හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පවරා තිබූ ‘‘හයිකෝප්’’ වංචා නඩුවෙන් ඒ මහතා නිදොස්කොට නිදහස්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ලබාදුන් තීන්දුව මෙසේය. මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ධනුන තිලකරත්න වෙලින්ටන් ටෙ‍්‍රන්ඩන් ඬේ හොට් සහ සරත් ෆොන්සේකා යන මහත්වරුන් නම් කර තිබිණ. මෙම නඩුවේ 3 වැනි විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති අධිචෝදනා පත‍්‍රයෙන් ඔහුට විරුද්ධව 1 වැනි සහ 21 වැනි අධිචෝදනාව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇත. එම චෝදනා නම්. 01. වර්ෂ 2006 ක් වූ නොවැම්බර් 1 වැනිදා සහ වර්ෂ 2009 ක් වූ මැයි 31 වැනිදා දක්වා කාලය තුළදී ඇමරිකා එක්සත් ජනපදයේදී හා මෙම අධිකරණ බල සීමාව තුළ වූ කොළඹ දී යුෂ්මතුන් පැමිණිල්ල නොදත් අන් අය සමග වරදක්, එනම් 2 වැනි චූදිත විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ සැපයුම්කරුවකු ලෙස 2007 හා 2008 වර්ෂ සඳහා ලියාපදිංචි බි‍්‍රටිෂ් බෝර්නියෝ ඩිෆෙන්ස් නැමැති  ඕස්ටේ‍්‍රලියානු සමාගමේ බලයක් නොහොත් අවසරක් නොමැතිව එකී බි‍්‍රටිෂ් බෝර්නියෝ ඩිෆෙන්ස් සමාගම වෙනුවෙන් ක‍්‍රියාකරන ලෙසින් යුද හමුදා නිලධාරීන් වෙත කුඨ ලේඛන, එනම් එකී බි‍්‍රටිෂ් බෝර්නියේ ඩිෆෙන්ස් සමාගමේ බලය ප‍්‍රකාරව ඉදිරිපත් කළබව දැක්වෙන අයුරින් සකස්කළ ලංසු ලේඛන ඉදිරිපත් කර එකී නිලධාරීන් රවටා එසේ නොරැවටී සිටියේ නම් ඔවුන් නොකරන ක‍්‍රියාවක් වන එකී බි‍්‍රටිෂ් බෝර්නියෝ ඩිෆෙන්ස් සමාගමට අයත් ලෙසට ඉදිරිපත් කරන ලද ව්‍යාජ විදේශීය ගිණුමක් වෙත යුද හමුදාවට අයත් මුදලක් බැරකිරීමට පෙළැඹීමෙන් වංචාවක් සිදු කිරීමේ වරද සඳහා හෝ එම වරදට අනුබලදීම සඳහා හෝ පොදු අරමුණක් ඇතිව එක්ව ක‍්‍රියාකිරීමට එකඟ වීමෙන් වරදක් සිදුකිරීමට හෝ එකී වරද සිදුකිරීම සඳහා අනුබලදීමට හෝ කුමන්ත‍්‍රණයක් කළ බවද එම කුමන්ත‍්‍රණයේ ප‍්‍රතිඵලයක් ලෙස එකී වරද සිදුකරනලද බැවින් යුෂ්මතුන් දණ්ඩ නීති සංග‍්‍රයේ 113 (අ) වගන්තිය සහ 102 වගන්තිය සමග කියවිය යුතු 403 වගන්තියෙන් විස්තර කර ඇති වරද සමග කියවිය යුතු 1982 අංක 12 දරණ පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පනතේ 5(2) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කළ බවය. 02. ඉහත 1 වැනි චෝදනාවේ සඳහන් වේලාවේදී, ස්ථානයේදී හා එම ක‍්‍රියාකලාපයේදීම ඉහත 3 වැනි චූදිත වන යුෂ්මතා ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපති වශයෙන් සේවය කරමින් තමා වෙත බාරදෙනු ලැබූ හෝ ආධිපත්‍ය පවරනු ලැබූ යම් දේපළක්, එනම් ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ඇමෙරිකානු ඩොලර් 299061.25 ක් වටිනා මුදල් ප‍්‍රමාණයක් එම මුදල් ලැබීමට අයිතියක් නොමැති පුද්ගලයකු විසින් වංකව හෝ වංකව සාවද්‍ය පරිහරණය කරන බව දනිමින් එසේ කිරීමට ඉඩහැරීමෙන් එකී මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකළ බැවින් දණ්ඩ නීති සංග‍්‍රහයේ 389 වැනි වගන්තිය සමග කියවිය යුතු 1982 අංක 12 දරණ පොදු දේපළ විෂයෙහි සිදු කරන වැරදි පනතේ 5(1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කළ බවය. එම අධිචෝදනාවන් විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කිරීමෙන් පසුව 3 වැනි විත්තිකරු විසින් අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 314 (1) වගන්තිය අනුව මෙම නඩුව 3 වැනි විත්තිකරුට එරෙහිව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විරෝධතාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 314 වැනි වගන්තිය පහත දැක්වේ. නිසි අධිකරණ බලය ඇති අධිකරණයක් විසින් වරදක් පිළිබඳව නඩු විභාගයට වරක් භාජනය කරනු ලැබ ඒ වරද සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබූ හෝ ඉන් නිදොස් කරනු ලැබූ තැනැත්තකු එසේ වරදකරු කිරීම හෝ නිදොස් කිරීම හෝ බල පවත්නා විට එම  වරදම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කරන ලද චෝදනාවට වඩා වෙනස් වූ චෝදනාවක් ඒ කරුණුම පදනම් කොට ගෙන 166 වන වගන්තිය යටතේ කළ හැකිව තිබුණේ ද ඒ චෝදනාව සම්බන්ධයෙන් හෝ 167 වැනි වගන්තිය යටතේ වරදකරු කළ හැකිව තිබූ වෙනත් යම් වරදක් සම්බන්ධයෙන් හෝ නැවතත් නඩු විභාගයට භාජනය වීමට යටත් නොවිය යුතුය. මේ අනුව විත්තිකරු තර්ක කර ඇත්තේ 3 වැනි විත්තිකරු හමුදා අධිකරණය මගින් මෙයට පෙර මේ හා සමාන වරදකට වරදකරු කර ඇති බැවින් අධි චෝදනා පත‍්‍රයේ 1 සහ 21 වැනි චෝදනා යටතේ මෙම අධිකරණයේ නඩු විභාගයකට භාජනය කළ නොහැකි බවයි. ඒ අනුව තර්ක කර ඇත්තේ එකම වරදකට හෝ ඒ හා සමාන වරදකට යම් තැනැත්තකු දෙවරක් නඩු විභාගයට භාජනය නොකළ යුතු බවයි. මෙම අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 314 (1) වගන්තියට  පදනම් වී ඇත්තේ Nemo debet bisvexari pro Una Et Eaden Causa නමැති ආප්ත්‍යයි. එය දෙවරක් නඩු විභාගයට භාජනය නොකළ යුතු බවට රීතිය වශයෙන් හැඳින් වේ. මෙම රීතිය අපරාධ නඩු විධාන සංග‍්‍රහයට ඇතුළත් කර ඇත්තේ විත්තිකරුවන්ට අනවශ්‍ය හිරිහැර කිරීම් පිළිබඳව නොයෙකුත් චෝදනා ඉදිරිපත් කිරීම වැළැක්වීම සඳහාය. මේ සම්බන්ධයෙන් අධිකරණය Green vs. United State 1957-355 Us 184 at 187-188 වාර්තා ගත වී ඇති නඩු තීන්දුව කෙරෙහි අධිකරණයේ අවධානය යොමු කෙරිණි. මෙම නඩු තීන්දුව සාක්ෂි නීතිය ඊ.ආර්.එස්.ආර්. කුමාරස්වාමි වොලියුම් 1 හි පිටු අංක 542 හි වාර්තා ගතවී ඇත. මෙම අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 314 (1) වගන්තිය සිවිල් නීතියේ රෙස් ජුඩිකාටා සිද්ධාන්තයට සමාන වේ. Res Judicata  සිද්ධාන්තයට සිවිල් නීතියට අදාළ වන්නා සේම අපරාධ නීතිය Autre foise සිද්ධාන්තයට අදාළ වනු ඇත. අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 314 (1) වගන්තිය අනුව නිසි අධිකරණ බලය ඇති අධිකරණයකින් යම් පුද්ගලයෙකු වරදකරු කිරීම හෝ නිදොස් කිරීම කළ අවස්ථාවේදී එම තැනැත්තා නැවත එම වරද සම්බන්ධයෙන් හෝ එම සිද්ධියට අදාළ කරුණු සම්බන්ධයෙන් හෝ වෙනත් සමාන වරදක් සම්බන්ධයෙන් වරදකරු කිරීම හෝ නඩු විභාගයකට භාජනය කළ නොහැකිය. තවද බොම්බෙ එරෙහිව Abdul Wahab 1945 (47) Bom LR 998 (1946) (Bom) 258 FB iy Mohomad Safi AIR 1966 SC 69 නඩු තීන්දුව අනුවද ප‍්‍රකාශ වී ඇත්තේ යම් පුද්ගලයෙකු යම් අධිකරණයක් මගින් පෙර වරදකරු කර ඇති විට හෝ නිදොස් කර ඇති විටක නැවත නිසි බලයක් ඇති අධිකරණයකින් එම චෝදනා සම්බන්ධයෙන් හෝ පෙර අධිකරණයේදී ඔහුට විරුද්ධව ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙන ලද පෙර වරදකරු හෝ නිදොස් කරනු ලැබූ නඩුවේ කරුණු අනුවම ඉදිරිපත් කරන ලද චෝදනාවන් සම්බන්ධයෙන් නඩු විභාග කිරීමට නොහැකි බවයි. මේ අනුව පෙර එසේ වරදකරු කරනු ලැබූ හෝ නිදොස් කරනු ලැබූ හෝ පුද්ගලයෙකු එම වරදකරු කිරීම හෝ නිදොස්  කිරීම කි‍්‍රයාත්මක වී පවතින අවස්ථාවේදී නැවත පෙර ඉදිරිපත් කරන ලද චෝදනා හෝ ඊට සමාන හෝ එම කරුණු මත පෙර නඩුවේ ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබූ චෝදනා සම්බන්ධයෙන් නැවත නඩු විභාගයකට භාජනය කිරීමට නීතිමය බලයක් නැත. කෙසේ වුවද මෙම අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 314 (1) වගන්තියට අදාළ වන්නේ යම් නිසි අධිකරණ බලයක් ඇති අධිකරණයක් විසින් විත්තිකරුවකු වරදකරු හෝ නිදොස් තැනැත්තකු බව තීරණය කර ඇති අවස්ථාවකදීය. ප‍්‍රථම විත්තිකරු වරදකරු කරනු ලැබූ අධිකරණය නිසි බලයක් ඇති අධිකරණයක් නොවේ නම් 2 වන වරට නඩු විභාගයක් පැවැත්වීමට එය බාධාවක් නොවනු ඇත. මේ සම්බන්ධයෙන් Samsudeen 1896 22 Bomb 711 නඩු තීන්දුව කෙරෙහි අවධානය යොමු කරන ලදී. මෙම නඩු තීන්දුවද  Code of Criminal Procedure 1987 13 වෙළුම Ratnalal Dirajlal ග‍්‍රන්ථයෙහි 311 පිටුවේ වාර්තා ගත වී ඇති මෙම නඩු තීන්දුව අනුව නිසි අධිකරණ බලයක් ඇති අධිකරණයක් මගින් පෙර අවස්ථාවේදී විත්තිකරුවකු වරදකරුවකු කර ඇති අවස්ථාවේදී එම නඩුවේ ඇති සිද්ධිමය කරුණු මත වෙනත් චෝදනාවක් එම  අධිකරණයේම ඉදිරිපත් කළ හැකිව තිබූ අවස්ථාවකදී නැවත ප‍්‍රථම නඩු විභාගයෙන් පසු දෙවැනි වරට නඩු විභාගයක් සඳහා චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාවක් නැත. ඒ අනුව Sube dar Krishnappa 1899 (Bomb) LR 15  නඩුවේදී තීරණය වී ඇත්තේ යම් චෝදනා පෙර නඩු විභාගයේදී එම සිද්ධිමය කරුණු මත ඉදිරිපත් කළ හැකිව තිබියදී ඉදිරිපත් නොකර නැවත වෙනත් නඩු විභාගයකට එම චෝදනා ඉදිරිපත් කළ නොහැකි බවයි. මේ අනුව සමාන සිද්ධිමය කරුණු මත ඉදිරිපත් කළ හැකිව තිබූ වෙනත් වරදක්  සම්බන්ධයෙන් පෙර නඩු විභාගයේදී විත්තිකරුවෙකුට චෝදනා ඉදිරිපත් නොකර 2 වැනි නඩු විභාගයේදී එම නඩුවේදී ඉදිරිපත් කළ හැකිව තිබූ චෝදනා මත 2 වැනි නඩු විභාගයකට විත්තිකරුවකු භාජනය කළ නොහැකි බව මෙම ඉන්දීය නඩුවලදී තීරණය වී ඇත. කෙසේ වුවද පෙර ඉදිරිපත් කර ඇති චෝදනා 2 වැනි නඩු විභාගයේදී ඉදිරිපත් කර ඇති චෝදනාවලට වඩා හාත්පසින් වෙනස් වූ චෝදනා නම් 2 වැනි නඩු විභාගයට විත්තිකරුවකු භාජනය කිරීමේ බාධාවක් නොමැත. එහෙත් එම චෝදනා එක හා සමාන චෝදනා නොවිය යුතු අතර, මුල්නඩු විභාගයේදී ඉදිරිපත් කළ යුතුව තිබූ සිද්ධිමය කරුණු මත ඉදිරිපත් නොවිය යුතුය. මේ අනුව අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 314 (1) වගන්තිය යටතේ එකම වරදකට කිසිම තැනැත්තකු දෙවරක් නඩු විභාගයකට භාජනය නොකළ යුතු බවට සඳහන්වී ඇත. එසේම 2007 අංක 56 දරණ  INTERNATIONAL COVENANT ON CIVIL AND POLITICAL RIGHTS (ICCPR) සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනතේ 4 (3) වගන්තිය අනුව සඳහන්වී ඇත්තේ, කිසිම පුද්ගලයකු පෙර අපරාධ චෝදනාවකට නීතිය අනුව වරදකරු කිරීමක් හෝ නිදොස් කිරීමක් කර ඇති අවස්ථාවකදී නැවත එම වරද සම්බන්ධයෙන්ම එම පුද්ගලයා නඩු විභාගයට භාජනය නොකළ යුතු බවයි. එම වගන්තිය මෙසේය. (3) No person shall we tried or punished for any criminal offence for which such person has already been convicted or acquitted according to law. කෙසේ වුවද මෙසේ නඩු විභාගයකට භාජනය කිරීම හෝ දඬුවම් කිරීම කළ නොහැක්කේ එකම වරදක් හෝ සමාන වරදක් සම්බන්ධයෙන් හෝ එකම සිද්ධිමය කරුණුවලට අදාළ වූ වරදක් සම්බන්ධයෙන් පමණි. මෙම නඩුවේදී 3 වැනි විත්තිකරු යුධාධිකරණය මගින් හමුදා පනතේ 109 වගන්තිය යටතේ ඉදිරිපත් කරන ලද චෝදනාවලට වරදකරු කර ඒ අනුව ජනාධිපතිවරයා විසින් එය අනුමත කර දඬුවම් නියම කර ඇත. හමුදා අධිකරණය මගින් හමුදා පනතේ 109 වගන්තිය යටතේ ඉදිරිපත් කරන ලද චෝදනාවලට සම්බන්ධයෙන් විත්තිකරු වරදකරු කිරීමෙන් පසු මාස 30 ක සිර දඬුවමක් ද නියම කර ඇති බව අධිකරණයට ලේඛන අනුව සනාථ වේ. හමුදා පනතේ 109 වැනි වගන්තිය යටතේ විත්තිකරුවකුට චෝදනා දෙකක් ඉදිරිපත් කර ඇති අතර, එහි 1 වැනි චෝදනාව වී ඇත්තේ, ධනුන තිලකරත්න නමැති පුද්ගලයා සමග ඇති 3 වැනි විත්තිකරුගේ ඥාතිත්වය හෙළි නොකර හමුදා පනතේ 1949 අංක 17 දරණ හමුදා පනතේ 109 වැනි වගන්තිය යටතේ වංචනික කි‍්‍රයාවක් කිරීම සම්බන්ධයෙනි. 2 වැනි චෝදනාව ඉදිරිපත් කර ඇත්තේ, හමුදා පනත යටතේ වංචාකාරී කි‍්‍රයාවක් 3 වැනි විත්තිකරු ධනුන තිලකරත්න නමැත්තා තමන්ගේ බෑනා බව දනිමින් ටෙන්ඩර් කි‍්‍රයාපටිපාටියට සම්බන්ධවීම සම්බන්ධයෙනි. මේ අනුව මෙම චෝදනා දෙකේදීම 3 වැනි විත්තිකරුට එරෙහිව වංචාකාරී කි‍්‍රයා කිරීම සම්බන්ධයෙන් දඬුවම් කිරීමට චෝදනා ඉදිරිපත් කර ඇති බවක් අධිකරණයට සනාථ වේ. මෙම අවස්ථාවේදී අධිකරණය සළකා බැලිය යුත්තේ 3 වැනි විත්තිකරුට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා පත‍්‍රයට ඉදිරිපත් කර ඇති 1 වැනි චෝදනාව වන වංචාවක් කිරීමට කුමන්ත‍්‍රණය කිරීම හා 21 වැනි චෝදනාව වන සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනා හමුදා අධිකරණයේ ඉදිරිපත් කරන ලද චෝදනාවලට වෙනස් චෝදනා ද යන්නයි. මහාධිකරණයේදී ඉදිරිපත් කර අධි චෝදනා වංචාවක් කිරීමට කුමන්ත‍්‍රණය කිරීම හා විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇත. හමුදා පනතේ 109 වැනි වගන්තිය යටතේ ඉදිරිපත් කර ඇති වංචාකාරී කි‍්‍රයාවක් කිරීම පිළිබඳව 3 වැනි විත්තිකරුට විරුද්ධව ඉදිරිපත් කරන ලද චෝදනා සනාථ කිරීමට ඉදිරිපත් කර ඇති සාක්ෂි හමුදා අධිකරණ නඩු තීන්දුවේ සාක්ෂි සටහන් පරීක්ෂාකර බැලීමේදී අධිකරණයට සනාථ වන්නේ එම සාක්ෂි මත මහාධිකරණය ඉදිරිපත් කර ඇති සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනාව 3 වැනි විත්තිකරුට එරෙහිව හමුදා අධිකරණයේම ඉදිරිපත් කිරීමට නීතිමය බලයක් තිබී ඇති බවයි. හමුදා පනතේ 109 වගන්තිය අනුව 3 වැනි විත්තිකරු වංචාකාරී කි‍්‍රයාවක් කිරීම පිළිබඳව සාක්ෂි හමුදා අධිකරණයේදී පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති අතර, එම අධිකරණයේම එම සාක්ෂි මත සාපරාධි විශ්වාසය කඩ කිරීම පිළිබඳව චෝදනාවට ද මෙම විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබී ඇති බව අධිකරණයට හමුදා අධිකරණයේ දෙන ලද සාක්ෂි පරීක්ෂා කර  බැලීමේදී සනාථ වේ. විත්තිය විසින් 315 වගන්තිය අනුව ලකුනු කරන ලද සාක්ෂි ඛණ්ඩ අධිකරණය විසින් පරීක්ෂා කර බැලීමේදී සනාථ වන්නේ, පැමිණිල්ල විසින් එම අධිකරණයේදී විත්තිකරුගේ වංචාකාරි කි‍්‍රයාවන් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද සාක්ෂි මත සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනා ද එම අධිකරණයේදීම ඉදිරිපත් කිරීමට හැකියාවක් පැමිණිල්ලට තිබී ඇති බවයි. පැමිණිල්ල මෙම නඩුවේදී තර්කකර ඇත්තේ, හමුදා අධිකරණයේදී 3 වැනි විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා හා මහාධිකරණයට ඉදිරිපත් කරන ලද චෝදනා එක හා සමාන චෝදනා නොවන බවත් එසේම එකම සිද්ධිමය කරුනු මුල් කර ගෙන සකස් වූ චෝදනා නොවන බවත්ය. මේ අනුව පැමිණිල්ල තර්ක කර ඇත්තේ. 314 (2) (3) (4) වගන්ති අනුව  මෙම 3 වන විත්තිකරුට එරෙහිව මෙම අධිචෝදනාවන් පවත්වාගෙන යාමට හැකියාවක් ඇති බවයි. 314 (2) වගන්තිය අනුව වංචා කිරීම, කුමන්ත‍්‍රණය කිරීම හා සාපරාධී විශ්වාසය කඩ කිරීම හමුදා අධිකරණයේ ඉදිරිපත් වූ චෝදනාවලට සම්පූර්ණ වෙනස් වූ චෝදනා ලෙස අධිකරණයට සැලකිය නොහැකිය. හමුදා අධිකරණයට 3 වැනි විත්තිකරුට විරුද්ධව ඉදිරිපත් කරන ලද චෝදනාවලින් වංචාකාරී ක‍්‍රියාවන් සම්බන්ධයෙන් (Fraudulent Act) දඬුවම් කිරීම සඳහන්වන බව අධිකරණයට සනාථ වේ. මෙම අධිකරණයේ ඉදිරිපත් කරන ලද 1 සහ 21 වැනි අධිචෝදනාවලහිදී ද ඔප්පු කළයුතු ප‍්‍රධාන අංගයක් වනුයේ 3 වැනි විත්තිකරුගේ වංචාකාරී ලෙස හැසිරීම වේ. මෙබැවින් හමුදා අධිකරණයෙන් ඉදිරිපත් කරන ලද චෝදනා සනාථ කිරීම සඳහාද මහාධිකරණයේ ඉදිරිපත් කරනලද 1 සහ 21 වැනි අධිචෝදනා සනාථ කිරීම සඳහාද පැමිණිල්ල විසින් ඔප්පු කළයුතු ප‍්‍රධාන අංගයක් වනුයේ 3 වැනි විත්තිකරුගේ  වංචාකාරී ලෙස හැසිරීම වේ. මේ අනුව 3 වන විත්තිකරුගේ වංචාකාරී ක‍්‍රියාවන් පැමිණිල්ල විසින් හමුදා අධිකරණ නඩුවේදීත් මහාධිකරණ නඩුවේදීත් සනාථ කළයුතු අත්‍යාවශ්‍ය අංගයක් වේ. එබැවින් මෙම මහාධිකරණයේ සහ හමුදා අධිකරණයේ ඉදිරිපත් කරන ලද චෝදනා සනාථ කිරීමට ඔප්පු කළයුතු වැදගත්ම අංගයන් වනුයේ මෙම විත්තිකරුගේ වංචාකාරී හැසිරීම වේ. යුද අධිකරණයේදී පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලද සාක්‍ෂි සලකා බැලීමේදී අධිකරණයට සනාථ වන්නේ පැමිණිල්ල විසින් මෙම 3 වැනි විත්තිකරුගේ වංචාකාරී හැසිරීම සනාථ කිරීම සඳහා දීර්ඝ වශයෙන් සාක්‍ෂි මෙහෙයවීමක් කර ඇති බවයි. එම අධිකරණයේදී මෙම 3 වැනි විත්තිකරු ධනුන තිලකරත්න නමැත්තා තමුන්ගේ බෑනා බව දනිමින් ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති වශයෙන් ක‍්‍රියා කරමින් තම බෑනා උනන්දුවක් දක්වන සමාගමකට ටෙන්ඩර් ප‍්‍රදානය කිරීමක් කර ඇති බව සනාථ කිරීමට පැමිණිල්ල සාක්‍ෂි ඉදිරිපත් කර ඇත. ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති වශයෙන් මෙම ධනුන තිලකරත්න නමැත්තා සම්බන්ධ සමාගමේ ටෙන්ඩරයට 3 වැනි විත්තිකරු අත්සන් තබා ඇති බව සාක්‍ෂි මගින් පැමිණිල්ල හමුදා අධිකරණයේ කරුණු සනාථ කිරීමට උත්සාහ දරා ඇත. මෙබැවින් පැමිණිල්ල එම හමුදා අධිකරණයේදී මෙම 3 වැනි විත්තිකරුගේ වංචාකාරී හැසිරීම එනම් වංචනික ක‍්‍රියාවක් ඔහු විසින් කිරීම සනාථ කිරීම සඳහා සාක්‍ෂි ඉදිරිපත් කර ඇති බවක් අධිකරණයට සනාථ වේ. මහාධිකරණ නඩුවේ 1 සහ 21 වැනි චෝදනා සනාථ කිරීම සඳහාද 3 වැනි විත්තිකරුගේ වංචාකාරී හැසිරීම සනාථ කිරීම අත්‍යාවශ්‍ය කරුණක් වනු ඇත. මෙබැවින් හමුදා අධිකරණයේදී මහාධිකරණයට ඉදිරිපත් කරන ලද 21 වැනි අධිචෝදනාව 3 වැනි විත්තිකරුට එරෙහිව හමුදා අධිකරණ නඩු කටයුත්තේදීම ඉදිරිපත් කිරීමට පැමිණිල්ලට හැකියාවක් තිබුණි. හමුදා අධිකරණයේදී ඉදිරිපත් කරන ලද සාක්‍ෂි මතම සාපරාධී විශ්වාසය කඩ කිරීමේ චෝදනා සනාථ කිරීමට පැමිණිල්ලට කටයුතු කිරීමට හැකියාවක් හමුදා අධිකරණයේදී පැවැති බවක් අධිකරණයට සනාථ වේ. තවද හමුදා පනතේ 109 (ඞී) වගන්තිය අනුව විත්තිකරු හමුදා සේවයේ යෙදී සිටියදී සිදුකරන ලද සාපරාධී විශ්වාසය කඩකිරීමක් සම්බන්ධයෙන් චෝදනා ඔහුට විරුද්ධව ඉදිරිපත් කිරීමටත් හමුදා අධිකරණයට නීතිමය බලයක් තිබී ඇති බව අධිකරණයට සනාථ වේ. එබැවින් සාපරාධී විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් හමුදා අධිකරණයේදී චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබී ඇති වුවද පැමිණිල්ල එම චෝදනා එහිදී ඉදිරිපත් නොකර මෙම මහාධිකරණයට එම චෝදනා විත්තිකරුට විරුද්ධව ඉදිරිපත් කිරීමෙන් අධිකරණයට සනාථ වන්නේ හමුදා අධිකරණයට ඉදිරිපත් කළ හැකිව තිබූ සාපරාධී විශ්වාසය කඩ කිරීමේ චෝදනාව එහි චෝදනාවන්ට ඇතුළත් කර නොමැති බවයි. මේ සම්බන්ධයෙන් අධිකරණය  Subedair vs. Krishnappa 1899 (bomb) LA 15  එම නඩු තීන්දුව කෙරෙහි අවධානය යොමු කරන ලදී. එම නඩු තීන්දුව අනුව තීරණය වී ඇත්තේ, නිසි අධිකරණයකදී ඉදිරිපත් කළ හැකිව තිබුණු චෝදනා එම අධිකරණයට ප‍්‍රථම නඩු විභාගයේදී ඉදිරිපත් නොකර එම චෝදනා පිළිබඳව වෙනත් නඩු විභාගයක් පැවැත්විය නොහැකි බවයි. මෙම සහනය ලැබී ඇත්තේ, එකම සිද්ධිමය කරුණු මත එකවර නඩු විභාගයක් කිරීමට හැකියාව තිබියදී එසේ නොකර දෙවරකට චෝදනා ඉදිරිපත් කරන ලැබූ අවස්ථාවේදීය. තවත් කොටසක් හෙට පත‍්‍රයේ