IMG-LOGO

බුදුන්ගේ නව විඥානය

වෙසක් පොහෝ දිනය සැමරීමේදී ප්‍රධාන වශයෙන් අපගේ අවධානයට ලක්විය යුතු ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳව සැකැවින් විමසා බැලීමට මෙහිදී අපේක්ෂිතය. වෙසක් පොහෝ දිනයේ වැදගත්කම දේශීය වශයෙනුත්, විශ්වීය වශයෙනුත් පොදු ජන සමාජයට වැදගත් වන්නේ කෙසේද? යන්න මෙහිදී අවධාරණයට ගත යුතු කරුණකි. බුද්ධ චරිතය හා බැඳුණු ඉපදීම, බුදුවීම, පිරිනිවන යන කරුණු කීහිපයම වෙසක් පොහොය හා සම්බන්ධ වීම විශේෂත්වයකි. මෙහි වඩාත් වැදගත් වන්නේ එම සිදුවීම් සමඟ බද්ධවී ඇති ගැඹුරු ආගමික අරුත වටහා ගැනීමයි.

විශේෂයෙන්ම බුද්ධෝත්පත්තිය සමග බුදුන් වහන්සේ ලබන දැනුම මීට පෙර සම්ප්‍රදායෙන් පැමිණි දැනුමක් නොවන බව පෙනේ. එය නව දැනුමකි. එය පාරම්පරිකව හෝ ඉගැන්වීමකින් හෝ ලැබූ දැනුමක් නොව උන්වහන්සේ විසින්ම අවබෝධ කොටගත් නව දැනුමකි. උන්වහන්සේ දේශනා කළේ

චක්කුං   උදපාදි
ඤාණං  උදපාදි
විජ්ජා    උදපාදි
ආලෝකෝ        උදපාදි

ආදී වශයෙනි. පෙර පැවැති සම්ප්‍රදායන්ගෙන් ඒ ඉගැන්වීම්වලින් ලබාදුන් දැනුමට වඩා නව ඥානයක් විද්‍යාවක් උන්වහන්සේට පහළ වූ බව මේ අනුව පැහැදිලිය. මෙහි වඩාත් වැදගත් කාරණයක් වන්නේ එම නව දැනුම ලෝක සත්වයා කෙරෙහි අවබෝධකොට දීම බුදුන් වහන්සේ ක්‍රියා කිරීමය. මේ ඥානය උන්වහන්සේට ලැබුණු විට එය මේ ලෝක සත්වයාට අවබෝධ කොට ගැනීමට හැකි වේදැයි උන්වහන්සේ තුළ කිසියම් සැකයක් මුලින් හටගත් බව කියැවේ. මන්ද යත් ලෝක සත්වයා නිරතුරුවම ජීවත් වන්නේ ඇලීමක් තුළ බැඳී එයින් තෘප්තිය ලබමිනි. ඔවුන් ප්‍රමෝදයට පත්වන්නේ ඒ ඇලීම් මුල් කොට ගෙනය.

උන්වහන්සේගේ මේ සිතිවිල්ල පිළිබඳ දැනගත් සහම්පතී බ්‍රහ්මයා පැමිණ මෙම ධර්මය ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලෙස බුදුන් වහන්සේට ආරාධනා කළ බව බෞද්ධ සම්ප්‍රදායෙහි දැක්වේ. ඇතැම්විට මෙහි මතු කෙරෙන සහම්පතී බ්‍රහ්ම සංකල්පය එවකට පැවැති ඇදැහීම් විශ්වාස අනුව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වල වැදගත්කම අවධාරණය කිරීමට ඉදිරිපත් කළ අදහසක් විය හැකිය. බුදුන් වහන්සේ මේ අයුරින් අවබෝධ කරගත් ධර්මය ලෝක සත්වයාට තේරුම් කොට නොදුන්නොත් ලෝක සත්වයා විනාශයට පත්විය හැකි බවත් ඔවුන් අසහනයට පත්විය හැකි බවත් සහම්පතී බ්‍රහ්මයා කල්පනා කළ බව අතීත සම්ප්‍රදායේ විස්තර කෙරේ. ඒ අනුව බුදුන් වහන්සේ ලෝක සත්වයා වෙත ධර්මය දේශනා කිරීමට ක්‍රියා කළ සේක. එම ධර්මය අවබෝධ කොටගෙන නිවන් මඟට යොමු විය හැකි ලෝක සත්වයා කවරේදැයි විමසා බැලෙන්නේ ඒ අනුවය.

බුදුන් වහන්සේ සොයා ගියේ මුළු මහත් ලෝක සත්ත්වයාගේම යහපතට හේතුවන දහමකි. ඒ තත්ත්වය කුමක්දැයි තමන් විසින්ම සොයාගනු ලැබීමට බුදුන් වහන්සේ ක්‍රියා කළේ ඒ අනුවය. එහිදී අවධාරණය කෙරුණේ ජීවිතයේ වඩාත්ම යහපත් තත්ත්වය කුමක්දැයි අවබෝධ කොට ගැනීමය. ‘කිං කුසල ගවේෂී’ යනුවෙන් හැඳින්වෙන්නේ එම තත්ත්වයයි. එම ගමනේ දී විවිධ දුෂ්කර ක්‍රියාවලට මුහුණ දීමට සිදුවිය. මේ සියලු ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵලය ලෙස හඳුනාගත හැක්කේ ‘මධ්‍යම ප්‍රතිපදා’ මාර්ගය අවබෝධ කොට ගැනීමය.

බුදුන් වහන්සේ දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාවේ වැදගත් ස්වරූප දෙකක් පැහැදිලි කොටගත හැකිය. එක් ස්වරූපයක් නම් එවකට පැවැති අන්තවාදී ජීවන ප්‍රතිපදාවන් අත්හරිමින් මධ්‍යම ප්‍රතිපදා මාර්ගයට පැමිණීමේ අවස්ථාවයි. මෙහි අන්ත දෙක නම් එක් පැත්තකින් කාම සුඛල්ලිකානු යෝගයයි. එහිදී ඉන්‍ද්‍රීය බද්ධ ආශාවන්ට මුල් තැන දීමයි. පංචස්කන්ධය පිනවීමයි. භෞතිකවාදී දෘෂ්ටි මත පිහිටි ජනයා කම් සැප විඳිමින් ජීවිතය ගෙවීමයි. අනෙක් අන්තය නම් අංගසම්පූර්ණ සැපයක් ලැබීමට නම් කැප විඳීමෙන් ඈත්වී ශරීරයට දැඩි දුක් දෙමින් ගත කළ යුතුය යන විශ්වාසයේ සිටි පිරිසයි. ඔවුහු අත්ථකිලමතානු යෝගයෙහි පුරුදු වූහ. ජීවන ප්‍රතිපදාවන් ලෙස ගත් කල්හි මේ අන්ත දෙකම යෝග්‍ය නොවන බව සලකා බුදුන් වහන්සේ ඉවත ලූ සේක.

මධ්‍යම ප්‍රතිපදාවේ වැදගත් ඊළඟ ස්වරූපය ලෙස සැලකිය හැක්කේ දාර්ශනික දෘෂ්‍ටියයි. ප්‍රඥා ගෝචර සංකල්පයයි. මෙම මාර්ගයේ ද අන්ත දෙකක් විස්තර කෙරේ. එයින් එක් අන්තයක් නම් ‘සස්වතවාදී’ අන්තයයි. නැතහොත් සාස්වෘතවාදයයි. මෙයින් අදහස් කෙරෙන්නේ කුමක්ද? මේ ලෝකයේ යම් කිසි තිරසාර සදාතනික බවක් ඇත්නම් ඒ සදාතනික දෙය සමඟ එක්වීම මෙහිදී අවධාරණය කෙරේ. ඒ මාර්ගයේ ගමන් කළ අය කල්පනා කළේ ඒ සදාතනික හරය සමග ඇඟවුණු සම්බන්ධතාවක් පවතින බවයි. එනම් අපගේ සදාතනික වූ ආත්මයයි. ඒ සදාතනික ආත්මය සහ විශ්වයේ පවත්නා හරයේම කිසි අවස්ථාවක ඒකාබද්ධ කිරීමට සංයෝග කිරීමට හැකියාවක් පවතීද එය සදාකාලික විමුක්තිය හැටියට සැලකුණි. මේ අදහස බෞද්ධ නොවන ඇතැම් ආගමික ඉගැන්වීම්වල ද පැහැදිලිව විස්තර කෙරෙයි. සදාකාලික දෙයක් සොයා යාම ඉන් අදහස් වෙයි.

අප ඉහතින් දැක්වූ දාර්ශනික දෘෂ්ටියේ අනෙක් අන්තය වන්නේ මේ සියල්ල ප්‍රතික්ෂේප කොට අපට ඇත්තේ භෞතිකමය ශරීරයක් පමණය යන්න විශ්වාස කළ පිරිසය. අපගේ නියම ස්වභාවය නම් භෞතික ශරීරය පමණක් බවත් අප කළ යුත්තේ එම භෞතික ශරීරයට නියම සැපය ලබා දීමත් එය තෘප්තිමත් කිරීමත් බවත් මෙහිදී විශ්වාස කෙරිණ. ඒ විශ්වාසයට අනුව මේ භෞතික ශරීරය විනාශ වූ පසු නැවත යම් කිසි පැවැත්මක් නොමැති බව සලකමින් ඔවුහු මරණින් මතු විනාශයක් පිළිබඳ විශ්වාස කළහ. අප කොයි තරම් දැන උගත් වුවත් කොයිතරම් මානසික ශික්ෂණයක් ලැබුවත් ඒ හැමදෙනාම භෞතික ශරීරයේ විනාශයෙන් පසුව පැවැත්මක් නොමැති බව ඒ ඉගැන්වීම්වල දැක්විණ.

ඔවුන් තුළ පැවැති තවත් වැදගත් විශ්වාසයක් නම් අපගේ පෞරුෂය සංයුක්ත වන්නේ කුමකින්ද යන්නයි. ඒ අතර එක් අදහසක් නම් අපගේ ජීවිතයේ නියම හරය එකක්ය. භෞතික ශරීරය එයින් වෙන් වූ වෙනම එකක්ය යන්න දැක්වීමය. ‘භගවත් ගීතාව’ වැනි ග්‍රන්ථවල ද දැක්වෙන්නේ ශරීරය විනාශ වුවත් ජීවය විනාශ නොවන බවය. එය සදාතනික බවය. එහෙත් බුදුන් වහන්සේ ඉදිරිපත් කළේ මේ සියල්ල මැදිහත්ව විනිවිද දැකිය හැකි මධ්‍යම මාර්ගයකි. ‘පටිච්ච සමුප්පාදය’ ලෙස උන් වහන්සේ දේශනා කළේ එම මධ්‍යම මාර්ගයයි.

අප බිහිවී ඇත්තේ වෙනත් බලවේගයක බලපෑමෙන්වත් කිසිම හේතු ප්‍රත්‍යයක් නොමතිව ආකාස්මිකවත් නොවේ. අප ඇතිවී ඇත්තේ යම් හේතු ප්‍රත්‍යයක් මූලික කොටගෙනය. බුදුන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ දී අවධාරණය කරන්නේ මෙම කාරණයයි. එහිදී උන්වහන්සේ ස්කන්ධ පහක් වශයෙන් මෙම විග්‍රහකොට දක්වති. මේ සෑම ස්කන්ධයක්ම අනිත්‍ය බව එහිදී අවධාරණය වෙයි. ඒවා අනිත්‍ය නිසාම දුක හට ගනියි. යමක් අනිත්‍ය ද යමක් අනිත්‍ය නිසා දුකට හේතු වන්නේ ද යන්නයි. මෙහිදී පැහැදිලි කෙරෙන්නේ ජීවිතයේ පරම සුඛ වූ ආත්මයක් හැටියට පිළිගන්නේ නම් එය මුළාවක් බව එයින් පෙන්වා දෙයි. අප සතු භෞතික අංශය හෙවත් ශාරීරික අංශය ද මනෝමය අංශය ද යන දෙකම අනිත්‍ය වූ ද්‍රවහාත්මකව පවත්නා ස්කන්ධ පංචකයයක් ලෙස ගත හැකි වනවා මිස ඒ තුළ කිසියම් හරයක් නැති බව බුදුන් වහන්සේ මෙහිදී පෙන්වා දුන්හ.

එක් පැත්තකින් අප ජීවත්වන මෙවැනි සංකීර්ණ සමාජයක, අනෙක් පැත්තෙන් වෙසක් පොහොය සමරන මෙවැනි අවස්ථාවක රටවාසීන් ලෝකවාසීන් වෙත බුදු දහමේ ඉගැන්වෙන මේ මූලික කාරණා අවධාරණය වීම ඉතා අවශ්‍ය බව පෙනෙන්නට ඇත. පුද්ගලයන් තුළ මෙන්ම ඕනෑම රටක, ජන සමාජයක ගැටුම්, අසමානකම්, විරසකයන්, ඇතිවීමට හේතු වී ඇත්තේ මේ ධර්මාවබෝධය වටහා ගැනීම නොමැති වීමය යන්න වඩාත් පැහැදිලිය.

බෞද්ධ ඉගැන්වීමට අනුව කෙනෙකු තුළ තෘෂ්ණාව පවතීද එතැන ගැටුම වැළැක්විය නොහැකිය. එබැවින් පුද්ගලයා තුළත් ජන සමාජය තුළත් ගැටුම් අවම කිරීමට ඇති එකම ක්‍රියාමාර්ගය තෘෂ්ණාව පිටු දැකීම බව බුදුන් වහන්සේ අවධාරණය කළහ. ඒ බව නිවැරැදිව තේරුම් ගැනීමත් බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගය සොයා ගැනීමත් යහපත් සමාජයකට පදනම බව මෙකල අප තේරුම් ගත යුතු වැදගත්ම කරුණයි. අප බොහෝ විට අද උත්සාහ ගනිමින් සිටින්නේ සංස්ථාවන්ගේ ව්‍යුහය වෙනස් කරමින් ලෝකය වෙනස් කිරීමටයි. එය කළ නොහැකි තත්ත්වයකි. මන්ද යත් සංස්ථාවන් ක්‍රියාත්මක කරන්නේ හැඟීම් මගිනි. ඔවුන්ගේ හැඟීම් යහපත් නොවුණොත් ඔවුන්ට තමා පිළිබඳ නිවැරැදි අවබෝධයක් නොතිබුණොත් ලෝකය වෙනස් කිරීමට කිසිසේත්ම හැකියාවක් නොලැබෙනු ඇත. බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ එම යථාර්ථයයි.

(***)
සටහන
ගාමිණී කන්දේපොළ

 



අදහස් (0)

බුදුන්ගේ නව විඥානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 10745 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 269 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 199 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site