IMG-LOGO

2025 අගෝස්තු මස 21 වන බ්‍රහස්පතින්දා


191 කට මරු කැඳවූ සප්ත කන්‍යා ගුවන් අනතුරට වසර 50 යි

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වූ බිහිසුණුම ගුවන් අනතුර සිදු වී අදට (4) වසර පනහක් සපිරෙයි.

1974.12.04 දින ඉන්දුනිසියාවේ සුරවේයාර් ගුවන්තොටුපොළින් මගින් සහ කාර්ය මණ්ඩලයේ 191 දෙනෙකු රැගෙන මක්කම බලා පියාසර කළ ගුවන් යානය එදින රාත්‍රි 10.10 ට නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ටෙබර්ටන් සප්ත කන්‍යා කඳු වැටියේ ගැටි ගුවන් යානයේ ගමන් ගත් මගින් 182 ක් සහ කාර්ය මණ්ඩලයේ 09 දෙනෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූහ.

ඉන්දුනිසියාවේ සුරවේයාර් ගුවන්තොටුපොළේ සිට ශ්‍රී ලංකාව හරහා මක්කම දක්වා අඩි 36000 ක් ඉහළින් පියාසර කරමින් තිබූ ඩී.සී. 08 ගුවන් යානයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය කටුනායක ගුවන් තොටුපොළට ගොඩබැස්සවීම සඳහා ගුවන් නියමුවා විසින් ගුවන්තොටුපළේ ගුවන් පාලකවරයාගෙන් අවසර ඉල්ලා ඇති අතර, එහිදි ගුවන් යානය අඩි 4000 දක්වා පහත් කර පියාසර කරන ලෙසට ලැබුණේ යැයි කියන උපදෙස් මත ගුවන් යානය පහත්කර සප්ත කන්‍යා කඳුවැටිය අසලින් පියාසර කිරිමේදී එම ගුවන් යානයේ වම්පස තටුව කඳුවැටියේ ගැටීමෙන් පසු ගුවන් යානය පුපුරා එහි ගමන් ගත් සියලු‍ දෙනා ජීවිතක්ෂයට පත් වී ඇත.

බගවන්තලාව, කාසල්රි ජලාශයට ඉහළින් පියාසර කර ඇති ඩී.සී 08 ගුවන් යානය එදින රාත්‍රි 10.10 ට පමණ සප්ත කන්‍යා කඳුවැටියේ ගැටී එහි ගමන් ගත් සියලු‍ දෙනා ජීවිතක්ෂයට පත් වූ බවත්, එහි කාර්ය මණ්ඩලයේ ගුවන් සේවිකාවකගේ සිරුර පමණක් ඉන්දුනිසියාවේ සිට මෙරටට පැමිණ ඇයගේ පෙම්වතා විසින් හෙලිකොප්ටර් යානයකින් ඉන්දුනිසියාව දක්වා රැගෙන ගිය බව අනතුර සිදු වූ දින අනතුර දැක බලා ගැනීමට ගිය පිරිස කියති.

ගුවන් අනතුර සිදු වී වසර පනහක් ගතවීම නිමිත්තෙන් ඒ පිළිබඳව සොයා බැලීමට අප සප්ත කන්‍යා කඳු වැටිය පාමුල මුල්ගම වතුයායට ගිය අතර, එහිදී දක්නට ලැබුණේ ගුවන් අනතුරෙන් මියගිය අය මිහිදන් කළ ස්ථානය කැලෑවැදි තිබූ ආකාරයකි.

පසුව අප ගුවන් අනතුර සියසැන් දුටුවන් දෙදෙනෙකු සොයා ගැනීමට හැකි වූ අතර ඔවුන් දෙදෙනා සිය අත්දැකිම් අප සමග මෙසේ පැවසූහ.

අනතුරෙන් පසු එම ස්ථානයට ගිය නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ පදිංචි ජී.එච්. නිමල් ද සිල්වා (69) මහතා කියා සිටියේ මට එතකොට අවු 19 යි, එවකට මම රැකියාව කළේ දියතලාව යුද හමුදා කඳවුරේ පළමුවැනි ගැමුණුහේවා බළකායේ රියදුරෙකු වශයෙන් ගුවන් අනතුර සිදු වුණාට පස්සේ ගැමුණුහේවා බලඇණියේ අණදෙන නිලධාරි වශයෙන් එවකට සේවය කළ මේජර් ලකි අල්ගම මහතා සමග සියයකට ආසන්න භට පිරිසක් රැගෙන ගුවන් අනතුර සිදු වූ ස්ථානයට ගියා.

අප නතර වුණේ කොත්තැල්ලෙන සිංහල මහා විද්‍යාලයේ, අපේ භට පිරිස්වලට පැවරිලා තිබුණ වගකිම තමයි ගුවන් අනතුරෙන් පසු කන්ද මුදුණේ සහ පාමුල තිබුණු මියගිය අයගේ සිරුරු එක තැනකට රැස් කරන්න.

ඒ අනුව අපි ගුවන් අනතුරෙන් මියගිය අයගේ සිරුරු සප්ත කන්‍යා කඳු පාමුලට එක්රැස් කළා.

ඊට පස්සේ ගුවන් අනතුරෙන් මියගිය 190 දෙනෙකුගේ සිරුරු එම ස්ථානයේ සමූහ මිනි වළක් ලෙස භුමදානය කළා.

ඇත්තටම මගේ ජීවිතේ දැකපු විශාලතම ඛේදවාචකයක්, ඒක අදටත් මට මතක් වෙනකොට හරි කනගාටුවක් ඇති වෙනවා යනුවෙන් පැවසීය.

නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් සප්ත කන්‍යා කඳු පාමුල පදිංචිව සිටින තිලක් (62) මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ අනතුර සිද්ධ වෙනකොට මට අවු 12 යි, ගුවන් අනතුරෙන් පස්සේ ඒක බලන්න ගොඩාක් අය එතනට ආවා.

මම දැක්කා ගුවන් අනතුරෙන් පහළට වැටිලා තිබූ ගුවන් යානයේ කොටස් එතනට ආව ගොඩාක් අය අරගෙන යනවා.

දින ගණනාවක් ඒ වගේ ගුවන් අනතුර සිදුවූ ස්ථානය බලන්න විශාල පිරිසක් ආවා යනුවෙන් පැවසීය.

මෙම ගුවන් අනතුර සියැසින් දුටු සප්ත කන්‍යා කඳු පාමුල පිහිටි ටෙබර්ටන් වතුයායේ පදිංචි වීරප්පන් රාජ් (58) කියා සිටියේ අනතුර සිදුවෙනකොට මට අවු 7-8 ක් විතර වෙනවා,

රෑ 10.10 ට විතර අපේ වත්තේ තේ කර්මාන්ත ශාලාවේ නලාව නාද වුණා.

අපි සේරම කර්මාන්ත ශාලාව දෙසට දිවගියා, එතකොට වත්තේ අයිතිකරු සොයිසා කියලා මහත්තයෙක් හිටියේ, එයා කිව්වා කන්දේ ගුවන් යානයක් හැප්පුණා වගේ සද්දයක් ඇහුණා කියලා.

කැලේ මිදුම නිසා අපිට එතනට යන්න බැ කියලා ඒ පිළිබඳව නෝටන්බ්‍රිජ් පොලිසියට මහත්තයා පණිවිඩයක් යවලා දැනුම් දුන්නට පස්සේ ඊට පසුදින පොලිසියෙන් විශාල පිරිසක් ගුවන් අනතුර සිදුවුණ තැනට ආවා.

හෙලිකොප්ටර් දෙකකුත් ආවා, එම හෙලිකොප්ටර් දෙක පහළ තමයි නතර කරලා තිබුණේ, ගුවන් අනතුර බලන්න ආව ගොඩාක් අය ගුවන් යානයේ කෑලි අරගෙන ගියා යනුවෙන් පැවසීය.

මෙම චාරිකාවේදී අපට ගුවන් අනතුරෙන් බිම වැටී තිබූ ගුවන් යානයේ ගමන් ගත් මගියෙකුගේ යැයි සිතිය හැකි හොංකොන් රාජ්‍යයේ ඩොලර් නෝට්ටුවක්ද සොයා ගැනීමට හැකිවිය.

අනතුරට පත් ගුවන් යානයේ එක් රෝදයක් අදටත් නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය ඉදිරිපිට ප්‍රදර්ශනය සඳහා තබා ඇති අතර, එම ගුවන් අනතුරෙන් මිය ගිය ගුවන් නියමුවන්ගේ සහ කාර්ය මණ්ඩලයේ නාමයන් එම සිහිවටනයේ සඳහන් කර ඇත.

අනතුර සිදු වූ දිනයේ ඡායාරුප... 

 

අනතුරෙන් මියගිය අය මිහිදන් කළ ස්ථානය...  

 

නෝට්න් බ්‍රිජ්, විමලසුරේන්ද්‍ර ජලාශය ඉදිරිපිට ස්ථාපනය කර ඇති ස්මාරකය...

 

සප්ත කන්‍යා කඳුවැටිය... 

(***නොර්වුඩ් රංජිත් රාජපක්ෂ)



අදහස් (1)

191 කට මරු කැඳවූ සප්ත කන්‍යා ගුවන් අනතුරට වසර 50 යි

Janaka Thursday, 05 December 2024 01:06 PM

මම දන්න විදිහට ගුවන් පාලකවරයා වැරදි ස්ථානයක් ගුවන් නියමුවාට දැනුම්දිම නිසා මෙම අනතුර සිදුවී ඇත ..

:       3       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 55 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 142 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 181 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

Our Group Site