IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


ආණ්ඩුව දැන් දෝෂාභියෝග පඹගාලේ

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය මේ වනවිට මෙරට දේශපාලන සංවාදයේ ප‍්‍රධාන මාතෘකාව වී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ ද ඊට අදාළ චෝදනා විමර්ශනය කිරීමේ නියෝජිතයෙකුව කටයුතු කළේය. එහෙත් එහි වැඩකටයුතු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් විවේචනය කරමින් ජ.වි.පෙ ඉන් ඉවත්වුණේය. අද සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ එම විශේෂ කාරක සභාවේ ජ.වි.පෙ නියෝජිතයා සේ කටයුතු කළ එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් ය.   ⋆ ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව නැගුණු දෝෂාභියෝග චෝදනා විමර්ශන විශේෂ කාරක සභාවේ සාමාජිකයකු හැටියට ඔබත් කටයුතු කළා. කෙසේ වෙතත් මේ වනවිට ඇයට එරෙහිව චෝදනා 3 කට වරද පටවා තිබෙනවා. එහෙත් දෝෂාභියෝග ක‍්‍රියාවලිය සම්බන්ධ ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ කමිටු සාමාජිකයන්ම පවසන්නේ කතා දෙකක්. ඇයි මෙහෙම වෙන්නේ? මෙම දෝෂාභියෝගය පැහැදිලිවම දේශපාලන පලිගැනීමක් මත පැමිණි දෝෂාභියෝගයක්. ඉසෙඞ් ස්කෝර් හා දිවි නැගුම පනත පිළිබඳ ප‍්‍රශ්නය නිසා තමයි පැහැදිලිවම මෙම දෝෂාභියෝගය ගෙන ආවේ. ආණ්ඩුවට මුල ඉඳලාම වුවමනාව තිබුණා ශිරානි බණ්ඩාරනායක මහත්මිය ධුරයෙන් ඉවත් කරන්නට. බොරු කමිටුවක් පත්කළේ. එහි විමර්ශනය සාධරණ හෝ යුක්තිසහගතව පැවතියේ නෑ. ඊට නිශ්චිත ක‍්‍රමවේදයක් තිබුණේ නෑ. විත්තිවාචකයට සාධාරණ කාලයක් ලබාදුන්නේ නෑ. ආරම්භයේ සිටම පැහැදිලි සාක්ෂි සටහන් ලේඛනයක් ඉදිරිපත් කළේ නෑ. ඒ විතරක් නෙවෙයි. කමිටුවේ සිටි ඇමැතිවරු දෙදෙනෙක් අගවිනිසුරුවරිය ආමන්ත‍්‍රණය කළේ ඉතාම නින්දිත පහත් ආකාරයටයි. ඇයගේ නීතිඥ මණ්ඩලය ඊට විරෝධය පළ කළා. එහෙම දෙයක් වුණේ නැතැයි දැන් කියන අනුර ප‍්‍රියදර්ශන යාපා ඇමැතිවරයාම තමයි ඒ වේලාවේ ඒ පැත්ත නොබලා ඔවුන්ගේ කතා නොඅසා මට උත්තර දෙන්නැයි රොමේෂ් සිල්වා නීතිඥවරයාට කිව්වේ. එහෙම දෙයක් කිව්වෙම ඒ නොහොබිනා හැසිරීමක් නිසයි. අනෙක් අතට රාජිත සේනාරත්න ඇමැතිවරයා මාධ්‍ය ඉදිරියේ පිළිගෙන තිබුණා ඇමැතිවරු දෙදෙනෙක් සැරට කතා කළ බවත් තමා මැදිහත් වී එය වැළැක් වූ බවත්. ඒක සැරට කතාකිරීමක් ද අපහාසයක්ද කියලා තීරණය කළයුත්තේ මේ රටේ ජනතාවයි. එනිසා මේ විශේෂ කාරක සභාව ස්වාභාවික යුක්තිය මත කටයුතු කළේ නෑ.   ⋆කෙසේ වෙතත් එසේ සැරට කළේ යැයි ආණ්ඩුවම කියන කතාව ගැන මේ වනවිට අගවිනිසුරුවරියගේ නීතිඥයන් කතානායකවරයාට පවා පැමිණිලි කර තිබෙනවා..? එහි පලදායී බව කෙබඳුද? ඔවුන් පැමිණිලි කරන්නෙම එවැනි සිද්ධියක් වූ නිසානෙ. නීතිඥවරුන් කමිටුව තුළදිම ඊට සිය විරෝධය පළ කළා. දැන් නැවත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. හැබැයි පැහැදිලිවම එදා වගේම ඉදිරියටත් මේ කමිටුවෙන් සාධාරණයක් ඉටුවෙන්නේ නෑ. මේක ජනාධිපතිවරයාට සීල් එක ගහන්න හදපු කිසිදු තේරුමක් නැති කමිටුවක්. ඉතින් මේ පැමිණිලිවලට සාධාරණයක් ඉටුවේ යැයි අප කිසිවිටක විශ්වාස කරන්නෙ නෑ.   ⋆ එහෙත් මේ අතර කමිටුවේ නොසිට පිට සිට චෝදනා කිරීම අඳුරේ සිට ගල් ගැසීමක් යැයි අනුර ප‍්‍රියදර්ශන යාපා ඇමැතිවරයාත් ඔබට චෝදනා කරනවා? නොහොබිනා ආකාරයට කමිටුව ඇතුළේ හැසිරෙන්න එපා කියලා කමිටුව ඇතුළෙදිම පැහැදිලිවම අප විරුද්ධ වුණා. විමර්ශනය සඳහා නිශ්චිත ක‍්‍රමවේදයක් අවශ්‍ය බවට දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළත් ඒවා නිවැරැදි වුණේ නෑ. ඔවුන් දිගටම හැසිරුණේ තමන්ගේ ජාන ලක්ෂණවලට අනුවයි. ඇත්තටම ඔවුන් විමර්ශනය මෙහෙයවූයේ අගවිනිසුරුවරිය ඉවත් කරලත් ඉවරයි කියලා ඔලූවේ තියාගෙනයි. ඔවුන් කතාබහ කළේ තවමත් ඇය අගවිනිසුරු ධුරයේ ඉන්නවා යැයි කියාවත් මතකයක් නැතිවයි. ඔවුන්ගේ මනසේ තිබුණේ චෝදනා ඔප්පු කරලත් ඉවරයි කියලයි. අප කළ මැදිහත්වීම තුළ නිවැරැදිවීමක් වෙන්නේ නැති නිසයි කමිටුවෙන් ඉවත්වුණේ.   ⋆ තේරීම් කාරක සභා වාර්තාව නැවත පරීක්ෂා කිරිමට ජනාධිපතිවරයා විසින්ම කමිටුවක් පත්කරන  බව කියනවා. මේ මගින් කිසියම් ස්වාධීන විනිශ්චයක් ලැබේවි ද? මෙසේ කමිටුවක් පත්කරනවා කියන ප‍්‍රකාශය තුළම ජනාධිපතිවරයා පාර්ලිමේන්තු කාරක සභාව ස්වාධීන නෑ කියලා ඔප්පු කළා. ඒ වාර්තාව ස්වාධීන විභාගයකින් සැකැසූ එකක් නෙවෙයි කියලා ඔප්පු කළා. ඒ නිසා එක පැත්තකින් ජනාධිපතිවරයාම කාරක සභාව හෑල්ලූවට ලක්කළා. බාල්දු කළා. එහි සභාපතිවරයා ඇතුලූ ආණ්ඩුවේ හත්දෙනා පාවලාදුන්නා. අනෙක් අතට ජනාධිපතිවරයා දැන් ඔය කරන්නේ කුමක්ද? මෙය තනිකරම ජනතාව රවට්ටන්න යෙදු උප්පරවැට්ටියක්. ජනාධිපතිවරයා පත්කරන කමිටුවක් කවදාවත් ස්වාධීන වෙන්නේ නෑ. ඒ ස්වාධීන කියන වචනෙම වැරැුදියි. ඔහු පත්කරනවාය කියන්නේ ඔහුට පක්ෂග‍්‍රාහී කියන එකනේ. තමන් කැමැති සහ තමන්ට කැමැති අයනේ ඒ තුළට එන්නේ. ඔය ස්වාධීන කමිටු කතාව කිව්වෙම මේ දෝෂාභියෝග ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාවගෙන් නීති ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රවීණයන්ගෙන් බුද්ධිමතුන්ගෙන් විද්වතුන්ගෙන් එල්ල වූ ප‍්‍රබල විරෝධය නිසයි. මෙවැනි කොමිසමකට කිසිදු නෛතික බලයක් නෑ. බොරු කමිටු කතා වැඩක් නෑ. අපි කියන්නේ දැන් කරන්න තිබෙන්නේ එකම දෙයයි. ඔය කාරක සභාවෙන් හදපු කමිටු වාර්තාව කුණු බක්කියට දාලා වහාම මේ දේශපාලන දෝෂාභියෝගය ඉවත්කරගතයුතුයි.   ⋆ ජනාධිපතිවරයා එවැනි කොමිසමක් ගැන කීවත් පෙරේදා (15) පැවැති ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී ස්වාධීන විනිසුරු මඩුල්ලක් හමුවේ දෝෂාභියෝගය නැවත සලකාබැලීම, නව නීති සැකැසීම හා නව අගවිනිසුරුවරයකු යටතේ සේවය නොකිරීම ආදී යෝජනා 3ක් සම්මත කරගෙන තිබෙනවා. නීති වෘත්තිකයන්ගේ මෙම ස්ථාවරය ඔබ දකින්නේ කොහොමද? ඇත්තටම ශ‍්‍රී ලංකා නීතිඥ සංගම් මහා සභාවේ දිනය යොදාගෙන තිබුණේ ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයට කලිනුයි. එනිසා ඔවුන් ආරම්භයේ සිටම මෙම ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් දැඩි විරෝධාත්මක තලයක සිටි බව අවධාරණය කළ යුතුයි. විශේෂ කාරක සභාවේ කටයුතු සාධාරණව නොකෙරුණු බැවින් ඊට ඔවුන් සිය විරෝධය පළකළා. මෙරට නීතිය ගැන හසල දැනුමක් ඇති නීතිඥවරුන්ට මෙම කමිටු ක‍්‍රියාවලිය යනු සම්පූර්ණයෙන් අසාධාරණ අයුක්තිසහගත එකක් බව තේරිලා තිබෙනවා. මෙම යෝජනා සම්මතයෙන් සිදුවුණේ එය තවදුරටත් තහවුරු කිරීමක්. පවතින ක‍්‍රියාවලිය තුළින් අගවිනිසුරුවරිය ඉවත්කිරීම මෙන්ම නව අගවිනිසුරෙකුගේ පත්කිරීම තමන් පිළිගන්නේ නැති බවට වූ ඔවුන්ගේ ස්ථාවරය ඉතා බැරෑරුම්ව සළකා බැලිය යුතු තත්ත්වයක්. නව අගවිනිසුරෙකු පිළිගන්නේ නැති බවට රටක සාතිශය බහුතර නීතිඥයන් කියනවානම් එය බරපතල තත්ත්වයක්. මේ තත්ත්වය ඇතිකළේ මේ ආණ්ඩුව. එනිසා මෙයින්වත් පාඩමක් ඉගෙනගෙන වහාම දෝෂාභියෝගය ඉවත දැමිය යුතුයි.   ⋆ ජාතික වශයෙන් එසේ වෙද්දී ජාත්‍යන්තර ජූරි සභිකයන්ගේ කොමිසම පසුගිය දෙසැම්බර් 10 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් මෙම දෝෂාභියෝග ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් සිය විරෝධය පෑවා. ඒ අනුව යමින් මේ වනවිට පොදු රාජ්‍ය මණ්ඩලීය මහේස්ත‍්‍රාත්වරුන්ගේ හා නීතිවේදීන්ගේ සංගම් ඇතුලු සංවිධාන තුනක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටින්නේ විනිසුරන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නිසි ක‍්‍රියාදාමයක් අනුගමනය නොකිරීම මගින් රජය අධිකරණයේ ස්වාධීනත්වයේ මූලික සිද්ධාන්ත පවා බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි. 2013 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව මෙරටදී පැවැත්වෙන්නට නියමිතව තිබියදී මෙවැනි මත දැක්වීම් ජාත්‍යන්තර තලය තුළ රටක් වශයෙන් ශ‍්‍රී ලංකාවට කෙසේ බලපායි ද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ප‍්‍රඥප්තියට ලංකාව අස්සන් කරලයි තිබෙන්නේ. අප එහි සාමාජික රටක්. හැබැයි අද ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ මූලික ප‍්‍රඥප්ති පවා උල්ලංඝනය කරමිනුයි. අනෙක් අතට අප පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටක්. එහි තිබෙන පොදු සම්මුතින් ද බිඳදමමින් තමයි ආණ්ඩුව අද කටයුතු කරන්නේ. එනිසා මෙම සංවිධානවල සාමාජික රටවල නීති ක්‍ෂෙත‍්‍රයේ පිරිස් දිගින් දිගටම මේ පිළිබඳ කනගාටුව ප‍්‍රකාශ කරමින් ප‍්‍රකාශ නිකුත් කරනවා. ඉතින් මේ තත්ත්වය ජාත්‍යන්තරව ගත්තත් අපේ රටේ කීර්ති නාමයට හොඳ නෑ. ලංකාවේ අගවිනිසුරුවරියට නීතියේ සාධාරණත්වය නැතිනම් සාමාන්‍ය පුරවැසියන්ට කොහොමද සාධාරණය ඉටුවන්නේ කියන ප‍්‍රශ්නය ජාත්‍යන්තරය හමුවේ මතුවෙලා තිබෙනවා. ලෝකය තුළ අපේ රට සම්බන්ධයෙන් කළු චිත‍්‍රයක් නිර්මාණය කරන්න බලපාපු සිද්ධියක් බවට අද වනවිට දෝෂාභියෝගය බලපා තිබෙනවා. එය අපේ රටේ අනාගතයට හොඳ එකක් නම් නෙවෙයි. ආණ්ඩුව කරන ඔලමොට්ටල වැඩ හින්දා අපේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට ඇගිලි ගහන්නට ජාත්‍යන්තරයට පාර කැපෙනවා.   ⋆ දෝෂාභියෝග කතාව නිසා මේ වනවිට රටේ ප‍්‍රධාන අනෙකුත් ප‍්‍රශ්න අවශේෂ වී තිබෙන බවකුයි පෙනෙන්නේ. ආසන්නතම වශයෙන් ගතහොත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවත් ඉන්දියන් තෙල් සමාගමත් ඔක්ටේන් 90 පෙට‍්‍රල් මිල රුපියල් 10 කින් වැඩිකළා. කෝ දැන් අයවැය ගැන කතාව ? අයවැය තුළින් ජනතාව බලාපොරොත්තු වූ වැටුප් වැඩිවීම් ජනතා සහන කිසිදෙයක් ලැබුණේ නෑ. ඉතින් අයවැය සංවාදයත් දෝෂාභියෝගය නිසා සම්පූර්ණයෙන් යටගියා. අද ලක්ෂ ගණනින් මුදල් කාබාසිනියා කරමින් කාල්ටන් සුපර් සෙවන් කියලා සුපිරි පෙළැන්තියේ පිරිස් ගෝල් ෆේස් එකේ ? එලිවෙනකන් රේස් පදිනවා. පහුවෙනිදා උදේ පාන්දර පෙට‍්‍රල් මිල වැඩිකරනවා. මේ නාස්තිකාර වියදම් නිසා රටේ ආර්ථිකය දරුණු ලෙස කඩාවැටෙමින් තිබෙනවා. අපේ ණය බර දවසින් දවස වැඩිවෙමින් තිබෙන්නේ. හැබැයි මේ දෝෂාභියෝගය දාලා ඒ සියල්ල දැන් හංගගෙනයි ඉන්නේ. ආණ්ඩුව දිගින් දිගටම මෙවැනි ජනප‍්‍රිය මාතෘකා තෝරනවා. එක්කෝ ඇමැතිවරයෙක් මේජර්වරයෙකුට පහරදෙන එකක්, නැත්තන් ජුලම්පිටියේ චණ්ඩිපාට්, එහෙමත් නැත්තන්  ඊනියා ඇල්වතුර උපවාසයක් හරහා ජනතාවගේ ඇත්ත ජීවන ප‍්‍රශ්න යටකරන තත්ත්වයක් අපි දිගින් දිගටම දකිනවා. මේ තත්ත්වයත් මෙරට ජනයා සිහිබුද්ධියෙන් තේරුම්ගන්න  ඕන. මෙවැනි ජනප‍්‍රිය මාතෘකා මගින් ජනතාවගේ දැවෙන ප‍්‍රශ්න යටපත් කරන්න දෙන්නට බෑ. ඒ වෙනුවෙන් මැදිහත් විය යුතු තත්ත්වයකුත් දැන් තිබෙනවා.   ⋆ පෞද්ගලික අංශ සේවකයා ගැන මේ අයවැයෙන් කිසිදු සහනයක් ලැබී නැති බවට  ජනතා විමුක්ති පෙරමුණ විශාල හඩක් නැගුවා. එහෙත් කම්කරු ඇමැතිවරයා මේ වනවිට පවසන්නේ ඔවුන්ට සියයට 40 ක වැටුප් වැඩිකිරීමක් ලබාදෙන්නට පඩිපාලක සභා ම`ගින් සාකච්ඡා කෙරෙන බවයි. එහෙම බැලුවොත් මෙය ඉතා ඉහළ වැටුප් වැඩිවීමක් නේද? මේවා මහ විහිළු කතා. හැමදාම ආණ්ඩුව මෙවැනි සිහින පෙන්වමින් තමයි රට කළේ. ඇත්තටම පෞද්ගලික අංශ සේවකයාට 40% කින් වැටුප් වැඩිවෙන්න  ඕන. නමුත් ආණ්ඩුව පහුගිය කාලය පුරාවට වචනයක් කතා කළේ නෑ. අඩුම ගානේ මෙවර අයවැයෙන් පෞද්ගලික අංශෙට යෝජනාවක් තියා ඔවුන් ගැන සඳහන් කිරීමක්වත් කළෙ නෑ. මේ රටේ ජීවන බර රාජ්‍ය සේවකයන්ට විතරක් නෙවෙයි පෞද්ගලික අංශ සේවකයන්ට ගොවියන්ට වතු කම්කරුවන්ට හැමෝටම බලපානවා. හැබැයි ආණ්ඩුව දිගින් දිගටම කරන රැවැට්ටීම ඉවසගන්න බැරි තැනට මේ රටේ පෞද්ගලික අංශ සේවකයන් පත්වෙලා තිබෙනවා. අන්න ඒ ආතතිය දකිනකොට ඇමැතිවරු මේ වගේ බයිලා ගායනා කරනවා.

සංවාද මෙහෙවර - බිඟුන් මේනක ගමගේ
 



අදහස් (0)

ආණ්ඩුව දැන් දෝෂාභියෝග පඹගාලේ

මුතු Wednesday, 19 December 2012 02:02 PM

අන්තිම පිංතුරේ ටිකක් කේන්ති ගිහින් වාගේ . කොයිකටත් ටිකක් පරිස්සෙමන්. (ස)

:       0       0

සඳුනි Tuesday, 18 December 2012 02:20 PM

මොනවා කිව්වත් ඡන්දෙකදි පරදිනවනේ (ස)

:       0       0

වීරසේකරගේ Sunday, 23 December 2012 03:02 PM

ඇත්ත කියන මිනිස්සුන්ට ඡන්දය නොදෙන්නේ දේශපාලන කුහකයෝයි. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 19 December 2012 09:53 PM

කොච්චර හඩනැගුවත් වැඩක් නැහැ අපිට නම්. (නි)

:       0       0

කසුරි Thursday, 20 December 2012 10:03 PM

සඳුනි, මිනිස්සු ජේවීපී එකට ඡන්දෙ දෙන්නෙ නැත්තෙ මේ රටේ මිනිස්සුන්ට දේශපාලන විඥානයක් නැති නිසයි. ඔයා හිතනවද දැන් මේ රට පාලනය වෙන විදිය හරි කියලා? පපුවෙ තියෙන කුහකකම් අයින් කරලා බුදු දහමට අනුව හිතලා බලන්න. (නි)

:       0       0

සුනිල් Wednesday, 19 December 2012 12:42 PM

එක එක කාලෙට මොකාක් හරි ප්‍රශ්නයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

නීතියේ සදාචාරයේ විකෘතිය
2024 මැයි මස 18 92 0

ලබන සැප්තැම්බර් 17 වැනිදාත් ඔක්තෝබර් 16 වැනිදාත් අතර දිනෙක ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 9 වැනිදා නිවේදනයක් මගින් ප්‍ර


පාසල් දරුවන්ගේ උදේ ආහාරය සුළුවට නොතකමු
2024 මැයි මස 18 53 0

සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. පාඨලී චම්පික රණවක ම


දුයිෂෙන් අල්තීනායි අපේ කරළියට ඇවිත්
2024 මැයි මස 17 221 0

‘‘ගුරුවරයා අල්තීනායි නගරයට යන දවසේ සමුගන්නා සැටි චිත්‍ර ගත කරපන්. මතකද ඔහු අන්තිම වරට කෑගැසූ හැටි. අල්තීනායි අද වනතුරුත් අමතක නොකර, සෑම මිනිසකුගේම හදව


සරසවියට සංගීත තාක්ෂණය හඳුන්වා දුන්නේ මමයි
2024 මැයි මස 17 459 0

‘‘ශ්‍රී ලාංකේය රවි ශංකර්’’ ලෙස විරුදාවලිය ලත්, එතෙර මෙන්ම මෙතෙරදීත් ඇගැයුමට හා ප්‍රශංසාවට ලක්වූ, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට මුලින්ම සංගීත තාක්‍ෂ


රුසියා යුදබිමෙන් පැනගත් සෙබළා හෙළි කරන කතාව
2024 මැයි මස 17 1770 3

රුසියාවේ යුක්රේන යුද බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලේ මාස එකහමාරකට ආසන්න කාලයක් දිවා රෑ ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් එම්.එච්. නිශ්ශංක පින්තු මහතා සටන් වැද


විශ්‍රාමික සෙබළුන් බිලිදුන් මිනිස් ජාවාරම
2024 මැයි මස 17 323 2

කලින් කලට විවිධාකාරයේ ජාවරම් රට තුළ නිර්මාණය වේ. වැලි ජාවාරම්, මත්ද්රදව්යැ ජාවරම්, ඖෂධ ජාවාරම් ආදිය ශ්රී ලංකාවට අලු‍ත් අත්දැකීම් නොවන්නේය. මේ දිනවල උණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 778 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2330 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1993 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site