සෑම වසරකම සැප්තැම්බරය සැලකෙන්නේ ‘සාහිත්‍ය මාසය’ ලෙසයි. සාහිත්‍යය හා ඍජුව සම්බන්ධ වූ විවිධ කි‍්‍රයාකාරකම් රැසක් සිදු කෙරෙන මාසයක් වන සැප්තැම්බරය මේ නිසාම ප‍්‍රකාශක, ලේඛක, පාඨක, රසික, කාගේත් අවධානයට ලක්වූ කාලපරිච්‍ජදයක් බවට පත්ව තිබේ. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශ ද මේ කටයුතු මෙහෙයවීමේ දී දක්වන උනන්දුව ද කැපී පෙනේ. රාජ්‍ය සාහිත්‍ය උළෙල, විද්‍යෝදය සම්මාන උළෙල, ගොඩගේ සම්මාන ප‍්‍රදානය, ස්වර්ණ පුස්තක සම්මාන උළෙල, කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ආදී විවිධාංග සාහිත්‍ය මාසයේ කි‍්‍රයාකාරකම් අතර කැපී පෙනේ. කෙසේ වතුදු සාහිත්‍ය මාසය වඩාත් අර්ථවත් වන්නේ එහි කි‍්‍රයාකාරකම් සාහිත්‍යයට හා ජන සමාජයට තදානුබද්ධ වන අන්දම සලකාගෙනය. දැන් එළැඹ ඇත්තේ සාහිත්‍ය මාසයයි. සාහිත්‍ය මාසයක් නම්කරන්නේ ඇයි? එහි අරමුණු කුමක්ද? එකී අරමුණු මේ වනවිට සාධනය වී ඇද්ද? ඉටු නොවූ අරමුණු කවරේද? යන්න විමසමින් සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ විද්වතුන් පළ කළ අදහස් එකතුවක් මෙසේ ගොනු කොට දක්වමු.

ලේඛකයන් අමනාප වන මාසයක් වේවිද?

ප‍්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි

කලාව සාහිත්‍යය මිනිසාගේ සමස්ත ජීවිතය සමග බැඳී පවතින දෙයක්. මිනිසුන්ගේ ජීවිත කාලය තුළම කලාව හා සාහිත්‍යය පරිශීලනය කිරීමෙන් ලබාගන්නා වූ ආධ්‍යාත්මික හා භෞතික ප‍්‍රයෝජන සීමා කළ නොහැකිය. කාව්‍ය ශාස්ත‍්‍ර විනෝදේන කාලො ගච්චති ධීමතඃ යනුවෙන් පැරැණි සංස්කෘත කියමනක් තිබෙනවා. ඒ කියමනට අනුව පඬිවරුන් කාලය ගත කරන්නේ කාව්‍ය ශාස්ත‍්‍ර විනෝදයෙන්. මෝඩයන් කල්ගත කරන්නේ එක්කෝ තමන්ට විපතක් කරගනිමින් නැතිනම් අනුන්ට විපත් ගෙනදෙමින්. සාහිත්‍යයෙන් පිරුණු ජීවිතයත් සාහිත්‍ය ඇසුරක් නොමැති ජීවිතයත් එනයින් අපට වටහා ගන්න පුළුවන්. මේ සා විශාල ප‍්‍රතිලාභ මනුෂ්‍ය ජීවිතයට ලබාදෙන ව්‍යාපෘති පාසල් අධ්‍යාපනයෙන් ඉවත් කිරීමෙන් තරුණ පරම්පරාවට සිදුවූ ව්‍යසනය විපත්තිය සම කළ හැක්කේ ‘සුනාමිය’ වැනි බලවත් විපත්තිදායක උවදුරකටයි. භාෂා සාහිත්‍යය පාසල්වලින් ඉවත් කිරීමේ විපාකය අද විශ්ව විද්‍යාල පද්ධතිය කලාව හා සාහිත්‍යය සම්බන්ධයෙන් දක්වන අඩු උනන්දුව මගින් වටහා ගත හැකියි. සංගීතය සාහිත්‍යය පිළිබඳ අල්ප දැනුමක් ඇති ස්වයං නිර්මාණ පරිසරයක් නැති අනුන්ගේ ගීත ගයන සුපිරි තරු, සරසවිවලට කැඳවාගෙන සංගීත ප‍්‍රසංග පැවැත්වීමේ තැනට අද විශ්වවිද්‍යාල පත්ව තිබීම කනගාටුවට කරුණක්. ඒත් එදා පේරාදෙණි සරසවිය ගාන්ධර්ව සභාවට ආරාධනාපත් ලබන්නේ පණ්ඩිත් අමරදේවයන් පමණයි. එහි ප‍්‍රමිතිය එතරම් උසස් තත්ත්වයක පවත්වාගෙන යාමට මහාචාර්ය සරච්චන්ද්‍ර ඇතුළු පිරිස එදා වග බලාගත්තා. 1977 විවෘත ආර්ථික කි‍්‍රයාවලියත් සමග මේ රටේ කලාව සාහිත්‍යය ඉතිහාසය පමණක් නොව, සියලූම සංස්කෘතික වටිනාකම් බිඳී විසිරී ගොස් ඇති බව සමාජය දෙස බැලීමෙන් පසක්කරගන්න පුළුවන්. එවැනි ප‍්‍රබල ප‍්‍රයෝජන සහිත කාව්‍ය ශාස්ත‍්‍ර ව්‍යාපෘති නොසලකා හැරීමෙන් මේ ජන සමාජය ලැබූ පාඩුව කොතෙක් දැයි ගණන් බැලීමට නොහැකියි. මේ රටේ සිදුවන්නා වූ මිනී මැරුම්, සොරකම් ස්ත‍්‍රී දූෂණ ආදීකොට ඇති සියලූ අපහරණවලට මුල් වී ඇත්තේ සාහිත්‍යය ගැන මිනිසුන් තුළ අවබෝධයක් නොමැති වීමයි. මේ තත්ත්වය සමනය කර ගැනීමට සාහිත්‍ය මාසයට කළ හැක්කේ කුමක්ද? දැන් තිබෙන තත්ත්වයේ හැටියට එය හුදෙක් කලාකරුවන් අතර අමනාපකම් ඇති කරගන්නා මාසයක් හැටියට නම් කිරීම වඩාත් හොඳයි. සාහිත්‍යය ගැන පාසල තුළත් සරසවිවලත් රැකියා ස්ථානවලත් කි‍්‍රයාකාරි වැඩ පිළිවෙළක් ඇති කිරීමයි වැදගත්. අධ්‍යාපන සංස්කෘතික, බුද්ධශාසන, ජනමාධ්‍ය යන අමාත්‍යාංශවල පැහැදිලි සහයෝගයක් මේ සඳහා ලබාදිය යුතුව තිබෙනවා. මේ තිබෙන අඳුරු අගාධයෙන් රට ගොඩ ගැනීමට නම් ඉහත අමාත්‍යාංශවල මැති ඇමැතිවරුන් සියලූ කලාකරුවන් පෙරටු කර ගනිමින් දිවයින පුරා සාහිත්‍යය පිළිබඳ උනන්දුවක් ඇති කරලීමට මහන්සි වී කි‍්‍රයාකළ යුතු කාලය පැමිණ තිබෙනවා. විනිවිද භාවයෙන් තොර සම්මාන ප‍්‍රදානෝත්සවවලින් ඇති වන්නේ සෝ ළතැවුල් පමණයි. ඒවායින් සාහිත්‍යයේ දියුණුවට යමක් සිදුවන්නෙත් නෑ. හොඳම නවකතාව කෙටිකතාව ආදිය තේරීමේ දී තීන්දුව දීමට අඩුම ගණනේ මාස හයක්වත් අවශ්‍යයි. එසේ නොමැතිව පොතේ පිටකවරය බලා සම්මාන දීමට යාමෙන් සිදු වී ඇත්තා වූද, සිදුවන්නා වූද විපත අති විශාලයි. ඒ නිසා සාහිත්‍යය මාසයකට සීමා නොකොට දිනපතා භාවිත වන තැනකට ඒ විෂය පථය ගෙන යායුතු බව අවධාරණය කිරීමට කැමතියි.

ලේඛකයන්ට අං තට්ටු පළඳවන මාසයක්

සාහිත්‍ය ශූරී ඩබ්ලියු.ඒ. අබේසිංහ

සාහිත්‍ය මාසය ගැන කතාකරන බොහෝවිට කාගේත් අවධානය යොමු වන්නේ රාජ්‍ය සාහිත්‍ය උත්සවය දෙසටයි. රාජ්‍ය සාහිත්‍ය උත්සවයට ආණ්ඩුවේ සහයෝගය ලැබෙන නිසා, ඒ දෙස ජනතාව බලාගෙන ඉන්නේ බලාපොරොත්තු සහිතවයි. ඒ නිසා සැප්තැම්බරයේ සාහිත්‍ය උත්සවය රාජ්‍ය මුද්‍රාව තබාගෙන කරන ජාතික මහෝත්සවයක් බවයි කියැවෙන්නේ. ඒනිසාම ලේඛකයන් සාහිත්‍ය රසිකයන් පමණක් නොව සමස්ත ජනතාවම වැඩි බලාපොරොත්තු තබාගන්නා උළෙලක් මේක. එහෙම බැලූවාම සාහිත්‍ය මාසයයි. සාහිත්‍ය උළෙල සැහැල්ලූවෙන් සිතා අත හරින්න බෑ. ගොඩනැගිල්ලක් සාදා විවෘත කරනවා මෙන් ඒ දේ කරන්න බෑ. ඒත් අපි ප‍්‍රශ්න කළ යුත්තේ ඒ දේ හරියාකාරව කෙරෙනවාද යන්න ගැනයි. අප දන්නා කාලයේ පටන් සාහිත්‍ය උත්සවය හරියාකාරව නොකෙරුණත් ඒවා කරවන අය සිතා සිටින්නේ එය ඔවුන් කළ මහා ලොකු වැඩක් කියායි. සාහිත්‍ය මාසයේ සාහිත්‍ය උත්සවය සංස්කෘතික අමාත්‍යාංශයේ තවත් එක් ව්‍යාපෘතියක් පමණයි. ඒ උත්සවයේ අඩුම අවධානයට ලක් වන්නෙත් ලේඛකයන් සහ පාඨක පිරිසයි. එය දේශපාලකයන් ඉස්මතු වන උත්සවයක්. සාහිත්‍ය මාසය ජනතාව ගොනාට අන්දවා ලේඛකයන්ට අං තට්ටු පළදවන මාසයක්. එසේම සැප්තැම්බරය යනු බංකොළොත් දේශපාලකයන්ට වාර්ෂිකව ඇදෙන ලොතරැයියක්. මේ ලොතරැයියෙන් සහන දිනුම් ඇදෙන පිරිසකුත් ඉන්නවා. ඒ තමයි සංස්කෘතික අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවල නිලධාරීන්. සාහිත්‍ය උත්සවය සංවිධානයට ලබාදෙන දීමනා, නවාතැන් පහසුකම්වල වියදම බැලූවාම එය සාහිත්‍ය ත්‍යාගයටත් වඩා විශාලයි. ඒත් ජනතාවගේ පැත්තෙන් බැලූවොත් සාහිත්‍ය උත්සවය නිකම්ම නිකං සූරන ලොතරැයියක් විතරයි. බොහෝවිට කිසිම තෑග්ගක් ලැබෙන්නේ නෑ. සාහිත්‍ය මාසයේ කළ යුත්තේ මේ ක‍්‍රමය වෙනස් කිරීමට ගැලපෙන චින්තනයක් ගොඩනැගීමයි.

දේශපාලකයන් සතුටු කිරීමට සාහිත්‍ය මාසය යොදාගන්න එපා

ප‍්‍රවීණ ලේඛක කේ. ජයතිලක

‘සාහිත්‍ය මාසය’ වෙනුවට මුලින් යෙදී තිබුණේ සාහිත්‍ය දිනයක්. ඒ සැප්තැම්බර් 08 වැනිදා. කෙසේ වුවත් කල් යාමෙන් සාහිත්‍ය මාසය යන්න ස්ථාවර වුණා. පොදුවේ බැලූවාම සාහිත්‍ය මාසයට යම් පිබිදීමක් ඇති බව පිළිගත යුතුයි. ලේඛකයන්ටත් ඒ ගැන උනන්දුවක් ඇතිවන බවත් පෙනෙනවා. සාහිත්‍ය මාසයට ඉලක්ක කරගෙන පොත් ලියන අයත් ඉන්නවා. ඒත් එහෙම පොත් ලියන ක‍්‍රමයක් ගැන මම නම් දන්නේ නැහැ. පොත් අලෙවිය පැත්තෙන් බැලූවාම නම් ඒ ගැන සැප්තැම්බරයේ යම් උනන්දුවක් තිබෙනවා. මේ ගැන පොදු සමාජයේ යම් මතයක් ගොඩනැගී තිබෙනවා. ඒ කුමක්වුවත් සාහිත්‍ය නිර්මාණවල ගුණාත්මක පක්‍ෂයේ පිරිහීම ගැන මේ කාලයේ විශේෂයෙන් කතා කළ යුත්තක්. මොනවාහරි ලියලා පොත් විකුණා ගැනීමේ කලාවක් අද බිහිවෙලා. කොයිම රටකවත් සාහිත්‍යය ඍජු රේඛාවක් දිගේ ගමන් කරලා නෑ. එහි නැඟීම් මෙන්ම බැසීම් ද තිබෙනවා. ලංකාවෙත් එහෙමයි. නිර්මාණවල ගුණාත්මක බව බැලූවොත් නම් අද තිබෙන්නේ බැසීමක්. සාහිත්‍ය මාසයේ දී ඒ ගැන කල්පනා කිරීම වැදගත්. කෙසේ වෙතත් දේශපාලකයන් සතුටු කිරීමටත් සාහිත්‍ය මාසය යොදා ගන්නා බව පෙනෙන්නට තිබෙනවා. එය වැරදියි. ජනාධිපතිවරයා හෝ සංස්කෘතික ඇමතිවරයා සතුටු කිරීමට සාහිත්‍ය උත්සව යම් යම් ප‍්‍රදේශවලට රැගෙන යාමෙන් පමණක් සාහිත්‍ය ප‍්‍රබෝධයක් ඇති කරන්න බෑ.

කිසිම අදහසක් නෑ

මහාචාර්ය සුචරිත ගම්ලත්

සාහිත්‍යය මාසය ගැන මට කිසිම අදහසක් නෑ

මාසයක් වෙන්කළ පමණින් හොඳ සාහිත්‍යයක් බිහිවන්නේ නෑ

ප‍්‍රවීණ ලේඛිකා ජයන්තා රුක්මනී සිරිවර්ධන

සාහිත්‍ය මාසය යනුවෙන් මාසයක් නම් කිරීමේ වරදක් මට පෙනෙන්නේ නෑ. ඒත් සාහිත්‍යයට මාසයක් නම් කිරීමෙන් පමණක් සාහිත්‍යය නංවන්න බෑ. කෙසේ වෙතත් සාහිත්‍ය මාසයෙන් මේ සමාජය අපේක්‍ෂා කළ අරමුණු ඉටු වී ඇද්ද යන්න ගැටලූ සහගතයි. යම් යම් පරමාර්ථ සාධනය වී තිබුණත් එය ප‍්‍රාමාණික යැයි කියන්න බෑ. පනස් ගණන්වල පොතක් මුද්‍රණය කළාම පිටපත් පන්දහසක් පමණ විකිණෙන බවට තොරතුරු තිබෙනවා. ඩබ්ලිව්.ඒ. සිල්වා, පියදාස සිරිසේන ආදීන්ගේ නිර්මාණ ඊට උදාහරණයි. එහෙත් අද පොතකින් පිටපත් දහසක්වත් විකුණගන්න බෑ. ජනගහනය වර්ධනය වෙලත්, ශාක්‍ෂරතාව ඉහල මට්ටමක තිබිලත් සාහිත්‍යයට මාසයක් වෙන් කරලත් ඒ තත්ත්වය ඇතිවන්නේ ඇයිද යන්න ගැටලූ සහගතයි. පාඨක ලෝකය පුළුල් නොවීමට හේතුව නම් සාහිත්‍ය රුචිකත්වය වර්ධනය නොවීමයි. පාසල්වලත් අද තැන ලැබෙන්නේ විෂය කරුණුවලටයි. පාඨක ලෝකය පුළුල් නොවීමට බලපෑ අනෙක් කරුණ නම් ආර්ථික ගැටලූයි. හැත්තෑව දශකයේ මැද පන්තිකයන් මාස් පඩියෙන් පොත් පත් ගැනීමට මුදලක් වෙන් කළා. ඒත් අද එවැනි අරපිරිමැස්මක් කිරීම අසීරු බවයි පෙනෙන්නේ. කියැවීම අඩුවීමට රූපවාහිනිය යම් තරමකට බලපා ඇතත් රූපවාහිනිය රසිකත්වය නැංවීමේ මාධ්‍යයක් ලෙස යොදාගත හැකියි. දියුණු රටවල සාහිත්‍ය කලාව රසිකත්වයට වෙන් වූ වෙනම නාලිකා තිබෙනවා. එහෙත් ලංකාවේ තත්ත්වය ඊට වෙනස්. මේ සියල්ලෙන් අපට පැහැදිලි වන්නේ සාහිත්‍යයට මාසයක් වෙන් කළ පමණින් හොඳ සාහිත්‍යයක් බිහිවන්නේ නැති බවය.

ශ්‍රී ලාංකික සාහිත්‍යයක් ගොඩනැගීමට පදනම දමමු

ප‍්‍රවීණ ලේඛකමඩුළුගිරියේ විජේරත්න

යුද්ධයෙන් පස්සෙ මේ රට ඒකීය රාජ්‍යයක් බවට පත්වුණා. එබැවින් මේ රටේ මේ මොහොතේ ගොඩනැගිය යුත්තේ ශ්‍රී ලාංකික සාහිත්‍යයක්. එහෙත් එය තවමත් හරියාකාරව ස්ථාපිත වී ඇති බවක් පෙනෙන්නට නැහැ. ලේඛකයන්ද විවිධ පැතිවලට ඇදෙමින් සිටින බවයි පෙනෙන්නේ. මගේ අදහස නම් මේ සාහිත්‍ය මාසයේදීවත් ශ්‍රී ලාංකික සාහිත්‍යයක් බිහි කිරීමට පදනම දැමිය යුතුය යන්නයි. මා එයින් කියන්නේ සිංහල සාහිත්‍යය අවතක්සේරු කළ යුතු බව නොවෙයි. සිංහල සාහිත්‍යයටත් දෙමළ සාහිත්‍යයටත් පැහැදිලි අනන්‍යතාවක් තිබෙනවා. ඒත් මේ දෙකම එකම මවුබිම තුළ උපන් නිවුන් සොයුරන් වගෙයි. සාහිත්‍ය මාසයේ දී හුදු සම්මාන දීම ගැන පමණක් අවධානය යොමු කිරීම ප‍්‍රමාණවත් නෑ. අනෙක් අතට ඒ සම්මාන ප‍්‍රමිතිගතව කෙරෙනවාද යන්නත් අද පවා කතා බහට ලක්වන කරුණක්. එය මේ රටේ සාහිත්‍ය අනුමණ්ඩලය සොයා බැලිය යුතු කරුණක්. සම්මාන සඳහා කෙරෙන ඇඟිලි ගැසීම් කවදාවත් සාහිත්‍යයේ දියුණුවට හේතුවන්නේ නෑ. ඇත්තෙන්ම සාහිත්‍ය මාසයේ පිදෙන සාහිත්‍ය සම්මාන හොඳ කෘති බිහි කිරීමට දායකත්වයක් සැපයිය යුතුයි. පාඨක සමාජය එන්න එන්නම දුප්පත්නම් මාසයක් නොවෙයි, අවුරුද්දම සාහිත්‍යයට වෙන් කළත් වැඩක් වෙන්නේ නෑ. රැල්ලට යන පාඨක සමාජයකින් අපේක්‍ෂිත අරමුණු ඉටු වන්නේ නෑ. එබැවින් යහපත් පාඨක ලෝකයක් බිහි කිරීමට පදනම දැමිය යුතු කාලය ඇවිත්. ප‍්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි සාහිත්‍ය ශූරී ඩබ්ලියු.ඒ. අබේසිංහ මහාචාර්ය සුචරිත ගම්ලත් ප‍්‍රවීණ ලේඛක මඩුළුගිරියේ විජේරත්න   ප‍්‍රවීණ ලේඛිකා ජයන්තා රුක්මනී සිරිවර්ධන ප‍්‍රවීණ ලේඛක කේ. ජයතිලක