IMG-LOGO

තවමත් අවසන් නැති මාතර ”අලි-අලි” ගැටුම

 

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මාතර බන්ධනාගාරයට පැමිණ.

 

එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමේ උණුසුම තවමත් පහව ගොස් නොමැත. දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ට අලි - අලි මරාගැනීම හැර වෙන කතාබහක් නොමැති තරම්ය. මේ නිසාම බස් ගාස්තු සියයට හතකින් ඉහළ දැමීම පිළිබඳ තීරණයද දකුණේ ජනතාවට අමතක වී තිබේ.

ඒ තරමටම ඉකුත් 05 වැනි දින මාතර මහ නගර සභාව ඉදිරිපිට සිදු වූ මෙම ගැටුම පිළිබඳව සියලූදෙනාගේ සිත්වලට කාවැදී ඇත. කැපුවත් කොළ ලේ කියාගෙන එකම පක්ෂයේ දෙපිරිසක් ගහමරා ගත් මෙම ගැටුමේදී දකුණු පළාත් සභා මන්ත‍්‍රීවරයකු ඇතුළු දස දෙනකු බරපතළ තුවාල ලැබීය. වෙඩි තැබීමෙන් හා පොලූවලින් පහර දීම නිසා ඔවුන්ට රෝහල් ගතවීමට සිදුවිය.

ගැටුමට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව දිනපතා මාධ්‍ය මගින් හෙළිදරව් කිරීම නිසා පොලීසියට ඔවුන් පසුපස ගොස් අත්අඩංගුවට ගැනීම හැර වෙනත් විකල්පයක් නොවීය. මේ නිසාම මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂක හේමාල් ප‍්‍රශාන්ත ඇතුළු පොලිස් කණ්ඩායම් දහයක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පත් කළේය.ඒ අනුව තිස් දෙනෙකු පමණ සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කර තිබියදී මෙම ගැටුමට මුල්වූ එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත‍්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා ඇතුළු ප‍්‍රබලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස දකුණු පළාත් සභා මන්ත‍්‍රී නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතා නිතර ඉල්ලා සිටියේය.

එහෙත් ඒ වන විට මංගල සමරවීර මහතා අවස්ථා කිහිපයකදීම මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය, මාතර මූලස්ථාන පොලිසිය හා මාතර අධිකරණය වෙත පැමිණ තිබුණි.

එම එකදු අවස්ථාවකදී හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට වුවමනාවක් නොවීය. දකුණු පළාත් සභා මන්ත‍්‍රී නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතා මාධ්‍ය මගින් පොලිසියට ඒ පිළිබඳව චෝදනා එල්ල කරන්නට විය.

ඒ අනුව පොලිසිය අදාළ මන්ත‍්‍රීවරයා ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අධිකරණය වෙත කැඳවන ලෙස ඉකුත් 14 වැනි දින මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුවන් සිසිර කුමාර මහතාගෙන් නොතීසි නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

නොතීසි නිකුත් කිරීම ප‍්‍රතික්ෂේප කළ මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා එම සැකකරුවන් ගැටුමට සම්බන්ධ නම් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පොලිසියට දැනුම් දුන්නේය.

තමා අත්අඩංගුවට ගැනීමේ සූදානම පිළිබඳව ආරංචි වී තිබූ නිසාදෝ මීට පෙර නඩු වාරයේදී අධිකරණය වෙත පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා එදින උසාවියට නොපැමිණ තිබුණි. ඔහු වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් අමරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

අධිකරණ ප‍්‍රකාශය පිළිබඳව දැන ගත් මංගල සමරවීර මහතා තමා පසු දිනම උසාවියට බාර වන බවට මාධ්‍ය මගින් දැනුම් දුන්නේය.

ඒ අනුව ඉකුත් 15 වැනි දින නීතිඥවරුන් පිරිසක් සමග මාතර මූලස්ථාන පොලිසිය වෙත පැමිණි ඔහු පොලිසියට බාර විය. ඊට අමතරව දෙවිනුවර ආසන සංවිධායක එච්.ආර්. විමලසිරි, බලපිටිය ආසන සංවිධායක නීතිඥ කමල් සොයිසා, දකුණු පළාත් සභා මන්ත‍්‍රී බී.ජී. චන්දන ප‍්‍රියන්ත යන මහත්වරු ඇතුළු අට දෙනෙකුද පොලිසියට බාරවී තිබුණි.

 

 

මන්ත‍්‍රීවරයා ජීප් රථයකින් අධිකරණයට.

 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පොලිසිය වෙත පැමිණෙන විට පොලිතින් බෑගයක්ද රැුගෙන ආවේය. ඒ තුළ ඇඳුමක්, ඖෂධ වර්ග, ආලේපන වර්ග ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක්ම තිබුණේය.

මන්ත‍්‍රීවරයාගෙන් පොලිසිය ගැටුම සම්බන්ධයෙන් පැයක පමණ කාලයක් ප‍්‍රකාශයක් ලබා ගත්තේය. මාතර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේදී එම ප‍්‍රකාශය ලබා ගත්තේය.

එම අංශය වෙත මංගල සමරවීර මහතා කැඳවාගෙන යන විට ඔහු පොලිසියෙන් ඇසුවේ තමා අපරාධකාරයකු යයි සිතා අපරාධ විමර්ශන අංශය වෙත කැඳවා ගෙන යන්නේද කියාය.

කෙසේ වෙතත් ඉන් අනතුරුව ඔහු අධිකරණය වෙත ගෙන යාමට සූදානම්ව තිබියදී මංගල සමරවීර මහතා තමාට අත් විලංගු දමන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටියේය. මාංචු දමන තෙක් ඔහු පොලිසිය තුළ අසුන් ගෙන සිටියේය.

එහිදී පොලිසිය ප‍්‍රකාශ කළේ මීට පෙර අධිකරණය වෙත රැගෙන ගිය සැකකරුවන්ටද මාංචු නොදැමූ නිසා මන්ත‍්‍රීවරයාට ද එසේ කළ නොහැකි බවයි.
ඒ අනුව මිනිත්තු කිහිපයක් රැඳී සිටි මංගල සමරවීර මහතා පොලිසිය වෙත යාමට සූදානම් විය. සැකකාර දෙවිනුවර ආසන සංවිධායක එච්.ආර්. විමලසිරි හා බලපිටිය ආසන සංවිධායක නීතිඥ කමල් සොයිසා යන මහත්වරු එක් ජීප් රථයක ද මංගල සමරවීර මහතා තවත් ජීප් රථයකද නංවාගෙන යාමට සැලසුම් කර තිබුණි.

එම අවස්ථාවේදී මන්ත‍්‍රීවරයා තමා වෙනත් සැකකරුවන් රැුගෙන යන ආකාරයට ජීප් රථයේ පිටුපස කොටසේ දමාගෙන යන ලෙසට පොලිසියෙන් ඉල්ලා සිටියේය. එයද ප‍්‍රතික්ෂේප කළ පොලිසිය ජීප් රථයේ මැද පෙළ ආසනයක් මංගල සමරවීර මහතාට ලබා දී අධිකරණය වෙත රැුගෙන ගියේය.
මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුවන් සිසිර කුමාර මහතා ඉදිරියේදී මෙම නඩුව මෝසමක් මගින් කැඳවනු ලැබීය. එහිදී පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ ගන්දර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එන්. පුෂ්පකුමාර මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට නායකත්වයෙන් ඉල්ලා අස්වෙන්නැයි බලකරමින් පෙළපාළියක ගිය පිරිසක් හා වික‍්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් පෙළපාළියක ගිය පිරිසක් අතර මෙම ගැටුම ඇති වූ බවයි.

මෙම සැකකරුවන් අයුතු ජනරාශියක සාමාජිකයින් වී පිරිසකට පොලූවලින් පහරදී තුවාල සිදු කිරීමට ක‍්‍රියාකිරීම, ලොරි රථයකට පහරදී අලාභහානි කිරීම, ලවුඞ් ස්පීකර් ෆෝන් දෙකක් කොල්ලකෑම ආදී සිද්ධීන්වලට හඳුනාගෙන ඇති සැකකරුවන් බවයි.

එම නිසා ඔවුන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොමැති බවද ඇප ලබා දෙනවාට විරුද්ධත්වයක් නැති බවද අධිකරණයේ අභිමතය පරිදි ක‍්‍රියා කරන ලෙසද පොලිස් පරීක්ෂක පී.එන්. පුෂ්පකුමාර මහතා කීවේය.

කෙසේ වෙතත් මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුවන් සිසිර කුමාර මහතා එහිදී එකම සිද්ධියකට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙපිරිසකට දෙවිදියකට සලකන්නේ ඇයිදැයි පොලිසියෙන් ප‍්‍රශ්න කළේය. කොටසක් රිමාන්ඞ් කරන ලෙස ඉල්ලීමත් තවත් කොටසකට ඇප ලබාදීමට විරුද්ධ නැති බව කීමත් අසාධාරණ බවද කීවේය.

 

ඇප ලබා අධිකරණයෙන් පිටතට පැමිණි පසු.

 

එහිදී පොලිසිය පැවසුවේ රිමාන්ඞ් භාරයට පත්කර ඇත්තේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට අවශ්‍ය අය බවත් මෙම තිදෙනා පෙරෙට්ටුවකට අනවශ්‍ය බවත්ය.
කෙසේ වෙතත් අදාළ චෝදනා තුනට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා මුදා හැරීමට මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා නියම කළේය.

තවද ඔවුන්ට සෑම මසකම අවසන් ඉරු දින මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ පෙනී සිටින ලෙසද සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසද වැඩිදුරටත් දැනුම් දුන්නේය.

මේ අතර එදින උදෑසන පොලිසිය වෙත පැමිණ බාරවූ දකුණු පළාත් සභා මන්ත‍්‍රී බී.ජී. චන්දන ප‍්‍රියන්ත මහතා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු ලබන 21 වැනි දින දක්වා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා රිමාන්ඞ් කරනු ලැබීය.

තමාගේ කොඳු නාරටිය මෙන් සිට දේශපාලනය නිසා සිර බත් කන පිරිස අතරට යාමට සූදානම්ව පැමිණි මංගල සමරවීර මහතාට අවසානයේදී ඇප නියම විය. ඔහු පිළිගැනීම සඳහාද මාතර අධිකරණය අසල විශාල පිරිසක් රැස්ව සිටියහ.

ඇප ලබාගෙන පැමිණි පසු මංගල සමරවීර මහතා මාතර බන්ධනාගාරයේ සිටින සිය හිතවතුන් පිරිසගේ දුක සැප බැලීමට ද ගියේය. විශේෂයෙන්ම මෙම ගැටුම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඉන් 43 දෙනෙකුම මංගල සමරවීර මහතාගේ පාර්ශ්වයට අයත්ය.

රිමාන්ඞ් භාරයේ සිටින එම පිරිස අතර දකුණු පළාත් සභා මන්ත‍්‍රී ගයාන් සංජීව, මාතර මහ නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත, නාගරික මන්ත‍්‍රීවරුන් වන නලින් අබේගුණවර්ධන, නුස්කී ඉක්බාල්, මාතර ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් කොඩිකාර, දෙවිනුවර ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හේමසිරි කොඩිතුවක්කු, දකුණු පළාත් සභා මන්ත‍්‍රී බී.ජී. චන්දන ප‍්‍රියන්ත යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතාට හිතවත් ප‍්‍රබලයින් රැසක් සිටිති.

ඔවුන්ගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාද පසුගියදා මාතර බන්ධනාගාරය වෙත පැමිණියේය. ඊට අමතරව රිමාන්ඞ්භාරයේ අපරැක්ක ආයුර්වේද රජයේ රෝහලේ ප‍්‍රතිකාර ලබන මාතර හිටපු නාගරික මන්ත‍්‍රී ජාලිය ජයවර්ධන මහතා බැලීමටද විපක්ෂ නායකවරයා අමතක නොකළේය.

මේ අතර රිමාන්ඞ් භාරයට පත් කර සිටින සැකකරුවන්ගෙන් 32ක් මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කර තිබුණි. එහිදී සාක්කිකරුවකු වූ දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතාගේ පුත් චරිත ගුණරත්න මහතා පෙරෙට්ටුවකට සහභාගී වී මාතර නාගරික මන්ත‍්‍රී නුස්කී ඉක්බාල් හා මාතර මහ නගර සභාවේ සුළු සේවක ජයරාජා හෙලප‍්‍රිය යන දෙදෙනා තමාට පහරදුන් සැකකරුවන් බවට හඳුනා ගත්තේය.
මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවකු වූ මෛත‍්‍රී ගුණරත්න මහතාගේ පියා වන හර්මන් ගුණරත්න මහතා පෙරෙට්ටුවට සහභාගී නොවූ නිසා ලබන 21 වැනි දින යළි හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැත්වේ.

 

 

ඒ සඳහා මංගල සමරවීර මහතාගේ පාර්ශ්වයේ සැකකරුවන් 42 ක් සහභාගී කරවීමට නියමිතව ඇත.

ගිනිඅවියකින් වෙඩි තබා පුද්ගලයින් පස්දෙනෙකු ඝාතනය කිරීමට තැත් කළැයි සැකපිට හර්මන් ගුණරත්න මහතා බන්ධනාගාර නිලධාරීන් භාරයේ කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.


 

 

 

මේ වගේ දේවලින් අපේ ගමන නවත්වන්න බෑ


”ආණ්ඩුවේ වුවමනාව මත පොලිසිය අද වන විට තමාගේ කොඳු නාරටිය මෙන් සිටින එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් දඩයම් කරනවා” යැයි එම පක්ෂයේ මාතර දිස්ත‍්‍රික් නායක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පැවසීය.

සමරවීර මහතා මාතර පොලිසිය වෙත බාරවීමෙන් පසු අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇප ලබාගෙන පිටතට පැමිණීමෙන් පසු ඒ බව ඔහු කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා මෙසේද කීවේය.

”අද වන විට මාගේ පාක්ෂිකයන් 43 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කර තිබෙනවා. ඒ වගේම අනෙක් අයගේ ගෙවල්වලට නිතර පැන පරීක්ෂා කරනවා. මේ තත්ත්වය යටතේ අපගේ පාක්ෂිකයින් දැඩි අසරණවීමකට ලක්වෙලා.

ආණ්ඩුවේ වුවමනාව මත එක පැත්තකට විතරයි පොලිසිය නීතිය ක‍්‍රියාත්මක කරන්නේ. වෙඩි තියලත් අනෙක් පැත්තේ කිහිපදෙනයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

මේ දේවල්වලින් අපගේ ගමන නවත්වන්න බැහැ. කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂය රටේ ආණ්ඩු බලයට ගෙන ඒමේ සටන මේ නිසා නතර කරන්නේ නැහැ. මේ බාධකවලින් අපි තවත් ශක්තිමත් වෙනවා. අප පාක්ෂිකයන් දඩයම් කිරීමේ කුමන්ත‍්‍රණය හකුලා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

රටේ නීතිය සියලූ දෙනාට සාධාරණ වෙන්න  ඕනෑ. ඒ වගේම අපක්ෂපාතී විය යුතුයි. මේ ආකාරයට ක‍්‍රියාකිරීම වැරදියි. අධිකරණය කරුණු විමසා බලා අප තිදෙනෙකුට සාධාරණය ඉටු කළා. ඒ වගේම අසාධාරණ ලෙස රිමාන්ඞ් කර තිබෙන මාගේ කොඳු නාරටිය වැනි පිරිසක් නිදහස් කර ගැනීමට අවශ්‍ය හැමදේම සිදු කරනවා.”


- ක‍්‍රිෂාන්

 

 

එක්සත් භික්‍ෂු පෙරමුණ යෝජනා කරන යෝජනා අට


එක්සත් ජාතික පක්‍ෂය දිනන මාවතකට ගැනීමට නායකත්ව මණ්ඩලයක් පත්කරන්නේ නම් ඒ පිළිබඳ සාකච්ඡුා කළ යුතු පිළිවෙත පිළිබඳ අටවැදෑරුම් යෝජනාවලියක් එක්සත් භික්‍ෂු පෙරමුණ ඉකුත්දා නිකුත් කළේය. රනිල්, කරු සහ සජිත් තිදෙනා එක්ව සාකච්ඡුා කරන්නේ නම් ඒ සාකච්ඡාව මෙසේවිය යුතු බව එහි සඳහන් වේ.

එම භික්ෂු පෙරමුණේ අනුශාසක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද හිමිගේ අස්සනින් යුතුව ලබාදී ඇති එම ප‍්‍රධාන කරුණු අට මෙසේය.

01. ඔබතුමා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයා වශයෙන් කි‍්‍රයා කළ යුතුය. එසේම විපක්ෂ නායකයා වශයෙන් හා පාර්ලිමේන්තු කටයුතු මෙහෙයවීම භාර නායකයා වශයෙන්ද කටයුතු කළ යුතුය.

02. පක්ෂය මෙහෙයවීමට පක්ෂ නායකත්ව මණ්ඩලයක් පත් කළ යුතු අතර, මෙම මණ්ඩලය පක්ෂය මෙහෙයවීමේ සියලූ පූර්ණ බලතල සහිත වූවක් විය යුතුය.

03. පත්වන මණ්ඩලය ”නායකත්ව මණ්ඩලය” නමින් හැඳින්විය යුතුය.

04. පක්ෂ නායකයා සතු සියලූ බලතල ද නායකත්ව මණ්ඩලයට පැවරිය යුතුය.

05. නායකත්ව මණ්ඩලය තුළින් පක්ෂය තුළ සිදු කළ යුතු සියලූ පත්කිරීම් හා ප‍්‍රතිසංශෝධනයන්ද, තීරණ ගැනීම් ද ඇතුළත් සකලවිධ කාර්යයන් සිදු කළ යුතුය.

06. නායකත්ව මණ්ඩලය පත් කළ වහාම කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇතුළු පක්ෂයේ ව්‍යුහය තුළ තිබෙන සියලූ සංවිධාන ප‍්‍රතිව්‍යුහගත කිරීමේ බලය නායකත්ව මණ්ඩලය සතු විය යුතුය.

07. කරු ජයසූරිය මැතිතුමාගේ සභාපතිත්වයෙන් හා සජිත් පේ‍්‍රමදාස මැතිතුමාද ඇතුළත්ව නවදෙනකුගේ උපරිමයට යටත්ව පත් කෙරෙන නායකත්ව මණ්ඩලයේ සෙසු සාමාජිකවරුන් ඉදිරියේදී, එක්සත් භික්ෂු පෙරමුණ විසින් යෝජනා කරනු ලැබේ.

08. ඉහත සඳහන් සියලූ යෝජනා සති දෙකක් තුළ නිම කළ යුතුය.

 

 



අදහස් (0)

තවමත් අවසන් නැති මාතර ”අලි-අලි” ගැටුම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 76 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 501 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 931 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site