IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


අද මිනිසුන්ගේ රුචිය පිරිහිලා

ශ්‍රී ලාංකීය වේදිකාව මත රන් සලකුණු තැබූ “හෙළයේ මහා නාට්‍යවේදියා” ඔහුය. ඔහුගේ පෑන් තුඩින් ලියැවී කරළියට අධ්‍යක්ෂණය කළ නාට්‍ය මෙරට නාට්‍ය කලාව පෝෂණය කිරීමට සමත් විය. එදා සිට අද දක්වා ප්‍රේක්ෂකයන්ගේ ආදරයට පාත්‍ර වූ මේ නිර්මාණ මතු පරපුර සඳහා දායාද කිරීමට ඔහුගේ ප්‍රිය බිරිඳ අද දවසේ දී කටයුතු යොදා තිබේ.

මේ හෙළයේ මහා නාට්‍යවේදියා නමින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන් වන්නේය. ඔහුගේ ප්‍රිය බිරිඳ ප්‍රවීණ නාට්‍යවේදිනී ලලිතා සරච්චන්ද්‍ර වන්නීය. මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ 29 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් මෙවරද “සරච්චන්ද්‍ර නාට්‍ය උළෙල” අනිද්දා (07) සිට 13 දා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වේ. එය නිමිති කරගෙන ලලිතා සරච්චන්ද්‍ර ප්‍රවීණ නාට්‍යවේදිනිය “රසවින්දන” සමග කතා කිරීමට අමතක නොකළාය.

“මම කවදාවත් ආපහු හැරි හැරී බලන්නේ නෑ. මේවා කරගෙන ඉස්සරහට යනවා. මගේ යුතුකමක් විදිහට සරච්චන්ද්‍ර මහත්මයාගේ නිර්මාණ ඉදිරියට ගෙනියනවා. මට හොඳ නළු නිළියෝ ටිකක් ඉන්නවා. ප්‍රධානම දේ ඒකයි. මේවා ඉදිරියට ගෙනියන්න ප්‍රධාන ශක්තිය මගේ වාදක මණ්ඩලය ද, සංවිධායක කටයුතු ද, නළු නිළියෝ ද මට ලොකු ශක්තියක් දෙනවා. ඩොක්ටර්ගේ දේවල් ඉදිරියටම කරගෙන යනවා.

මම මිනිස්සු හැමෝටම කියන්නේ “මනමේ, සිංහබාහු” දෙකම බලන්න එන්න එපා. ඊට සමාන හොඳ නාට්‍ය මෙවර නාට්‍ය උළෙලේ අපි රඟ දක්වනවා. විවිධාකාර නාට්‍ය මෙහි තිබෙන්නේ. ඒවාත් බලන්න. අඩු මුදලට මෙවර නාට්‍ය උළෙල පෙන්වන්නේ. අවුරුද්දකට වතාවක් මේ දුර්ලභ ගණයේ නාට්‍ය හුඟාක් මහන්සිවෙලා සකස් කරලා රඟ දක්වන්නේ. මේවා බැලුවාම කොතරම් හොඳ නාට්‍ය ද කියලා වැටහේවි. නැතිනම් හැමෝම “මනමේ, සිංහබාහු” විතරයි බලන්නේ. අනෙක් දුර්ලභ ගණයේ නාට්‍ය බලන්න කියලයි ප්‍රේක්ෂකයන්ගෙන් මා ඉල්ලන්නේ. අනෙක් නාට්‍ය ප්‍රේක්ෂකයන් බලන්නේ නැත්තේ ඇයි? වැළඳගන්නේ නැත්තේ ඇයි? කියන එක තමයි අපටත් තේරුම් ගන්න බැරි. ඔවුන් බැලුවාම පුදුම හිතෙයි. පසුගිය වර්ෂයේ බලපු අය කිව්වේ මේවා පෙන්වන්න “මනමේ, සිංහබාහු” නවත්වලා කියලයි. ඒ තරමට ඔවුන් අනෙක් නාට්‍යවලට වශී වුණා.

මට නාට්‍යයක් ගෙනියන එක ලොකු දෙයක් නොවෙයි. මට නළු නිළියෝ ඉන්නවා. අලුත් අය පුහුණු කරනවා. මේ අවුරුද්දට මම අලුතින් සුප්පා දේවි කෙනෙක්, සිංහබාහු කෙනෙක්. සිංහයෙක් පුහුණු කළා. ඒ වගේම මම කටහඬ හොඳට තිබෙන, නටන්න පුළුවන් අය නිතරම පුහුණු කරනවා. ඒක නිසා මට බයක් නෑ.

නාට්‍ය කලාව ගැන මට නම් සතුටුයි. කොච්චර අමාරුවෙන් ද නාට්‍යයක් කරන්නේ. දැන් රැල්ලක් යනවානේ. විහිලු තහලු වැඩිපුර දාලා, මුදල් තනිකරම හම්බ කිරීමේ පරමාර්ථයෙන් කරන ඒවා එච්චර රසවත් නෑ. මුදල් නැතුවත් බැහැ. ඒකේ වරදක් නෑ. මිනිසුන්ගේ රුචිය දියුණු වුණා කියන්න බැහැ. එන්න එන්න පිරිහුණා වගේ තමයි පේන්නේ. මට සමහර වෙලාවට පුදුමත් හිතෙනවා. අද විශ්වවිද්‍යාල ගුරුවරුන්ටත් හොඳ දේ තෝරලා ගන්න තරම් වුවමනාවක් නැති බවක් පේනවා. ඒක රුචියේ තිබෙන අඩුපාඩුවක්. රුචිය අපට හදන්න බැහැ. දැන් රට යන රැල්ලත් එක්ක හදන්න බැහැ. මේ තරමටවත් මේවා තියාගෙන ඉන්න එක ලොකු දෙයක්.

සරච්චන්ද්‍ර මහත්මයාගේ නාට්‍ය 2-3 ක් මම අලුතෙන් කළා. “මනමේ” නාට්‍ය දෙමළෙන් පරිවර්තනය කරලා අවුරුදු ගණනාවක ගිහින්. ඒක කරන්න ලොකු මුදලක් ඕනෑ. සල්ලි නැති හින්දමත් නොවෙයි. මට හිතෙනවා, මේවා කරන්න ඕනේ නෑ කියන අදහසක්. “ලෝමහංස” කරන්න යන්නේ. අලුතෙන් කරනවා තියා කරපු නාට්‍ය ටිකවත් තවම පෙන්වන්න බැහැනේ. මිනිසුන්ගේ රුචිය හිතාගන්න බැරි තරම්. ඩොක්ටර්ට පින් පිණිස තමයි මේ නාට්‍ය උළෙල වාර්ෂිකව කරන්නේ. අපට උදව් කරන, ආධාර කරන අයත් ඉන්නවා. සරච්චන්ද්‍ර මහත්මයා හැමදාම කිව්වේ, අඩු මුදලට මිනිසුන්ට මගේ නාට්‍ය පෙන්වන්න කියලයි. ඒක තමයි අපි කරන්නේ. කවුරුහරි අපට අනුග්‍රහය දෙනවානම් රුපියල් සියයට නාට්‍ය පෙන්වන්න තිබුණා. මම හරි ආසයි ඒකට. අලුත් පරම්පරාව මේ නාට්‍ය දැක්කාට පස්සේ පුදුම ප්‍රතිචාර දක්වන්නේ. ඔවුන් කතා කරලා ස්තූති කරනවා. මාව දැක්කාම ළඟට ඇවිත් කකුල් දෙක අල්ලලා වැඳලා, එයාලගේ ප්‍රතිචාර කියනවා. ජූඩ් ශ්‍රීමාල් නාට්‍ය උළෙල කරගෙන යන්නේ. එයා දරුවෙක් වගේ එදා ඉඳලා අපේ වැඩ කටයුතු කරන්නේ. ජූඩ්ට මම නැතුව ඉන්න බැහැ. මටත් ජූඩ් නැතුව ඉන්න බැහැ. දරුවෙක් වගේ මාත් එක්ක බැහැලා මේ වැඩ කරනවා ඔහු.

මට නිතරම යහමඟ පෙන්වන හසලක සීලවිමල හාමුදුරුවෝ සරච්චන්ද්‍ර මහත්මයාට හරියට ගරු කරනවා. සරච්චන්ද්‍ර මහත්මයා තමයි මුළු ලෝකයෙන්ම ජාතක පොත ඇසුරෙන් බෞද්ධ නාට්‍ය ලියූ එකම මහාචාර්යවරයා. ඉතින් ඒ ස්වාමින් වහන්සේ ඒකට ගරු කිරීමක් වශයෙන් මෙවර 29 වැනි ගුණානුස්මරණයට දෙපානම නිකේතනයක් හැදුවා. ඒ ආශ්‍රමය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර අනුස්මරණ නිකේතනය නමින් නම් කළා. අවුරුදු 29 ට කොච්චර භික්ෂූන් වහන්සේ නමක් හරි එතුමාගේ ගුණ සිහි කරලා කරපු එක. ඒක හරිම ශ්‍රේෂ්ඨ වැඩක්.”

 

(*** - සමන්ත යහම්පත්)



අදහස් (0)

අද මිනිසුන්ගේ රුචිය පිරිහිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16748 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site