IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත  බදු ඉලක්ක කරා ගමන් කිරීමට රජයට නොහැකි වීමයි. රජයේ ආදායම් පියවගන්නා ප්‍රධාන මාර්ගයක් ලෙස බදු ක්‍රමය සැලකීමේ දී හැතෑපස් වසරක ලංකාවේ ආර්ථිකය තුළ නියාමාකාරයෙන් බදු ඒකරාශී කර ගැනීමට නොහැකි වීම සුවිශේෂී ලක්ෂණයකි.

එනිසා ආදායම් පියවා ගැනීමට විවිධ අංශවලින් ණය ගැනීම කර ඇති බවද පැහැදිලිය. රජයේ ආදායමට වඩා වියදම දෙගුණයක් වීම සැම විටම ඉහළ අගයක් පෙන්නුම් කරයි.

වර්ධනය වන රාජ්‍ය වියදම් සඳහා රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අඛණ්ඩව පවතින ඉහළ මූල්‍ය හිඟය දරාගත නොහැකි මට්ටමක පවතී. අධික ණය බරක් ඇතිවීමට එය හේතුවක් වී ඇත. මෙමගින් රජයට ප්‍රාග්ධන ආයෝජන කිරීමට අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා ප්‍රමාණවත් මුදල් වෙන් කිරීමට ඇති හැකියාව අඩාල වී තිබේ. ආදායමෙන් විශාල ප්‍රතිශතයක් (සියයට77) මූල්‍ය පොලී ගෙවීම් සඳහා වැය වෙයි. එය පුනරාවර්තන වියදම් වන අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ වියදම් දැරීමේ දී විශාල බරකි. රජයේ අයවැය හිඟය 2022 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10.20 ක සාමාන්‍යයක් වාර්තා කර තිබේ. අයවැය හිඟය 2022 දක්වා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.68 ක සාමාන්‍යයක් වී තිබුණි. 2024 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.1 ක අයවැය හිඟයක් රජය ඉලක්ක කරයි. කෙසේ නමුත් මෑත කාලීන ඉතිහාසයේ වැඩිම අයවැය හිඟයක් වාර්තා වන්නේ 2024 වීම විශේෂත්වයකි.

රජයේ ආදායම් ලබන ප්‍රධාන මාර්ග වන්නේ සෘජු හා වක්‍ර බදුය. ශ්‍රී ලංකාවේ බදු ආදායම් එකතු කිරීම 1990 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 19 සිට 2022 දී සියයට 7.3 දක්වා ක්‍රමානුකූලව පහත වැටී ඇත. ජාතික ආදායම කාලයත් සමග ඉහළ ගිය අතර ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 1990 දී ඇමෙරිකානු ඩොලර් 472 සිට 2022 දී ඇමෙරිකානු ඩොලර් 3,474 දක්වා ඉහළ ගියේය. ඊට අනුරූපීව බදු එකතු කිරීමක් සිදු වී නොමැත. මීට පෙර රජයේ වක්‍ර බදු ආදායම සියයට 80 ක් වූ අතර සෘජු බදු දායකත්වය සියයට 20 ක් පමණි. බදුවල ප්‍රධාන අරමුණ මහජන සේවා සඳහා අරමුදල් සැපයීමයි. එපමණක් නොව අඩු ආදායම්ලාභී පවුල් සඳහා සුබ සාධනය සැපයීම ද තවත් අරමුණකි. මෑත කාලීනව හඳුන්වා දුන් අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රජයට රුපියල් කෝටි ගණනක් වැය කිරීමට සිදුවී තිබේ. ආර්ථිකය කඩා වැටීමෙන් දුප්පත්කම ඉහළ ගොස් ඇති අතර එම නිසා එම දුප්පත් ජන කොටස් ආරක්ෂා කර ගැනීමට සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක අවශ්‍යතාව ඉතා වැදගත් වේ. කෙසේ වෙතත් මේ සියලු‍ වියදම් දැරීමට සිදුවන්නේ රජයේ ආදායම්වලිනි.  ආදායම් රැස් කරන ප්‍රධාන මාර්ගයක් වන බදු ආදායම් වලිනි.

 

බදු රැස් කිරීමේ දුර්වලතා

බදු ආදායම් රැස් කරන ප්‍රධාන ආයතන කිහිපයක් දැකිය හැකිය. ආදායම් බදු දෙපාර්තමේන්තුව ආදායම් බදු එකතු කරයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරා බදු ආදායම් එකතු කරන අතර රේගු දෙපාර්තමේන්තුව රේගු බදු ආදායම් එකතු කරනු ලබයි. 2024 අයවැය ඇස්තමේන්තුවලට අනුව 2024 වර්ෂය සඳහා ඇස්තමේන්තු කර ඇති මුළු බදු ආදායම රු. බිලියන 3,820 ක් වන අතර, එහි ප්‍රධාන සංයුතිය වක්‍ර බදුය.

2023 නොවැම්බර් දක්වා වූ මාස 11ක කාලය තුළ ශ්‍රී ලංකාවේ බදු ආදායම රුපියල් බිලියන 2,512 දක්වා සියයට 56 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. නොවැම්බර් මාසයේ දී මාසික බදු එකතුව රුපියල් බිලියන 299ක් විය. රටේ වත්මන් වියදම් රුපියල් බිලියන 4,292.8 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 46 ක වැඩිවීමක් සනිටුහන් කරමින් පොලී පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. පොලී නොවන වියදම් සියයට 14.5 කින් ඉහළ ගියේය. 2024 ජනවාරි මාසයේ වැටුප් හා විශ්‍රාම වැටුප් වැඩිවීම් සිදුවී තිබීම කැපී පෙනෙන කරුණකි. කෙසේ වෙතත් ආදායම් බදු දෙපාර්තමේන්තුව අපේක්ෂිත බදු ආදායමෙන් සියයට 82ක් එකතු කර ඇත. එහෙත් අපේක්ෂිත බදු ආදායම රු. බිලියන 908 කි. පසුගියදා පාර්ලිමේන්තුවේ සඳහන් කරන ලද්දේ ලූනු ආනයනයේදී රුපියල් මිලියන අටදහකින් බදු වංචා කර ඇති බවයි. එසේම මෙයට පෙර සීනි ආනයනයේ දී රුපියල් බිලියන 16 ක බදු වංචාවක් පිළිබඳ කතා අසන්නට තිබුණි. නීති විරෝධීව ආනයනය කරන භාණ්ඩ වෙන්දේසියේ දී අඩු තක්සේරු කිරීම් යටතේ භාණ්ඩ වෙන්දේසි කිරීමෙන් පසුගිය වසරේ රජයට රුපියල් කෝටි 300 ආදායමක් අහිමි වී ඇතැයි  පුවත්පත් වාර්තා පෙන්වා දී තිබේ.

මෙයින් බොහෝ දුරට පෙනී යන්නේ බදු එකතු කරගන්නා ව්‍යුහයේ විශාල දුර්වලතා පවතින බවයි. ශ්‍රී ලංකාවේ බදු එකතු කිරීමේ ගැටලු‍ හුදෙක් ආර්ථික ප්‍රතිපත්ති මත පමණක් තීරණය වන්නක් නොවේ. පද්ධතිමය අකාර්යක්ෂමතා සහ දූෂණ ද හේතු වේ. මීට අමතරව රටේ නීතිමය රාමුව පුද්ගලයන්ට බදු නොගෙවා අභියාචනා ඉදිරිපත් කිරීමට ඉඩ සලසයි. TIN අංකයෙන් බැංකු පද්ධතිය ඒකාබද්ධ කිරීමේ ක්‍රමවේදයක් තවම අපට නැත. එවැනි ක්‍රමවේදයක් පැවතියහොත් ආදායම් බදු වලින් පලා යාමට කිසිවකුටත් නොහැක. විදේශ රටවල්වල පවතින්නේ මෙවැනි එකාබද්ධ වූ ක්‍රමවේදයකි. රේගුව සඳහා ද දත්ත පද්ධතියක් ක්‍රියාත්මක වුවද එම පද්ධතිය විදේශ රටවල් සමග, සමාගම් සමග ඒකාබද්ධ වී තිබේ ද යන්න ගැටලු‍වකි. එම ගැටලු‍ව නිසියාකාරව විසඳා ගන්නා තෙක් බදුවල දුර්වලතා, බදුවල වංචා කිරීම් තවදුරටත් සිදුවනවා ඇත. මහා පරිමාණ මත්පැන් කර්මාන්තකරුවන් බදු ගෙවීම පැහැර හැර තිබුණි. එවැනි ක්‍රියා වැළැක්වීමට කොන්ද පණ ඇති නිලධාරීන් පුටුවල වාඩි කළ යුතුය. මෙම දුර්වලතා නිසියාකාර ලෙස හඳුනා නොගැනීම සහ ඒ සඳහා නිසි පිළියම් ලබා නොදීමෙන් තව දුරටත් බදු ඒකරාශි කිරීම යථාර්ථයක් නොවේ.

 

ප්‍රතිකර්ම යෙදීම

දිගින් දිගටම සිදුවන බදු වංචාවලින් අසාධාරණයට ලක්වන්නේ සුපුරුදු ලෙස බදු ගෙවන්නන් සහ අහිංසක දුප්පත් මහජනතාව වීම කනගාටුවට කරුණකි. මෙම බදු ගැටලු‍ හේතුවෙන් මේ වන විටත් බොහෝ වෘත්තියවේදීහු රට හැර ගොස් සිටිති. තවත් බොහෝ අය දැඩි ලෙස කලකිරීමට පත්වී ඇත්තේ බදු ගෙවීම සම්බන්ධයෙන් නොව නිසියාකාර ලෙස බදු භාවිත නොවන්නේ යන මතය නිසාවෙනි. ඉතා ඉක්මනින්ම අදාළ ආයතනවල පද්ධති ඩිජිටල්කරණයෙන් සහ ඒවා ඒකාබද්ධ කිරීමෙන් මෙකී ගැටලු‍වලට යම් පමණක විසඳුම් යෙදිය හැකිය. මෙම පද්ධති ඒකාබද්ධ කිරීමෙන් බදු වංචා සියයට සීයක් විසඳිය නොහැකි වුවත් සැලකිය යුතු ප්‍රමාණයක් විසඳිය හැකිය.  කාර්යක්ෂමව බදු එකතු කිරීම් සහ නිසි පරිපාලනයක් ද එමගින් සිදුකළ හැකිය. ඉහළ සිට පහළට මෙම ආයතනවල පවතින කළමනාකාරිත්ව දුර්ලතා හඳුනාගෙන ඒ සඳහා පිළියම් යෙදීම අත්‍යවශ්‍ය කාරණයකි. මෙම ආයතන පද්ධතිවල පවතින රෙගුලාසිවල දුර්වලතා හඳුනාගෙන වර්තමානයට ගැළපෙන පරිදි එකී රෙගුලාසි පාර්ලිමේන්තුව හරහා වෙනස් කරගැනීමේ අවශ්‍යතාවක් මතුව පෙනේ. ඒ සඳහා ඕනෑ තරම් විදේශ පුහුණුවීම් ලබා දීමට විදේශ ආධාර දෙන ආයතනය පෙළඹෙනු ඇත.

 

ජනතා විශ්වාසය ගොඩනැගීම

ලංකාවේ බදු ක්‍රමය පිළිබඳ ජනතාවට ඇත්තේ ජුගුප්සා ජනක හැඟීමකි. මනා පැහැදීමක් නැත. ආදායම් උපදවන පුද්ගලයන්ගෙන් කණ්ඩායම්වලින් නිසි ලෙස බදු එක් රැස් නොකිරීමේ ප්‍රතිඵලය වන්නේ එක විට වැඩි පිරිසකගෙන් බදු එක් රැස් කිරීමට යාමෙන් අවිශ්වාසය ගොඩනැගීමයි. මධ්‍යම පාන්තික වෘත්තීවේදීන්ගෙන් එක විට වැඩි බදු ප්‍රමාණයක් ඒකරාශී කිරීමට යාමේ දී වූ ගැටලු‍ සහගත තත්වයට තවමත් නිසි විසඳුම් ලැබී නැත. මෑත කාලීනව VAT බදු වැඩි කිරීමෙන් සියලු‍ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ ගියේය. ආර්ථිකයේ අස්ථාවරත්වයක් ද එමගින් හට ගැනිණි. තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා කාණ්ඩ අනුව බදු පැ​ෙනව්වේ නම් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පාලනය කරගැනීමට හැකියාව තිබිණි. රජයේ බදු ආදායම මේ වන විට යහපත් තත්වයක පවතින බැවින්  අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවලට  අය කරන බදු ප්‍රතිශතය අඩු කිරීමෙන් බදු ක්‍රමය සම්බන්ධයෙන් යම් පමණකට ජනතා විශ්වාසය ගොඩනැගිය හැකිය.  රජය ඒකරාශී කරන බදු නිසියාකාර ලෙස කළමනාකරණය කිරීමෙන් ජනතා සුබ සිද්ධියට එම මුදල් කැප කරන්නේ කෙසේ ද? රජයේ බදු මුදල් සොරකම් කිරීමෙන් වළක්වා ගන්නේ කෙසේ ද? යන කාරණා පිළිබඳව ජනතා විශ්වාසය ගොඩ නැගීමේ අභියෝගාත්මක කාර්යය ආණ්ඩුව ඉදිරියේ තිබේ.

කෙසේ වෙතත් දීර්ඝ කාලයක් පටන් රටේ බදු ක්‍රමයේ තිබූ විශාල හිඩස් නිසාවෙන් ආර්ථිකයට වූ හානිය කොතරම්දැයි යන්න තවමත් ගණනය කිරීමට නොහැකි වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ බදු ක්‍රමය සම්බන්ධයෙන් පෙන්වා දී ඇති ප්‍රතිසංස්කරණ ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමෙන් ස්ථීරසාර බදු ප්‍රතිපත්තියක්, සාධාරණ බදු ප්‍රතිපත්තියක් රට තුළ ස්ථාපනය කළ හැකි බව පෙනේ. ඒ අනුව සියලු‍ දෙනාට සාධාරණ වූ  බදු ප්‍රතිපත්තියක් රට තුළ ස්ථාපනය කිරීම  රජයක ප්‍රධාන කාර්යයක් බව පෙන්වා දිය යුතුය. තවදුරටත් රටේ ආර්ථිකයට සිදුවන අලාභය එමගින් අවම කර ගැනීමට හැකිවන බව පෙනී යයි. එසේ නොවුණහොත් අපට සිදුවන්නේ යළි යළිත් ආර්ථික අගාධයකට මං පාදා ගැනීමටය.

(***)



අදහස් (0)

සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථික පනතේ ඉලක්ක සැබෑවේද?
2024 මැයි මස 21 91 0

ඉකුත් මාර්තු 21 වැනි දින අමාත්‍ය මණ්ඩල රැස්වීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සංදේශයකට අනුව දැන් “ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතක්” පාර්ලිමේන්තුවට ඉදිරිප


ඉරාන තානාපතිට පහරදීම රටේ ප්‍රතිරූපයට හානියක්
2024 මැයි මස 21 537 0

මෙරට සිටින තානාපති ප්‍රජාව සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් අසන්නට නොලැබෙන අමුතු කතාවකට පසුගියදා මාධ්‍ය සිරස්තල වෙන්වී තිබිණි. මෙරට ඉරාන තානාපති, ආචාර්ය අල


ශ්‍රී ලංකාව ලෝක තලයට අවශ්‍ය සාධක
2024 මැයි මස 20 194 0

රටකට එහි ජාතික ආරක්ෂාව තහවුරු කරගැනීමට නම්, එරටට ප්‍රමාණවත් ධන අතිරික්තයක් තිබිය යුතු බව සහස්‍රයක් තිස්සේ ජාතීහු දැන සිටියහ. ඒ, එරට වාර්තමාන නිෂ්පාදනය


රේගුවේ ආදායම් අවභාවිතාව
2024 මැයි මස 20 687 0

ශ්‍රී ලංකා රේගුව රටට ආදායම් ගෙන එන ප්‍රධානම රාජ්‍ය දෙපාර්තමේන්තුවකි. රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා මේ වර්ෂය ආරම්භයේදී ප්‍රකාශ කර තිබුණේ


නීතියේ සදාචාරයේ විකෘතිය
2024 මැයි මස 18 468 1

ලබන සැප්තැම්බර් 17 වැනිදාත් ඔක්තෝබර් 16 වැනිදාත් අතර දිනෙක ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 9 වැනිදා නිවේදනයක් මගින් ප්‍ර


පාසල් දරුවන්ගේ උදේ ආහාරය සුළුවට නොතකමු
2024 මැයි මස 18 239 0

සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. පාඨලී චම්පික රණවක ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 849 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2394 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2054 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site