නොවැම්බර් මස අවසාන සතියේ දී ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ ආකාරයෙන් ඇති වූ මහා ගංවතුර හා නාය යාම් නිසා ඇති වූ විපත සම්බන්ධයෙන් ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජනබලවේගය ඇතුළු පාර්ලිමේන්තුවේ හා ඉන් පිටත සිටින විපක්ෂයේ නායකයන් ඉදිරිපත් කරන තර්ක වැඩි සංඛ්‍යාවක් ගැටලු සහගතය.
ඔවුන්ගේ ප්‍රධාන තර්කය වී ඇත්තේ මේසා විශාල විපතක් ඇතිවන බවට කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබියදීත් හානිය අවම කරගැනීම සඳහා ආණ්ඩුව කටයුතු නොකළ බවත් එහෙයින් මෙම විපතේ දී ඇති වූ ජීවිත හා දේපළ හානිවලට ආණ්ඩුව වගකිව යුතු බවත් එසේ ඇති වූ මරණ ආණ්ඩුව විසින් කරන ලද ඝාතන බවත්ය.
හානිය අවම කර ගැනීම සඳහා රටපුරා ඇති ජලාශවල ජලය කල් තබා මුදා හැරිය යුතුව තිබුණු බවත් ඔවුහු කියති. එහෙත් මෙසේ තර්ක කරන්නෝ ප්‍රශ්නයට අදාළ විෂයය පිළිබඳ විශේෂඥයන් නොව දේශපාලනඥයෝය. මෙවැනි විපතක් විය හැකි තරමේ කාලගුණික තත්වයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නොවැම්බර් 12 වැනිදා ප්‍රකාශ කළ බව ඔවුහු පවසති.
එහෙත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නොවැම්බර් 12 වැනිදා එවැනි කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා දෙසැම්බර් 3 වැනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ විට එය විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු ප්‍රතික්ෂේප කළේ නැත.
ඉදිරියේ දී ඇතිවිය හැකි කාලගුණික තත්වයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා නොවැම්බර් 12 වැනිදා පෞද්ගලික රූපවාහිනී නාළිකාවක සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබිණි. එසේ වුව ද ඔහු එහිදී මෙවැනි මහා විපතක් පිළිබඳ කිසිදු අනතුරු ඇඟවීමක් කර තිබුණේ නැත. ඔහු පැවැසුවේ පවතින කාලගුණික තත්වය අනුව වර්ෂාපතනයේ අඩුවීමක් විය හැකි බවත් එසේම දැනට පවතින කැළඹිලිකාරී ස්වභාවය අනුව අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමට ද හැකියාවක් ඇති බවත් තමන් සුළි කුණාටුව යන වචනය දැන්ම භාවිත නොකරන බවත්ය.
ඉන්පසු එම සම්මුඛ සාකච්ඡාව කළ ජනමාධ්‍යවේදියා ද කරුණානායක මහතා දැක් වූ අදහස්වලින් තමන් වටහා ගත් දේ කැටි කර දක්වමින් ‘ඔබතුමා කියන කාල සීමාව තුළ කියන පුරෝකථන අනුව වර්ෂාව අඩුවක් වෙන්න පුළුවන්, හැබැයි ඒ වගේම තමයි මේ කාලසීමාවේ තියෙන කැළඹිලි ස්වභාවයක් නිර්මාණය වීමේ ප්‍රවණතාවත් එක්ක ඒක ඕනෑම වෙලාවක වෙනස් වෙන්නත් පුළුවන්.’ යනුවෙන් ප්‍රකාශ කළේය.
ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙවැනි විශාල විනාශයක් ගෙන දිය හැකි ආකාරයේ කාලගුණික තත්වයක් ගැන නිසැකවම ප්‍රකාශ කර නැත. එසේ වුවද ඔහු අඩුපීඩන කලාපයක් ඇති වීමට ද ඉඩ ඇති බවක් පවසා ඇත. ඉන්පසු කාලගුණ දෙපාර්තමේන්තුව නොවැම්බර් අවසානය ළංවන විට මිලිමීටර් 150ක් දක්වා වූ වර්ෂාපතනයක් ලැබිය හැකි යැයි පුරෝකථනය කළේය. එහෙත් සැබැවින්ම ඇතැම් ප්‍රදේශවලට ලැබුණු මිලි මීටර් 450-500 වර්ෂාපතනයක් ගැන දෙපාර්තමේන්තුව කිසිදු තැනෙක කියා නැත. එහෙයින් මහා විනාශයක් ගැන දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කර නැත. ශ්‍රී ලංකාවේ විශාල විනාශයක් කළ සුළි කුණාටුවේ නම ‘දිට්වා’ යන්නද බොහෝ දෙනා දැනගත්තේ විනාශයේ අතරමගදීය.
එසේම කාලගුණ දෙපාර්තමේන්තුව කළේ යැයි කියන අනතුරු ඇඟවීම අනුව විනාශයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ජලාශවල ජලය පිට කළ යුතුව තිබිණැයි විපක්ෂය කරන තර්කය අනුව එසේ ජලය පිට කළ යුතු දින වකවානු ගැන ඔවුනට අවබෝධයක් තිබී ඇත. එසේනම් ඒ දින වකවානුවල වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජලාශවල ජලය පිට නොකළේ නම් විපක්ෂය එය එම නිලධාරීන්ට කිව යුතුව තිබිණි. ඔවුන් ඉන්පසුව ද එසේ නොකරන්නේ නම් ජනතාව දැනුවත් කර ජනතාව විනාශයට සූදානම් කළ යුතුව තිබිණි. ඔවුන් එසේ කළේ නැත.
දැන් සිදුවන්නේ එසේ ජනතාවගේ ජීවිත බේරා ගැනීමට කිසිදු උත්සාහයක් නොගත් විපක්ෂය දැන් එම විනාශයෙන් සිදුවූ ජීවිත හා දේපළ විනාශය ගැන කියමින් තමන්ට රාජ්‍ය බලය දෙන ලෙස කියා සිටීමය. මේ අනුව ආණ්ඩුව ජනජීවිත විනාශයට ඇද දැමුවේ යැයි ඔවුන් චෝදනා කරන්නා සේම ඔවුන් ද දේශපාලන වාසි ගැනීම සඳහා ජනතාව මිය යන්නට ඉඩ හැරියේ යැයි ආණ්ඩුවේ නායකයන් ද චෝදනා කළ හැකිය.
ඔවුන් ආණ්ඩුවට එරෙහිව මෙම චෝදනාව මුලින්ම එල්ල කළේ දෙසැම්බර් 1 වැනිදායි. අනතුරු ඇඟවීම කළ බව ඔවුන් කියන නොවැම්බර් 12 වැනිදා සිට දෙසැම්බර් 1 වැනිදා දක්වා ගත වූ දින 19 තුළ විපක්ෂයේ කිසිවකු එම අනතුරු ඇඟවීම ගැන කිසිදු තැනකදී වචනයක් හෝ සඳහන් කළේ නැත. ඉකුත් නොවැම්බර් 27 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විරුද්ධ පක්ෂවල මන්ත්‍රීවරුන් සමග පවතින ආපදා තත්වය ගැන සාකච්ඡා කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ. එහෙත් ප්‍රේමදාස මහතා හෝ වෙනත් විපක්ෂ මන්ත්‍රීවරයකු හෝ එම සාකච්ඡාවේ දී මේ චෝදනාව අනුව කරුණු දැක්වූයේ නැත.
මෙවර මෙම කාලගුණික විපතෙන් වැඩිම සංඛ්‍යාවක් මිය ගියේ ගංවතුරෙන් නොව නාය යාම්වලිනි. එම නාය යාම් ඇති වූයේ ජලාශවල ජලය පිට නොකිරීම නිසා නොවේ. ජලාශවල ජලය පිට නොකිරීම හා නායයාමේ අතර කිසිදු සබඳතාවක් නැත.
එසේම දිට්වා සුළි කුණාටුව බලපෑවේ ශ්‍රී ලංකාවට පමණක් නොවේ. තායිලන්තය, මලයාසියාව හා ඉන්දුනීසියාවටද එය බලපෑවේය. එම කුණාටුව නිසා ඉන්දුනීසියාවේ පමණක් 1100 දෙනකු පමණ බ්‍රහස්පතින්දා වන විට මිය ගොස් තවත් 500කට වැඩි පිරිසක් අතුරුදහන් වී සිටියහ. තායිලන්තයේ 300 දෙනකු පමණ මියගොස් ඇත. ඒ රටවල ද ජීවිත හානි සිදු වූයේ ජලාශවල ජලය කල්තබා පිට නොකර එක් වරම පිට කිරීම නිසා යැයි කිව හැකිද?
ඇත්ත වශයෙන්ම ජලාශවල ජලය කල් තබා පිට කළේ නම් මේ සා විශාල ගංවතුරක් ඇති නොවේ යැයි කියන්නට තරම් සංඛ්‍යා ලේඛන වැනි දත්ත තිබේද? මෙවර ආපදාවට අදාළව වැඩිම දින ගණනක් ජනමාධ්‍යවල ප්‍රධාන මාතෘකාව වූයේ කැලණි ගං මිටියාවතයි. එම මිටියාවතේ ගංවතුරට බලපෑවේ කුමන ජලාශයේ හෝ ජලාශවල ජලයද? ඒ කොපමණ ප්‍රතිශතයකින්ද යන්න කිව හැක්කේ කාටද?
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවා වර්ෂාව අඩු වෙන්නත් පුළුවන්, වායු ගෝලයේ අඩු පීඩන කලාපයක් ඇති වන්නත් පුළුවන් යැයි දෙකටම නැති කතාවක් කියන තත්වය යටතේ වාරිමාර්ග ඉංජිනේරුවන් කල්තබා ජලාශ විවෘත කළේ නම් හා ඉන්පසු ‘‘වර්ෂාව අඩු’’ වූයේ නම් ඒ අනුව කෘෂි කර්මාන්තයට හා විදුලි බල උත්පාදනයට ජලය ප්‍රමාණවත් නොවූයේ නම් විපක්ෂය කුමක් කියනු ඇත්ද?
ජලාශ විවෘත කිරීම ප්‍රමාද වීම නිසා ගලා ආ ගංවතුරේ ප්‍රමාණය වැඩිවීම අනිවාර්යය. එය පිළිගත යුත්තකි. එහෙත් ජලාශ කල් තබා විවෘත කළේ නම් විනාශකාරී ගංවතුරක් ඇති නොවේ යැයි කියන්නට ඇති සාධක මොනවාද? වෙනත් වචනවලින් අසන්නේ නම් ජලාශ කල් තබා විවෘත කළේ නම් ඇතිවිය හැකිව තිබූ ගංවතුරේ බලපෑම කොතෙක්ද? මෙවර ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 500 ඉක්ම වූ වර්ෂපතනයක් ලැබී තිබූ හෙයින් ජලාශවල බලපෑමෙන් තොරව වුවද ගංවතුරක් ඇතිවීම නොවැළැක්විය හැකිය.
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුලින් යෝජනා කළේ මෙම දිට්වා සුළි කුණාටු ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා රුපියල් බිලියන 15ක් වෙන් කරන ලෙසය. දැන් ආණ්ඩුව ඒ සඳහා රුපියල් බිලියන 32ක් වෙන්කර ඇත. එසේ තිබියදී ආණ්ඩුව මෙම ආපදාව හමුවේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රමාද වූ බව සජබ නායකයා චෝදනා කරයි. ඇත්ත වශයෙන්ම හදිසි අවස්ථාවක් ප්‍රකාශ කළ යුත්තේ ඇතැම් චක්‍ර ලේඛ මුදල් වියදම් කිරීමේ දී බාධා විය හැකි හෙයිනි. ඒ වනවිටත් ආණ්ඩුව සහන සේවා සඳහා රුපියල් බිලියන 32ක් වෙන් කර ප්‍රාදේශීය ලේකම්වරයකුට රුපියල් කෝටි 5ක් දක්වා වියදම් කිරීමට අවසර දී තිබිණි. කෙසේ වෙතත් ආණ්ඩුව දැන් චක්‍ර ලේඛවල බලපෑම ඉවත් කිරීමට හදිසි අවස්ථාව ද ප්‍රකාශයට පත් කර ඇත. හදිසි අවස්ථාව ඊට කලින් නොපැමිණවීම නිසා සහන කටයුතුවලට කිසිදු බාධාවක් ඇතිවී නොතිබිණි.
ආපදාවෙන් ජනතාව බේරා ගැනීමේදී හා බේරාගත් ජනතාවට සහන සැලසීමේදී ප්‍රාදේශීය වශයෙන් බොහෝ අඩුපාඩු සිදු වී ඇති බව සැබෑය. මෙතරම් විශාල නොවූ 2016 ගංවතුර ආපදාවේදී ජනතාව මුදා ගැනීම සඳහා රජයෙන් බෝට්ටු සැපයීමට පෙර කොළඹ ප්‍රදේශයට බෝට්ටු ගෙන ආවෝ දකුණේ හා බේරුවල, බළපිටිය ආදී ප්‍රදේශවල ධීවරයෝය. එසේ වන්නේ ආපදාවේ විශාලත්වයට ක්ෂණිකව මුහුණ දීමට තරම් සම්පත් හිඟවීම හා ඇතැම් දේශපාලනඥයන් හා නිලධාරීන් ප්‍රමාණවත් තරම් සංවේදී නොවීම නිසාය.
විපක්ෂය අඩුපාඩු පෙන්වා දීම කළ යුතුය. එහෙත් ඉක්මනින් බලයට පත්වීමේ අරමුණෙන් ජනතාව කුපිත නොකළ යුතුය. මෙවර සජබ මන්ත්‍රීවරයකු ගම්පොළ ප්‍රදේශයේ මිනිසුන් දහසක් පමණ මිය යන්නට ඇතැයි ආවේගයෙන් පවසනු රූපවාහිනී නාලිකා හා සමාජ මාධ්‍ය මගින් දැකගත හැකිවිය. එහෙත් එම සංඛ්‍යාවෙන් දහයෙන් එකක ජීවිත හානියක් හෝ එහි සිදුවී නොතිබිණි. දැන් එම මන්ත්‍රීවරයා කැමැති වනු ඇත්තේ තම ප්‍රකාශය සත්‍ය බව ඔප්පු වනු දැකීමටද අසත්‍ය බව ඔප්පු වන දැකීමටද? මේ මානසිකත්වය විස්තර කළ හැක්කේ කෙසේද? තමන් මේ කතා කරන්නේ මිනිස් ජීවිත පිළිබඳව යැයි එම මන්ත්‍රීවරයා සිතුවේද?
මේ අතර රට තමන්ට බාර දෙන ලෙස විපක්ෂ නායකවරයා කිහිප වතාවක්ම කියා සිටිනු අසන්නට ලැබිණි. එය විපක්ෂයේ විවේචනවල සමස්ත අරමුණ කැටි කර දැක්වීමකි. බලය සඳහා විපක්ෂයක් කටයුතු කිරීමේ කිසිදු වරදක් නැත. එය ඔවුන් කළ යුතුමය. එහෙත් ඒ සඳහා ජනතාව කුපිත කිරීම කෙසේවත් අනුමත කළ නොහැකිය.
මේ අතර සැබෑ ලෙසම ජනතාව දිනා ගන්නා අයුරින් කටයුතු කරන විපක්ෂයේ මන්ත්‍රීවරුද සිටිති. ආචාර්ය හර්ෂ ද සිල්වා එවැන්නකි. ඔහු ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු සමග එක්ව සහන කටයුතුවල යෙදිණි. මෙය බොහෝ දෙනාගේ සිත් ගත් කටයුත්තකි. ආණ්ඩුව පිහිටුවා ඇති සහන අරමුදලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගෙන ඊට නීත්‍යනුකූල භාවයක් දිය යුතු යැයි ඔහු පවසා තිබිණි. සමහර විට ආණ්ඩුවද එය දන්නවා විය හැකිය. කෙසේ වෙතත් එය බාරගත යුත්තේ යහපත් චේතනාවෙන් කළ ප්‍රායෝගික යෝජනාවක් ලෙසය.
කෙසේ වෙතත් දැනට ක්‍රියාත්මක හදිසි තත්වය විවේචකයන් මර්දනයට යොදා ගැනීමට නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල කරන යෝජනාවට කිසිසේත් එකඟ විය නොහැකිය. ජනාධිපතිවරයා සම්බන්ධයෙන් හා ආණ්ඩුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කුණුහරුප මිශ්‍රිත අපහාස කරන්නෝ සිටිති. ඔවුන් සම්බන්ධයෙන් රාජපක්ෂ යුගයේ ප්‍රතිචාර නොව සාමාන්‍ය නීතිය යටතේ ප්‍රතිචාර දැක්වීමට විරුද්ධ වීමට ද කිසිවකුටත් නොහැකිය.
(*** එම්.එස්.එම්. අයුබ්)
2025 දෙසැම්බර් මස 04
206
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුළියට අහුවුණු විපක්ෂය
කපිල ශිරන්ත Saturday, 06 December 2025 02:26 PM
ආණ්ඩුවට සුදු හුණු ගෑමේ අසාර්ථක ප්‍රයත්නයක්. කණගාටුයි.