(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)
ආදරය සොඳුරුය.ඊට බොහෝ අර්ථකථනයන් ගෙනහැර පෑවද ආදරය ආදරයමය.
සොඳුරු ප්‍රේමවන්තයින් සිය ප්‍රේමණීය හිතවතිය හිතවතා අතර ආදරණීය බැඳීමක් එක් කරන්නට රසවත් චොකලට්ටුවකට ඇත්තේ අපූරු හැකියාවකි. චොකලට්ටුව හා ආදරය අතර පවතිනුයේ ආදරණීයවූත් අපූරුවූත් බැඳීමකි.
චොකලට් වලට කවුරුද ආසා නැත්තේ?.කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන්ද මෙකී චොකලට්ටුවට රුචි වන්නේආදරයේ නැතහොත් සෙනෙහසේ සංකේතයක් නිසාම වන්නට ඇත.
සුද්දා රට පුරා කොකෝවා ව්‍යාප්ත කළේ අපට ආදරයට චොකලට් කවන්නට නම් නොවේ. විශාල පරිමාණයෙන් ඇති කළ වතු සංකල්පය ඔස්සේ මෙකී කොකෝවා බෝගයද අපට කොකා පෙන්වා ඔවුන්ගේ රටට ගෙන ගියහ. සුද්දන්ගෙන් රට නිදහස් උනත් කොකෝවා කර්මාන්තය කෙරෙහි සොයා බැලීමක් හෝ ආර්ථික භෝගයක් ලෙස ආර්ථිකයට දායක කරගන්නට කිසිවෙකු කල්පනා කළ බවක් නම් නොපෙනේ.
කරුණු එසේ තිබියදී පැරැණිම කොකෝවා ප්‍රභේදයන් තුළින් ඉහළ අගයක් සහිත චොකලට් නිෂ්පාදනයට පුංචි පුංචි එළි විහිදුවමින් ප්‍රතිභාවක් නගන්නටදරණ උත්සාහයක් පිළිබඳව අසන්නට ලැබුණි.
චොකලට් යන නම ඇසූ පමණින් ඔබට සිහිවනුයේ ස්විස්ටර්ලන්තයේ විවිධ වර්ණයෙන් හා රසයෙන් හැඩයෙන් යුත්චොකලට්ටුවක් වනවාට සැක නැත. එහෙත් ඊට දෙවැනි නොවූ ලෝකයේ ඉහළම රසැති චොකලට්ටුවක් ලංකාවේ නිපදවීම ආශ්චර්යයක් නොවන වග මේ වනවිට ඔප්පු කර හමාරය.
පර්යේෂණ උරගාමින් සිය දැනුම ශ්‍රමය මුදල යොදවා එය යථාර්ථයක් කරන්නට රුහුණු විශ්වවිද්‍යාලයේ ආහාර හා තාක්ෂණය පිළිබඳව මහාචාර්ය නිලන්ත ලියනගේ මහතා සමඟ කළ චොකලට් පිළිසඳර ඔබටත් රටටත්රසවත් මෙන්ම වැදගත් වනු ඇත.
ලංකාවේ කොකෝවා වගාවේ පරිහාණිය
කොකෝවා කර්මාන්තය කලක් ලංකාවේ පැවතිමුත් එය අතහැර දැමූ බව අතීතය විමසීමේදී පැහැදිලිය. 1960 ගණන් වන විටත් කොකෝ වාගාව හෙක්ටයාර් 12,000 ක් පමණ තිබී ඇති බව හෙළිවෙයි.
බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී පවා එම වතු සමාගම් මගින් සිය පරිභෝජනය සඳහා කෝකෝවා වගාව ව්‍යාප්ත කර තිබූ බවට සඳහන්ය. නිදහසෙන් පසු නැවත අපට පැවරූ තේ, කෝපි, රබර් වතු කළමනාකරණය කර ගැනීමට හැකියාවක් නොතිබුණු බව අධ්‍යනයන් තුළින් හෙළිවෙයි.
කොකෝවා වගාවටද අත් වූයේ එවැනිම ඉරණමකි.
අවම වශයෙන් බීජ සකස්කර පිටරට යැවීමේ ව්‍යාපාරයවත් දියුණු කර ගැනීමේ අවශ්‍යතාවයක් නොතිබුණු අතහැර දැමූ ව්‍යාපාරයක් බවට පත්විය. මාතලේ ප්‍රදේශයේ බහුල වශයෙන් මෙම වගාව පැවති අතර වෙනමම වතු අධිකාරීවරුන් යටතේ ඉන්දීය හා ලාංකීය ශ්‍රම බලකායක් යොදවා පවත්වාගෙන ගිය ආකර්ෂණීය වතු මේ වන විට අතුරුදන්ව ඇත. නව නිපයුම් කෙරෙහි හිත යොමුකළ උපාලි විජේවර්ධනයන් ඇරඹූ කොකෝවා වගාව සහ චොකලට් නිෂ්පාදනයට ලංකාව තුළ ඉඩක් නොලැබුණි.
ලංකාවේ කොකෝවා වලට වඩා පිටරට කොකෝවා හොඳය යන වැරදි මතවාදයක් ක්ෂේත්‍රය තුළ ප්‍රචාරය කිරීමෙන් එම කර්මාන්තය අඩාලවූ අතර පසුකාලීනව සිදුවූයේ අති දක්ෂයකු වූ උපාලි විජේවර්ධනයන් වැනි දැවැන්ත ව්‍යවසායකයෙක් ලක්මවට අහිමි කිරීමය. තවමත් ඉඳිකටුවක් පවා නිපදවීමට උත්සාහ නොදරණ පරිසරයක දේශීය ව්‍යාපාරයන්හි කඩා වැටීමට හේතුවක් බව නොරහසකි.
එකල හෙක්ටයාර් 12,000 ක් පමණ කොකෝවා වගාවක් ලංකාවේ පැවති සමයකි. එසේ වුවත් මිලදීගන්නන් නොමැති වීමත්, අනුග්‍රාහකත්වයක් නොමැතිවීමෙන් නිරායාසයෙන්ම ක්ෂය වී යන ව්‍යාපාරයක් බවට පත්විය.
පරීක්ෂණාගාරයෙන්ම චොකලට් සුවඳ
පසුගිය කෝවිඩ් සමයෙන් අනතුරුව බොහෝ දෙනාට බොහෝ දේ ගැන හිතන්නට අවස්ථාව උදාවිය. ලෝකයේ හොඳම කොකෝවා ලංකාවේ තිබීමත් එතුළින් ඉහළ බටර් ප්‍රතිශතයක් ලැබීමත් නිරන්තර පර්යේෂණ සිදු කළ මහාචාර්ය නිලන්ත ලියනගේ මහතාට ඉහළ ගුණාත්මක චොකලට් නිෂ්පාදනයට හැකිව තිබේ.
" ලංකාවේ තියෙන කොකෝවා වල 52% - 54% අතර මේදය තිබෙනවා. එය ලෝකෙ තිබෙන හොඳම මට්ටමක්. එවැනි මට්ටමක තියන කොකෝවා තුළින් ඇයි නිෂ්පාදන කරන්න නොපෙළඹෙන්නේ? උත්සාහ නොකරන්නේකියන එක ප්‍රශ්නයක්.
විශ්වවිද්‍යාලය තුළ කවුරුත් කඩන්නේ නැතුව අත්හැරල දාපු කොකෝ ගස් ගොඩක් තිබුණා. පර්යෙෂණාගාරය තුළමේවා යොදාගෙන නිපැයුම් කරන්න පෙලඹුණ. කොකෝ බටර් එකේදි ඒක හරි සුන්දර අත්දැකීමක් උනා.
කොකෝවා ඇටඅරගෙන මදය හෝදලා වේලලා චොකලට් හදන්න බෑ. පැසවීමේ ක්‍රියාවලියකට ලක් කරන්න ඕනෑ. ඊට පස්සේ සෝදා වේලාගත් පසු හොඳ බීජ ලැබෙනවා. ක්‍රියාවලි කීපයකින් පසු චොක්ලට්ටුවක් බිහිකිරීමට හැකි වෙනවා.
පළමුවර මේ කිරීමේදී පරීක්ෂණාගාරයෙන්ම චොකලට් සුවඳ විහිදුනා.”
2021 වනවිටආර්ථිකය කඩා වැටෙන බවක් අවබෝධ වීම සහ ආර්ථිකයට සවියක්විය හැකි කෘෂි නිෂ්පාදනයන් පිළිබඳව අධ්‍යනයක් කිරීම තුළ කොකෝවා පිළිබඳ අදහස යථාර්ථයක් කිරීමටවෙහෙසුන බව මහාචාර්යවරයා පැවසීය. ඒ අනුව අත්හැරුණු වගාවට පුනර්ජීවයක් ලබාදීමටඔවුහු කල්පනා කළහ.
අපේ කොකෝවා වලින් ලොවදිනන චොකලට්ටුවක් හදමුද යන තේමාවක් ඔස්සේ මහාචාර්යවරයා මුහුණු පොතේ කළ සටහනක් ඔස්සේ ඒ සඳහා වේදිකාවක් සකස් කර හමුවක් පවත්වා ඇත. ඒ සඳහා මහාචාර් නිලන්ත ලියනගේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය කුමාර හිරිඹුරේගම සහ ඉංජිනේරුවරයෙකු වූ බණ්ඩාර යන මහත්වරු මූලිකවී ඇත.
විනාඩි 5 ක කෙටි කාලයක දී සංවාදය සඳහා චොකලට් රසික සමූහයක් එක්ව තිබේ. ජාත්‍යන්තර තරගාවලි රැසක් සමග චොකලට් මාස්ටර් තරගාවලිය ජයග්‍රහණය කළ අරවින්ද ලීලාරත්න මහාතාද මේ සඳහා සහභාගි වීම විශේෂයකි.
ලංකාවේ චොකලට් සැකසීමට නම් කොකෝවා රට තුළ ව්‍යාප්ත කළ යුතුය. දැනටම ඉතිරිව ඇති කොකෝවා සංගණනයක් කිරීමෙන් පසු එම ප්‍රදේශයන්හි නිවෙස්හි චොක්ලට් සැකසීමේ ව්‍යාපෘති කීපයක් දියත් කර ඇත. මෙතෙක් චොකලට් පවුඩර් ගෙනත් චොක්ලට් හදපු පිරිස් කෝකෝවා ගෙඩියකින් චොකලට්ටුවක් සැකසීමෙන් විශ්මයට පත්වූ බව පැවසේ. මේ අයුරින් ලංකාව තුළ කුඩා කණ්ඩායම් විශාල ප්‍රමාණයක් එක් කර ගැනීමට මෙම ව්‍යාපෘතිය තුළින් ඔවුන්ට හැකිව තිබේ.
"පහළොවක් වැනි කුඩා කණ්ඩායමකට මේ ව්‍යාපෘතිය සිදුකරනවා යම් පිරිවැයක් දරන්න අවශ්‍යයි. එක් අයෙකුට රුපියල්15,000ක් පමණ වැය වෙනවා.
මේ වන විට තමන්ගේ ව්‍යාපාරවල චොකලට් කරන අය ඉන්නවා. චොකලට් සඳහා වගාකරන කණ්ඩායම් වගේම පැළ තවන් කරන, බෙදාහරින කණ්ඩායම් දාමයක් ලංකාවේ මේ වන විට හදලා තියෙනවා.”
කොකෝවා වර්ග තුනකි. ක්‍රියොලෝ වර්ගය හොඳම වර්ගයයි. ෆොරෙස්ටෙරෝ, ට්‍රිනිටාරියෝ නම් දෙමුහුන් ප්‍රභේදද වේ. මීට අමතරව තෝරාගත් ප්‍රභේද පවතිනවා. කුඩා කුඩා කොකෝවා වතු ගණනාවක් ව්‍යාප්තිය සිදුකළා.”
අනුරාධපුර කිලිනොච්චි අම්පාර වැනි ප්‍රදේශවලද මෙම වගාව සිදුකළ හැකි බව ඔප්පු කර ඇත. පවතින ඉඩකඩම්වලින් අතුරු භෝගයක් ලෙස ව්‍යාප්ත කළ හැකිනම් එය ඵලදායී බව මහාචාර්යවරයා පවසයි.
කොකෝවා ඉහළ ආදායම් මාර්ගයක්
කොකෝවා කුලුබඩු එකතු කරන වෙළඳ සැල්වල ලබාගත හැකි අතර රුපියල් 350 ක් වැනි මිලකට කිලෝවක් අලෙවී ඇත. මහාචාර්ය නිලන්ත මහතා විසින් කොකෝවා නිවැරදිව සකස් කරන ක්‍රමවේදය ඔවුන් වෙත උගන්වමින් එවැනි පැසවීමකට ලක් කරන ලද කොකෝවා කිලෝවක් රුපියල් 1000 ක මිලට ගැනීමෙන් ගොවීන් පෙළඹවීමක් සිදුකරන බව පවසන්නේය.
ලෝක වෙළඳපොලේ විශාල ලෙස කොකෝවා මිල ඉහළ යාමත් සමඟම ඇති වූ හිඟය මත ලංකාව තුළද කොකෝවා වෙළඳපොළමිල ගණන් ඉහළ යාමට පටන් ගැනුණි. වර්තමානයේ රුපියල් 2500 - 2750 අතර මිලකට කොකෝවා කිලෝවක් අලෙවිවේ.
කොකෝවා කිලෝ එකක් එවැනි මිලකට අලෙවි වුවත් කොකෝවා ඇට කිලෝ දෙක හමාරකින් කොකෝවා බටර් කිලෝ එකක් සැකසිය හැකි බව පැවසූ මහාචාර්යවරයා එහි වටිනාකම රුපියල් 16,000 ක් බවත් කොකෝවා පවුඩර් කිලෝ එකක් රුපියල් 6400 ක් වන බවත් පැවසීය. ඒ අනුව රුපියල් 20,000 කට ආසන්න මුදලක් බව හාඉහළ ලාභයක් ඉපයිය හැකි බව ඔහු පෙන්වා දෙයි.
චොක්ලට් නිෂ්පාදනය කිරීමේදී මීටත් වඩා ලාබ ලැබිය හැකි බව පෙන්වා දෙයි.
චොකලට් බඩගින්නටද? ආදරයට මිලක් නොවේ
චොකලට් කිසිවෙකු කුසගින්නට නොගනී. එය ආදරේ සංකේතයක් ලෙස හුවමාරු කර ගනී. දරුවෙකුට සිය ආදරය ප්‍රකාශ කිරීමටත් යෞවනියක් හා යෞවනයෙකු අතර ආදරය ප්‍රකාශ කිරීමටත් හැඟවීමට දැනවීමට භාවිතා වියහැකිය.
හොඳම දේට මිලක් නොවේ. අසීමිත මිලකටහොඳම දේ විකිණිය හැකිය. මහාචාර්ය නිලන්ත මහතා පැවසුවේ සිය චොකලට්ටුවේ තත්ත්වය අනුව එය ඩොලර් 100 කට වැඩි මිලකට මිල කළ හැකි බවයි.
ආදරේට බොරු කරන්න හොඳ නැහැ
චොකලට් යන්න වෙළඳපොළෙහි අමුතුම හැසිරීමක් පවතින්නකි.එය නිසි ලෙස හඳුනාගතහොත් ලෝකයේ ධන කුවේරයන්ට ලබා දිය හැකි ලාංකීය චොකලට්ටුවක් තැනිය හැකි බව හා එය පරිස්සමට කල යුතු බවත් ලියනගේ මහතා අවධාරණය කරයි.
“ මේ කාර්ය ආදරයෙන් කළ යුතුයි. තමන් ආදරය කරන අයට දෙන්නේ දියමන්තියක් ලබාදෙන ලෙසයි. එය තමයි අපිට මිනිස්සුන්ට පැහැදිලි කරලා දෙන්න බැරි කොටස.
ලංකාවේ අපි කන චොකලට් ගැන මම කතාකරන්න යන්නේ නෑ. ඒක මට අයිති දෙයක් නෙමෙයි. මගේ කාර්යය සැබෑ කොකෝවා වලින් නියම චොකලට් හදන එකයි
මොකද චොකලට් කියන්නේ ආදරේ සංකේතයක්. ආදරේට බොරු කරන්න හොඳ නැහැ. එනිසා ඒක හොඳ විදිහට හදන්නඕනෑ. මෙම පැසවීමේ ක්‍රියාවලියේ සිට ආදරයෙන් තමයි හදන්න ඕනේ.
ඉහළම රසයෙන් යුත් චොකලට්ටුවක් අපි ළඟ හැදෙනවා. ඒක මිලදී ගන්න ඕන තරම් මිනිස්සු ලෝකෙ ඉන්නවා.
විදෙස් වෙළඳපොළට
හෙක්ටයාර් 1000 ක ප්‍රමාණයක කොකෝ වගාවක් පැවතිය හොත් ආර්ථිකයට බරපතළ වෙනසක් ඇති කළ හැකි බව ඔහු පවසයි.
විදෙස් වෙළඳපොළ ඉලක්ක කරමින් නිෂ්පාදන සමාගමක් බිහිකර ඇති බවද සඳහන් කරන අතර අමුද්‍රව්‍ය අවශ්‍ය තරම් තිබිය යුතු බවත් , විශාල වෙළඳපොලක් බැවින් අවශ්‍ය වගා පරිසරය වැඩි කරගත යුතු බවත් අවධාරණය කරයි. හෙක්ටයාර් 100 ක ප්‍රමාණයක් තමන් සතුවේ නම් විශාල බලපෑමක් ආර්ථිකයට කළ හැකි බව අවධාරණය කරන අතර මේ දක්වා කළ වගා ව්‍යාපෘති තුළ අස්වැන්න තමන් සතු නොවන අතර තරගකාරී වෙනත් පුද්ගලයන් සතුකරගන්නා බවද පවසයි.
නිෂ්පාදනය අඛණ්ඩව සිදුකර ගැනීමට නම් තමන් සතුව හෙක්ටයාර් 100 ක ප්‍රමාණයක් වගාවක් තිබිය යුතු බවසඳහන් කරයි
" අපි පටන් ගත්තු ව්‍යාපෘතිය ඇතුළේ අපිට නැවත අස්වැන්න ලැබුනේ නැතත් ගොවියන්ට වැඩි වාසියක් ලැබෙනවා නම් සතුටු වෙනවා. හෙට දවසේ කවුරු හරි කොකෝවා කිලෝව රුපියල් 5000 කට මිලට ගත්තොත් මම එය රුපියල් 5500 කට මිලට ගන්නවා.
මම දන්නවා අතර මැදියෙක් නැතිව ගොවියාට මේ මුදල යනවා කියලා.කුරුණෑගල ප්ලාන්ටේෂන් මගේ උපදෙස් අනුව ලොකු අස්වැන්නක් ගන්නව. මම මහාචාර්යවරයෙක් ලෙස කරන දේට මිලක් තිබෙනවා. හැබැයි තැන් තැන්වල ගිහින් ඉල්ලලා මේ දේවල් කරන්න ගියොත් මගෙන් වන සේවය වෙන්නේ නැහැ. අවශ්‍ය ඕනෑම මොහොතක උපදෙස් සේවාවන් නොමිලේ ලබා දෙනවා උගන්වන්න කැමතියි.
ගිවිසුම් ගහලා හිර වෙන්න කැමති නැහැ . මහාචාර්යවරයෙකුගේ භූමිකාව එක තැන හිර කරන්න නරකයි විවෘතව තැබිය යුතුයි. මගේ අරමුණ ලෝකෙ කොකෝවා මැප් එක තුළ කවද හරි දවසක ලංකාව තදබලපාටකින් දිදුලන්න ඕනෑ කියන එක”
වතු යටිතල පහසුකම් අමාත්‍ය සමන්තවිද්‍යාරත්න මහතාව දැනුවත් කර වගාවට ඉඩම් කීපයක් ලබාදෙන ලෙසත් ඉල්ලා ඇති බව සඳහන් කළේය. වසර තුනකදී අස්වන්න ගත හැකි කොකෝවා වගාවට නව රජය හෙක්ටයාර් 50 ක ඉඩක් ලබා ලබා දුන්නහොත් ඉදිරි වසර පහවන විටචොක්ලට් නිපැයුම් කර ලෝකයට යවා ආර්ථිකයට බරපතල ධනාත්මක බලපෑමක් කරන බව යළි යළිදු අවධාරණය කරයි.
පොල් පලදාව වැඩිවීමට හේතුවක්
කොකෝවා වගාව පොල් වගා බිම්හි අතුරු වගාවක් ලෙස කළ හැකි බව පෙන්වා දෙන අතර වසරකට පොල් ගසකින් පොල් ගෙඩි 100 ක නිෂ්පාදනයක් ලබා ගත හැකි නම් ඒ හා සමාන ගෙඩි ප්‍රමාණයක් කොකෝවා ගසකින් ලබා ගත හැකි බවද පෙන්වා දෙයි. කොකෝවා ගෙඩියක මිලද වෙළඳපොලේ රුපියල් හැත්තෑවකි. අමතර වෙහෙසීමකින් තොරව ආදායම දෙගුණ වීපොල් නිෂ්පාදනයද වර්ධනයක් ඇතිවන බව පවසයි. ඊට හේතුව වනුයේ කොකෝවා වගාවේ නිරන්තර මල් හටගන්නා බැවින් මීමැසි පරාගනය වීම තුළ පොල් පලදාව වැඩිවීමක් සිදුවන බවයි.මේ නුවණ පොල් වගා මණ්ඩලයේ සභාපතිවරයාට සහ කාර්ය මණ්ඩලයට පහළ වෙන්න ඕනෑයි මහාචාර්යවරයා විශ්වාස කරන බව පවසයි.
ලංකාවේ වගා බිම් ප්‍රමාණය වැඩි කිරීම සිදුකළ යුතු බව හේ අවධාරණය කරයි. අවුරුදු තුනක් තුළින් චොකලට් උන්මාදයක් ඇති කිරීමට හැකි බව ද නැවත නැවතත් අවධාරණය කරයි. ඔහු නිපදවන චොකලට් කිලෝවක ස්ලැබ් එකක මිල රුපියල් 20,000 කට අලෙවි වන බවද පවසයි.
" ලෝකෙ දිනන තාක්ෂණය අප සතුයි. ලෝකයේ හොඳම චොකලට්ටුව අතික්‍රමණය කළ හැකි තවත් ආයුර්වේද සාරයන් එකතු කරලා හදන්න පුළුවන් චොකලට් විවිධාංගීකරණයන් රැසක් තියෙනවා.
වෙළඳ පොළට එක්කළ හැකි ක්‍රම විශාලයි. මගේ නිවසේ හැමදාම කිලෝ එකක චොකලට්ටුවක් හැදෙනවා. කවුරු හරි ඉල්ලුවොත් හදනවා ද්‍රව්‍ය සුලභ ක්‍රමවේදය සම්පූර්ණ වූ වූ පසු තවදුරටත් මේ දිගුවක් කරන්න බලනවා. අවශ්‍ය වටපිටාව සැකසී රජය ධනාත්මකව සිතුවහොත්මෙම ව්‍යාපෘතියආර් ථිකයට සෘජු බලපෑමක් කලහැකි බව අවධාරණය කරනවා.”
පසු අස්වනු තාක්ෂණය පිළිබඳ අධ්‍යක්ෂවරයකු මෙන්ම රජයට සම්බන්ධව කටයුතු කසල කළමනාකරණ ව්‍යාපෘති, ක්ලීන් ශ්‍රී ලංකාව වැනි ව්‍යාපෘතිවලට සක්‍රීය දායකත්වයක් සපයමින් මහාචාර් ය නිලන්ත ලියනගේ මහතාකටයුතු කරනු ලබයි.
ලංකාවේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් බොහෝ පර්යේණයන්හි නියැළෙති. එම සොයා ගැනීම් අතලොස්සක් හැරෙන්නට අනෙකුත් පර්යේෂණ පත්‍රිකාවන්ට සීමාවෙමින් පොත් රාක්කයන්හි තැන්පත්වෙයි. නවසොයා ගැනීම් ප්‍රායෝගික යථාර්ත භාවිතයන් බවට පත් කිරීමට අවශ්‍ය අදාළ වටපිටාව සකසමින් ව්‍යපාරික ව්‍යවසායික සබැඳියක් සැකසීමට රාජ්‍ය පෞද්ගලික මැදිහත්වීමක් තිබිය යුතුය. අදාළ පාර්ශව ඊට මැදිහත්විය යුතුය. පොළවෙහි සැඟවුණු මිනි මුතු ඔප දමාගිනිය හැකි නම් එහි වටිනාකම වැඩි වනු සේම මෙවන් ගිලිහුණු කර්මාන්ත යළි පණ පොවමින්ආර්ථිකයට සවිමත් කිරීමට රට කරවන්නන්ගේ නැණස යොමු වන්නේ නම් රටේ හෙට දවස සොඳුරුවනු ඇතිය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආදරය මුසුකොට තැනෙන රසම රස චොකලට්ටුවකි යස
RASIKA Friday, 04 July 2025 03:44 PM
හොඳ යෝජනාවක්... !
වන්නකු Saturday, 05 July 2025 07:30 AM
මේ කර්මාන්තය දියුණු කිරීමට එතුමාට උදව් කරමු...
saman Saturday, 05 July 2025 07:57 AM
කොකෝවා වගාව පොල් වගාවේ අතුරු නිෂ්පාදනයක් වශයෙන් කළ හැකියි. එසේ වුවත් කොකෝවා ගස පොල්ගස පසෙහි සාරවත්බව උරා ගැනීම නිසා පොල් ඵලදාව අඩුවේ. පොල් වගාවේ අතුරු නිෂ්පාදන වසයෙන් ඉගුරු, කහ, ගම්මිරිස්, බුලත් හෝ වෙනත් (දිගුකාලයක් නොපවතින පසෙහි සාරවත්බව විශාල වශයෙන් උරා නොගන්නා අතුරු බෝග) සුදුසු වේ. ලංකාවේ විශ්ව විද්‍යාලවල බොහෝ පර්යේෂණ කරති. එම පර්යේෂණ පත්‍රිකාවලට පණක් සීමාවන්නේ ඇයි? ලෝකයේ දියුණු රටවල පර්යේෂණ සඳහා රජය පමණක් නොව පුද්ගලික ආයතන මූල්‍යමය දායකත්වය ලබාදේ පර්යේෂණ අවසානයේ ලබාගන්න ප්‍රතිඵලයට රජය හෝ පුද්ගලික සමාගම් මැදිහත්ව ආයෝජනය කිරීම සිදුවේ ලංකාවේ විශ්ව විද්‍යාලවල පර්යේෂණ සඳහා පුද්ගලික ආයතන (සමාගම්) ආයෝජනය සිදුවන්නේ නැත. එම නිසා සිදුකරන බහුතරයක් පර්යේෂණවලට පමණක් සිමාවේ. දිගු කාලයක් වැයකර රජයේ මුදලින් කරන්නා වූ පර්යේෂණ අවසාන ප්‍රතිඵලය නිෂ්පාදනයක් කළ නොහැකිනම් එම පර්යේෂවල ප්‍රතිඵල hardcopies or softcopies වශයෙන් තබාගැනීමට හැකියි. කොකෝවා වගාව සඳහා පර්යේෂණ කරන්නේ නම් ඒ සඳහා විදෙස් ආයෝජන සොයාගැනීමට හැකිද යන්න සොයාබැලීම වැදගත්වේ...