IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අමරපුර නිකායේ අභිනව මහ නා හිමි

 

 

පානදුර රන්කොත් විහාරාධිපති කහපොල සුගතරතන මහනාහිමිපාණන් වහන්සේ අමරපුර මහ නිකායේ මහ නායක ධුරයට පත්වීම නිමිත්තෙන් පළවන ලිපියකි.

කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ආසනයේ කහපොල නම් ගම ජාතභූමිය කොටගත් සුගතරතන නාහිමිපාණෝ සෙල්ලප්පෙරුමගේ ජස්ටින් සිල්වා පියාණන් හා හරිගම්පිට අප්පුහාමිලාගේ කරුණාවතී ජයතිලක මෑණියන් යන මවුපිය උරුම ලබා 1954.10.22 වැනිදා ජන්මලාභය ලදහ. ගමේ පන්සලෙන් මූලික අධ්‍යාපනය ලබා දොළොස් හැවිරිදි වියේදී පෙර පින් මහිමයෙන් පානදුර රන්කොත් මහා විහාරය වෙත මවුපියන් විසින් භාර කරන ලද කුල කුමරු එම විහාරාධිපතිව වැඩ විසූ කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශාධිපති ධුරය හෙබවූ මහාචාර්ය මොරටුවේ සාසනරතන අනුනාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1966 මාර්තු මස 31 වැනිදා සසුන්ගත වීමේ භාග්‍යය හිමිකරගෙන කහපොල සුගතරතන යන පැවිදි නාමය ලැබූහ. 

 

පැවිදි ජීවිතයේ මූලික අධ්‍යාපනය පානදුර රන්කොත් විහාරස්ථ ශ්‍රී සෞගත විද්‍යාලය පිරිවෙන මූලික කරගෙන ආරම්භ කළ අතර ප්‍රාචීන විභාගවලට ආයාසයෙන් තොරව මුහුණ දෙමින් ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම විභාග සමත්ව 1977 දී රාජකීය පණ්ඩිත උපාධිය විශිෂ්ට ලෙස සමත්වන්නේ පැවිද්දෙන් වර්ෂ අටක් තුළය. විසිවන වියෙහි පසු වූ ළාබාල සාමණේර නමක් ලෙසය.

 

වර්ෂ 1975 ජුලි දොළොස් වැනි දින සුනන්දාරාම අනුබද්ධ මාදම්පා මෝදර උදකුක්ඛේප සීමාමාලකයේදී රාජකීය පණ්ඩිත පරම පූජනීය අම්බලන්ගොඩ ධම්ම කුසලාභිධාන ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සුපරිශුද්ධ උපසම්පදාව ලබා ධර්ම විනයධර රාජකීය පඬිවරයකුව සුගතරතන හිමිපාණෝ ස්වෝත්සාහයෙන්ම උසස් පෙළ විශිෂ්ට ලෙස සමත්ව 1980 වර්ෂයේදී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනයට දොරටු විවර කරගත්හ.

 

තරුණ සුගතරතන හිමිපාණෝ පශ්චාත් උපාධි අධ්‍යයනයෙහි නියැළෙමින් 1985 ශාස්ත්‍රපති උපාධියත්, 1997 දී දර්ශනපති උපාධියත් එම විශ්වවිද්‍යාලයෙන්ම හිමි කරගන්නේ ප්‍රථම පන්තියේ ගෞරව සාමාර්ථයෙන් යුක්තවය. වර්ෂ 1990 දී කැලණිය විශ්විද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ධුරයකට උන්වහන්සේ තෝරා පත් කරගැනීම ජීවිතයේ වටිනා හැරැවුම් ලක්ෂ්‍යය බවට පත්විය.

 

1997 දී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධුරයකින් පිදුම් ලබන ලදහ. දර්ශන විශාරද උපාධිය සඳහා ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයට වැඩම කළ සුගතරතන හිමිපාණෝ 2000 වසරේදී ‘හේතුත්ව සංකල්පය’ පිළිබඳ පර් යේෂණ නිබන්ධය එම විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කොට ආචාර්ය උපාධිය හිමි කරගත්හ.

දෙදහ වසරේ සිට කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යයන අංශාධිපති ධුරයට පත්වූහ.

 

උන්වහන්සේ මහාචාර්ය පදවි තුනක්ම හිමි කරගෙන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධුරයටත් විනේතෲ මහාචාර්ය ධුරයටත් පත්වීම උගත් බවේ ප්‍රාමාණිකත්වය මොනවට හෙළි කරයි.

 

සිය ගුරු මාහිමිපාණන්වහන්සෙගේ අපවත්වීමෙන් පසු වර්ෂ 1981 දී පානදුර රන්කොත් මහා විහාරයෙහි සහ පින්වල පාඨලී රුක්ඛාරාමය යන උභය විහාරස්ථානයන්හි ආධිපත්‍යයට පත්වූ සුගතරතන හිමිපාණෝ ප්‍රදේශයට ජාතික ආගමික වශයෙන් නායකත්ව අනුශාසනය ලබාදෙමින් රන්කොත් මහා විහාරයේ නව ගොඩනැගිලි හා ප්‍රතිසංස්කරණවලින් යුක්තව පානදුර නගරයට ආලෝකය ලබාදෙන ඓතිහාසික පුදබිමක් බවට පත් කළහ.

 

1988 සිට 2001 කාලය තුළ ලේඛකාධිකාරී ධුරය දරමින් සුවිශාල මෙහෙවරක් ඉටු කළ අතර 2006 වසරේ දී අධිකරණ සංඝනායක ධුරයත් හොබවා 2007 සිට 2020 දක්වා අනුනායක ධුරයත් බබුළුවා අපත් වී වදාළ මහා පණ්ඩිත අතිපූජනීය කොටුගොඩ ධම්මාවාස ශ්‍රීමත් උත්තරීතර මහනාහිමියන් සුජීවත්ව වැඩ සිටියදීම 2020.06.03 වැනිදා සංඝ සභාවේ ඒකච්ඡන්දයෙන් සම මහනායක ධුරයට හා මහෝපාධ්‍යාය පදවියෙන් ද පිදුම් ලැබීම විනේතෲ මහාචාර්ය කහපොළ සුගතරතන මහානායක මාහිමියන්ගේ භික්ෂු ජීවිතයේ මහා භාග්‍ය සම්පන්න ගමන්මග විය.

 

පානදුර රන්කොත් මහා විහාරාධිපති චන්ද්‍රකීර්ති ශ්‍රී විනේතෲ මහාචාර්ය රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යාය කහපොල සුගතරතන අමරපුර පාර්ශ්වයේ අභිනව මහනායක මහා ස්වාමීන්ද්‍රයන්වහන්සේට තව තවත් ලෝසසුන් සේවාවට නීරෝග සුව හා දිගාසිරි වේවායි ප්‍රාර්ථනා කරමු.

 

- දොඩන්දූවේ සිරිකර නාහිමි



අදහස් (0)

අමරපුර නිකායේ අභිනව මහ නා හිමි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 685 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site