ අවදානමකි. දිනකට පැය ගණනක් විදුලිය කපාහරින හා විදුලිය උත්පාදන වියදම තවත් ඉහළ යන ආකෘතිය ජනතා බලාපොරොත්තුව නොවේ. ලෝකයේ අනෙක් රටවල් ද්‍රවගෑස්, න්‍යෂ්ටික හා ග්‍රීන් හයිඩ්‍රජන් වැනි අංශවලට පවා නැඹුරුවෙමින් සිටී. එහි අවසානය අඩුම මිලට නිපදවීම හා ආර්ථිකය පෝෂණය කරන ක්‍රියාමාර්ග බව පෙන්වා දිය යුතුය.

ශ්‍රී ලංකාවට සූර්ය තාප විදුලිය සම්බන්ධයෙන් ස්ථාවරත්වයක් ගොඩනගා ගත හැකිය. ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍යය. එදිනෙදා මිල ගණන් අඩුවැඩි කරන ක්‍රම හේතු කරගෙන ආයෝජන අංශ දුර්මුඛ වේ. සූර්ය තාප විදුලිය හැරුණු කොට සුළං විදුලිය හා මුහුදු රළ මගින් විදුලිය නිපදවිය හැකි රටක් බව අමතක කළ යුතු නැත. මෙම ක්‍රමවලින් නිපදවන විදුලිය අපනයනය කළ හැකිවේ.

වසර 2027 වස විට ඔස්ට්‍රේලියාවේ නිපදවන සූර්ය තාප විදුලිය මිල දී ගැනීම සඳහා සිංගප්පූරුව ගිවිසුමක් අත්සන් කර ඇත. කිලෝ මීටර් 4,300 ක් දිග කේබල් මගින් මෙම විදුලිය සැපැයේ. ජපානය ඉවත දමන කාර් බැටරි සූර්ය කෝෂවලින් ආරෝපනය කර රාත්‍රී කාලයේ වෙළෙඳසල් ආලෝකවත් කරයි. නෝර්වේ ජල විදුලියබලාගාරවලට සූර්ය තාප මෝටර් සවිකර ඉවත යන ජල පද්ධතිය නැවතත් වේලිවලට පොම්ප කර චක්‍රීය විදුලි සම්පාදනයක නිරතය. එවැනි දියුණු තාක්ෂණය සහිත කාලවකවානුවක නොමිලේ ලැබෙන සූර්ය තාප විදුලිය සඳහා ප්‍රතිපත්ති සකස් කරගත නොහැකිවීම මෙරට ගතානුගතික ලක්ෂණ නැවත නැවතත් තහවුරු කිරීමකි.

 

(*** සාරා කන්දෙගොඩ)



අදහස් (0)

බලශක්ති අර්බුදයට විසඳුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 286 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 70 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 248 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site