IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අන් මත නොඉවසන මොවුන්ට සතර අපායේ දඬුවම් ඕනෑ

දේශපාලනය යනු මස්පිඬු සංදර්ශනයකැයි සිතූ දේශපාලනඥයෝ ඉතිහාසයේ එමට සිටියහ. කඩුවෙන්, කිණිස්සෙන්, කිරිච්චියෙන්, සයිකල් චේන් එකෙන්, ටී පනස් හයෙන් ගනුදෙනු බේරාගත හැකි යැයි සිතූ දේශපාලනඥයෝ හා ඔවුන් සරණ ගිය ඇම්බැට්ටයෝ ඉතිහාසයෙත් සිටියහ. එසේ සිතූ දේශපාලනඥයන්ට අවසන හිමි වූයේ ඉතිහාසයේ කුණු බක්කිය විනා අන් යමක් නොවේ.

ඉතිහාසය යළිත් කරකැවෙමින් තිබෙන සෙයකි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගමන් කළ වාහනය ඉලක්ක කරමින් බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පැහැදිලි වන්නේ පැරැණි මාවතේම ගමන් කිරීමට කැමැති පිරිසක් සිටින බවය. විනයගරුක රටක් හදන බවට දිවුරා ශපථ කරමින් බලයට පැමිණි ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ඒ සුධීමත් අල්තාරය මත කවුරුන් හෝ වසුරු හෙළා තිබේ. එයට ජනාධිපතිවරයාගේ හෝ ආණ්ඩුවේ ඍජු දායකත්වයක් අනුගහ්‍රයක් ඇතැයි අපි නොසිතමු. එහෙත් බිත්තර ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට එල්ලවූ කළු පැල්ලම මකා දැමීමට සෑහෙන මහන්සියක් ගැනීමට සිදුවීම වැළැක්විය නොහැකිය. බැඳ දැමිය යුතු සුනඛයන් ලෙහා දැමීමෙන් සිදුවන අලාභය එපරිදිය.

ජාතික ජන  බලවේගය මෙරට දේශපාලනය තුළ සාපේක්ෂ වශයෙන් විනයවත්ය. එහි නායක අනුර කුමාර මහතා කළගෙඩිහේන උත්සව ශාලාව වෙත පැමිණ සිටියේ තම දේශපාලන මතවාදය හා අනාගත දේශපාලන සැලැස්ම සිය පාක්ෂිකයන්ට පැහැදිලි කිරීමටය. රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටකි. එම ප්‍රජාතන්ත්‍රවාදය කුළුගන්වනු පිණිස ලේඛනයේ මෙන්ම භාෂණයේ නිදහස පිරිනමා තිබේ. තමන් කැමැති දේශපාලන මතයක් දැරීමේ අයිතිය ප්‍රදානය කර තිබේ.

රටක ප්‍රජාතන්ත්‍රවාදය කුළුගැන්වෙන්නේ මුද්‍රිත අක්ෂරවල සඳහන් දෑ ක්‍රියාත්මක කිරීමට නිර්බාධක පරිසරයක් ඇති කිරීම තුළය. අනුර කුමාර මහතාට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ දේශපාලන සට්ටැඹියන් රුපියල් කීයකට හෝ පස්ස හරවා තිබෙන්නේ ඒ රටේ මූලික නීතියවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටය. ව්‍යවස්ථාවට පිටින් එය උල්ලංඝනය කරමින් කටයුතු කළ සෑම අවස්ථාවක්ම අවසන් වූයේ ලේ, යකඩ සහ ගින්දර මතිනි. ඉතිහාසය අමතක නොකළ යුතු වන්නේ එහෙයිනි.

ඔබ කියන දෙයට මම එකඟ නොවෙමි. එහෙත් එය කීමට ඔබට තිබෙන අයිතිය මම පිළිගනිමි. මේ වූ කලී ශිෂ්ටාචාරයෙන් ඔපවත් වූ ප්‍රජාතන්ත්‍රවාදයෙහි පාදම වේ. ඔබ ප්‍රකාශ කළ යුත්තේ මා කැමැති දේ පමණක් යැයි යමකු සිතන්නේ නම් ඒ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොන් වස්සෙකි. එහෙත් බලකාමයෙන් මත් වූ විට යසස් කාමයෙන් කුල්මත් වූ විට පදවි ලෝභයෙන් අන්දුන් කුන්දුන් වූ විට සත්‍යයත්, සාධාරණත්වයත්, යුක්තියත් ආදී සකලාකාර මානව ගුණාංග නොවටිනා මිනිස් කසළ බවට පෙනීම අරුමයක් නොවේ. අනුර කුමාර මහතාට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ පාදඩ ක්‍රියාදාමය පිටුපස සිටින්නේ එබන්දෝ වෙති.

බිත්තර ප්‍රහාරයට පැමිණි මැර සේනාංකයේ මැරයන් දෙදෙනකු අල්ලා ගැනීමට එතැන සිටි පිරිස් සමත් වී ඇත. එම මැරයන් දෙදෙනා නිරුපද්‍රිතව පොලිසියට බාර දීමට එම පිරිස් කටයුතු කර තිබේ. නිරුපද්‍රිතව යන වචනය මෙහි භාවිත කරනු ලැබුවේ සහේතුකවය.

මන්දයත් මෙවැනි අවස්ථාවක දී ‘ප්‍රති ප්‍රහාර’ එල්ලවීම ස්වාභාවිකය. එහෙත් මෙහි දී එවැන්නක් සිදුවූ බවට වාර්තා වන්නේ නැත. විනය වනාහි සාඩම්බර වාග් මාලාවන්ගෙන් ප්‍රකාශ කෙරෙන හුදු කතාවක් නොව ක්‍රියාත්මක කර පෙන්විය යුත්තකි. ජාතික ජනබල වේගයේ මහත්වරුන් ඒ විනය ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබේ. එහෙත් මොවුන් අසූව දශකයේ ක්‍රියා කළේ මීට හාත්පසින් වෙනස් ආකාරයෙන් බව ද පෙන්වාදිය යුතුය. එහෙත් ඒ ඉතිහාසයේය.

අත්අඩංගුවට පත් මැරයන් දෙදෙනා තමන් කාගේ කවුදැයි කියා තිබේ. අවශ්‍ය වන්නේ එම ප්‍රකාශ හරහා තිරය පිටුපස සිට මෙම අමන ජඩ ක්‍රියාව මෙහෙය වූ බලවතුන් හඳුනා ගනිමින් ඔවුන් නීතිය රැහැනට හසු කිරීමය. ‘මේ දේ කළේ අප වෙනුවෙන් නොවේදැයි’ සිතමින් බලධාරින් ලිහිල්ව කටයුතු කිරීමට ගියහොත් එක රටක් - එක නීතියක් වැනි සාර සංකල්ප ද විහිළුවට ලක්වී රට යළිත් ම්ලේච්ඡ ගෝත්‍රික යුගයක් දක්වා පසුබසිනු ඇත. අවශ්‍ය වන්නේ වැරැදිකරුවන්ට අනුබල නොදෙන, ඔවුන්ට නීතිය මගින් කටයුතු කරන රටකි. මෙම සිදුවීම් දාමය දෙස ජනතාව බලා සිටින්නේ එහෙයිනි.



අදහස් (0)

අන් මත නොඉවසන මොවුන්ට සතර අපායේ දඬුවම් ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 445 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2205 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site