IMG-LOGO

2025 ජුනි මස 02 වන සඳුදා


ජීවිතය බබළවන බුදු සිරිතේ ආදර්ශ

සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසියම් අභියෝගයක් වූවාට සැක නැත. සියලු සැප සම්පත් ඉවතලූ සිදුහත් බෝසතාණෝ බොහෝ ආකර්ෂණීයත්වයකින් පැවැති ශ්‍රමණ සම්ප්‍රදාය තම විමසුම් ක්‍රියා පිළිවෙත සඳහා යොදා ගන්නා ලදහ. එම සම්ප්‍රදායික පැවැති ස්වරූපයක් වූ තවුස් පැවිද්දට පත් වූ ආකාරය ද බොහෝ දෙනා දන්නා කරුණකි. එම සම්ප්‍රදායට අනුකූලව අනුගමනය කළ විවිධ රුක්ෂ ප්‍රතිපදා අනුගමනය කළ අතර ශරීරයට දැඩි දුක් දෙමින් වසර හයක් අනුගමනය කළ ආකාරය ද දැක ගත හැකිය.

තමන් වහන්සේ අනුගමනය කරන විමුක්ති මාර්ගයට එම ක්‍රමෝපාය ප්‍රමාණවත් නොවන බව තේරුම් ගත් බෝසතාණන් වහන්සේ නිහඬව සම්ප්‍රදාය හා ආචාර්යවරුන්ගෙන් ඉවත්ව ගියහ. එම කාල වකවානුවලදී ඒ පිළිබඳ කිසිදු විවේචන නොකිරීම ද ආදර්ශයට ගත හැකිව තිබේ. ඉන් අනතුරුව තමන් වහන්සේ විසින් ම මැදුම් පිළිවෙත තෝරා ගත් අතර එම මග අනුගමනය කරමින් චතුරාර්ය සත්‍යය අවබෝධයට එළැඹි ආකාරය නමේ ආචෑරියො අත්ථි යනුවෙන් ප්‍රකාශ කළ ද තමන් වහන්සේ අවබෝධ කර ගත් නව දහම දේශනා කිරීම සඳහා විමසා බලන ලද්දේ පෙර ගුරුවරුන් පිළිබඳව ය. ඉන් අනතුරුව විමසීමට ලක් කොට ඇත්තේ විමුක්ති ගවේෂණයෙහි එකට ගමන් කරමින් තමන් වහන්සේට උපස්ථාන කටයුතු සිදු කළ මිතුරන් වූ පස්වග තවුසන් ය. සව් කෙලෙසුන් නසාලීම සඳහා සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතුව අසුන් ගත් ඇසතු ගස සඳහා අනිමිස ලෝචන පූජාවක් පැවැත්වීම සිදු කළේ අවබෝධ කරගත් දහමෙහි අකුරක් හෝ වචනවලට පෙරළීමට පෙර ය. බුද්ධත්වයට පත් තථාගතයන් වහන්සේගේ මුල්කාලීන ප්‍රායෝගික චර්යාවන් ලෝකයාට අප්‍රකාශිතව පෙන්නුම් කරන ලද්දේ කලගුණ සැලකීමේ උතුම් ප්‍රකාශනයේ බව ඉතා පැහැදිලි ය.

තථාගතයන් වහන්සේ ශාස්තෘවරයන් වහන්සේ නමක ලෙස භාරතයේ ප්‍රකට වූයේ අසමසම මග පෙන්වීමකින් යුතු අයකු වශයෙනි. එම ස්වභාවය තමන් වහන්සේගේ භාවිතයෙන් ලෝකයාට පෙන්නුම් කළ ආකාරය ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් ආදර්ශයට ගත යුතු වේ. උන්වහන්සේගේ ධර්ම දේශනා මෙලොව දියුණුව මෙන්ම පාරලෝකික සුබසිද්ධිය සඳහා ද හේතුවන අනුශාසන බව දිට්ඨධම්මේහිච සම්පරායේහිච අනුස්සය යත්ති සත්ථා යන අටුවා පාඨයෙන් පෙන්නුම් කර තිබේ.

බුද්ධ වචනයෙන් දැක ගත හැකි උදාර ලක්ෂණයක් ලෙස අන්‍යයන්ට සවන් දීම හෙවත් මහජන මතයට අවනත වීමේ ගුණය පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇත. බොහෝ දෙනාගේ ස්වරූපය තමන්ගේ මතයම ඉස්මතු කිරීමය. ඔවුන් කිසිදු මතයකට නම්‍යශීලී නොවේ. තථාගතයන් වහන්සේ පිළිබඳව ද හැඳින්වීම වන්නේ ශක්‍රපිශක්‍ර, බ්‍රහ්මාපිබ්‍රහ්ම දේවාතිදේව යනාදී විශේෂණ යෙදුම්වලින් ය. එබඳු වූ භග්‍යවතුන් වහන්සේ ද ජන මතයට මෙන්ම විරෝධාකල්ප පිළිබඳව අවධානය යොමු කළ ආකාරය බුද්ධ චරිතයෙන් උදාහරණ ගත හැකිය. කුඩා රාහුල කුමරු පැවිදි කිරීමෙන් සුද්ධෝදන රජතුමා හා යශෝදරා දේවිය පත් වූ අසීරුතාවේදී තම පිය රජතුමා පෙන්නුම් කරන ලද මවුපිය අවසරයෙන් තොර පැවිදි කිරීම නොකළ යුතුය යන ඉල්ලීමට නම්‍යශීලී වූහ. අද දිනයේ ද එම තථාගත විනය ප්‍රඥප්තිය ක්‍රියාත්මක වන බව බොහෝ දෙනා දන්නා කරුණකි. එමෙන්ම වස් විසීමේ චාරිත්‍ර ධර්මය ද මහජන මතයට නම්‍යශීලී වීමේ ක්‍රියාමාර්ග ලෙස දැක්විය හැකි අතර කුල දරුවන් පැවිදි උපසම්පදා කිරීම් ආදිය ද භාග්‍යවතුන් වහන්සේ අන්‍ය මත සවන් දීමේ ගුණය පෙන්නුම් කරන්නකි.

පැවිදි උපසම්පදා වන අයගේ ගුරුවරුන්ගේ පහසුව පිණිස තමන් වහන්සේ සිදු කළ එම වගකීම් ඒ ඒ පළාත්වලදී සිදු කිරීම සඳහා භික්ෂූන් වහන්සේට පවරා දෙන ලදි. සැරියුත් හිමියන්ගේ ඉල්ලීම පරිදි කුඩා දරුවන් පැවිදි කිරීමේ අවසරය පැවරීම බිම්බිසාර රජතුමාගේ ඉල්ලීම පරිදි රාජ භටයන් පැවිදි නොකිරීම පමණක් නොව ජීවක වෛද්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාංසුකූලික චීවරය වෙනුවට උසස් ගණයේ සිවුරු පරිහරණයට අවස්ථාව ලබා දීම ද පිණ්ඩපාතය වෙනුවට දායකවරුන්ගේ ආරාධනයෙන් විශේෂ දාන පිළි ගැනීමට අවසර ලබා දීම මතු නොව බිම්බිසාර රජුගේ ඉල්ලීම පරිදි රුක්ඛමූල සේනාසනවලින් බැහැරව විශේෂ ආරාම පිළිගැනීමේ හා විශාඛා උපාසිකාවගේ ඉල්ලීම පරිදි වැසිසලු පරිහරණය කිරීමේ අවස්ථාවක් ලබා දෙන අතර භාග්‍යවතුන් වහන්සේගේ නම්‍යශීලීගුණයට ත්‍රිපිටකයේ බොහෝ නිදසුන් දැක ගත හැකිය.

භාග්‍යවතුන් වහන්සේ පහළ වන අවධිය වන විට දඹදිව විවිධ දර්ශන හා ආගමික ඉගැන්වීම් තිබූ බව ප්‍රකට කරුණකි. ඔවුන්ගේ මතය වූයේ ඉචමේව සච්චං මෝසමඤ්ඤං තමන්ගේ ඉගැන්වීම සත්‍ය බවත් අනෙක් සියලු ඉගැන්වීම් අර්ථ ශුන්‍ය බවත් ය. තථාගතයන් වහන්සේ තම දහම පිළිබඳ එසේ ප්‍රකාශ නොකරන ලද්දේ තත්කාලීන සියලු ආගමික නායකයන් සමග ඉතා සමීපව ක්‍රියා කරමින් ඔවුන්ගේ ආරාමවලට ගොස් සුවදුක් විමසීම් ආදිය සිදු කරමින් සමීප ආගමික සහනශීලීත්වයකින් කටයුතු කළ බව පෙනේ. මෙම ආගමික සහනශීලීතාව ආගම් ආදී විවිධ හේතු නිසා පිල් බෙදී ජීවිත හානි පවා සිදු කරන අන්තගාමී අදහස් දරනා ඇතැම් අයට මහත් පාඩමක් කර ගත හැකි වේ.

එක් ආගමකට ගරු කරමින් අනෙක් ආගමික ඉගැන්වීම්වලට ගැරහීමෙන් වැළකී සිටීම සඳහා කවර ආගමක වුව ද හරවත් සදාචාර සම්පන්න විචාරශීලී ඉගැන්වීම් ද වාද භේදවලින් තොරව ගරු කළ යුතු බව පෙන්වා දී ඇති අතර බුද්ධ චරිතයෙන් එය මැනැවින් මූර්තිමත් කොට ඇති ආකාරය දැක ගත හැකිව තිබේ.

බුද්ධ චරිතයෙන් විද්‍යමාන මහා කාරුණික ගුණය පිළිබඳව සලකා බලන විට බුදුවරයන් වහන්සේ නමකට පමණක් ආවේනික එම ගුණය මුළුමනින් ම අනුගමනය කළ නොහැකි වුව ද ඕනෑම කෙනකුට කාරුණිකත්වය මෙන්ම මහා මෛත්‍රෙය වෙනුවට මෛත්‍රී ගුණය හෙවත් මිතුරුකම අවශ්‍යතාව මත ඇති කර ගත හැකිය. කරුණා ගුණය ධර්මයෙහි විස්තර වන්නේ පරදුක්ඛේ සාධුනං හදය කම්ප්න් කරෝතීති කරුණා යනුවෙනි. භාග්‍යවතුන් වහන්සේගේ මෙම අසදෘෂ ගුණය ත්‍රිපිටකය පුරාම දැක ගත හැකි වේ. උන්වහන්සේ මෙයට අවතීරණය වූයේ තම උතුම් චර්යාවන් සඳහා පනවා ගත් කාල කළමනාකරණයෙහි පෙරයම් කිස හෙවත් අලුයම් කාලයෙහි මහා කරුණා සමාපත්ති ඤාණයෙන් ලොව දිහා බැලීමේ උතුම් අවස්ථාවේදී ය. මෙහිදී කුලීන කුලහීන සියල්ලන් කෙරෙහිත් තමන් වහන්සේ ඝාතනය කිරීම සඳහා ක්‍රියා කළ දෙව්දත් අංගුලිමාල ආදීන්ටත් නාලාගිරි වැනි හස්තීන්ටත් තම ගිහි දිවියේ එකම පුතණුවන් වූ රාහුල කුමරුන්ටත් දක්වන ලද්දේ එකම කාරුණිකත්වයයි.

(***)



අදහස් (0)

ජීවිතය බබළවන බුදු සිරිතේ ආදර්ශ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 159 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 319 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 601 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site