IMG-LOGO

ආර්ථිකයේ අලුත්ම අභියෝගය

වරෙක ලොව ඉහළම උද්ධමන වේගය වාර්තා කළ ශ්‍රී ලංකාව දැන් එයට හාත්පසින්ම වෙනස් අයුරින් අවධමන පිළිබඳ වාර්තාවකට සූදානම් වන බවක් පෙනේ. 2022 වසරේදී ලෝකයේ වැඩිම උද්ධමන අනුපාතයක් පවතින රටවල් අතරට ශ්‍රී ලංකාව එකතු වී තිබුණි. එසේ වුවද 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී ඊට සම්පූර්ණයෙන්ම වෙනස් අයුරින් ආර්ථිකයේ සමස්ත මිල මට්ටම පහළයාමක් වාර්තා කළ අතර එය මේ වසරේ ජුනි මාසය දක්වාම ක්‍රියාත්මක විය. මෙම තත්වය කාර්තු තුනක් ද ඉක්මවා පැවැතීම හේතුවෙන් ආර්ථික අවධමනය ලෙස හඳුන්වන ආර්ථිකයේ මිල මට්ටම් අඛණ්ඩව පහළයාමේ දිගුකාලීන ප්‍රවණතාවකට රට මුහුණ දී සිටී.

ආර්ථික අවධමනයේදී භාණ්ඩ හා සේවාවන්ගේ සාමාන්‍ය මිල මට්ටම් පහළයාමක් අදහස් වේ. එනම් මිල මට්ටම් සියයට බිංදුවකට වඩා පහළ මට්ටමකට පත්වීමයි. එසේ වුවද අවධමනය ආර්ථිකය කෙරෙහි හිතකර මෙන්ම අහිතකර ප්‍රතිඵල ද අත්කර දෙන බැවින් ඒ සම්බන්ධයෙන් වඩාත් පරිස්සම්කාරී පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳව අවධානය යොමුවිය යුතුව ඇත. උද්ධමන අනුපාතය අඩු වී ආර්ථිකය අවධමනකාරී මට්ටමකට පත්වීම නිසා රටේ භාණ්ඩ හා සේවා මිල මට්ටම් පහළයෑමේ වාසිය මහජනතාවට හිමිවේ. අවධමනයේ වාසිසහගත ආර්ථික ප්‍රතිඵලය වන්නේ මහජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව හෙවත් ක්‍රය ශක්තිය ඉහළයාමයි. මීට පෙර මිලදී ගත් භාණ්ඩ ප්‍රමාණයට වඩා වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් මිලදී ගැනීමට ඉඩ ලැබෙන බව ඉන් අදහස් වේ.

එසේ වුව ද භාණ්ඩ හා සේවා මිල ගණන් පහළ වැටීමේ අවාසි සහගත ප්‍රතිඵලය වන්නේ ව්‍යාපාර කටයුතුවල ආදායම පහළ වැටීමත්, එහි ප්‍රතිඵලයක් ලෙස එම අංශයේ ලාභය පහත වැටීමත්ය. මේ හේතුවෙන් ආර්ථිකයේ ආයෝජන මට්ටම පහළ වැටෙන අතර ව්‍යාපාරික ආයතන සේවකයන් ඉවත් කිරීම වැනි ක්‍රියාමාර්ගවලට එළැඹීමට ඉඩ තිබේ. එහි භයානකම ප්‍රතිඵලය වන්නේ සමහර නිෂ්පාදන සහ ව්‍යාපාර ආයතන වසා දැමෙන තත්වයක් ඇතිවීම සහ ආර්ථිකය යළිත් සාමාන්‍ය තත්වයක‌ට පත්කර ගැනීම සඳහා දීර්ඝ කාලයක් ගත වීමය.

2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ මතුපිට උද්ධමනය සියයට 69.5 ක මට්ටමට පත්විය. එය මෙරට ආර්ථිකය තුළ වාර්තා වූ ඉහළම උද්ධමන අනුපාතය වේ. ඒ අතරම ජාත්‍යන්තර මාධ්‍ය එම අවස්ථාවේ දී ශ්‍රී ලංකාව ලොව ඉහළම උද්ධමන අනුපාතයක් ඇති රටවල් කිහිපය අතරට එකතුවී ඇති ආකාරය ද වාර්තා කර තිබුණි. ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවන බව නිවේදනය කරමින් බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමත් සමගම විදේශ විනිමය අනුපාතය පහළ වැටී රුපියල බරපතළ කඩා වැටීමකට ගොදුරුවීම ඊට හේතුවිය. ශ්‍රී ලංකාව සමස්ත පාරිභෝජන භාණ්ඩවලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන රටක්වීම නිසා රුපියලේ බිඳවැටීම මිල මට්ටම් විශාල ලෙස ඉහළ යාමට හේතුවිය. ඒ අතර ආනයන සීමා පැනවීම නිසා එම භාණ්ඩ හිඟ වී ඒවායේ මිල ගණන් විශාල ලෙස ඉහළ ගියේය. සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය කෙරෙහිම බලපෑම් ඇතිවන ආකාරයෙන් ඉන්ධන සහ විදුලි මිල ඉහළ දැමීමට ද රජයට සිදුවිය. මේ සියල්ලේ ප්‍රතිඵලය වූයේ නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය තුළ කිසි දිනෙක අත් නොවිදි ආකාරයේ ඉහළ උද්ධමනකාරි තත්වයක් ඇති වීමයි.

එම අවස්ථාවේ දී උද්ධමනය පාලනය කිරීමටත්, ආර්ථිකය යථා තත්වයට ගෙන ඒම සඳහාත් විවිධාකාර දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීමට රජයට සිදු විය. මිල මට්ටම් ඉහළයාම කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන ලද්දේ රජයේ වියදම් ප්‍රතිපත්තියයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය ලබාගැනීම සඳහා සුදුසුකම් සපුරා ගැනීමේ පරිසරයක් නිර්මාණය කිරීමට ද රජය කටයුතු කළේය. අනෙක් අතින් අයිඑම්එෆ් සමග විස්තීර්ණ ණය පහසුකම් ලබාගැනීමේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එකඟ වූ කොන්දේසිවලට අනුව කටයුතු කිරීමේ වගකීම රජය වෙත පැවැරුණි. එහිදී මූලිකම බලපෑම් ඇති වූයේ රජයේ වියදම් සහ රජයේ ණය ගැනීම් සම්බන්ධයෙනි.

එවැනි තත්වයක් තුළ මුදල් සැපයුම සීමා කරන ආකාරයේ පියවර ගැනීමට ද රජයට සිදුවිය. කොවිඩ් අර්බුදය අවස්ථාවේ දී තම මුදල් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව හරහා මුදල් මුද්‍රණය කිරීමට රජය කටයුතු කළේය. සංවර්ධනය වෙමින් පවත්නා රටවල් මෙන්ම සංවර්ධනය වූ රටවල් ද තම මුදල් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මුදල් මුද්‍රණය කිරීම සාර්ව ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තියේ එක් අංශයක් ලෙස යොදා ගන්නා ලදී. එසේ වුවද බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එම ප්‍රතිපත්තියෙන් ක්‍රමයෙන් බැහැරවීමට රජයට සිදුවූ අතර අයිඑම්එෆ් ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මුදල් මුද්‍රණය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට ද රජය එකඟ විය.

රජය වියදම් සීමා කරන අතරම එයින් රජයේ ණය ගැනීම් අඩු කිරීමට ද කටයුතු කරන ලදී. එහි ප්‍රතිඵලය වූයේ රජයේ වියදම් හේතුවෙන් ඇතිව තිබූ මුදල් සැපයුම පහළ යෑමය. ඒ ආකාරයට මුදල් සැපයුම පහළයෑම හේතුවෙන් ආර්ථිකය තුළ භාණ්ඩ හා සේවා සඳහා පැවැති ඉල්ලු‍ම ද අඩුවිය. 2024 වසරේ සැප්තැම්බර් මාසයේ සිට රටේ සාමාන්‍ය මිල මට්ටම් අඩු වී රට අවධමනකාරි තත්වයකට පත්වීම සඳහා බොහෝදුරට හේතු වූයේ එසේ රජයේ වියදම් සහ ණය ලබා ගැනීම පහළ වැටීම තුළින් ඇති වූ මුදල් සැපයුමේ අඩුවීම බව පෙනේ. කෙසේ වුව ද ශ්‍රී ලංකා මහ බැංකුව අවධමනකාරි තත්වයක් රට තුළ ඇතිවීමට පදනම් වූ කරුණු පිළිබඳව විග්‍රහයන් තම ප්‍රකාශනවල ඉදිරිපත් කර තිබේ.

2024 වසරේ මාර්තු සහ ජූලි මාසවලදී විදුලි ගාස්තු අඩු කිරීම, ගෝලීය වෙළෙඳ භාණ්ඩ මිල ගණන් පහළ යාම සහ ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්වීම ද උද්ධමනය පහළ යෑම සහ අවධමනකාරි මට්ටමකට ළඟාවීමට හේතු වූ බව පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණයවීම හේතුවෙන් නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන කාණ්ඩය සහ ප්‍රවාහන කාණ්ඩය අවධමනය වූ බව කොළඹ පාරිභෝගියන්ගේ මිල දර්ශකයේ සිදු වූ වෙනස්කම්වලට අනුව මහ බැංකුව පෙන්වා දී ඇත. රටේ භාණ්ඩ හා සේවා මිල ගණන් පහළවැටී අවධමනකාරි තත්වයක් ඇතිවීම හැදින්විය හැක්කේ රටේ භාණ්ඩ හා සේවා සඳහා පවතින සමස්ත ඉල්ලු‍මේ අඩුවීමක් ලෙසත්, ආර්ථිකය සංකෝචනය වීමක් ලෙසත්ය.

ශ්‍රී ලංකාව සහ අයිඑම්එෆ් අතර ගිවිසුම මගින් සියයට 5ක උපරිම උද්ධමන මට්ටමක් පවත්වා ගෙනයාම සඳහා ඉඩ ලැබී තිබේ. එසේ වුවද 2024 ජුනි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව වාර්ෂික ලක්‍ෂ්‍යමය වෙනස හෙවත් ලක්‍ෂ්‍යමය උද්ධමනය සියයට 1.7 දක්වා පහළ වැටුණි. ජුලි මාසයේදි එය සියයට 2.4 දක්වා ඉහළ ගිය නමුදු අගෝස්තු මාසයේදී සියයට 0.5 දක්වා යළි පහත වැටුණි. ආර්ථිකයේ උද්ධමනකාරි ප්‍රවණතාව අගෝස්තු මාසයෙන් අවසන් විය. සැප්තැම්බර් මාසයේදී රටේ සමස්ත මිල මට්ටමේ සිදු වූ වෙනස සියයට ඝෘණ 0.5 ක් විය. රටේ ආර්ථිකයේ අවධමනකාරි ප්‍රවණතාව ඉන් ආරම්භ විය.

2025 පෙබරවාරි මාසයේදී සමස්ත මිල මට්ටමේ වෙනස්වීම සියයට ඝෘණ 4.2 ක උපරිම මට්ටමකට පත්විය. මැයි මාසයේදී එය ඝෘණ 0.7 ක මට්ටමකට පත්වූ අතර ජූනි මාසයේදී සියයට ඝෘණ 0.6 ක මට්ටමකට පත්ව තිබේ. 2024 සැප්තැම්බර් මාසයේදී ආරම්භ වූ ආර්ථික අවධමනය 2025 පෙබරවාරි මාසයේ දී උපරිම මට්ටමකට පත්විය. ජූනි මාසයේදී වසරේ අවම අවධනමකාරි මට්ටම ළඟා කරගෙන ඇති නමුදු රටේ ආර්ථිකයේ තවමත් ක්‍රියාත්මක වන්නේ අවධමනකාරි තත්වයකි.

රටේ සමස්ත මිල මට්ටමේ සිදුව ඇති මෙම සංකෝචනය ආර්ථික වර්ධනය කෙරෙහි ද අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබේ. 2024 වසරේදී රටේ ආර්ථික වර්ධනය සියයට 5 ක් ලෙස ඉහළ ගොස් ඒ දක්වා වසර කිහිපයක් තුළ වාර්තා වූ ඝෘණ ආර්ථික වර්ධනය නවත්වා ගැනීමට හැකිව තිබේ. එසේ වුවද මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 3.5 දක්වා පහළ වැටෙනු ඇතැයි ලෝක බැංකුව විසින් පුරෝකථනය කර ඇත. එයට බොහෝදුරට හේතු වී ඇත්තේ රටේ සමස්ත භාණ්ඩ හා සේවා මිල මට්ටම සම්බන්ධයෙන් පවත්නා මෙම මන්දගාමී ස්වරූපය යැයි සිතිය හැක. එවැනි තත්වයක් තුළ අඩුම තරමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අනුමැතිය ලැබී ඇති සියයට 5 ක උද්ධමන ඉලක්කය දක්වා හෝ සමස්ත ඉල්ලු‍ම ඉහළ නැංවීම අවශ්‍ය වනු ඇත.

රජයේ වියදම් සහ ණය ගැනීම් සීමා කර ඇති පසුබිමක රටේ භාණ්ඩ සහ සේවා සඳහා වන සමස්ත ඉල්ලු‍ම ඉහළ නැංවීම සම්බන්ධයෙන් ගැටලු‍කාරි තත්වයක් ඇතිව තිබේ. එවැනි පසුබිමක් පවත්නා විට සමස්ත ඉල්ලු‍ම ඉහළ නැංවීම සම්බන්ධයෙන් සීමා පවතින නමුදු ආයෝජන මට්ටම ඉහළ නැංවීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ සමස්ත ඉල්ලු‍මේ වර්ධනයක් ඇති කරගැනීමටත්, අවධමනය නවත්වා ගැනීමටත් අවස්ථාවක් සැලසේ. රජයේ සාර්ව ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති කේන්ද්‍රගත විය යුත්තේ එම අරමුණු මුදුන් පමුණුවා ගැනීමටය. දීර්ඝ කාලීනව ආර්ථික අවධමනය අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ නම් එය රටේ ආර්ථිකය කෙරෙහි දරුණු ව්‍යසනකාරි ප්‍රතිඵල අත්කර දෙනු ඇත.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා
අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (0)

ආර්ථිකයේ අලුත්ම අභියෝගය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 259 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 784 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site