|
විහාරාධිපති බෙරලපනාතර චන්දවිමල නාහිමියන්. |
|
ගැටබරු රජ මහා විහාරස්ථානය |
මාතර දිස්ත‍්‍රික්කයේ මොරවක් කෝරළයේ පිහිටි ඓතිහාසික ගැටබරු රජ මහ විහාරස්ථානයේ බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ අතීතය වළගම්බා රජ සමය තෙක් දිව යයි. ‘‘රුහුණේ පුංචි කතරගම’’ යන විරුදාවලිය ලත් මේ දේවාලයේ බලගතුකම නොදන්නා කෙනකු දකුණු පළාතේ නොමැති තරම්ය.
ඒ තරමටම ගැටබරු දේවාලය ජනතාවට සමීප වී පවතී. නිවසක දානයක්, පිරිතක්, පිංකමක්, උත්සවයක් ආදී කිසියම් සුබ කටයුත්තක් පවත්වන්නේ ද ඊට පෙර ගැටබරු දේවාලය වෙත ගොස් පඬුරු ගැට ගසා බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගැනීම මොරවක් කෝරළේ ජනතාවගේ සාමාන්‍ය පුරුද්දකි.
එමෙන්ම කිසියම් සොරකමක්, මංකොල්ලයක්, අපහාසයක් ආදී ඕනෑම අකටයුත්තක දී ද, ජනතාවගේ පිහිටට සිටින්නේ එම දෙවියන්ය. පොලිසියට හෝ අධිකරණයට වඩා යුක්තිය පිළිබඳ සොයා බලා වැරැදි කළ වුන්ට නිසි දඬුවම් ලබා දීමට රජ්ජුරු බණ්ඩාර දෙවියන් ක‍්‍රියා කරන බව ඔවුන් තුළ විශාල විශ්වාසයක් පවතී.
හොඳට හා නරකට යන දෙකටම පිහිට වන මේ දෙවියන්ට ‘එවෙලේ දඬුවම් දෙන දෙවියන්’ ලෙසද ගම්මු හඳුන්වති. එතරම් විශාල බලයක් තිබෙන ගැටබරු දේවාලය ගාල්ල දෙනියාය ප‍්‍රධාන මාර්ගයේ කොටපොල කිලෝමීටර් 69ත් 70ත් අතර කොටසට ගිය විට වැඳපුදා ගත හැකිය.
මහා වංශයේ සඳහන් පරිදි වලගම්බා රජු සතුරු ආක‍්‍රමණිකයින්ගෙන් මිදීමට සැඟවී සිටි රුහුණේ කඳු ශිඛර මත ඉදි කළ ලෙන් විහාරයක් ලෙසද මෙම ස්ථානය හැඳින්වේ. ගැටබරුව සමගම රුවන්කන්ද, එළමල්දෙනිය, ඌරුමුත්ත හා සිත්තම්ගල්ලෙන ආදී සිද්ධස්ථාන ද එම යුගයේ බිහි වූ බවට ද විශ්වාසයක් පවතී.
කන්ද උඩරට රාජ වංශයේ බණ්ඩාර සම්භවයෙන් පැවත ආ බණ්ඩාරවරුන් ප‍්‍රාදේශීය උප රාජ්‍යයන් බවට පත් වීමේදී බස්නාහිර ඉසව්වේ ප‍්‍රදේශ රැුසකට අධිපතිව සිට මරණයෙන් පසු රජ්ජුරු බණ්ඩාර නමින් දේවත්වයට පත්ව ඇතැයි ද තවත් ජනප‍්‍රවාදයක සඳහන් වේ.
කෙසේ වෙතත් රජ්ජුරු බණ්ඩාර දෙවියන් අයුක්තියට අසාධාරණයට එරෙහිව යුක්තිය ඉටු කොට දඬුවම් ලබාදෙන දෙවියකු බව සියලූ දෙනා අතර ප‍්‍රකටය. තම ජීවිතයට සොර සතුරු බියක් නින්දා අපහාසයක් සිදු වෙයිද ඒ ඕනෑම දෙයකට පිහිට ලබා දෙන්නේ මේ දේවාලයෙනි. එම නිසා පලි ගැසීම, අවලාද කිරීම, වස් කවි කීම හා පොල් ගැසීම මෙම දේවාල භූමියේ අලූත් දෙයක් නොවේ.
දෙනියාය ප‍්‍රදේශය ආශ‍්‍රිතව ගව සොරකමක් වේද? නිවසක් සොරු බිඳින්නේද? බොහෝ අය ඒ ගැන පැමිණිලි කිරීමට පොලිසිය වෙත යාම වෙනුවට කරන්නේ දේවාලය වෙත පැමිණීමය. ඒ තරමටම රජ්ජුරු බණ්ඩාර දෙවියන් වැරැදිකරුවන්ට දෙන දඬුවම පිළිබඳ විශාල විශ්වාසයක් ජනතාව අතර පවතී. එබැවින් විශ්මිත හා හාස්කම් වලින් සපිරි මෙම පුණ්‍ය භූමිය ‘කිව්වොත් නොවරදින තැනක්’ ලෙස ද ප‍්‍රකටය.
දුකට මෙන්ම සැපතට ද සිටින ගැටබරු දේවාලය සොයා ගැනීම පිළිබඳව ද ඇත්තේ අපූරු කතන්දරයකි. ක‍්‍රිස්තු වර්ෂ 1834 දී කොටපොල, කෙසෙල් කොරටුවේ ගෙදර පදිංචිව සිටි එළියස් හාමි නමැති දඩයක්කරු සතුන් දඩයම් කිරීමට ගැටබරු කන්දට ගොස් ඇත. එවිට ඉදිරියට පැමිණි ගෝනෙක් ආපසු හැරී දුව ගොස් තිබෙන අතර ඌ නතර වී ඇත්තේ ගල් ලෙනකය. ඒ පසුපස දුවගිය දඩයක්කරුට දැකගත හැකි වූයේ ගල් ලෙනෙහි සිටින දහඅට රියන් බුදු පිළිම වහන්සේ නමයි.
|
ගැටබරු ඇසළ උත්සව කමිටුවේ ප‍්‍රධාන සංවිධායක හා ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කරඬුව භාර දෙමින්... |
එම සිද්ධිය ගම පුරා පැතිර යාමත් සමඟ මොරවක කොස්නිල්ගොඩ පදිංචි විදානපතිරණ කැටගොඩ උපාසක මහතා ගම්වාසීන්ගේ ද ආධාර උපකාර ඇතිව එම ස්ථානයේ තාවකාලික සංඝාවාසයක් ඉදි කර 1834 වසරේ දී හිමිනමක් එහි නතර කර ඇත. ඒ අනුව ගැටබරු රජ මහ විහාරස්ථ විහාරාධිපති පරම්පරාවේ ප‍්‍රථම විහාරාධිපති හිමියන් වන්නේ වීරසිංහ කන්දේ සුමංගල නාහිමියන් වහන්සේය.
ඉන් අනතුරුව 1953 වසරේ දී උඩ මළුවේ චාරිත‍්‍ර පූජෝත්සවය ලෙස ගැටබරු ඇසළ මහෝත්සවය ආරම්භ විය. අපවත් වූ රොටුඹ ශ්‍රී රතනපාල නාහිමියන්ගේ අනුශාසකත්වය මත සාම විනිසුරු එම්.ඞී. යාපා හා එවකට වරල්ල පොලිසියේ සේවය කළ මිරැුන්ඩෝ පෙරහර රාළහාමිගේ මෙහෙයවීම මත එම උත්සවය පවත්වා ඇත.
1956 වසරේ දී ප‍්‍රථම ගැටබරු පෙරහර වීථි සංචාරය වූ අතර අද වන විට මෙම පෙරහර මංගල්‍යය ජාතික මට්ටමේ ආගමික උත්සවයක් ලෙස රජය ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම පූජා භූමියේ වර්තමාන දියුණුවේ පුරෝගාමියා ලෙස විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීය සංඝනායක, ශාස්ත‍්‍රවේදී පණ්ඩිත බෙරලපනාතර චන්දවිමල නාහිමියන් කටයුතු කරයි.
උන්වහන්සේගේ මූලිකත්වයෙන් පහළ මළුවේ බෝධීන් වහන්සේ වැඩ සිටින ස්ථානය දියුණු කිරීම, උඩමළුවේ වැඩ හිඳිනා මාලිගය සංරක්ෂණය කිරීම, දක්ෂිණ දිසා වාහල්කඩ, පහළ බෝමළුව, රන් වියන සහිත ද්වාර මණ්ඩපය ඉදි කිරීම ආදී සංවර්ධන කාර්යයන් රැුසක් සිදු කර තිබේ. විශේෂයෙන්ම නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ගැටබරු රජමහ විහාරයේ කෘත්‍යාධිකාරි ආචාර්ය කිරින්දේ ආනන්ද නාහිමියන්ගෙන් ඒ සඳහා ලැබුණු සහයෝගය අපරිමිතය.
80 දශකයේ දී අභාවප‍්‍රාප්ත වූ මාතර දිස්ත‍්‍රික් අමාත්‍ය කීර්ති අබේවික‍්‍රම මහතා ද සුවිශේෂී මෙහෙවරක් මේ පූජා භූමියේ සංවර්ධනය වෙනුවෙන් ඉටු කර තිබේ. ඉන් පසු වර්තමානයේ ගැටබරු රජ මහ විහාරස්ථ බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ උන්නතිය වෙනුවෙන් සැලකිය යුතු මෙහෙවරක නිරතව සිටින්නේ ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතායි. ඔහු ගැටබරු ඇසළ උත්සව කමිටුවේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කරයි.
මේ පූජා භූමියේ යටිතල පහසුකම් දියුණු කිරීම, පෙරහරේ සාම්ප‍්‍රදායික සිරිත් විරිත් හා අනන්‍යතාව ප‍්‍රවර්ධනය කිරීම හා ගැටබරු පූජෝත්සවය සඳහා රුපියල් දෙකෝටියක ස්ථාවර අරමුදලක් ඇති කිරීම කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ මූලික ඉලක්කය වී තිබේ. ඔහු ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග‍්‍රහය ලබා ගනිමින් දැනටමත් විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙමින් සිටී.
ඓතිහාසික ගැටබරු රජ මහා විහාර බටහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ 57 වැනි මංගල්‍යය අද (15) සිට ලබන 21 වැනි දින දක්වා පැවැත්වේ. පළමු පේළි පෙරහර අද (15) සවස 2.00ට හිගුරුපනාගලින් ආරම්භ වී ගැටබරු විහාරස්ථානය දක්වා වීථි සංචාරය කෙරේ. දෙවැනි පේළි පෙරහර හෙට (16* සවස 2.00 වරල්ල උත්තරගිරි විහාරයෙන් ආරම්භ වී ගැටබරු විහාරය දක්වා ද තෙවැනි පේළි පෙරහර අනිද්දා (17) සවස 2.00 කොස්මෝදර සුබෝධාx රාමයෙන් ආරම්භ වී ගැටබරු විහාරස්ථානය දක්වා ද වීථි සංචාරය කිරීමට නියමිතය.
මෙවර පළමු රන්දෝලි පෙරහර ලබන 18 වැනි දින රාත‍්‍රි 9.00 විහාරස්ථානයෙන් ආරම්භ වී හිගුරුපනාගල තේ සමිතිය දක්වා ගමන් කර නැවත ගැටබරුව වෙත ළඟා වීමට සැලසුම් කර තිබේ.
දෙවැනි රන්දෝලි මහා පෙරහර ලබන 19 වැනි දින රාත‍්‍රි 9.00 විහාරස්ථානයෙන් ආරම්භ වී ගල්දොල මංසන්ධිය දක්වා ගොස් නැවතත් ගැටබරුව වෙත ගෙවදීමට නියමිතය. අලි ඇතුන් සහිතව උඩරට, පහතරට හා සබරගමු සංස්කෘතිකාංග රැසකින් මෙවර පෙරහර මංගල්‍යය අලංකාර වෙයි. එහි බස්නායක නිලමේවරයා ලෙස කිංස්ලි ලියනගේ මහතා කටයුතු කරයි.
මීට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ කිලිනොච්චි ආඥාපති ආරක්ෂක මූලස්ථානය ඉදි කළ සම්බුද්ධ චරිතය රැගත් ඇසළ මහා තොරණ ද පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලය පුරාවට ප‍්‍රදර්ශනය කෙරේ.මෙවර උත්සවයේ දේව තොවිලය ලබන 20 හා 21 යන දෙදින උඩමළුවේදී පැවැත්වීමට නියමිත අතර 21 වැනි දින අලූයම ගිනි පෑගීමට ද නියමිතය. එදින දහවල් පැවැත්වෙන මහා දේව දානයෙන් අනතුරුව මෙවර ගැටබරු ඇසළ මහා මංගල්‍යය නිමාවට පත්වේ.
විශේෂයෙන්ම බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් මොරවක් කෝරළයට පැමිණීමට නියමිතව ඇත.
ගැටබරු කන්දේ පඩි එකින් එක උඩට නැග යාම තරමක් දුෂ්කර බව බැලූ බැල්මට පෙනෙන්නට විය. මම ඒ පිළිබඳව ඒ අසල සිටි ගම්වාසියකුගෙන් විමසුවෙමි. එවිට ඔහු කීවේ ‘‘මහත්තයෝ කිසි දෙයකට බයවෙන්න එපා. ඔබතුමා බය නැතිව උඩට යන්න. කකුල් දෙක රිදෙන්නේ නැහැ. රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ භක්තියෙන් උඩට යන්න පුළුවන්’’ කියාය.
ඒ අනුව මා දේව භක්තිය මුල් කරගෙන මිතුරකු සමඟ ගැටබරු කන්ද උඩට නගිමින් සිටියේය. මා සමඟ ගිය මිතුරා අවට කැළෑවේ වෙන දේවල්, නිධන් වස්තු ගැන කට මැත දොඩවමින් කියන විට සංඝාවාසය වැඩ හිඳිනා මාලිගය, රජ්ජුරු බණ්ඩාර දේවාලය, විෂ්ණු කතරගම දේවාල හා චෛත්‍ය වැඳ පුදාගෙන අප නැවතත් පහළට බැස්සේය.
ගැටබරු දේවාල භූමියේ පඩිපෙළේ පහළටම එන විට මා සමඟ කට මැත දොඩවමින් ගිය මිතුරාගේ කකුල පෙරළී ආබාධිත තත්ත්වයට පත් විය. අවසානයේ ඔහුගේ උරහිසින් අල්ලා නිවස වෙත එක්කරගෙන යාමට සිදු විය. එම අවස්ථාවේදී මෙම දේව අඩවියේ බලය කොපමණ දැයි මනාව පැහැදිලි විය.
ඉන් පසු දින වන විට මාගේ කකුල් දෙක ද රිදෙන්න ඉඩ ඇතැයි සිතුවත් එය එසේ නොවීය. සුළු හෝ රිදීමක් ඇති නොවීය. එහෙත් වෙනත් කන්දක් උස් ස්ථානයකට ඒ ආකාරයට ගියේ නම් පහුවදා වන විට කකුල් දෙකට යම් වේදනාවක් ඇති වේ. එහිදී කිසිදු වේදනාවක් ඇති නොවීමෙන්ද පෙනී ගියේ ගැටබරු දෙවියන්ගේ භක්තිය කොපමණ ද කියාය.
ඒ ආකාරයට මුළු මහත් මොරවක් කෝරළය පුරා බලය තේජස විහිදුවන ගැටබරු රජමහා විහාර බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ භක්තිය මෙපමණයි කියා විස්තර කළ නොහැකිය. ඒ තරමටම දෙවියන් බලගතුය. හොඳට හිටියොත් රජ්ජුරු බණ්ඩාර දෙවියන් ආශිර්වාද කරන අතර නරකට හිටියොත් දඬුවමක් මිස සමාවක් ලබා නොදෙයි. ඒ ගැටබරු දෙවියන් යුක්තිය ඉටු කරන අයුරු ය.
(විශේෂ ස්තූතිය - ගැටබරු ඇසළ උත්සව සංවිධායක කමිටුවේ සම්බන්ධීකරණ ලේකම් මහින්ද විදානපතිරණ මහතාට.)
ඡායාරූප හා සටහන මාතර ක‍්‍රිෂාන් ජීවක ජයරුක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව ගැන ආඩම්බර වෙන මට මේ විහරයට යා යුතුමයි.(නදී)
ක්රිෂාන් මහත්මය ඔබට මාගේ ස්තුතිය..(අ)
මේක කියැවූ විට ලංකාවෙ ඉන්නෙ මොනවගේ මිනිස්සුද කියලා තේරෙනවා. (නි)
බුදු හිමි වදිමි දහමද සඟ ගනද නිතී පඬුරක් නොදා ගටබරුවට ගමන් නැතී මොරවක් කෝරලේ නොව හෙළයම දනිතී රජ්ජුරු බණ්ඩාර දෙවි ජන දුක අසති.(නදී)
ඇත්තටම ඉතාම වටිනා ලිපියක් (දී)
මම ඔයාට ආරාධනා කරනවා ඊළග මාසේ පෙරහරත් බලලා ලස්සන දකින්න කියලා.ඒ ගැනත් මේ වගේ ලියන්න (නි)
වික්‍රම.සේරම් ඔය වාචාල ලිව්වට ..පුලුවන්නම් ඔයාල දෙන්න ඒ පන්සල ලගට ගිහින් ඔහොම කියන්න...එදාට දැනේවි අනුහස .අපිට අත්දැකීම් තියෙනවා ඒ පන්සල ගැන මමත් අකුරෙස්සේ වගකීමෙන් කියන්නේ (දී) .
මෙවැනි හාස්කම් කොතෙකුත් ඇත. අප බුද්දියට ගෝචර නොවුවද ඒ තුල සත්‍යක් ඇත. මම ද එවැනි අත් දැකීම් ලබා ඇත.(නදී)
මම ගැටබරුව පන්සල ළඟ පොඩි කලේ ඉදන් හිටියේ. පන්සල් හරිම ලස්සන බලගතු තැනක්. පොඩි හාමුදුරුවෝ වගේම චන්දවිමල හාමුදුරුවොත් හරිම හොදයි. ඒ දවස් වල පහල ආවාසේ ගාවට විතරයි වාහන යන්න පුළුවන්. දැන් උඩටම පාර හදල. මම දැන් සිඩ්නි වල ඉන්නේ, එත් මෙම ලිපිය කියවනකොට පරණ මතකය අලුත් උනා. හරිම සතුටුයි. ලිපිය ලියන්න උදව් කරපු හැමෝටම ස්තුතියි. (අ)
ගැටබරු පොඩි හාමුදුරුවන්ව ආදරෙයන් මතක් කරන්න්‍ෙ බණ්ඩාර වත්තේ ජනක බංඩාර.(නදී)
ගැටබරු දෙයියන්ගේ පිහිටෙන් නයිපිල්ලේ නෝනාට පිල්ලියක් ඇරලා අපිව මේ මානව අයිතිවාසිකම් ගැටෙන් බේරලා දෙන්න බැරිද? (නදී)
අපිටත් ආසයි යන්න (නි)
අපි සැමට ගැටබරු දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා (දිල්)
මිනිසුන්ගේ අධ්‍යාත්මයට සිසිලක් ගෙන දෙන ගැටබරු දෙවියන්ට නිවන්සුව! (නදී)
ඒකනේ වික්‍රම අනිත් රටවල මිනිස්සු ඉදිරියට යද්දී අපි එකතැන ඉන්නේ. (නි)
දකුණුට ආභරණයක් වූ ගැටබරු දෙවොල රැක ගමු. (ස)
ඇත්තටම එහි තිබෙන සුන්දරත්වය පුදුමාකාරයි. යන ඕනෑම කෙනෙකුට ගත සිත දෙකම ප්‍රබෝදමත් කර ගැනීමට පුළුවනි.(නදී)
ගැටබරු දේවාලය කියන්නේ ඇත්තටම ගොඩක් හාස්කම් තියන තැනක්. ඒක අපි අත් දැකිමෙන්ම දන්නා දෙයක්. ඒක නිසා අපි මේ අපේ උරුමේ රැකගන්න ඕනේ. හැමදනාටම ගැටබරු දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා..! (නදී)
එය අපේ උරුමයකි. අපි එය රැකගනිමු (නි)
පන්සල පිහිටා එත්තේ හොඳ ආරක්ෂාකාරී තැනකය. වාසනාවන්ත ස්වාමීන් වහන්සේ නමකි. හරිම නිස්කලංක තැනක්.(නදී)
ඇත්තටම මම අගය කරනවා මගේ රට ගැන. (ත)
මට යන විදිය ඊ-මේල් කරන්න කරුණාකරලා. මම ඉන්නේ මීරිගම (නි)
ගැටබරු දේවාලය අපි කාටත් වටිනා විශිෂ්ට පින් බිමකි එය ආරක්ෂා කිරීම අපගේ යුතුකමකි (ස)
ගැටබරු දෙවොල අපේ ජාතික උරුමයකි එය රැක ගැනීම අප සැමගේ වගකීමකි (ස)
සුන්දර පරිසරයක පිහිටා ඇති ගැටබුරුව විහාරස්ථානය තව බොහෝ කාලයක් රැකගනිමු. (අ)
ගැටබරුව දේවාලය මා දුටු විශ්මිත ස්ථානයකි.සුන්දර පරිසරය සංසාරික හුරුපුරුදු බව සුපුරුදු සුවද දේව තේජස නොඅඩුව දුටිමි. (නි)
ගැටබරුව දේවාලය මා දුටු විශ්මිත ස්ථානයකි (නි)
ගැටබරුව කියන්නේ විශ්මිත මෙන්ම සුන්දර නිස්කලංක පරිසරයක පිහිටි දේවාලයක්. එම පින්බිම ආරක්ෂා කරන්න. ඔබට ගැටබරු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ප්‍රර්ථනා කරමි.(නදී)
ගැටබරුවේ පොඩි හාමුදුරුවන්ව ආදරයෙන් මතක් කරන්නේ ජපානයේ පියල් ජයමාන්න සහ නාවික හමුදාවේ ජනක ජයමාන්න ... (ස)
ඇත්තටම මේ දවල් ඉදිරියටත් රැක ගන්න ඕන (දී)
වික්‍රම කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා අදහස් දුටුවහම පෙනෙනවා (නි)
මදුට..ගල්ලෙන් අකුරෙස්ස.එතනින් දෙනියාය අකුරැස්ස පාරේ කොටපොල තියෙන්නෙ..... (ස)
මටත් ආසයි දේවාලයට යන්න.පාර දැනගන්න ඕනෑ (නි)
මට බදුල්ලේ ඉඳන් යන විදිහ කියන්න පුළුවන්ද ළඟම පාර කරුණාකරලා...!