IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ඡන්ද කල්දැමීම වැරැදි පූර්වාදර්ශයක්

පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කරනු ඇති බවට දේශපාලන කරළිය තුළ පැතිර යමින් තිබූ කසුකුසුව සැබෑවක් බවට පත් කරමින් රජය විසින් වසරකින් පළාත් පාලන ඡන්දය කල් දමා තිබේ. මේ අනුව 2018 වසරේ පෙබරවාරි මස 10 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්ව මේ වසරේ මාර්තු මස 18 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ මාර්තු මාසය දක්වා කල්යනු ඇත.

මැතිවරණ කල්දැමීම රාජපක්ෂ පාලන කාලයක් තුළදී මීට පෙර දැකගන්නට නොලැබිණි. ඒ අර්ථයෙන් මෙසේ මැතිවරණයක් කල් දැමීම ඡන්ද පැවැත්වීම පිළිබඳ වටිනා චරිත සහතිකයක් ලබාගෙන සිටි රාජපක්ෂ රජයකට අවමානයක් බව කිව යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මහත් විශ්වාසයකින් කතා කරන එසේම ඡන්දයක් පැවැත්වීමට කිසි දිනෙක බියක් හෝ චකිතයක් නොදැක්වූ රාජපක්ෂ රජයක් විසින් ගනු ලැබූ මේ පියවර ජනතාව තුළ සැකයක් උපදවන බවද ඒ සමඟ පෙන්වා දිය යුතුය. රජය ඡන්දයකට යාමට බියක් දක්වන බවට වන මතය වටා එම සැකය ගොනුවීම වැළැක්විය නොහැක.

ඡන්දය කල් දැමීම සම්බන්ධයෙන් රජයට විවිධ සාධාරණ හේතු පෙන්වා දිය හැක. එයින් ඉදිරියටම එනු ඇත්තේ කොවිඩ් වසංගතයේ බලපෑම බවද නොරහසකි. එහෙත් කොවිඩ් වසංගතය රටේ කටයුතු සාමාන්‍යකරණය කිරීම දක්වා පාලනය කර ඇති බව රජයේ ස්ථාවරය වී තිබේ. රාජ්‍ය අංශයේ සියලු‍ම සේවක පිරිස් යළි සේවයට කැඳවීමත් පාසල් සහ විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට පියවර ගැනීමත් සමඟ රජය පෙන්වා දුන්නේ රට දැන් සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇති බවය.

එසේම පළාත් සභා ඡන්දය මේ වසරේදී පැවැත්වෙනු ඇති බවට සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ ඇමැතිවරයා කළ ප්‍රකාශයෙන්ද පැහැදිලි වන්නේ කොවිඩ් තත්ත්වය රටේ මැතිවරණයක් නොපැවැත්වීමට තවදුරටත් හේතුවක් නොවන බවය. එසේ නම් හේතුව මැතිවරණයෙන් ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව රජයට අවිශ්වාසයක් තිබීම බව පැහැදිලිය. 

වත්මන් රජයේ මැතිවරණ ජයග්‍රහණ පෙරහරේ කසකරුවා වූයේ 2018 වසරේ පෙබරවාරියේ පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයයි. එම මැතිවරණය එවකට තිබූ යහපාලන ආණ්ඩුව විසින් කල් දමනු ලැබීමෙන් පැවැත්වූ එකකි. අවසානයේ යහපාලන රජය ඡන්දය පැවැත්වූයේ නොතියාම බැරි තැනකය. යහපාලනයේ හවුල්කරුවන් වූ එජාපය, ශ්‍රීලනිපය පමණක් නොව විපක්ෂයේ සිටි ජවිපෙ සහ ටී.එන්.ඒ. සියලු‍ දෙනාම 2017 දී පැවැත්වීමට නියමිතව තිබූ එම පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ පාපකර්මයටද දායක වූහ.

අද වේදිකාවල බෙරිහන් දෙන ඇතැම් දේශපාලන නායකයන්ගේ ආශීර්වාදය ද එයට හිමිවූ බව මෙහිදී සිහිපත් කළ යුතුය. ඡන්දය කල් දැමීමේ වන්දිය පොලියත් සමඟ යහපාලන ආණ්ඩුවට ලැබුණේ වසරක් පස්සට දමා 2018දී ඡන්දය පැවැත්වූ අවස්ථාවේදීය. මේ අතීතය මතක තිබෙන කිසිදු ආණ්ඩුවක් ඡන්දයක් කල් දැමීමක් ගැන සිතන්නේවත් නැත. එය තිබෙන ආණ්ඩුව වැටීමේත් අලු‍ත් ආණ්ඩුවක් බිහිවීමේත් හැරවුම් ලක්ෂ්‍යයක් වන බැවිනි.

මැතිවරණයක් කල් දැමීම කිසිම රටකට හෝ ආණ්ඩුවකට හෝ සෙතක් වන්නේ නැත. 1975 පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය වසර දෙකකින් කල් දැමීමේ තීන්දුව මගින් එවකට පැවැති සිරිමාවෝ බණ්ඩාරනායක තුනෙන් දෙකේ ආණ්ඩුව ආසන 08 දක්වා පහළට ඇද දමනු ලැබීය. එහිදී හයෙන් පහක බලයක් ලබාගත් ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව 1982 පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය නොපැවැත්වීම සඳහා ජනමත විචාරණයකට ගොස් මහා පරිමාණ හොර මැරකම් මැද එය ජය ගත්තේය. එහි ප්‍රතිඵලය වසර කිහිපයකින් ලැබිණි.

උතුරත් දකුණත් එකසේ ගිනි ඇවිලී ජනතා විරෝධය පුපුරා ගියේය. ඒ සමඟම ජේ.ආර්. ජයවර්ධන මහතාගේ විධායක ජනාධිපති බලතල ඔහුගේ නිවෙසේ බිත්ති හතරට සීමා විය. එතරම් දරුණු තත්ත්වයකට රට ඇදී ගියේ ඡන්දයක් නොපැවැත්වීමේ තීන්දුව ජනතාවගේ පීඩනයට හේතුවක් වන බැවිනි.

වර්තමානයේ පවතින තත්ත්වය අනුව ඡන්දයකට මුහුණදීමට රජය දක්වන චකිතය තේරුම් ගැනීම අපහසු නැත. ගෑස්, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම සඳහා ජනතාවට පෝලිම්වල රස්තියාදු වීමට සිදුවීම, රසායනික පොහොර ගැටලු‍වෙන් සමස්ත ගොවි පරපුරම රජය සමඟ විරසක වීම, ඩොලර් නොමැතිව විදුලිය කැපීම, ඉන්ධන හිඟවීම වැනි බරපතළ ගැටලු‍ හමුවේ රජය පුංචි ඡන්දය කල් දැමීම හොඳම විකල්පය වශයෙන් තෝරාගන්න ඇත. තව වසරක් ඇවෑමෙන් රටේ තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයිද එවිට පුංචි ඡන්දය පවත්වා ජයගැනීමට හැකි වනු ඇතැයිද යන්න රජයේ විශ්වාසය බවද පෙනෙන්නට තිබේ.

පුංචි ඡන්දය කල්දැමීම සඳහා 2017දී යහපාලන ආණ්ඩුව ගණන් හැදූ ආකාරයත් 2022දී වත්මන් ආණ්ඩුව ගණන් හදන ආකාරයත් සමානය. වසරකින් පසුව ලැබිය හැකි ප්‍රතිඵලයද ඒ හා සමාන වීමට බොහෝදුරට ඉඩ තිබෙන බව ඡන්දය කල් දැමීමේ තීන්දුව ගත් නායකයන් දැන සිටීම යහපත් වනු ඇත. 2017දී පුංචි ඡන්දය කල් දැමීමට එරෙහිව ජනතාව සංවිධානය කළ රාජපක්ෂවරුන් අතින්ම 2022දී පුංචි ඡන්දය කල් දැමීම රජයට අත්කර දෙනු ඇත්තේ අපකීර්තියක් පමණි.



අදහස් (0)

ඡන්ද කල්දැමීම වැරැදි පූර්වාදර්ශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 39 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site