2025 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා වූ පළමුවැනි කාර්තුවට අදාළ රටේ ආර්ථිකය පිළිබඳ දත්ත ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය ජුනි 16 වෙනිදා නිකුත් කරන ලදී. ඒ අනුව එම කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 4.8 කින් වර්ධනය වී තිබේ.
සැළකිය යුතු මට්ටමක වර්ධනයක් ළඟාකර ගැනීමට හැකිවීම සැබැවින්ම රටේ ආර්ථිකය පිළිබඳව සියලු දෙනාටම අස්වැසීමක් ගෙන දෙනු ඇතැයි සිතිය හැකිය. එයට හේතුව 2025 වසරේදී ද රටේ ආර්ථිකය වර්ධනය වන ප්‍රවණතාවක් පෙන්නුම් කරන බැවිනි. රටේ ආර්ථිකය පිළිබඳව සැළකිල්ලක් දක්වන සියලු දෙනාගේම අපේක්ෂාව වනුයේ 2024 වසරේදී ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ආර්ථික වර්ධනය එම මට්ටමින් හෝ ඊට වඩා ඉහළ මට්ටමකින් හෝ වර්ධනය විය යුතු බවය.
මේ වසරේ පළමු කාර්තුවේදී ඒ ආකාරයේ වර්ධනයක් අත්කර ගැනීමට හේතුවී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම කාර්මික අංශයේ නිෂ්පාදනය ඉහළ යෑමයි. 2024 හතරවැනි කාර්තුවේදී එම අංශයේ සියයට13.1ක වර්ධනයක් වාර්තා විය. මෙම කාර්තුවේදි කාර්මික අංශයේ වර්ධනය සියයට 9.7 කි. 2024 හතරවැනි කාර්තුවේදී සේවා අංශය සියයට 2.5ක වර්ධනයක් අත්කර ගත් අතර එය මෙම කාර්තුවේදී සියයට 2.8 දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේ වුවද කෘෂිකාර්මික අංශයේ වර්ධනය 2024 හතරවැනි කාර්තුවේදී සියයට 2.2කින් පහළ වැටුණ නමුත් මෙම කාර්තුවේදී එය සියයට 0.7කින් පහළ වැටී තිබේ. මෙම දත්ත පරීක්ෂා කරන විට 2025 වසරේ පළමු කාර්තුවේ වර්ධනය සඳහා කාර්මික අංශයේ සිදුවී ඇති ඉහළ වර්ධනය හේතුවී ඇති නමුත් කෘෂිකාර්මික අංශයේ සහ සේවා අංශයේ සැළකිය යුතු වර්ධනයක් වාර්තා වී නැති බවක් පෙනී යයි.
2025 වසරේ පළමු කාර්තුවේ ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී ඇත්තේ ජාතික ජන බලවේග රජය යටතේ මුලපුරා ඇති ආර්ථික වෙනස්කම්වල ප්‍රතිඵල පිළිබඳව අදහසක් ඇතිකර ගැනීමට ඒ තුළින් අවස්ථාව සැලසෙන බැවිනි. පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වැනිදා අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වූ නමුත් ඒ වනවිට ජාතික ජනබලවේගයට පාර්ලිමේන්තු බලය හිමිව තිබුණේ නැත. ඒ නිසා තම පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනා සමග කැබිනට් මණ්ඩලය පවත්වාගෙන යෑමට ජනාධිපතිවරයාට සිදුවිය. එවැනි තත්වයක් තුළ ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට එතෙක් පවත්වාගෙන ගිය ආර්ථික කටයුතු ඒ අයුරින්ම පැවැතීමට ඉඩ හැරීම මිස වෙනත් විකල්පයක් නොතිබුණි.
ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ සිව් දෙනාට වුවද පාර්ලිමේන්තු මහ මැතිවරණය මෙහෙයවීම ඇතුළු තම පක්ෂයේ මැතිවරණ කටයුතුවලට සහභාගිවීම සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවූයේ යැයි සිතිය හැකිය. මහ මැතිවරණය පැවැත්වූයේ නොවැම්බර් 14 වැනිදාය. එවැනි තත්වයක් තුළ 2025 හතරවැනි කාර්තුවේදී ආර්ථිකය මෙහෙයවීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේග රජයට වැඩි ඉඩක් නොලැබුණු බවත් එතෙක් පවත්වාගෙන ආ ආර්ථික කටයුතු අඛණ්ඩව සිදුවීමට ඉඩහැරීම හැර සැළකිය යුතු මට්ටමක වෙනසක් සඳහා මුල පිරීමට අවස්ථාවක් නොලැබුණු බවත් පිළිගත යුත්තකි.
කෝවිඩ් වසංගතයෙන් සහ රට බංකොලොත්භාවයට පත් වූ බව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව යළිත් රටේ ආර්ථික වර්ධනයක් ඇති කිරීම කෙසේ වෙතත් ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීම පවා ගැටලුවක් බවට පත්විය. රටේ විනිමය අනුපාතය පහළ වැටී රුපියලේ අගය ක්ෂය වී යද්දී එය නැවැත්වීමට ගතහැකි පියවර කවරේ දැයි නිශ්චය කර ගැනීමට පවා නොහැකි තත්වයකට රටේ ආර්ථිකය මෙහෙයවන කණ්ඩායම් මුහුණ දී සිටියේය. ඩොලරයේ අගය රුපියල් 370 දක්වා ඉහළ ගියේය. ඒ අතරම ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම උද්ධමන අනුපාතයක් ඇති රටවල් පහ අතරට ඇතුළත්ව තිබුණි. ව්‍යාපාර වැසී ගියේය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බොහෝ දෙනෙකුට ණය ගෙවා ගැනීමට නොහැකිව ඔවුන්ගේ ව්‍යාපාර වසා දැමීමට සිදුවිය. ඔවුන්ගේ සියලු වත්කම් උකසට සින්න වී ගියේය. ඉන් වැඩියෙන්ම පීඩාවට පත්වුයේ ස්ථිර රැකියා නොමැති ස්වයං රැකියා ඔස්සේ තම ජීවනෝපාය සලසාගත් පිරිස් ය.
රටේ දරිද්‍රතාව ඉතාම වේගයෙන් ඉහළ ගියේය. මේ තත්ත්වය යටතේ රටේ දරිද්‍රතා අනුපාතය විශාල ලෙස ඉහළ ගොස් තිබුණි. එවැනි රටක සිදුකළ යුතු පළමු කාර්යය වී තිබුණේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දමා අඩුම තරමින් ඔවුන්ගේ ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සුරක්ෂිත කිරීමය. ඒ අතරම රුපියලේ අගය පහළ වැටීම ද, උද්ධමනය ඉහළ යෑමද පාලනය කරගත යුතුවිය. රටේ ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීම පිළිබඳව සිතනවාට වඩා එවැනි කරුණුවලට ප්‍රමුඛතාව ලබාදී රටේ සාමාන්‍ය ජන ජීවිතය පැවැති තත්වයට ගෙන ඒම සඳහා කටයුතු කිරීමට රජයට සිදුවිය.
කෝවිඩ් ව්‍යසනය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් රට පෙර නොවූ විරූ ආකාරයේ ආර්ථික පරිහානියකට ගොදුරු විය. 2022 වසරේ ආර්ථික වර්ධනය සියයට ඍණ 7.35 ක් විය. 2023 දී එය සියයට ඍණ 2.30 ක් විය. එසේ වුවද එම වසරේ අවසන් කාර්තුවේ සිට රටේ ආර්ථිකය සැළකිය යුතු මට්ටමකින් වර්ධනය කර ගැනීමට හැකි පරිසරයක් ගොඩනැගී තිබුණි. 2024 වසරේ පළමු කාර්තුවේදී ආර්ථික වර්ධනය සියයට 5.3 ක් ද, දෙවැනි කාර්තුවේදී සියයට 4.7 ක් ද, තුන්වැනි කාර්තුවේදී සියයට 5.5 ක් ද, හතරවන කාර්තුවේදි සියයට 5.4 ක් ද විය. 2024 වසර අවසන් වනවිට සියයට 5 ක ආර්ථික වර්ධනයක් අත්කර ගනිමින් ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට ද, බංකොලොත්භාවයෙන් අත් මිදී යළි ආර්ථික වර්ධනයට ප්‍රමුඛතාවක් ලබාදෙන රටක් බවට පත්වීමට ද ශ්‍රී ලංකාවට හැකිවිය.
රටේ ආර්ථිකය එම තත්වයට ගෙන ඒම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම ආණ්ඩුව ගෙන ගිය මෙහෙයුම දැඩිව විවේචනය කළ සහ ගැරහීමට ලක්කළ ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයත් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පසුගිය රජය විසින් අනුගමනය කළ ආර්ථික උපාය මාර්ගවලට වඩා වෙනස් උපාය මාර්ග අනුගමනය කරනු ඇතැයි රටේ ජනතාව අපේක්ෂා කළෝය. එසේ වුවද ආර්ථික ඉලක්ක පිළිබඳව දැඩි අභියෝග ඇති කරන පසුබිමක් දැන් නිර්මාණය වී තිබේ. ලෝක බැංකුව පුරෝකථනය කරන්නේ 2025 වසරේදී ආර්ථික වර්ධනය සියයට 3.5කට සීමාවනු ඇති බවය. එසේම 2026 වසරේදී එය තවදුරටත් පහළ වැටී වර්ධන වේගය සියයට 3.1 ක් දක්වා පහළ වැටෙනු ඇතැයි ද පුරෝකථනය කර තිබේ.
ඉතා දුෂ්කර අවධියක් අවසන් කර සියයට 5ක ආර්ථික වර්ධනයක් අත්කර දීමට පසුගිය ආණ්ඩුවට හැකි වුවද ලෝක බැංකුව පුරෝකථනය කර ඇති පරිදි ආර්ථික වර්ධනය පහළ වැටෙන්නේ නම් එය ඛේදවාචකයක් බව පෙන්වා දිය යුතුව ඇත. ජාතික ජන බලවේගයට පාලනය හිමිවූයේ රටේ ආර්ථික ගැටලු බොහොමයකට විසඳුම් ලබාදී ඉහළ ආර්ථික වර්ධනයක් සඳහා ප්‍රවිෂ්ඨ වූ රටකි. රටේ විදේශ සංචිත ඉහළ මට්ටමකට ගෙනවිත් ණය ප්‍රතිව්‍යුහගතකර, විනිමය අනුපාතය ස්ථාවර තත්වයකට ගෙනවිත් උද්ධමනය සෘණ මට්ටම දක්වා අඩුකර, ජනතාවගේ පීඩනය සැළකිය යුතු මට්ටමකින් අඩු කරන ලද රටකි. එසේ වුවද අලුත් ආණ්ඩුවට අඩුම තරමින් 2024 වසරේදී අත්කර ගත් ආර්ථික වර්ධන මට්ටම හෝ ආරක්ෂා කර ගැනීමට නොහැකි නම් එය ඛේදවාචකයක් ලෙස හැර වෙනත් විදියකින් හැඳින්විය හැකිද? පසුගිය රජය විසින් ස්ථාවර තත්වයකට පත්කරන ලද සෑම ආර්ථික අංශයක්ම පාහේ හොඳින් ක්‍රියාත්මක වන බව පෙනේ. සංචාරක ව්‍යාපාරය ඉතා සාධනීය තත්වයකට පත්ව ඇති අතර සෑම මාසයකම රටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව මෙන්ම රටට ලැබෙන සංචාරක ආදායම ද ඉහළ යෑමේ ප්‍රවණතාව තවදුරටත් ක්‍රියාත්මක වේ. එමෙන්ම රටට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ යෑමේ ප්‍රවණතාව ද එලෙසම ආරක්ෂා වී තිබේ.
පසුගිය රජය විසින් හඳුන්වා දෙන ලද බදු ප්‍රතිසංස්කරණ හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කර ඇති ඉලක්කවලට පහසුවෙන් ළඟාවීමට හැකි තත්වයක් නිර්මාණය වි තිබේ. එසේ නම් ආර්ථික වර්ධනය 2024 මට්ටමේ හෝ රඳවා ගැනීමට නොහැකි වීමේත්, ඊට වඩා පහළ යෑමේත් හේතු පිළිබඳව ආණ්ඩුව අවධානය යොමු කළ යුතුව ඇත. පසුගිය ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද ආර්ථික ක්‍රමෝපායන්ගේ අරමුණ වූයේ මුලින්ම ආර්ථික ස්ථායීකරණය ගොඩනැගීමත්, ජනතාවගේ ජීවන පැවැත්ම තහවුරු කෙරෙන පසුබිමක් නිර්මාණය කිරීමත්ය. එම අරමුණු දෙකම ජය ගැනීමට එම කාලපරිච්ඡේදය තුළදීම හැකිවිය. දැන් අවශ්‍ය කෙරෙනුයේ ආර්ථිකයේ මහා පිම්මකට ඉඩ සැලසෙන ආකාරයෙන් ආයෝජන මට්ටම ඉහළ නැංවීමත්, රජයේ සහ පෞද්ගලික අංශයේ නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත් ය. කනගාටුවට කරුණ වන්නේ රටේ ආයෝජන වැඩිකරන ආකාරය පිළිබඳව ජාතික ජන බලවේගයේ වේදිකාවල මෙන්ම එම පක්ෂයේ ප්‍රකාශනවල විවිධ මත ප්‍රකාශ වී තිබුණ ද ආයෝජන වැඩිකර ගැනීම සඳහා වූ කිසිදු ප්‍රායෝගික පිළිවෙතක් මේ දක්වා ඉදිරිපත් නොවීමය. ඒ හේතුවෙන් කිසිඳු ආයෝජනයක් හෝ සැළකිය යුතු මට්ටමේ ආයෝජකයන් හෝ තවම රටට පැමිණ නැත.
ආණ්ඩුවේ ප්‍රමුඛ අවධානය යොමුවිය යුතුව ඇත්තේ රටේ ආයෝජන ඉහළ නැංවෙන ආයෝජන පිළිවෙතක් ප්‍රායෝගිකත්වයට පත්කර ගැනීම පිළිබඳවය. එසේ නොවුණහොත් විශාල ආර්ථික පරිහානියක් ඉදිරියේ දී බලාපොරොත්තු විය යුතුව ඇත.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුම බණ්ඩාර
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආර්ථික වර්ධනයේ අනාගතය