IMG-LOGO

ජාතික රෝහලේ හදවත් ඒකකය ලෙඩ ඇඳේද?

කොළඹ ජාතික රෝහල මෙරට නිදහස් සෞඛ්‍යයේ පුරෝගාමී සේවයක් ඉටුකරයි. කොළඹ ජාතික රෝහල් ඉතිහාසය ගැන සොයා බැලීමේ දී එය වසර එකසිය පනහක දුර අතීතයට දිව යන්නකි.

මහ රෝහල සර් හෙන්රි වෝඩ්ස් ආණ්ඩුකාර ධුරය (1855-1860) යටතේ පිහිටුවන ලද අතර, එම ව්‍යාපෘතිය සඳහා පවුම් 3000 ක් වෙන් කරන ලදී. ප්‍රධාන සිවිල් වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාර්ස්ලිගේ ආරම්භක පරිපාලනය යටතේ 1864 දී ලෝන්ග්ඩන් පෙදෙසේ මහ රෝහල විවෘත කරන ලදී. අක්කර තිස් දෙකක භූමියක ඇරැඹි කොළඹ ජාතික රෝහල ලංකාවේ ප්‍රධාන විශාලතම ශික්ෂණ රෝහල වේ. එදා මෙය මහ රෝහල ලෙස නම් කර තිබුණි. ජාතික රෝහල ඇරැඹීමෙන් වසර අසූ අටකට පසු එනම් 1952 දී රෝහල් මුළුතැන්ගෙය සහ පළමු හෘද රෝග ඒකකය ඉදිකරන ලදී. වසර 73 කට ප්‍රථමව ඉදි වූ හෘද රෝග ඒකකයේ වර්තමානය කනගාටුදායක තත්වයකට පත්ව තිබේ.

මිනිස් ශරීරය යනු විශිෂ්ට හා සංකීර්ණ යාන්ත්‍රණයකි. මෙය ක්‍රියාත්මක වන්නේ විවිධ අවයව සහ පද්ධති එකට ක්‍රියාත්මක වීමෙන් ය. එහි ක්‍රියාකාරීත්වය නඩත්තු කිරීම සඳහා බොහෝම අත්‍යවශ්‍ය අවයව සහ පද්ධති සම්බන්ධ වී ඇත.  ඒ සියල්ල අතරින්, සිරුරේ ජීවමානභාවය පවත්වාගෙන යන අත්‍යවශ්‍යම අවයවය වන්නේ හදවත ය. හදවත යනු ජීවයේ මූලික මූලාශ්‍රයයි. මිනිසකු උපන් තත්පරයෙන්ම එය ගැසීමට පටන් ගනී. මියයන තුරු එය නතර නොවී ක්‍රියා කරයි. රුධිරය හරහා සිරුර පුරා ඔක්සිජන්, පෝෂක, හෝර්මෝන හා විෂ ද්‍රව්‍ය පිරිසුදු කිරීමට උපකාරී කරමින්, සෑම අවයවයකටම ජීවය ලබා දෙනු ලබන්නේ හදවත මඟින්ය. හදවත මිනිසාට නැතිවම බැරි අවයවයකි. ජීවිතයේ නැතිවම බැරි සමහර දේ සඳහා හදවත උපමා කරන්නේද ඒ නිසාය. විශේෂයෙන්ම සංවේදී හැඟීම් දැනීම් හා සම්බන්ධ කරුණු කාරණාවල දී සාහිත්‍යධරයන් ඒ හා සම්බන්ධ කරන්නේ මොළය නොව හදවත යි. මෙහි ප්‍රධානතම කර්තව්‍යය වෙන්නේ මිනිස් සිරුරෙහි සංසරණය විය යුතු රුධිරය සිරුර පුරා පොම්ප කිරීමයි. මේ සඳහා උපන් දා සිට නොනැවතී යන්ත්‍රයක් මෙන් හදවත ක්‍රියාත්මක වේ. සිරුරට මෙතරම් වටිනා අවයවයක් වූ හෘදය රැක ගැනීම පුද්ගලයාගේ වගකීමකි. එමෙන්ම රෝගී වූ හදවතක් සුව කිරීම මෙරට නිදහස් සෞඛ්‍යයේ ද වගකීමකි. එම වගකීම වෙනුවෙන් රජය දක්වන දායකත්වය ප්‍රමාණවත් ද යන්න ගැටලුවකි.

ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ඇන්ජියෝග්‍රෑම් යන්ත්‍ර ත්‍රිත්වයෙන් එකක් ජනවාරි මස සිට අක්‍රීයව පැවතුණි. අනෙක් යන්ත්‍ර ද්විත්වය ද ඇතැම් අවස්ථාවල අක්‍රිය විය. හුදු පුවතකින් ඔබ්බෙහි මේ සිදුවීමේ ඇති බරපතළභාවය කෙනකුට වැටහෙන්නට නම් එමඟින් ලැබෙන සේවා මොනවාදැයි අවධානය යොමුකළ යුතුය.

හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිවල ඇති අවහිරතා හඳුනා ගැනීම (ඇන්ජියෝග්‍රෑම්) හා අවහිරතා ඉවත් කිරීම, ඒවා නිවැරැදි කිරීමට ස්ටෙන්ට් දැමීම (ස්ටෙන්ටින්), අවහිරතාව සියයට 90ට වැඩි නම් බයිපාස් සැත්කම්වලට යොමු කිරීමට අදාළ රෝග විනිශ්චය, හදවතේ සිදුරු හඳුනා ගැනීම හා නිවැරැදි කිරීම, හෘදයේ කපාටවල අවහිරතා හඳුනා ගැනීම යන සංවේදී සේවා රැසකට මෙම යන්ත්‍රය සහාය වේ. යථාර්ථයේ දී හෘද කැතීටරකරණ යන්ත්‍රයක් බිඳ වැටීමේ ඛේදවාචකයට මුහුණ දෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනයා මිස අන් කවරකුවත් නොවේ.

හෘද රෝග ඒකකයක් යනු ජාතික රෝහලක පිහිටි ඒකකවලින් අතිශය සංවේදී ඒකකයකි. හෘද රෝග ඒකකයකින් වසරකට පරීක්ෂණ හා ප්‍රතිකාර සඳහා ලියාපදිංචි වන හදවත් රෝගීන් සංඛ්‍යාව දහස් ගණනකි. එහෙත් මෙසේ ප්‍රතිකාර සඳහා පැමිණෙන සෑම රෝගියකුටම කඩිනමින් ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව අහිමි වන්නේ ඊට අවශ්‍ය සම්පත් ප්‍රමාණවත් නොවන නිසාය. මේ හේතුවෙන් හෘද රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමේ දී පොරොත්තු ලැයිස්තුවක් නිර්මාණය වීම වැළැක්විය නොහැකි වී තිබේ. එවැනි පසුබිමක ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා  නැතිවම බැරි යන්ත්‍රයක බිඳවැටීම හදවත් රෝගීන් තවත් අසරණ කරනු ලබන බව කාටත් වැටහෙන කරුණකි. කාටත් වැටහෙන මේ ඛේදවාචකය බලධාරීන්ට නොවැටහීම කනගාටුවට කරුණකි.

මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡ කිරීමේ දී ඔවුන් පැවසූවේ මෙවැන්නකි.

බහුතර හෘද රෝගීන්ට එන්ජියෝග්‍රෑම් පරීක්ෂණය කරන්න කියලා වෛද්‍යවරු නිර්දේශ කරනවා. කොළඹ ජාතික රෝහලේ එන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සඳහා මාස 6 ක අවුරුද්දක ලොකු ලැයිස්තුවක් තියනවා. ජාතික රෝහලේ එන්ජියෝග්‍රෑම් යන්ත්‍ර ර්‍්‍යික කලක් අක්‍රීයව තිබුණා කැඩුණු යන්ත්‍ර හේතු වෙනවා මේ රෝගීන් ලැයිස්තුව තවත් පස්සට යන්න. රෝගියකුට මෙම පරීක්ෂණය සඳහා දිනයක් ලබා දෙන්නෙත් මාස  6කින් වගේ පසු දිනයක්.  රෝගියකු මාස 6කට පස්සෙ එද්දිත් එම යන්ත්‍ර කැඩිලා නම් නැවත රෝගියා හරවලා යවනවා ආපහු මාස 6 කින් තමයි ඒ රෝගියාට දිනයක් ලැබෙන්නේ. ඒ වෙද්දි රෝගියා මිය යන්නත් පුළුවන්. මේක හරිම දුක්බර කතාවක්.

කැඩුණු යන්ත්‍ර හදන්නත් එම යන්ත්‍ර ලබාගත් වෙළෙඳ ආයතනයෙන්ම එන්න ඕන. ඒ සඳහා ලොකු මුදලක් වැය වෙනවා. රෝහලේ යම් යන්ත්‍රයක් කැඩුණු විට එය නැවත සකස් කිරීම සඳහා ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකයට දැනුම් දෙනවා. ඔවුන් මාස ගණනක් උත්සහ කරලා හදන්න බෑ කියලා අපිට දැනුම් දෙනවා. එයාලට එම කැඩුණු යන්ත්‍ර හදන්න බෑ කියන එකත් සාධරණයි. මොකද එම අංශයේ ඉන්නේ සුදුසුකම් ලත් ජීව වෛද්‍ය ඉංජිනේරුවරු නෙමෙයි. ආමත්‍යාංශයෙන් බඳවාගෙන තියෙන්නෙ ඉලෙක්ට්‍රෝන ඉංජිනේරුවරු, සිවිල් ඉංජිනේරුවරු වගේ අය. ඔවුන් යන්ත්‍ර නිෂ්පාදන ආයතනය මගින් විදේශ රටවලට යවලා ආයතනයේ නිෂ්පාදන ගැන පුහුණුව ලබා දෙනවා. පුහුණුවෙන් පසුව ඔවුන් කටයුතු කරන්නේ එම ආයතනවල අවශ්‍යතාවට අනුව. යන්ත්‍ර කැඩෙන එක සාමාන්‍යයි. මොකද මේ යන්ත්‍ර මගින් උපරිම ධාරිතාවෙන් ප්‍රයෝජන ගන්නවා. ඒවා හදන්න යන කාලය තමයි අසාමාන්‍ය. මෙයින් හෘද රෝගින් අසරණභාවයට පත් වෙනවා. මේකෙ ගැටලුව තමයි හරියට සිස්ටම් එකක් නෑ. පරිපාලන අකාර්යක්ෂමතාවක් අමාත්‍යංශයේ තියෙන්නේ.

ලංකාවේ සෑම පළාතකින්ම රෝගීන් එනවා කොළඹ ජාතික රෝහලට. රෝගීන් 500ක් විතර එනවා සායනවලට. පරීක්ෂණ ලයිස්තුවේ 2000 ඉක්මවා රෝගීන් ඉන්නවා. පරීක්ෂණ ලයිස්තුවට නම් ඇතුළත් නොවූ රෝගීන් විශාල ගණනක් ඉන්නවා. ඇත්තටම ඔක්කොම රෝගීන් 10000ක් විතර ඉන්නවා. දිනකට හෘද රෝගීන් සඳහා එන්ජියෝග්‍රෑම් පරීක්ෂණ 50 ක් 60 ක් වගේ කරන්න ඕන. ඒත් යන්ත්‍රවල ගැටලු නිසා කරන්න බෑ. මේ යන්ත්‍ර අවුරුදු 15 ත් 20 ත් අතර පැරැණි. මේවා අලුතින් මිලදී ගත් ඒවා නෙමෙයි. වෙනත් රටවල භාවිත කරපුව තමයි මිලදීගෙන තියෙන්නේ. ඒ නිසා තමයි නිරන්තරයෙන් කැඩෙන්නේ. මෙම එන්ජියෝග්‍රෑම් පරීක්ෂණය පෞද්ගලික රෝහලකින් කරන්න රුපියල් ලක්ෂයක් වගේ මුදලක් යනවා. රජයේ රෝහලක කළත් රජයට මේ මුදල වියදම් වෙනවා. ඇයි බැරි මේවා රජයේ වියදමින් පෞද්ගලික රෝහල්වල කරන්න. ඇයි මේ දුප්පත් මිනිස්සුන්ට සහනයක් දෙන්න බැරි. ඇන්ජියෝග්‍රෑම්වලටම වෙනම අරමුදලක් පිහිටවන්න ඕන හරිනම්.

තවත් ගැටලුවක් තමයි හෘද රෝගී සායනයේ පවතින ගැටලු. සායනයේ විශාල පෝලිමක් තියනවා.  රෝගියෙක් උදේ 8 ට සායනයට පැමිණියාම වෛද්‍යවරයා හමුවෙන්න දවල්  11 හෝ 12  වෙනවා. ඒ වෙනතෙක් පෝලිමේ ඉන්න ඕන. 12 ට වෛද්‍යවරයා හමුවූ පසු ඔහු නියම කරන ලද ඖෂධ ලබාගන්න දවල් 2 විතර වෙනවා. මුලින්ම ලියාපදිංචි වෙන්න පෝලිමේ. පසුව වෛද්‍යවරයා හමුවෙන්න පෝලීමේ. ඊට පස්සේ බෙහෙත් පෝලීමේ. ඔය අතර්තුරේ මොනයම් හෝ පරීක්ෂණයක් කරගන්න කිව්වොත් නැවතත් පෝලීමක ඉන්න වෙනවා. මේක තමයි රෝහලේ ක්‍රමවේදය.

හෘද රෝගීන් යනු දුර්වල රෝගීන් කොටසක්. රෝගීන් සුවවීම වෙනුවට තවත් රෝගී වීමයි මේ තුළින් සිදු වෙන්නෙ. හෘද රෝග ඒකකයේ පෝලීමයි බාහිර රෝගී ඒකකයේ පෝලීමයි කියන්නෙ එකක් නෙමෙයි දෙකක්. ඒ පෝලීම්වල ඉන්න රෝගීන්ට සාපේක්ෂව මේක සංකීර්ණයි. කනගාටුවට කරුණ වන්නේ අපේ පරිපාලනේ හිතන්නේ මේ දෙකම එකයි කියලා. ඊට අමතරව රෝගීන්ට වාඩිවෙලා ඉන්න වතුර බොන්න හරියට පහසුකම් නෑ. ක්‍රමවේදයක් නෑ. හෘද රෝගින්ට හරියට වැසිකිළි පහසුකම් නෑ.

මෙම ගැටලු හඳුනාගෙන වසර 10 ක වගේ කාලයක් පුරා අමාත්‍යංශය උත්සහ කරනවා ලෝක බැංකුව ආධාරයෙන් මහල් 10ක ගොඩනැගිල්ලක් ඉදි කරලා හෘද රෝග ඒකකයට මෙම පහසුකම් ලබා දෙන්න. සැලැස්ම හදලා අවුරුදු 10ක් වගේ වෙනවා. ඒ සඳහා මුල්ගල් තියලත් දැන් මාස 6ක්. ඒත් තාම කිසිම ප්‍රගතියක් නෑ. ජාතික රෝහල යනු මෙරට පවතින හොඳම සහ විශාලම රජයේ රෝහලයි. ජාතික රෝහල තුළත් මෙවැනි ගැටලු තිබේ නම් අනෙක් රෝහල්වල තත්වය පිළිබඳව කුමන කතාද කියලයි අපේ හැඟීම. හරි ක්‍රමවෙදයක් ඕන මේ ප්‍රශ්න විසඳන්න.

වෛද්‍ය සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මේ පිළිබඳව දැක් වූයේ මෙවැනි අදහසකි,

කොළඹ ජාතික රෝහලේ හෘද එන්ජීයොග්‍රෑම් පරීක්ෂණ සඳහා අවශ්‍ය කරන කැතීටිර් සහ ස්ටෙන්ට් වර්ග රැසක හිඟයක් තියනවා. රෝගීන්ට අවශ්‍ය කරන ස්ටෙන්ට් වර්ග නොමැතිවීම නිසා රෝගීන්ට වැඩි මිලට බාහිරින් මිලදී ගැනීමට සිදුවෙලා තියනවා. වෛද්‍ය සැපයුම් ඒකකය දත්ත පද්ධතියට අනුව මෙම ස්ටෙන්ට් වර්ග හිඟය දැඩි ලෙස පෙන්නුම් කරනවා. ශල්‍යාගාර පහසුකම් පුළුල් නොවීමෙන් කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් සහ වෛද්‍ය පරීක්‍ෂණ සඳහා රෝගීන් පන්දහසකට ආසන්න ගණනක් පොරොත්තු ලේඛනයේ අපේක්ෂාවෙන් සිටිනවා. හෘද ශල්‍යකර්ම පහසුකම් පුළුල් නොවීම, වෛද්‍යවරුන් සංඛ්‍යාව සීමාවීම, පරීක්ෂණගාර පහසුකම් සීමාවීම, යන්ත්‍ර සූත්‍ර නිතර අබලන්වීම, යන්ත්‍ර සූත්‍ර නඩත්තු කටයුතු අතපසුවීම, පුහුණු කාර්ය මණ්ඩල ප්‍රමාණය අඩුවීම, පොරොත්තු ලේඛන දිගු වීමට ප්‍රධාන හේතුවක්. සෞඛ්‍ය ලේකම්වරයා හෝ සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවාවේ පවතින ප්‍රායෝගික ප්‍රශ්න සම්බන්ධව නිසි අවබෝධයකින් කටයුතු නොකරන නිසා මේ සෞඛ්‍ය අර්බුදය දිනපතා වැඩි වෙනවා. මේ තත්වය කෙරෙහි අවධානය යොමු කර කඩිනමින් මෙම ප්‍රශ්නය විසඳීමට මැදිහත් විය යුතුයි.

ශ්‍රී ලංකාව යනු තවමත් සංවර්ධනය වෙමින් පවතින රටකි. එබැවින් ශ්‍රී ලංකාවාසීන් සියල්ලටම රෝගී වූ විට පෞද්ගලික රෝහල්වලින් මුදලට ප්‍රතිකාර ලබාගැනීමට නොහැක. අව්වේ වේළෙමින් පෝලිම්වල සිටිමින් දුක් විඳින්නට කවුරුන් හෝ කැමති නැත. බහුතරය රජයේ රෝහල් වෙත යන්නේ සැප පහසු ඇඳවල්, වායු සමනය කළ කාමර, රිසි පරිදි ඇනවුම් කළ හැකි ආහාර පාන, නැරැඹීමට රූපවාහීනි යන්ත්‍ර වැනි සුඛෝපභෝගී දින කීපයක් ගත කිරීමට ඇති අකැමැත්ත නිසා නොව නොමිලේ ප්‍රතිකාර ලබා ගැනීමට හැකි නිසාය. හෘද රෝගීන් මාස ගණනින් පොරොත්තු ලේඛනවල රැඳී සිටින්නේ පෞද්ගලිකව රෝහලවලින් ලක්ෂ ගණනින් වියදම් කර ප්‍රතිකාර ලබා ගැනීමට මුදල් නොමැති නිසාය. පොරොත්තු ලේඛනයේ මාස ගණනින් රැඳී සිටි බොහෝ රෝගීන්ට අවසානයේ අත් වන්නේ ප්‍රතිකාර ලබා ගැනීමටත් පෙර මරණයයි. හෘද රෝග ඒකකයේ ගැටලු දිනෙන් දින කල් යාමත් සමග සිදුවන්නේ එක් රෝගියකු හෝ ජීවිතයක් අහිමි වීමයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරීන්ගේ වැසුණු ඇස් ඉක්මනින් විවර විය යුතුය.

(*** ශෂිකා අබේරත්න)



අදහස් (0)

ජාතික රෝහලේ හදවත් ඒකකය ලෙඩ ඇඳේද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 245 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 773 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1194 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site