IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ආණ්ඩුවේ ඇදගෙන නෑම

ආණ්ඩුව මේ අවස්ථාවේ දී මේ වැනි මුග්ධ ක්‍රියාවක් කරතැයි අපි සිහිනෙකිනුදු නොසිතුවෙමු. එහෙත් ආණ්ඩුවේ අතීත ක්‍රියා දෙස බලන විට පෙනී යන්නේ, ඔවුන් මේ වැනි දේ නැවත නැවතත් කිරීමේ හැකියාවක් පවතින බවය. බලයෙන් උද්දාමයට පත්ව තිබෙන ආණ්ඩුවකට කළ නොහැකි මෝඩකමක් නැත.

විශේෂයෙන්ම ආණ්ඩුව, පුවත්පත සහ ගුවන් විදුලිය පමණක් පැවැති 60 ගණන්වල දේශපාලන උපාය උපක්‍රම මගින් බලපෑම් ලත් සෙයකි. එසේ නොවන්නට ඔවුන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ වැන්නකු කීයටවත් අත්අඩංගුවට ගන්නේ නැත. එසේ අත්අඩංගුවට ගත්ත ද මෙවැනි සිල්ලර චෝදනාවකට එසේ කරන්නේ නැත. එය දැනටමත් පසක් වී එහෙත්, මේ වන විට ආපසු නොහැරෙන බව කියමින් “රුබිකෝන් තරණය” කළ පිරිස රෝමය නොගෙනම ආපහු හැරී ඇති සෙයකි.

වර්තමාන ලෝකයේ බලය යනු තණ අග පිනිබිඳකි. ඒ තරම් සැණෙකින් බලය දිය වී යාමේ අනතුරකි. මේ කාලය හැඳින්වෙන්නේ, පශ්චාත් සත්‍ය යුගය වශයෙනි. එහි විශේෂය නම්, මහජන මතය නිර්මාණය වන්නේ, විෂය මූලික තත්වය තුළින් නොව, මනෝමූලික හැඟීම් සහ සංවේදනා තුළිනි. සන්නිවේදනය ආශ්‍රිත තාක්ෂණය මගින් මෙය මගහැර යා නොහැකි යථාර්ථයක් බවට පත්ව තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංග මහතා අත්අඩංගුවට ගැනීමත් සමග නිර්මාණය වූ ආණ්ඩු විරෝධය සමාජ මාධ්‍ය හරහා දෙගොඩ තලා යන විට ආණ්ඩුව පශ්චාත් සත්‍යමය විරෝධතා රැල්ලේ නාසය දක්වා ම ගිලු‍ණි.

ආණ්ඩුවට එරෙහිව නැගුණු විරෝධය හුදු, හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට එරෙහි එකක් පමණක් නොව, එය කේන්ද්‍ර කරගනිමින් මතු වූ මේතාක් ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන පොදු සමාජ මතයේ නැගිටීමක් ලෙස ද දැක්විය හැකි ය.

පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා නීතියට අමතරව කිසියම් සමාජ යුක්ති යුක්තභාවයක් තිබිය යුත්තේ ය. වික්‍රමසිංහ මහතා ගැන ක්‍රියා කිරීමේදී ඒ දෙකම ආණ්ඩුවට තිබුණේ නැත. නීතිමය පාර්ශවය අතිශයින්ම ප්‍රශ්නකාරී ය. ජනාධිපතිවරයකුගේ පෞද්ගලික සහ රාජකාරී වශයෙන් භූමිකා දෙකක් අපගේ නීති පොතෙහි දක්වා නැත. ඒ අනුව එවැනි භූමිකා දෙකකට වෙන වෙන ම මුදල් වෙන් කර ඒවා වියදම් කරන ආකාරය ද දක්වා නැත. එසේ වීම අවශ්‍ය ද නොවේ. මන්ද ජනාධිපතිකම යනු ධුරයේ දිවුරුම් දුන් දින සිට ඉන් නික්මෙන දින දක්වා බලපවත්වන එකක් බැවිනි. එය රජයේ සුපුරුදු 8-5 රැකියාවක් නොවේ. දිවා කාලයේ ද, රාත්‍රියේ ද, ජනාධිපතිවරයා, ජනාධිපතිවරයාමය. ඔහුගේ බලය සහ අණ සෑම අවස්ථාවකම වලංගුය. ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් රජය මගින් වෙන්කර තිබෙන ආරක්ෂකයන් ඇතුළු සියලු‍ දෙය පැය 24 පුරා ක්‍රියාත්මක ය. රනිල් වික්‍රමසිංහ ලන්ඩන් ගිය විට ද එය එසේ ය. ඔහු යන එන වාහන, නවාතැන් ගන්නා ස්ථාන ආදි මේ සියල්ල ඔහු රාජ්‍ය නායකයකු වශයෙන් සලකා පිළියෙළ කරනු ඇත. පෞද්ගලික භූමිකාවක් පිළිබඳ ව්‍යවස්ථාවේ දක්වා නොතිබීම මේ අනුව තේරුම් ගත හැකි ය.

මීට කදිම නිදසුනක් වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා විසින්ම සපයා ඇත. ඔහු මීට තෙමසකට පමණ පෙර සිය මවගේ සුවදුක් බැලීම සඳහා අනුරාධපුර රෝහලට ගියේ ය. ජනාධිපතිවරයා මව සමග රෝහලේ ගත කරන ඡායාරූප ද නිකුත් කර තිබුණි. දැන් මෙම ගමන පෞද්ගලික ගමනක් බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ වෙතත්, ජනාධිපති අනුර එහි ගියේ පෞද්ගලික වාහනයක, පෞද්ගලික ආරක්ෂකයන් සමග නොවේ. ජනාධිපතිවරයා යන විට කැටුව යන අධි ආරක්ෂක විධිවිධාන, එම වාහන සහ ආරක්ෂකයන්, එසේම ගිලන් රථය- මේ සියල්ල ජනාධිපතිවරයා සමග යන්නේ ය. ජනාධිපති අනුරගේ එම ගමන සහ හිටපු ජනාධිපති රනිල්ගේ ගමන අතර කිසිදු මූලික වෙනසක් නැත. අනුරගේ ගමන වැරැදි සහ සිය පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා පොදු දේපළ අවභාවිතාවක් වන්නේ ද නැත. එසේ නම්, ජනාධිපති රනිල්ගේ ගමන ද එසේ විය යුතු ය.

මේ අනුව, ජනාධිපති අනුර ද ජනාධිපති රනිල් කළ දෙයම කර තිබෙන බව පෙනී ගොස් තිබියදීත් ජනාධිපති රනිල්ගේ ක්‍රියාවට පමණක් නඩු පැවරීමට ආණ්ඩුවට සදාචාරමය අයිතියක්ද නැත. එහෙත්, එවන් පැහැදිලි සමානකම් තිබිය දී, ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත්තේ කුමන හේතුවක් නිසා ද?

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම අතිශයින්ම දේශපාලනිකව මෙහෙය වූ බව පෙන්වා දෙන සිදුවීම් කිහිපයකි. පළමුවැන්න නම්, ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාදාමය සමග බොහෝ සමීප යූ ටියුබ්කරුවකු මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ පූර්වයෙන් අනුමාන කළා මතු නොව, ශපථ කර ද තිබීමය. දැඩි විස්වාසයකින් ඔහු කියනු ඇසුණේ, රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්නවා පමණක් නොව, දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් ය.

ආණ්ඩුවේ අභ්‍යන්තර කවයේ මේ පිළිබඳ කතා කර ඒ අනුව යමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව සුරක්ෂිතව නිගමනය කළ හැකිය. මීට පෙර අත්අඩංගුවට ගැනීම්වලදීද මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණේ “අපි ඒ ගැන ඇතුළෙ දී කතා වුණා” යනාදී වශයෙනි.

අනෙත් කාරණය නම්, හිටපු ජනපතිවරයා වරදක් කර තිබේ නම්, ඔහු අත්අඩංගුවට නොගෙන අදාළ මුදල රජයට ප්‍රතිපූරණය කරන ලෙස මුල් පියවර ලෙස දැන්විය හැකිව තිබුණි. විශේෂයෙන් ම, ජනාධිපති වියදම් ගැන නිශ්චිත නීති නැති තැන පැහැදිලිවම එසේ කළ හැකිව තිබුණි. දූෂණ විරෝධී ජනවරමකින් ආණ්ඩුව බලයට පැමිණි නිසා, එසේ කිරීම සැමට පිළිගත හැකිව තිබූ විකල්පයකි. එහෙත් ආණ්ඩුව කළේ සිකුරාදා දිනක වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා අත්අඩංගුවට ගෙන, ඔහු රිමාන්ඩ් කිරීමට කටයුතු කිරීමය. සෙනසුරාදා අධිකරණ නිවාඩු හෙයින් සඳුදා වනතුරු රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට සැලැස්වීම මෙහි අරමුණ ලෙස සිතිය හැකිය.

මේ අතර, වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළ වුල්මන්ප්ටන් විශ්වවිද්‍යාලය මගින් එවන ලද ආරාධන පත්‍රයද පිළිගත නොහැකි බවට රජය නියෝජනය කළ නීතිපති කාර්යාලයේ අතිරේක සොලිසිටර් ජනරල්වරයා තර්ක කළේය. එය මීට පෙර විමර්ශන කණ්ඩායම්වලට ඉදිරිපත් කර නැති බවත්, එම ලිපියේ අව්‍යාජ බව ගැන ප්‍රශ්න ඇති බවත් රජයේ නීතිඥයාගේ අදහස විය. පුදුමයට කරුණ නම්, එසේ පළමු දින අදාළ ලිපියේ සත්‍ය බව නොපිළිගත් නීතිපති කාර්යාලය, නඩුව කැඳවූ පසුගිය 26 වැනිදා ද එම තර්කයම ඉදිරිපත් කිරීමය. හිටපු ජනාධිපතිවරයකු මෙවැනි ලිපියක් කූඨ ලේඛනයක් ලෙස ඉදිරිපත් කරතැයි සිතිය හැකි ද?

අදාළ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ද අත්සන් තබා ඇති එම ලිපිය, විත්තිකාර වික්‍රමසිංහ මහතා විසින් ව්‍යාජ ලෙස සකස් කරතැයි උකුණු හිසක මොළයක් ඇති අයකු වුව පිළිගන්නේ නැත. ලිපිය ව්‍යාජ එකක් නම්, සන්නිවේදනය ඉතා දියුණු අදවන් කාලයක එහි ව්‍යාජ බව හෙළිවීමට සතියක් හෝ යන්නේ නැත. එය ව්‍යාජ එකක් නම්, හිටපු ජනාධිපතිවරයාට මතු නොව, මෙම විශ්වවිද්‍යාලය මගින් ගෞරව උපාධියක් පිරිනැමූ හිටපු ජනපති බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ කීර්තිනාමයට ද එය මැකිය නොහැකි කැළලක් වනු ඇත. ඇතැම් විට පිරිනැමූ උපාධිය පවා ආපසු කැඳවනු ඇත. ඒ සියලු‍ නොවිය හැකිතාවන් තිබිය දී, ලිපිය නොපිළිගැනීම පුදුමය දනවන්නකි.

වික්‍රමසිංහ මහතා යනු හිටපු ජනාධිපතිවරයකු වන අතර ඔහුට අධිකරණය මගහැර රට තුළ සැඟව සිටීම මෙන්ම රටින් පලායෑම ද කළ නොහැකි ය. මේ අතර සැකකරු නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කරතැයි සිතා බන්ධනාගාරගත කළ යුතුය යන පදනම ද වලංගු නැත. පැමිණිලි පාර්ශවයම කියන ආකාරයට මෙම නඩුවට අදාළ ව මේ වන විටත් 38 දෙනකුගෙන් පමණ කට උත්තර සටහන් කරගෙන අවසන් ය. ඒ අනුව, දැන් ඔවුන්ට බලපෑම් කිරීමෙන් පළක් නැත. මේ සියලු‍ කරුණු ඉතා පැහැදිලිව තිබියදීත් විත්තිකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස රජයේ නීතිඥයා දැඩිව කියා සිටියේ ය.

දේශපාලන වශයෙන් ආණ්ඩුව කියා සිටින්නේ, තමන් පොඩි පොඩි හාල්මැස්සන් නොව, තෝරුන් සහ මෝරුන්ට ද නීතිය එක සේ ක්‍රියාත්මක කරන බවයි. අපි එම වචන අගය කරමු. එහෙත් ප්‍රශ්නය ඇත්තේ භාවිතය තුළ ය. දැඩි ලෙස විවාදාපන්න, බහාලු‍ම් වංචා දූෂණය ගැන තාමත් පරීක්ෂණ නැත. වංචාව මාධ්‍ය ඔස්සේ ආවරණය කළ නිලධාරියා රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර ඇත. ගල්අඟු‍රු වංචාව ගැන ද එසේ ය. කැබිනට් අනුමැතියකින් තොරව කෘෂිකර්ම අමාත්‍යවරයා රජයේ ඉඩම් අක්කර 900ක් පමණ ගජමිතුරු ව්‍යාපාරිකයන්ට මුදාහැරි බවට චෝදනා එල්ල වී ඇත. තව චෝදනා රැසකි.

ආණ්ඩුවේ නීතිය සැමට පොදු නම්, මුලින්ම තමන් පිළිබඳව එල්ල වන චෝදනා ගැන පරීක්ෂණ කර ජනතාව ඉදිරියේ නිවැරැදි බව පෙන්විය යුතු ය. එතැනින් ඇරැඹිය යුතුය. එවිට ජනතාව හමුවේ ද ආණ්ඩුව සාධාරණ ලෙස පෙනී යනු ඇත. එමෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ, හුදු නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ද නොවේ. එහි දී පැහැදිලි නීතිය උල්ලංඝනය කිරීමක් බැලූ බැල්මට තිබිය යුතු ය. එසේ නොවන්නේ නම්, නීතිය දේශපාලන අවියක් ලෙස සමාජය හමුවේ පෙනී සිට, නීතියට සහ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණයේ ද විශ්වසනීයත්වය ඛාදනය කරනු ඇත. අද උද්ගතව ඇත්තේ, එවන් අවාසනාවන්ත තත්වයක් බව කනගාටුවෙන් හෝ කිව යුතුව තිබේ.

(***)



අදහස් (7)

ආණ්ඩුවේ ඇදගෙන නෑම

randil dunuwille Friday, 29 August 2025 05:02 PM

වහල්කම ....

:       38       22

ගුණරත්න Friday, 29 August 2025 07:24 PM

පැහැදිළිවම පළිගැනීමේ චේතනාව හෝ ආණ්ඩුව වැඩක් කළා කියන සහතිකය ගන්න කරන උත්සාහයක්, ඉදිරියේදී විපක්ෂයේ තවත් දේශපාලනඥයින්ට එරෙහිව මොකක් හෝ චෝදනාවක් දාලා සිරගත කරාවි. අද දවසට විතරක් 4 දෙනෙක් පමණ රිමාන්ඩ් කළා...

:       20       43

pakeer Friday, 29 August 2025 09:19 PM

ඔය ජනතාවගේ සල්ලි වලින් ඉගෙන ගෙන ඔවුන්ටම කෙළවන ජාතියේ කෙනෙක්... ඕන කෙනෙකුට තේරෙනවා. මොවුන් කරලා තියෙන දේවල්.. ඔයාගේ මහාචාර්යකම හොදයි ... වැඩක් නැහැ කියලා...

:       7       17

Jagath Saturday, 30 August 2025 03:22 PM

වැරදි කළා නම් ඕනෑම කෙනෙකුට දඩුවම් හිමිවිය යුතුයි. වැරැදි නැත්නම් ඔච්චර බය වෙන්නේ මොකටද?

:       5       17

Anura Pathirana Monday, 01 September 2025 08:42 AM

පරම්පරාව හෑල්ලුවට ලක්කරන්න එපා... අපි කඩේ යන අය ප්‍රතික්ෂේප කරන පරපුරක්...

:       3       4

සමන් විමල් Tuesday, 02 September 2025 08:30 PM

රෙදි සෝදන වහල්ලු අකුරු දැන සිටියාට තෙරුම් ගන්න මොලයක් නැතිව බුක්, බුක් ...

:       2       1

ලුම්බිණි Friday, 05 September 2025 07:03 AM

මෙයාගෙන් ඉගෙන ගන්න ළමයින්ට දෙවි පිහිටයි .

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site