IMG-LOGO

හැමෝම සිතට ගතයුතු කොරෝනා අවදානම

කොළඹ දිස්ත්‍රික්කය ප්‍රමුඛව රට තුළ කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනයක් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි. මේ අවදානම්සහගත අනතුරු ඇඟවීම කෙරෙහි රටේ මහජනතාව දැඩිව තම අවධානය යොමුකළ යුතු බවට කතා දෙකක් නැත. කොරෝනා පළමු රැල්ල සහ දෙවැනි රැල්ල පිළිබඳ අමිහිරි මතකය සිහිපත් කර ගැනීම මෙහිදී සියලු‍ දෙනාටම ඉතාම වැදගත් වනු ඇතැයි අපි සිතමු.

මෙරට කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබීම හේතුවෙන් විශාල කොරෝනා පොකුරක් මතුවීමේ අවදානමක් තිබෙන බව වසංගත රෝග මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කළ ප්‍රකාශයකද සඳහන් වී තිබිණි. කොරෝනා රෝගීන්ගේ යම් අඩුවක් දකින්නට ලැබීමෙන් පසුව නැවතත් මෙසේ රෝගීන් වාර්තාවීම ක්‍රමයෙන් වර්ධනය වීම ඉතාම පරෙස්සම් විය යුතු අවස්ථාවක් බවද ඔහු ප්‍රකාශ කරයි. කෙරෝනා රෝගය ව්‍යාප්ත වනවිට අප නොදැනුවත්වම විශාල පොකුරු ඇති වීමට තිබෙන ඉඩකඩ ඉතාම භයානක තත්ත්වයක් වන බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන්ව තිබිණි.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාද පසුගිය සති අන්තයේ අනතුරු අඟවා තිබුණේ නුදුරු දිනවලදී කොරෝනා වයිරසයට ගොදුරු වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමට විශාල ඉඩකඩක් පවතින බවය. මේ වනවිටද දිනකට හමුවන රෝගීන්ගේ සංඛ්‍යාව 300 දක්වා ඉහළ නැග ඇති බවට වාර්තා ඇතැයිද ඔහු පෙන්වාදී තිබිණි. බස්නාහිර පළාතේ ශ්‍රම බලකාය මෙවර රෝගයට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්වන බවද ඔවුන් අවුරුදු සමයේ ගම් රටවල් බලාගොස් දැන් ආපසු පැමිණ සිටින අතර මේ පිරිස නෑදෑයන් සහ හිතමිතුරන් සමඟ සමීප ආශ්‍රයක් පවත්වා ඇත්නම් කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමට එය හේතුවනු ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබිණි.

කොරෝනා වසංගතය යළිත් රටපුරා පැතිර ගියහොත් නැවත වරක් රට තුළ සංචරණ සීමා පැනවීම වළක්වා ගත නොහැකි වනු ඇත. එවැනි පියවරකට යාම රටේ සියලු‍ දෙනාගේ එදිනෙදා ජීවිතය යළිත් දැඩි අවදානමකට ගෙන යනු ඇත. එය එදිනෙදා රැකියාවල නියුතු පිරිස්වලට පමණක් නොව දරුවන්ගේ අධ්‍යාපනයටද සීමා පැනවීමකි. විශ්වවිද්‍යාල විවෘත කිරීමට නියම කර ඇති දිනයේදී ඒවා විවෘත කර ගැනීමද කළ නොහැකි වනු ඇත. බස්නාහිර පළාත යළි ලොක්ඩවුන් කළ යුතු තත්ත්වයකට ඇදී ගියහොත් එහි ආදීනව අප සියලු‍ දෙනාටම විඳගැනීමට සිදුවන බව සියලු‍ දෙනාම දැන සිටිය යුතුය. සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන්නේ ජනතාව තම තමන්ගේ යහපත් ආරක්ෂිත සෞඛ්‍ය පුරුදු පෙර පරිදිම අනුගමනය කළ යුතු බවය. එය අපහසුවෙන් හෝ සිදුකිරීම රෝගය ව්‍යාප්ත වී රට බිත්තියටම තල්ලු‍ වෙනවාට වඩා සියදහස් වාරයක් යහපත්ය.

අලු‍ත් අවුරුදු කාලසීමාවෙන් පසුව කොරෝනා වයිරස ව්‍යාප්තියේ වැඩිවීමක් වනු ඇති බවට කල්තබාම අනාවැකි පළ විය. එයට මූලිකම හේතුව වී තිබුණේ අලු‍ත් අවුරුදු සමය තුළ සාප්පු සවාරියේ යෙදීමේදී සහ නෑ ගමන් බිමන් යාමේදී කොරෝනා පාලනයට අදාළ යහපත් සෞඛ්‍ය පුරුදු කෙරෙහි එතෙක් ජනතාව තුළ තිබූ අවධානය ගිලිහී ගොස් තිබීමය.  ඒ බව කඩපොළේදී, බස්රියේදී, දුම්රියේදී පැහැදිලිවම දැකගත හැකි විය. බොහෝ දෙනා මුව ආවරණ පැළඳ සිටියත් සමාජ දුරස්ථභාවය පිළිබඳ ඔවුන්ට හැඟීමක් තිබුණේම නැත. බස් සහ දුම්රිය පවා ‘කට කපා’ සෙනඟ පටවාගෙන යනු දැකිය හැකි විය. දැන් මේ අප ඉදිරියේ ඇති සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දෙන්නේ එහි ප්‍රතිඵලයයි. අඩුම තරමින් දැන්වත් ‘සියල්ලට පළමුව ආරක්ෂාව’ යන සිතුවිල්ලට මුල්තැනක් දී කටයුතු කළ යුතුය. ඉදිරියේදී අත්විඳීමට සිදුවිය හැකි මහා ව්‍යසනයකින් ගැලවී යා හැක්කේ ඒ හරහා පමණි.

මෙවර කොරෝනා ව්‍යාප්තියේ එක් බරපතළ කාරණාවක් වන්නේ රාජ්‍ය බැංකු ගණනාවකින්ම ආසාදිතයන් වාර්තාවීමය. කොළඹ එක් රාජ්‍ය බැංකුවක සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී එහි ආසාදිතයන් 35 දෙනකු එකවර වාර්තා වී තිබිණි. සෙසු ප්‍රදේශවල බැංකු ගණනාවකින්ම ආසාදිතයන් වාර්තා වී තිබේ. එසේම අවුරුද්දට පෙර විවිධ ප්‍රදේශවල සිට පැමිණි විශාල ජනකායක් ඒකරාශි වූ මහරගම පමුණුවෙන්ද රෝගීන් 20 දෙනකු හමුවීමද අවදානම් තත්ත්වයේ තවත් බරපතළ කඩඉමකි. පමුණුවට පැමිණි සියලු‍දෙනා සැක සහිත ආශ්‍රිතයන් වශයෙන් සැලකීම නොකළ යුතු වුවද එම පිරිස මේ දිනවලදී සෙසු පිරිස්වලින් දුරස්ථව කටයුතු කිරීම අත්‍යවශ්‍යය. පමුණුව ආසාදිතයන් කිහිපදෙනා ඇසුරින් තවත් ‘‘පෑලියගොඩ පොකුර’’ වැනි රටපුරා ව්‍යාප්ත වූ පොකුරක් බිහිවනු දැකීමට කිසිවකුත් කැමැති නැත. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අනතුරු අඟවා තිබුණේ එවැනි විශාල පොකුරක් බිහිවීමේ අවදානම පිළිබඳව විය යුතුය.

පවතින තත්ත්වය ‘‘කොරහේ කිඹුලන් දැකීමක්’’ කර නොගත යුතුවාක් මෙන්ම ‘‘තේ කෝප්පයේ කුණාටුවක්’’ තරම් සැහැල්ලු‍වෙන් සැලකීමෙන්ද වැළකිය යුතුය. දැනට සිදුවෙමින් පවතින වයිරස ව්‍යාප්තියේ ඉහළ යාම වසංගතයක් දක්වා බරපතළ වීම වළක්වා ගැනීමේ වගකීමත් ශක්තියත් දෙකම ඇත්තේ අප තුළම පමණි. ඒ සඳහා කොරෝනා ආරම්භයේ සිටම අත්‍යවශ්‍ය ආරක්ෂිත සෞඛ්‍ය පුරුදු වශයෙන් සැලකෙන මුව ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ නිතර අත් සෝදාගැනීම කෙරෙහි සියලු‍ දෙනා අවධානය යොමුකිරීම අත්‍යවශ්‍ය බවද පෙන්වා දෙමු.

(***)

 



අදහස් (1)

හැමෝම සිතට ගතයුතු කොරෝනා අවදානම

hesa Monday, 26 April 2021 11:38 AM

අලු‍ත් අවුරුදු කාලයේදී කොරෝනා වයිරස ව්‍යාප්තියේ වැඩිවීමක් වනු ඇති බවට කල්තබාම දැනගත්තා නම්, අඩු තරමින් සති 2ක් දැඩි නීති පැනවිය යුතුව තිබුණානේ, කඩසාප්පු වසා තබා, ට්‍රිප්ස් යනවට ප්‍රවාහනයත් නතර කරලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 89 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 641 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site