විශ්‍රාම ගිය ජනාධිපතිවරුන්ට ඔවුන්ගේ කලත්‍රයන්ට හා මැති ඇමැතිවරුන්ට දෙනු ලබන විශ්‍රාම වැටුප්, නිවාස හා අනෙකුත් දීමනා අහෝසි කිරීමට ආණ්ඩුව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් විවිධ පිරිස් විවිධ ප්‍රතිචාර දක්වමින් සිටිති.
ඉන් වෙනස්ම ආකාරයේ ප්‍රතිචාරයක් දක්වා තිබුණේ වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සමග කලෙක එක්ව දේශපාලනය කළ එම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා 1999 දී ජනාධිපති අපේක්ෂකයකු වූ නන්දන ගුණතිලක මහතාය. ගුණතිලක මහතා පවසා තිබුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තමන්ට හිමි විශ්‍රාම වැටුප අහෝසි කළහොත් මරාගෙන මැරෙන බවය.
ඔහු එය වචනවලින් කීවේ නැත. මේ කාරණය සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් මගින් ඔහු කියා තිබුණේ ‘‘ඔව් මැරෙනවා.!!! හැබැයි තනියෙන් නෙවෙයි. මම ගරිල්ලා භටයෙක්.!!! යනුවෙනි. තනියෙන් නොවේ නම් තමන් මැරෙන්නේ කා සමගදැයි ඔහු පවසා තිබුණේ නැත. තමන් මුහුණ දී සිටින තත්වය ඔහු විස්තර කර තිබුණේ මෙසේය.
‘‘ ජීවිතේ ගැට ගහගෙන ඉන්නේ ඔය පාර්ලිමේන්තු පෙන්ෂන් එකෙන් ලැබෙන හැට අට දාහෙන්. ගෙවල් කුලිය, ලයිට් බිල්, වතුර බිල්, බෙහෙත් වියදම් ගියාම දවසකට කන්නයි වෙනත් අතුරු වියදම්වලටයි ඉතුරු වෙන්නේ රුපියල් හත් අට සියයක් විතර.’’
සත්‍යය මෙය නම් මෙය ඉතාමත් අසීරු ජීවිතයකි. ඔහු ගෙවල් කුලිය වශයෙන් කොපමණ මුදලක් ගෙවන්නේ දැයි සඳහන් කර නැත. කෙසේ වෙතත් පවුලක් වශයෙන් කෙසේ වෙතත් තනි පුද්ගලයකු වශයෙන් වුවත් ගෙවල් කුලියක් ගෙවා ගෙන රුපියල් 68000කින් මාසයක් ජීවත්වීම දුෂ්කරය. වයස අවුරුදු 63දී එම මුදල් ද අහිමිවීම බරපතළ තත්වයකි.
එහෙත් මෙය මරාගෙන මැරී විසඳෙන ප්‍රශ්නයක් නොවේ. ජීවිතයේ අවසාන බාගය ගෙවා ගන්නට විශ්‍රාම වැටුප් වැනි කිසිදු ආදායමක් නොලබන විශාල පිරිසක් රටේ ජීවත් වෙති. කෘෂිකාර්මික කම්කරුවන්, පෙදරේරුවන්, වඩු කාර්මිකයන් වැනි දශ ලක්ෂ ගණනක් මේ පිරිස අතර සිටිති. ඒ සියලු දෙනාම ‘‘මරාගෙන මැරෙන්නට’’ සිතුවහොත් ඇතිවන තත්වය කෙබඳුද?
මේ දිනවල මේ ප්‍රශ්නය මතුවූයේ පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී පොරොන්දු වූ ආකාරයට ජනාධිපතිවරුන්ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් හා වෙනත් වරප්‍රසාද අහෝසි කරන්නට ආණ්ඩුව කටයුතු ආරම්භ කිරීමත් සමගය. ඉකුත් ජූනි 16 වැනිදා කැබිනට් මණ්ඩලය 1986 ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත හා 1977 පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත අහෝසි කිරීමට තීරණය කළේය.
ඒ අනුව පළමුව ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමේ පනත් කෙටුම්පතක් ඉකුත් ජූලි 31 වැනිදා ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරිණි.
ඒ අනුව පළමුව ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමේ පනත් කෙටුම්පතක් ඉකුත් ජූලි 31 වැනිදා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කෙරිණි. පෙරේදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. හිටපු ජනාධිපතිවරුට ඔවුන්ගේ කලත්‍රයන්ට දැන් ලබාදෙනු ලබන නිල නිවස මාසික දීමනාව, ලේකම් දීමනාව, නිල ප්‍රවාහන හා අනෙකුත් පහසුකම් ද හිටපු ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවන්ට ලබාදෙනු ලබන විශ්‍රාම වැටුප ද මෙම පනත මගින් අහෝසි කෙරේ.
ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් ද අහෝසි කරන බව ජාතික ජනබලවේගය මැතිවරණ කාලයේදී පොරොන්දු වූ නමුත් එය මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කර නැත. ඒ ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ලබා දෙනු ලබන හෙයිනි. එම විශ්‍රාම වැටුප අහෝසි කළ හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයක් මගිනි. කතානායකවරයා හැර ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 158 දෙනකු සිටින හෙයින් එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ද එම පක්ෂයට ඉතා පහසුවෙන් සම්මත කළ හැකිය.
වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කරන්නට යන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කර ගෙන යැයි රාජපක්ෂ මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ මහතා පැවසීය. එය නිවැරැදි ප්‍රකාශයක් නොවේ. මන්දයත් ජාතික ජන බලවේගයේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ 1986 මෙම පනත සම්මත කළදා සිට ඊට එරෙහිව හඬ නඟයි. එසේම රටට නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍ය බවත් ඒ සඳහා දේශපාලනය මුදල් ඉපැයීමේ මාර්ගයක් හෝ වරප්‍රසාද ඉලක්ක කර ගත්තක් හෝ නොව සමාජ සේවයක් විය යුතු බවත් ජවිපෙ හා ජාතික ජනබලවේගය දිගින් දිගටම කියා සිටියේය.
එහෙයින් දැනට ප්‍රකාශයට පත්කර ඇති පනත පුද්ගලයකු ඉලක්ක කර ගත්තක් යැයි පැවැසීම තර්කානුකූල නොවේ.
මේ අතර මෙම පනත් කෙටුම්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ගැන හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් යන බව පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි. ඔවුන් අමුතුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කළ යුතු නැත. සෑම පනත් කෙටුම්පතක් මෙන්ම මෙම පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ පරීක්ෂාවට ලක්වනු ඇත. එහිදී ඔවුනට ඊට මැදිහත් වී තමන්ගේ තර්ක ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.
එක් පැත්තකින් හිටපු ජනාධිපතිවරයකුට ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය හෙයින් ඔවුනට විශ්‍රාම වැටුපක් හා නිවෙසක් රජයෙන් දිය යුතු යැයි පිරිසක් තර්ක කරති. ඒ අතර දේශපාලනය කරන්නේ දේශපාලනඥයන් වේදිකාවල මොර දෙන ආකාරයටම පෞද්ගලික ලාබ ප්‍රයෝජන සඳහා නොව ජනතාව වෙනුවෙන් නම් ඔවුන් කිසිදු වරප්‍රසාදයක් අපේක්ෂා නොකළ යුතුයැයි තව පිරිසක් තර්ක කරති.
ප්‍රායෝගික තත්වය නම් ජීවත් වන්නට තරම් ආදායම් මාර්ගයක් හෝ නිවෙසක් හෝ අහිමි දුප්පතුන් මෙතෙක් මේ රටේ ජනාධිපතිවරුන් වූයේ නැත යන්නයි. මෙතෙක් ජනාධිපති ධුරය දරා ඇත්තේ මෙරට ඉහළ සමාජයේ අයයි. රණසිංහ ප්‍රේමදාස හා මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙනා ආරම්භයේ දී සාමාන්‍ය පවුල්වල අය වුව ද ඔවුන් ජනාධිපති ධුරය සඳහා තරග කරන විට ඔවුහු ද එම ඉහළ සමාජයට ඇතුළත් වී සිටියහ. ජාතික ජන බලවේගය පොරොන්දු වූ පරිදි දේශපාලන සංස්කෘතිය වෙනස් නොකළේ නම් ඉදිරියේ දී ද ජනාධිපතිධුරයට පත් වන්නෝ ඉහළ පන්තියේ පුද්ගලයෝය.
හිටපු ජනාධිපතිවරුන්ගෙන් ජේ.ආර්. ජයවර්ධන මහතාට කොළඹ වෝඩ් පෙදෙසේ බ්‍රෙමර් යනුවෙන් නම් කරන ලද මන්දිරයක් තිබිණි. රණසිංහ ප්‍රේමදාස මහතාගේ අලුත්කඩේ සුචරිත නිවස ද අවසාන කාලයේ දී මන්දිරයක් බවට පත්විය. ඩී.බී. විජේතුංග මහතාට පිළිමතලාවේ හොඳ නිවෙසක් තිබිණි. චන්ද්‍රිකා කුමාරතුංග වලව් පැළැන්තියේ අයෙකි. ඇය කොළඹ රොස්මිඩ් පෙදෙසේ තම නිවෙස හෝටලයකට බදු දී මහජන මුදලින් නඩත්තු කරන මන්දිරයක සිටී. ප්‍රේමදාස මහතාගේ වැන්දඹුව හේමා ප්‍රේමදාස ද මහත්මිය ද එවැනිම නිවෙසක කලින් ජීවත්වී දැන් ඉන් ඉවත්ව සිටී. මහින්ද රාජපක්ෂ මහතාම පවසන පරිදි ඔහු දැන් ජීවත්වන විජේරාම මාවතේ නිවෙසට වඩා හොඳ නිවෙසක් බෙලිඅත්තේ මැද මුලන තිබේ.
මෛත්‍රීපාල සිරිසේන මහතාට ද පොළොන්නරුවේ නිවෙසක් ඇත. ඊට අමතරව ඔහු ජීවිත කාලය පුරා භුක්ති විදීම සඳහා කොළඹ පැජට් පාරේ මන්දිරයක් වෙන්කර ගැනීමට තමන්ම ප්‍රධානත්වය දැරූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තේය. ශ්‍රේෂ්ඨාධිකරණය පසුව එය නීති විරෝධි යැයි ද එය යළි රජයට බාර දිය යුතු යැයි ද තීන්දු කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතාට ද මිරිහානේ පෞද්ගලික නිවෙසක් තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාට කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ නිවෙසක් ඇත. එහෙයින් යෝජිත පනත මගින් මේ කිසිවකු මහමගට වැටෙන්නේ නැත.
මේ නීතිය වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට කොහෙත්ම අදාළ නොවේ. ඔහු රාජකාරි කටයුතු සඳහා කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය තබාගෙන පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයේ නැවති එහි සිට රාජකාරියට පැමිණෙයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කිරීමෙන් ද ඔවුන් නන්දන ගුණතිලක මහතා මෙන් ‘‘මරාගෙන මැරෙන්නට’’ යොමුවන්නේ නැත. ඔවුනට ලැබෙන විශ්‍රාම වැටුප රුපියල් ලක්ෂයකටත් අඩුය. ඔවුන්ගේ වත්මන් ජීවන රටාව දෙස බලන විට ඔවුන් එම මුදලින් ජීවත් වන බව කිව නොහැකිය. ඔවුනට රුපියල් ලක්ෂයක් යනු අද සොච්චම් මුදලකි.
නන්දන ගුණතිලක මහතාගේ ප්‍රශ්නය කුමක් වුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නයද ආසන්න වශයෙන් ජනාධිපතිවරුන්ගේ ප්‍රශ්නයට සමානය. ජවිපෙ, ජාජබ, පෙරටුගාමි සමාජවාදි පක්ෂය සහ ඇතැම් කුඩා වාමාංශික පක්ෂ හැර අනෙක් කිසිදු පක්ෂයකින් දුප්පතකුට මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලැබෙන්නේ නැත. ගුණතිලක මහතාට වුවද එවැනි පක්ෂයකින් පළමුවතාට නාම යෝජනා ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය.
එම පක්ෂවලින් නාම යෝජනාව ලැබෙන්නේ මැතිවරණයට වියදම් කළ හැකි මට්ටමේ අයටය. එසේ එම පක්ෂවලින් නාම යෝජනා ලබාගත් අපේක්ෂකයෝ මැතිවරණයක් පාසා රුපියල් කෝටි ගණනින් වියදම් කරති. පසුගිය මහ මැතිවරණයේ දී පළමු වතාවට එසේ කරන වියදම්වලට සීමා පැනවිණි.
මෙතෙක් කාලයක් පාර්ලිමේන්තුවට තේරීපත් වූ සැණින් ඔවුනට තීරු බදු රහිත වාහනයක් ගෙන්වා ගැනීමට අවසර පත්‍රයක් ලැබිණි. බොහෝ මන්ත්‍රීවරු එම අවසර පත්‍රය කෝටි ගණනකට විකුණති. මෙමගින් රජයට කෝටි ගණනක බදු මුදල් අහිමි වේ. රජයේ සේවකයන්ට මෙන් නොව වසර පහක් පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටියහොත් විශ්‍රාම වැටුපක් හිමිවේ. රජයේ සේවකයකුට මෙන් එය ලබා ගැනීමට ඔවුනට වයස් සීමාවක් ද නැත.
අසූ ලක්ෂයක් පමණ වන මෙරට ශ්‍රම බළකායෙන් රජයේ සේවකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 12ක් පමණය. ඉතිරි පිරිසට විශ්‍රාම වැටුපක් නොලැබේ. පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව ලක්ෂ 22ක් පමණ වේ. ඒ සියලු දෙනාම සේවක අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ ලබන්නට සුදුසුස්සන් යැයි සැලකුව ද එවැනි ප්‍රතිලාභ හෝ විශ්‍රාම වැටුප් නොලබන පිරිස ලක්ෂ 50කට ආසන්න වේ. යමක් කමක් ඇති පවුල්වල පිරිස් මහජන සේවයට යැයි කියමින් දේශපාලනයට පිවිස විශ්‍රාම වැටුප් අවශ්‍ය යැයි පවසන්නේ එවැනි තත්වයක් තුළය.
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරන්නට තමන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන එන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ 2024 නොවැම්බර මාසයේ දී පැවැසීය. එජාප නායකයකු වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පසුගිය පෙබරවාරි මාසයේ දී එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළේය. දැන් එම පක්ෂවලම ඇතැම් පිරිස් ආණ්ඩුව ජනාධිපතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ එම වරප්‍රසාද අහෝසි කරන්නට යන විට විරුද්ධ වෙති.
මීට පෙර බලයේ සිටිය වුන් කළේ බලයෙන් ඉවත් වූ පසු තමන්ට වරප්‍රසාද ලැබෙන ක්‍රම සැකසීමයි. යෝජිත පනත්වල විශේෂත්වය බලයේ සිටිනවුන් බලයෙන් ඉවත් වූ පසු තමන්ට ලැබිය හැකි වරප්‍රසාද නැති කර ගැනීමයි.
(*** එම්.එස්.එම්. අයුබ්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
හිටපු ජනපතින්ගේ තටු කැපිල්ලේ ඇතුළු පැත්ත
අඡිත් Saturday, 09 August 2025 12:39 PM
මහින්ද මහතාට නුගේගොඩ, ටොරිංටන් මාවතේ නිවාස දෙකක්, මෛත්‍රීපාල මහතාට ගම්පහ නිවාසයක් තිබෙනවා...
Chathuri Saturday, 09 August 2025 07:22 PM
මේ පින්තුරවල ඉන්නේ නායකයෝ නම්. අනුර කුමාර වැනි ජනාදිපති කෙනකුව කොහොමද අමතන්නේ? මොවුන් ඇවිත් හිඟන කාලකන්නි ටිකක් අසරණ ජනතාවගේ මුදලින් උපරිම සැප අරගෙන. මොවුන් රට කෙරුවේ සාස්තර ගැනීට දේවාලේ කපුවා කියන විදියට මීහරක්. පැරැදුණාම ගෙදර නොගිහින්. බන්කරවලට යන්නේ. මොවුන් දන්නවා රටට කරපු විනාසේ.
Rohan Perera Saturday, 09 August 2025 08:57 PM
ලැජ්ජා සහගත කඩේයාමක්. ඕවා නියෝජිත ප්‍රජාතන්ත්ර්වදයක අඩංගු. ඕව කරලා කීයක්ද ඉතුරු කරන්නේ . බාල දේශපාලන වැඩ මිස වෙනකක් නොවේ.