IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සිරිපා වන්දනා සමය

2021/22 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කරමින් සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමාව ශ්‍රී පාද පත්මය කරා වැඩමකරවීමේ පෙරහර හැටන් මාර්ගය, පලාබද්දල මාර්ගය, බලංගොඩ මාර්ගය හා කුරුවිට මාර්ගය යන මාර්ග හතරක් ඔස්සේ ගමන් කරනු ලැබේ. ඒ අනුව දීර්ඝ කාලයක සිට කුරුවිට ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමක් මල්ඵල ගන්වමින් ⁣ මෙවරත් අද (17 වැනිදා) ඓතිහාසික කුරුවිට එරත්න ශ්‍රී පාද මාර්ගය ඔස්සේද සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමාව ශ්‍රී පාද පත්මය කරා වැඩමකරවනු ලැබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

මෙවරද ගෞතම ශ්‍රීපාදස්ථානාධිපති, පැල්මඩුල්ල රාජමහා විහාරාධිපති, පොත්ගුල් රාජමහා විහාරාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, බෙංගමුවේ ධම්මදින්න නාහිමිපාණන් වහන්සේගේ අනුමැතිය හා ආශිර්වාදයෙන්, රත්නපුර දිස්ත්‍රික් ලේකම් / මහ දිසාපති, මාලනී ලොකුපෝතාගම මහත්මියගේ මඟපෙන්විමෙන්, කුරුවිට ප්‍රාදේශීය ලේකම් භාග්‍ය බටුගෙදර මහතාගේ උපදෙස් පරිදි කුරුවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් ප්‍රදේශයේ සියලුම රාජ්‍ය, පෞද්ගලික හා ස්වේච්ජා සංවිධානවලද, ප්‍රදේශවාසීන්ගේද දායකත්වයෙන් පෙරහර කටයුතු සංවිධාන කර ඇත.

හිටපු ප්‍රාදේශීය ලේකම් දිලින ධර්මදාස මහත්මියගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද මෙම පෙරහර මංගල්‍යය මෙවර පැවැත්වෙනුයේ තුන්වැනි වරටය.

කුරුවිට ප්‍රදේශය හා ශ්‍රී පාද පත්මය අතර පවතිනුයේද හරි අපූරු සබැඳියාවකි. ඉපැරණි රාජ සමයේ පළාත් බෙදීම අනුව ශ්‍රී පාද පත්මය පිහිටා ඇති සමනල කන්ද පිහිටා ඇත්තේද ඓතිහාසික කුරුවිට කෝරළය තුළය. එසේම එරත්න මාර්ගය වූ කලී පුරාණයේ සිටම ශ්‍රී පාද පත්මය කරා තිබූ පැරණිතම මාර්ගයකි.

ඉතා අතීතයේ දී ගම් නියම්ගම්වල සිට ගැල්වලින් හෝ පාගමනින් කුරුවිට දක්වා පැමිණ, එතැන් සිට පාගමනින්ම එරත්න හරහා දීර්ඝවූත් වෙහෙසකරවූත් වන්දනාවකින් පසුව ශ්‍රී පාද පත්මය වැඳපුදා ගැනීම එකල අපේ මුතුන්මිත්තන්ගේ සිරිතක්ව පැවතුණි.

අනතුරුව ඉංග්‍රීසි පාලන සමයේදී ආරම්භභ වූ ”‍පුංචි කෝච්චියෙන්”‍ කුරුවිට දුම්රිය ස්ථානය කරා පැමිණ එතැන් සිට එරත්න මාර්ගය ඔස්සේ ශ්‍රීපාදය වන්දනා කිරීමේ සම්ප්‍රදායක්ද බිහි විය. විශේෂයෙන්ම එකල කොළඹ ප්‍රදේශයේ වන්දනාකරුවන්ගේ ජනප්‍රියම ශ්‍රී පාද වන්දනා මාර්ගය වූයේද එරත්න මාර්ගය ම ය.

පසුකාලීනව අනෙකුත් මාර්ගවල පහසුකම් සංවර්ධනය වී, ජනප්‍රියවීමෙන් කුරුවිට මාර්ගය වන්දනාකරුවන්ගෙන් ඈත්විය. එහෙත් මෑතකාලීනව රත්නපුර මහ දිසාපතිතුමියගේ මඟපෙන්වීමෙන් හා කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් විවිධ රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි ද, විවිධ දානපතීන්ගේ ද දායකත්වයෙන් පහසුකම් වැඩිදියුණු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නැවතත් වන්දනාකරුවන් අතර ජනප්‍රියම වන්දනා මාර්ගයක් බවට එරත්න මාර්ගය පත්වී ඇත.

විශේෂයෙන්ම ඉපැරණි ශ්‍රී පාද වන්දනාවේ අත්දැකීම් උපරිමයෙන්ම ලබාගත හැකිවන පරිදි ස්වභාවික ගමන් මාර්ගය දැනට ශේෂව පවතිනුයේ එරත්න මාර්ගයේ පමණක්ම බැවින්ද ශ්‍රී පාද පාරිසරික පද්ධතියේ විශ්මිතය උපරිමයෙන්ම විඳගනිමින් වන්දනා කළ හැකි බැවින්ද වර්තමානයේ තරුණ පරපුර අතර මෙම එරත්න මාර්ගය වඩාත්ම ජනප්‍රියවෙමින් පවතී.

එරත්න මාර්ගය ඔස්සේ සමන් දේව ප්‍රතිමාව වැඩම කරවීමේ පෙරහර ආරම්භ කිරීමත් සමඟම තවදුරටත් වන්දනාකරුවන් අතර මෙම මාර්ගය ජනප්‍රිය වී ඇති බව පසුගිය වන්දනා වාරවලදී දැකගත හැකිවිය.

ඒ අනුව අතීතයේ දී ශ්‍රීපාද වන්දනාවාරය සමඟින් බැඳි පැවතුණු කුරුවිට එරත්න ප්‍රදේශවාසීන්ගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික හා ආගමික සබැඳියාව නැවතත් පණගැන්වීමට හැකිවීම සැබැවින්ම සතුටට කරුණකි.

මෙවර පෙරහර මේ මස 17  වැනිදා හිමිදිරියේ ඓතිහාසික ගල්පොත්තාවල රාජමහා විහාරස්ථානයෙන් රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේ ගමන් කරන පෙරහර සමඟ ඒකාබද්ධව ආරම්භ වන අතර රත්නපුර නගරය හරහා සමන් දේවාලය දක්වා පැමිණ එහි වත්පිළිවෙත් ඉටු කිරීමෙන් අනතුරුව පෙරහර දෙක වෙනස් මාර්ග දෙකක් ඔස්සේ ගමන් කරනු ඇත.

මෙහිදී කුරුවිට එරත්න මාර්ගය ඔස්සේ ගමන් කරනු ලබන රිය පෙරහර සමන් දේවාලයේ සිට රත්නපුර - පානදුර මාර්ගය ඔස්සේ ගමන් කර ගොරකඇළ මංසන්ධියෙන් හැරී කිතුල්පේ, පාතගම, පහළ කුරුවිට හරහා කුරුවිට නගරයට ප්‍රවිෂ්ට වනු ඇත. අනතුරුව කුරුවිට එරත්න මාර්ගයේ එක්නැළිගොඩ, සුදගල, බටතොට, ලක්සකන්ද, එරත්න, අඩවිකන්ද හරහා වර්ණගල දක්වා ගමන් කරනු ඇත.

අනතුරුව වර්ණගල සිට ඓතිහාසික එරත්න ශ්‍රී පාද මාර්ගය ඔස්සේ සීතගඟු‍ල, බේරුමණ්ඩිය, දෙමළමළහින්න, මැදහින්න, ගෙත්තම්පාන, හැරමිටිපාන, ගල්වංගෙඩිය, ආඬියාමලතැන්න ඔස්සේ මහගිරිදඹ තරණය කර ශ්‍රී පාද පත්මය කරා උඳුවප් පෝ දින අලුයම වන විට පාගමනින්ම සධාතුක කරඬුව හා සමන්දේව ප්‍රතිමාව වැඩම කරවනු ඇත. මේ අනුව වැඩිම දුරක් පාගමනින් සමන් දේව ප්‍රතිමාව වැඩම කරවනුයේද එරත්න මාර්ගය ඔස්සේමය.

උඳුවප් පෝ දින අලුයම ශ්‍රීපාදස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් පැවැත්වෙන වත්පිළිවෙත්වලින් අනතුරුව මෙවර 2021/2022 ශ්‍රී පාද වන්දනා සමය නිල වශයෙන් ආරම්භ වනු ඇත.

(***)
කුරුවිට සහකාර ප්‍රාදේශීය ලේකම්
ටී.ඩී. නිහාල්



අදහස් (0)

සිරිපා වන්දනා සමය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 512 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site