ඉන්ධන සැපයුම බරපතළ ලෙස අඩාල වීම නිසා රට ඉබේම වැසී යන තැනට කටයුතු යෙදී තිබේ. ආණ්ඩුව කියන්නේ මේ මස 10 වැනිදා දක්වා මෙම තත්ත්වය පවත්නා බැවින් ජනතාව තෙල් පෝලිම්වල රැඳී නොසිටිය යුතු බවයි. මෙය හරියට අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැම්මා වැනි තත්ත්වයකි. රජය කුමක් ප්‍රකාශ කළ ද රටේ ආර්ථිකය දුවන ජීව රුධිරය බඳු ඉන්ධන සැපයුම ගැන විධිමත් සැලසුමක් නොතිබීම මෙම අර්බුදය උග්‍රවීමට හේතු වූ බව නොරහසකි. මෙයට ඍජුවම ආණ්ඩුව වගකිව යුතුය.

දැන් ආණ්ඩුව කරන්නේ තමන්ට තියෙන ප්‍රශ්න ජනතාවට කීමයි. එහෙත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනතාව පාලකයන් පත්කර ඇත්තේ තමන්ට තනිව විසඳා ගත නොහැකි ප්‍රශ්න ආණ්ඩුව විසින් විසඳනු ඇත යන පරම අපේක්ෂාවෙනි. විසඳුම ලබා දෙනු වෙනුවට ජනතාවට ආණ්ඩුවත් ප්‍රශ්න ඉදිරිපත් කරන විට සමාජය ප්‍රකෝප වීම අසාධාරණ යැයි කියන්නේ කෙසේද? ප්‍රශ්නයට විසඳුම ආණ්ඩුව සතු නොවේ නම් ප්‍රශ්නය ආණ්ඩුව බව ජනතාව තේරුම් ගනු ඇත. එම සිතුවිලි මෝරා ගියහොත් සියල්ල කෙළවර වෙන්නේ පීඩාකාරී ප්‍රචණ්ඩත්වයෙන් විය හැකිය. තෙල් සැපයුම සහමුලින්ම අඩාල වූ විට ඇමැතිවරු තෙල් සොයා ගැනීමට රුසියාව සහ කටාරය බලා පිටත්ව ගියහ. එහෙත් ආණ්ඩුව සැලසුම් සහගතව ක්‍රියා කළේ නම් මෙම කටයුතු සිදු කළ යුතුව තිබුණේ මෙයට බොහෝ කලකට පෙරය. ඒ අතර ඉන්දියාවෙන් හදිසි මිලදී ගැනීමක් ලෙස ඩීසල් සහ පෙට්රල් මුදල් ගෙවීමේ පදනම මත සපයන මෙන් කළ ඉල්ලීම එරට විසින් පිළිගෙන ඇත. ඒත් ප්‍රථම ඉන්ධන නැව කොළඹට පැමිණීමට තවත් දින 6ක් හෝ 7ක් ගතවන බව නවදිල්ලි මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ලෝකයේ ප්‍රධාන තෙල් සැපයුම්කරුවන් තිදෙනකු වන රුසියාව, ඉරානය සහ වෙනිසියුලාව වැනි රටවල නිෂ්පාදිත ඉන්ධන අලෙවි කළ නොහැකි ලෙස ජාත්‍යන්තර සම්බාධක පනවා තිබේ. එහෙත් එම රටවල් වෙනත් උපක්‍රම භාවිත කර තෙල් අලෙවිය සිදු කරමින් සිටී. මෙම තෙල් සම්බාධකය නිසා මැදපෙරදිග තෙල් වෙළෙඳපොළේ මිල ගණන්ද ඉහළ ගොසිනි. ආණ්ඩුව ඒ සියලු‍ බර ජනතාව පිට පටවා ඇතත් විධිමත් ඉන්ධන සැපයුමක් කරා යන්නට හැකි වී නැත. මේ ආකාරයට ජාතික ආර්ථිකයත් ජනතාවත් අසරණ තත්ත්වයට පත් කළේ දුරදක්නා නුවණක් නොමැති දේශපාලනය විසිනි. 1948 මෙරටට නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව විවිධ අර්බුදවලට මුහුණ දුන් නමුත් ජනතාව මේ ආකාරයට පීඩාවට පත් කළ අවස්ථාවක් අපට සිහිපත් නොවේ. මෙය එල්.ටී.ටී.ඊය දියත් කළ තිස් අවුරුදු යුද්ධයටද හපන් අර්බුදයකි. වඩාත් විශ්මයට කාරණය වන්නේ කොටි යුද්ධය හමාර කරන්නට සැලසුම් සහගතව පෙරමුණ ගත් නායකයන් සිටින ආණ්ඩුවකට මෙම ආර්ථික යුද්ධය ජයගන්නට සැලසුමක් නොමැති වීමය. මේ අර්බුදයේ රස්නය යුද්ධයටත් වඩා සෑම නිවසකටම දැනී ඇත.

ඒ අතර රටේ ජීවන බර අධික වී තිබේ. උද්ධමනය සියයට 45 ඉක්මවා ඇතැයි රජය නිල වශයෙන් ප්‍රකාශ කළත් එම සංඛ්‍යා දත්ත ඊට වඩා බොහෝ සේ ඉහළ අංකයක් නියෝජනය කරන බව නොරහසකි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් ගත් ණය ගෙවාගත නොහැකි රටක් බවට පත්ව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ශ්‍රේණිය ඍණ තත්ත්වයට පත් කරමින් සිටී. ඒ නිසා අප රටේ බැංකු විසින් මහ බැංකුවේ ඇපකරය සහිතව නිකුත් කරන ණයවර ලිපි පවා ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ප්‍රතික්ෂේප කරන තැනට කරුණු යෙදී තිබේ. ජාත්‍යන්තර වශයෙන් මෙතෙක් ශ්‍රී ලංකාව සතුව පැවති විශ්වාසය සහ හොඳ හිත පළුදු වී ගොසිනි. මහ බැංකුව නිකුත් කළ අන්තර් ජාතික බැඳුම්කරවල පොලී මුදල් නිසි පරිදි නොගෙවීම නිසා ඇමෙරිකානු අධිකරණය හමුවේ අප රටට එරෙහි නඩුවකි. චීන රජයෙන් ශ්‍රී ලංකාව ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කළ නොහැකි බව ඔවුහු පවසා සිටිති. ඉන්ධන මිලදී ගැනීම පිණිස රජය ලබාගෙන මෙතෙක් නොගෙවා ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 655ක හිඟ මුදලින් හරි අඩක්ම ගෙවිය යුතුව ඇත්තේ චීනයේ පෙට්‍රෝ චයිනා සමාගමටය. මේ ආකාරයට හැම ක්ෂේත්‍රයකටම ණය ගෙවීම් පැහැර හරින විට අඩුම තරමින් ඒ සම්බන්ධ යුක්ති සහගත හේතු ඉදිරිපත් කළ යුතුය. එසේම ණය පියවීම සම්බන්ධව දිගුකාලීන සැලසුමක් සකස් කර ණය හිමියාට ඉදිරිපත් කිරීම පිළිගත් ක්‍රමයයි. එබඳු සැලසුම් සහගත සාධාරණ හේතු දැක්වීමක් වෙතොත් අපේ ණයවර ලිපි මේ ආකාරයට ප්‍රතික්ෂේප වන්නේ නැති බව විද්වත් මතයයි.

ජනතාව අධික ආර්ථික පීඩනයකට ලක්ව සිටියදීත් රජයේ ඉන්ධන මිල ගණන් තවදුරටත් ඉහළ දැමූයේ අකාරුණික ආකාරයටයි. තවත් සති කිහිපයකින් විදුලිය බිලද වැඩි කරන බව ප්‍රකාශිතය. රජය කියන්නේ ජනතාව තව තවත් පටි තද කරගත යුතු බවයි. කිසිම සහනයක සේයාවක්වත් නොමැතිව ජනතාව සියලු‍ම බර දරාගත යුතු යැයි කියන විට බිත්තියකට හේත්තු වී සිටින සමාජය නිකම් සිටින්නේ නැත. එහි වරද ඇත්තේ ජනතාව අත නොවේ. රාජ්‍ය පාලනය කරන්නන් අතය. සැලසුමක් නොමැතිකම, දූරදර්ශී විකල්ප නොමැතිවීම, වංචාව දූෂණය හා නාස්තිය මෙන්ම ආටෝපවත් දේශපාලනය උදෙසා ජාතික ධනය නාස්ති කිරීම ඇතුළු හේතු රාශියක් විසින් මෙම අර්බුදයට රට තල්ලු‍ කළේය. යතුර ඇති අය දොර හැර දුන් අතර හැන්ද ඇති අය හැකි තාක් බෙදා ගත්හ. අන්තිමට ජනතාව හාමතට වැටුණි. පොදුජන ව්‍යවහාරයේ හැටියට කීවොත් රට නන්නත්තාර විය. ඒ නිසා පාලකයන් දැන්වත් තමන්ගේ වගකීම තේරුම්ගෙන කතා සාප්පු වසා දමා කඩිනම් ප්‍රායෝගික විසඳුමකින් ජනතාවට සහන සැලසිය යුතුය.

(***)