හොඳම මූල්‍ය කළමනාකරණය පවත්වාගෙන යන විශ්වවිද්‍යාල අතරින් රන් සම්මානය පවා දිනාගත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි බාහිර උපාධි හා විස්තාරික පාඨමාලාවල මූල්‍ය වංචා සිදුව ඇතැයි කෝප් කමිටු වාර්තාවකින් අනාවරණය වීමත් සමග මෙහි සත්‍ය අසත්‍යතාව කුමක් ද යන්න සම්බන්ධයෙන් සමාජ කතිකාවතක් ගොඩනැගිණ.
මෙකී මූල්‍ය වංචා සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පදනම් විරහිත බව ප්‍රකාශ කරමින් එම විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාරචාර්ය දඹර අමිල හිමියන් පසුගිය 26 වැනිදා මේ සම්බන්ධයෙන් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවක දී පවසා සිටියේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයට අදාළ වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 2010 වර්ෂයේ සිට නිකුත් කරන ඇති චක්‍රලේඛ අංක 932, 1/2016 සහ 4/2016 හි සඳහන් කරුණු සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු, අපහැදිලි තත්වය නිරාකරණය කරගන්නා තෙක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා තාවකාලිකව අත්හිටුවන බවය. එය යම් ආකාරයකට මෙම ගැටලුව පාලනය කර ගැනීමට කෙටි කාලීන විසඳුමක් වුවද මෙලෙස එල්ලවන චෝදනාවල සත්‍ය අසත්‍යතාව සොයා බැලීම කඩිනමින් සිදුවිය යුත්තකි. ඒ මන්ද මෙහි සත්‍ය අසත්‍යතාව සෙවීම ප්‍රමාද වෙත්ම ඉන් පසුගාමීත්වයට පත්වනුයේ ශිෂ්‍ය ජීවිත වන බැවිනි.
මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය පාර්ශවයෙන් කරන ලද විමසීමේ දී එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකය සඳහා නවක සිසුන් ඇතුළත් කර ගැනීමේ දී පාඨමාලාවට අදාළ ගාස්තු අය කරගනු ලබන්නේ එකී පාඨමාලාව ආරම්භයේදී ය. එසේ ඇතුළත්වනු ලබන ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව වර්ෂ 3ක් හෝ 4ක් ස්වකීය උපාධි අධ්‍යයන කටයුතු සිදු කරගෙන යනු ලබන අතර ඔවුන්ගෙන් අය කරන ලද පාඨමාලා ගාස්තු විශ්වවිද්‍යාලයෙහි නිල ගිණුම්වල තැන්පත් කිරීම සිදුවේ. මේ අනුව නව බඳවා ගැනීමකට අදාළ සමස්ත අයවැය කටයුතු අවසන් වීම සඳහා සාමාන්‍යයෙන් වර්ෂ 4ක හෝ 5ක කාලයක් ගත වේ.
එබැවින් එකී මුදල් මෙම කාල සීමාවේ විශ්වවිද්‍යාලයේ ගිණුම් තුළ පැවතීම සාමාන්‍ය කරුණකි. එහෙත් පසුකාලීනව විශ්වවිද්‍යාල මුදල් කමිටුවේ අනුමත ආයෝජන කමිටුව විසින් කෙටි කාලීනව එම මුදල් රාජ්‍ය බැංකු තුළ ආයෝජනය කිරීම සාම්ප්‍රදායිකව සිදු කරන ක්‍රියාපටිපාටිය වේ.
මෙලෙස විශ්වවිද්‍යාලය විසින් බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලාවලින් ලැබෙන මුදල් ප්‍රධාන වශයෙන් විශ්වවිද්‍යාලයෙහි මූලික අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා භාවිත කරනු ලැබේ. ශිෂ්‍යයන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු වඩාත් පහසුවෙන් සිදු කරගෙන යාමටත්, පවත්නා ආර්ථිකමය වාතාවරණය හමුවේ ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමත්, රජය ශිෂ්‍යාධාර ලබාදීම සිදු කළ ද එකී මුදල් නිසි කාල සීමා තුළ දී ලබා දීමට රජය අපොහොසත් වන අවස්ථා රාශියකි. එවන් අවස්ථාවල දී ශිෂ්‍යයන්ට ගැටලු පැන නොනගින සේ එකී ශිෂ්‍යාධාර ලබාදීම සඳහා මෙම මුදල් විශ්වවිද්‍යාල විසින් භාවිතයට ගැනීම සිදු කරනු ලබයි.
එපමණක් නොව විශ්වවිද්‍යාලය හරහා සමස්ත විශ්වවිද්‍යාලයීය ප්‍රජාව වෙත සපයනු ලබන පොදු උපයෝගීතා සේවා වන විදුලිබල ජල පහසුකම් අන්තර්ජාල පහසුකම් සහ ආරක්ෂක සේවා අඛණ්ඩව බාධාවකින් තොරව පවත්වගෙන යාම සඳහා රජයෙන් මුදල් නිකුත් කිරීම ප්‍රමාද වූ අවස්ථාවල දී උක්ත සඳහන් කරන ලද මුදල් භාවිතයට ගැනීම සිදුවේ. විශේෂයෙන් කොවිඩ් 19 වසංගතය සහ 2019 කාලසීමාවේ සිට පැවත එන දරුණු ආර්ථික අර්බුදය හමුවේ රජය විශ්වවිද්‍යාල නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට අපොහොසත් වූ කාල සීමාවල දී එකී කටයුතු සුමටව පත්වාගෙන යාම සඳහා මෙම මුදල් භාවිතයට ගන්නා ලදී.
එසේම ශිෂ්‍යයන්ගේ විෂය සමගාමී මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය අවස්ථාවල දී විශේෂයෙන් ශිෂ්‍යයන් දේශීය මෙන්ම විදේශීය තරග සඳහා සහභාගී වීමේ දී ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ සුබසාධන කටයුතු සඳහා මෙම මුදල්වලින් යම් ප්‍රතිශතයක් වෙන් කිරීම සිදු කරන ලදී.
එහි තිරසරභාවය සනිටුහන් කරමින් අඛණ්ඩව කිහිප වතාවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා තරගවලින් ශූරතාව හිමි කරගෙන ඇත. මෙලෙස විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් සහ විෂය බාහිර ක්‍රියාකාරකම් යන දෙඅංශයෙන්ම ජයග්‍රහණ අත්පත් කරගැනීම සඳහා විශ්වවිද්‍යාලය යොමු වී ඇති අතර එම කටයුතු මැනවින් පවත්වාගෙන යාම සඳහා බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ මුදල් තාවකාලිකව භාවිතයට ගනු ලැබේ.
මීට අමතරව දැනට අවුරුදු 03ක පමණ කාලයක සිට රජය විසින් පවත්නා ආර්ථික තත්වය හමුවේ අධ්‍යයනය සහ අනධ්‍යයන කටයුතු සඳහා ස්ථිර සේවකයන් බඳවා ගැනීම අත්හිටුවන ලදී. මෙම තත්වය හමුවේ ඇතැම් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා තාවකාලික සහ කොන්ත්‍රාත් පදනම යටතේ අධ්‍යයනය සහ අනධ්‍යයන සේවකයන් බඳවා ගැනීම සඳහා මෙම මුදල් යොදා ගනු ලැබේ.
විශේෂ වශයෙන් පැවතින ආර්ථික තත්වය හමුවේ බොහෝ ආචාර්ය සහ අනධ්‍යයන සේවකයන් විදේශගතවීමත් ඇතැම් ආචාර්යවරුන් අධ්‍යයන නිවාඩු, සප්ත වාර්ෂික නිවාඩු ලබාගෙන තිබීමත් හේතුවෙන් අධ්‍යයන හා පරිපාලන කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම අභියෝගාත්මක වී ඇත. එවන් පරිසරයක් තුළ ඇතිවන ගැටලු අවම කිරීමටත්, ඒවා මඟහැර ගුණාත්මක අධ්‍යාපනයක් සුරක්ෂිත කිරීමටත් පරිපාලන කටයුතු සාර්ථිකව පවත්වාගෙන යාමටත් අවශ්‍ය බඳවා ගැනීම් සිදු කර ඇති අතර, එකී බඳවා ගැනීම් සඳහා වැටුප් ගෙවීම සඳහා මෙම මුදල් උපයෝගී කර ගනු ලබයි.
වර්තමානයේ ලෝක විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නැගී එන ප්‍රවණතාවලට අනුගත වෙමින් එකී නව දැනුම සහ සංකල්ප අපගේ විශ්වවිද්‍යාල පද්ධතියට උකහා ගැනීමේ ප්‍රයත්නයක අප දැනටමත් නියැළෙමින් සිටියි. එහි දී ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර සබඳතා ඒකකය විවිධ පර්- යේෂණ ඒකක පිහිටුවීම නවෝත්පාදන හා නව නිපැයුම් ඒකක ඇති කිරීම කැපී පෙනෙන අතර දැනටමත් ඉතා උසස් ගුණාත්මකභාවයෙන් යුතු උක්ත සඳහන් ඒකක ආරම්භ කිරීම සිදුකර ඇත. එහෙත් එකී ඒකකවල කටයුතු පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණිකව තහවුරු කරන ලද අවම පුරප්පාඩු සංඛ්‍යාවක් රජය මගින් අනුමත වී නොමැත. විශේෂයෙන් අපගේ වෙබ් අඩවි කටයුතු ක්‍රියාත්මත කිරීමට විභාග කටයුතු, ප්‍රචාරණ සහ ජනමාධ්‍ය කටයුතු අන්තර්ජාල සේවා සහ නඩත්තු කටයුතු සිදු කිරීමට ස්ථීර සේවකයන් බඳවා ගැනීමේ හැකියාවක් නොමැත. එබැවින් තාවකාලික පදනම මත පුද්ගලයන් බඳවා ගැනීමට යොමු වී ඇති අතර ඒ සඳහා අදාළ වැටුප් ගෙවීමට මෙම මුදල් යොදා ගනු ලැබේ.
එසේම මේ හරහා විශ්වවිද්‍යාලය උපයා ගන්නා ස්වයං මූල්‍ය පාඨමාලා අරමුදලෙන් විශ්වවිද්‍යාල වියදමෙන් සියයට 40 - සියයට 45 පමණ ආවරණය කර ගැනීමට යොමු වේ. පසුගිය පරිච්ඡේදය තුළ විශ්වවිද්‍යාල ප්‍රජාව සඳහා නව ගොඩනැගිලි ඉදි කිරීමේ දී මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබීම ප්‍රමාද විය. එහි දී කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම සඳහා මෙම සංවර්ධන අරමුදල් භාවිත කිරීමට යොමු විය. ඒ අනුව විශ්වවිද්‍යාලයේ මූල්‍ය කළමනාකරණය අඛණ්ඩතාව ආරක්ෂා කරගැනීම සඳහා මෙම මුදල් වරින් වර භාවිතයට ගැනීම සිදු වේ.
විශ්වවිද්‍යාලය මඟින් බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා සහ පශ්චාද් උපාධි පාඨමාලා සඳහා පාඨමාලා ගාස්තු තීරණය කරනු ලබන්නේ කාලීන වශයෙන් වෙළෙඳපොළ තත්වය පදනම් කරගෙන ය. එනම් විශේෂයෙන් එකී පාඨමාලාවලට පවතින ඉල්ලුම සහ සැපයුම පදනම් කරගෙන යෝග්‍ය පාඨමාලා ගාස්තුවක් නිර්ණය කරනු ලැබේ. වර්තමානයේ අනෙකුත් විශ්වවිද්‍යාල හා සැසදීමේ දී අඩුම පාඨමාලා ගාස්තුවක් අය කරමින් වෙළෙඳපොළ ඉලක්ක කරගත් නව්‍යකරණයෙන් යුත් බාහිර උපාධි පාඨමාලා සපයන විශ්වවිද්‍යාලය ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සැලකිය හැකිය.
එහි දී විශ්වවිද්‍යාලය අධ්‍යාපන වරම් හිමි නොවූ අප රටේ දුවා දරුවන් වෙනුවෙන් මෙන්ම ආර්ථික අපහසුතා සහිත ජනතාවට වඩාත් ක්‍රමවත් සහ විධිමත් අධ්‍යාපනයක් ලබාදීමේ අපේක්ෂා පෙරදැරි කර ගෙන අප විශ්වවිද්‍යාලය මගින් මෙම කර්තව්‍ය සිදු කරගෙන යමින් පවතී. එහෙත් ඇතැම් බාහිර පාර්ශව මෙම තත්වයන් පිළිබඳ නිවැරැදි අවබෝධයකින් තොරව විවිධ විවේචන සහ මතවාද පළකරමින් සිටින බව පෙනී යයි. එය විශ්වවිද්‍යාල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කනගාටුවට කරුණකි. වර්තමානයේ රජය විසින් පවත්වාගෙන යනු ලබන බදු ප්‍රතිපත්ති හමුවේ විශ්වවිද්‍යාල අචාර්යවරුන් සඳහා ගෙවන දීමනා සහ වෙනත් දීමනාවලින් ඉතා ඉහළ ප්‍රතිශතයක් බදු වශයෙන් ගෙවීමට සිදුව ඇති පරිසරයක දැනටමත් ආචාර්යවරුන් මෙම බාහිර උපාධි දේශන සඳහා තම සේවය සපයනුයේ අපහසුතා රාශියක් මධ්‍යයෙහි ය. එහෙයින් සුදුසුකම් සැපිරූ, පළපුරුදු ආචාර්යවරුන්ගේ සේවය මේ සඳහා ලබා ගැනීම අසීරු කටයුත්තක් වී ඇත.
එසේම දැනට අචාර්යවරුන් සඳහා දේශන සිදු කිරීම වෙනුවෙන් ඉතාමත් පහළ අනුපාතයක ගෙවීම් සිදු කරන අතර මෙම කටයුතුවල නිරත නොවී, ආචාර්ය මණ්ඩලය වෙනත් පෞද්ගලික විශ්වවිද්‍යල හෝ බාහිර ආයතන වෙත තම සේවය ලබා දුන්නේ නම් ඔවුන්ට ඉතා ඉහළ ගෙවීම් අනුපාතයක් ලබාගත හැකිව තිබේ. එහෙත් ජාතික අවශ්‍යතාවක් ලෙස සලකමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවීමේ පරමාර්ථයෙන් යුක්තව ඔවුන් තම වටිනා කාලය ශ්‍රමය බාහිර උපාධි කටයුතු නිසි අයුරෙන් පවත්වාගෙන යාමට කැප කර ඇත.
ඇතැම් පාර්ශවවල අදහස් සලකා බැලීමේ දී පැහැදිලි වන කරුණක් වනුයේ, මෙම සේවා අත්‍යවශයෙන්ම ආචාර්යවරුන් සිදු කළ යුතු බවය. එහෙත් පැහැදිලි කළ යුතු කරුණ වනුයේ මෙම සේවාවන් ආචාර්යවරුන් ස්වෙච්ඡාවෙන් සිදු කරන සේවා විනා අත්‍යවශ්‍යයෙන් සිදු කළ යුතු සේවා නොවන බවය. පවතීන සීමිත කාල සීමාව වඩා කාර්යක්ෂමව භාවිත කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අභ්‍යන්තර දේශන, පර් යේෂණ කටයුතු සහ පශ්චාද් උපාධි කටයුතු සිදු කරන අතරතුර මෙම සමාජ ප්‍රගමනය උදෙසා බාහිර උපාධි ඉගැන්වීම් හා එක්ව සිටියි.
එසේම අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල අතුරින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කැපී පෙනීමට බලපාන විශේෂ කරණක් වනුයේ අනෙකුත් විශ්වවිද්‍යාල මඟින් බාහිර උපාධි සඳහා සිසුන් ලියාපදිංචිය සහ විභාග පැවැත්වීම පමණක් සිදු කරන වපසරියක් තුළ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය මගින් ශිෂ්‍යයන්ට ප්‍රවීණ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දේශන සඳහා සහභාගීවීමට ඉඩ ප්‍රස්තාව සලසා දී තිබීම ය. මෙමගින් සුදුසුකම් නොලත් බාහිර දේශකවරුන්ගෙන් ලබා ගන්නා දැනුම වෙනුවට සුදුසුකම් සැපිරූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මන්ත්‍රණ සඳහා සහභාගීවීමට හැකියාව ලැබීමත්, අභ්‍යන්තර සිසුන්ට ලැබෙන ප්‍රමාණික දැනුම හා සමාන දැනුමක් ඒ හරහා ඔවුන්ට ද ලබා ගැනීමට හැකි වීම පිළිබඳ සමස්ත ප්‍රජාවගේම පැසසුම් ලැබිය යුතු කරුණකි.
එපමණක් නොව සෑම විෂය ඒකකයක් සඳහාම පැය 45ක කාල සීමාවක් දේශන සිදු කරන අතර ඒ සඳහා දේශන ගාස්තුවක් ආචාර්යවරුන් වෙත ගෙවනු ලැබේ. පසුගිය කාල සීමාවල වරින් වර බාහිර උපාධි සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලු විශේෂ වශයෙන් ඒවායෙහි ගුණාත්මකභාවය පදනම් කරගත් කරුණු හේතුවෙන් මෙලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දේශන පැවැත්වීම යෝග්‍ය බව තීරණ විය. ඒ හරහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙම කටයුතු සඳහා තම සේවය සපයන ලදී. එහෙත් වර්තමානයේ බාහිර සමාජයේ මෙම කටයුතු පිළිබඳ දැඩි චෝදනා සහ වැරැදි අදහස් මතවාද සමාජගත වී ඇති බව පැහැදිලි වේ.
විශ්වවිද්‍යාලයක් ලෙස අපගේ ඒකමතික අදහස වනුයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉතාමත් ඉක්මනින් මේ සඳහා අවශ්‍ය පිළිතුරු ලබා දීම සහ මැදිහත්වීම සිදු කළ යුතු බවය. 2003 වර්ෂයේ දී අප විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කරමින් මෙම දේශන සඳහා අදාළ ගෙවීම් සිදු කළ යුතු ආකාරය පිළිබඳ පැහැදිලි අනුමැතියක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් කනගාටුවට කරුණ වනුයේ එකී අනුමැතිය අප වෙත තවමත් ලැබී නොතිබීම ය. මෙම තත්වය තුළ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය තවදුරටත් අනුමත නොවූ ගෙවීම් ක්‍රමයක බාහිර උපාධි කටයුතු හා සම්බන්ධවීමට කිසිදු අදහසක් හෝ කැමැත්තක් නොමැති බව දැනුම් දිය යුතු වේ.
මේ එල්ලවන කරුණ සම්බන්ධයෙන් කරුණු විමසීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරියකු දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ ගත්ත ද එය ව්‍යාර්ථ විය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළ ආචාර්යවරයා මෙසේ ද පැවසීය,
වර්තමානයේ බාහිර උපාධි කටයුතු පවතිනුයේ විශාල අර්බුදයකය බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා වැසීයාමේ අවදානමකට මුහුණ පා ඇති බව පෙනී යයි. එය සමස්ත සමාජයටම විශාල පාඩුවක් සහ විශේෂයෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා උසස් අධ්‍යාපනයට ඇති එකම මාර්ගය ඇහිරී යාමට හේතුවනු ඇත. එබැවින් මෙම කටයුතු ඉතාමත් ඉක්මනින් නිවැරැදි කර මෙම යාන්ත්‍රණය නිසි පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සිදු කරනු ඇතැයි ආචාර්යවරුන් ලෙස අප විශ්වාස කරනවා මෙන්ම දේශන සඳහා නිර්දේශ කරනු ලබන අභිමත ගෙවීම් අනුපාතය සලකා බලමින් ඉදිරියෙහි දී දේශන පැවැත්වීම පිළිබඳ තීරණය කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
මෙම තත්වය පිළිබඳ වැරැදි අදහස් සමාජ ගතකිරීම සමාජ සුබසාධනය උදෙසා කැපවී වැඩකරන ආචාර්ය මණ්ඩලය ඇතුළු නිලධාරීන් මෙම තත්වය හමුවේ දැඩි ලෙස පීඩාවටත්, කළකිරීමටත් පත්ව සිටින බවත් මෙම ගැටලු සඳහා නිසි ප්‍රතිපත්තිමය තීන්දු සහ තීරණ ලැබෙනු ඇතැයි දැඩි අපේක්ෂාවෙන් යුක්ත වන බවත් මෙහි සත්‍ය කඩිනමින් තහවුරුවීම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන ක්‍රියාවලිය පෙර පරිදි අඛණ්ඩව පවත්වාගෙන යාමට පහසුවක් වනු ඇතැයි ඒ මහතා පැවසීය.
(*** මනීෂා වීරසිංහ)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජ පුර බාහිර උපාධි නැවතුණේ ඇයි?