සීමාසහිත විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් ඓතිහාසික තන්තිරිමලේ පුදබිම පොසොන් පෝය නිමිත්තෙන් 17 වැනි වතාවටත් මේ මස 5 සහ 6 දෙදින අලෝකවත් වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

නමින් එය තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව ය. ‘විජය’ පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව 2004 වසරේ ඇරඹුණි ‘ලංකාදීප පොසාන් ආලෝක පූජාව’ මෙවර පැවැත්වෙන්නේ ලබන මෙම 5 සහ 6 වැනි දිනවලය. බිහිසුණු යුද සමයේදී  තන්තිරිමලේ  අද තරම් සංචාරකයන්ගේ හා සැදැහවතුන්ගේ ගමනාන්තයක් වූයේ නැත. එනමුත් එහි ඇති ඓතිහාසික හා කාලීන වටිනාකම ද හෙළිදරව් කරමින් විජය පුවත් පත් සමාගම ලබාදුන් බැතිබර දායකත්වය පවතින අභියෝගාත්මක තත්ත්වය තුළ පවා නොනවත්වා ඉටුකිරීමට පියවරගෙන තිබීම විශේෂත්වයකි.

සිරිමා බෝ රදුන් වැඩම කළ එදා එම ජනපදය තිවක්ක බමුණුගම යි. රජරට ශිෂ්ටාචාර සමයේ පුරාණ ස්ථාන හඳුනා ගැනීමේ ලා උගතුන් විසින් කර ඇති අධ්‍යයනයන් අතර වඩාත් සුවිශේෂී  සී. ඩබ්ලිව්. නිකලස් විසින් කරන ලද පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය   ((Journal of the Ceylon Branch of the Royal Asiatic Society; New Series, Vol. xxi1979) අනුව  තන්තිරිමලේ උතුරු මැද පලාතේ විලච්චි කෝරළයේ කඩවත් තුලානෙහි උසින් ම පිහිටි පර්වත සහිත භූමියක  පිහිටියේ ය. තව ද අනුරාධපුරයේ සිට කි.මී. 40ක් පමණ වයඹ දෙසින් මන්නාරමට (පුරාණ මහාතිත්ථ) යන මාර්ගය අසල මල්වතු ඔයට නුදුරින් පිහිටියේ ය.

දඹකොලපටුනේ සිට ශ්‍රී මහා බෝධිය රැගෙන එන විට වඩා තැබූ ස්ථානයක් ලෙස තිවක්ක බමුණු ගම් දොර වූ බවත් බෝධි රෝපණ උත්සවයට තිවක්ක බමුණා පැමිණි බවත් මහාවංශයේ සඳහන් ය. (මව. 19 පරි.)  තිවක්ක බමුණා යනු දේවානම් පියතිස්ස මහ රජුගේ හිතෛශි මෙහි ප්‍රාදේශීය පාලකයායි. වර්තමානයේ ද බොහෝ  උගතුන් විසින් තන්තිරිමලේ හඳුනාගෙන ඇත්තේ ශ‍්‍රී මහා බෝධි ශාඛාව රැගෙන එන විට තාවකාලිකව තැන්පත් කළ ස්ථානයක් වශයෙන් හා පළමු අෂ්ට ඵල බෝධියක් රෝපණය කළ තිවක්ක බමුණු ගම ලෙස ය.

අනුරාධපුර යුගයේ මුල් අවදියේ සිට අග භාගය දක්වා විහිදෙන පුරාවිද්‍යාත්මක සාධක පිරුණු  තන්තිරිමලය, සඟමිත් මහරහත් තෙරණින්ගේ පා පහස ලත්, සිරිමා බෝ සමිඳු එක් රැයක් වඩා හිඳුවාලූ ඓතිහාසික පුද බිම වශයෙන් මෙලෙස ජනප්‍රවාදයේ ද ප්‍රකට  ය.

ප‍්‍රාග්ඓතිහාසික යුගයේ අඳින ලද සිතුවම් ශේෂව ඇති ලෙන් , මහ රහතන් වහන්සේලා පරිහරණය කළ ස්වාභාවික විශාල ජල පොකුණු, සෙල් පිළිම, ශිලා ලේඛන ඇතුළු පුරාවිද්‍යාත්මක  සාධක අක්කර දෙසිය පනහක මහා කළු ගල් තලාව පුරා පැතිර තිබේ.  

මේ මහා  ගල් තලාව මුදුනේ විශ්මිත ලෙස වැඩ හිඳින අෂ්ඨමහාඵල බෝධීන් වහන්සේ මේ පුද බිමේ ආගමික වැදගත්කම මැනවින් කියා පායි. කළු ගලක් මුදුනේ මහ නියං සමයන්හි දී පවා කිසිදු උපද්‍රවයකින් තොරව අෂ්ඨඵල බෝධීන්වහන්සේ වැඩ හිඳීම බැතිමතුන්ට මහත් ඓශ්චර්යයකි.

රිටිගල කන්දෙන් ආරම්භ වන කදම්භ නදිය  (මල්වතුඔය) අනුරාධපුර නගරය මැදින් කනදරාඔය හමුවන තෙක් උතුරු දෙසට  ගලා බැස,  අනතුරුව වයඹ දිසාගතව ගලා බසින   තැනිතලා භූමියේ මේ උස් ගල් තලාව පිහිටියේ ය. ඒ මධ්‍යයේ ඓතිහාසික තන්තිරිමලේ පුද බිම පිහිටා තිබේ. ඉන් ඔබ්බට බටහිර දෙසින් ඇත්තේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයයි. විල්පත්තුවට සමාන්තරව ඇති මූදු තීරය අපේ ඉතිහාස කතාවේ ආරම්භය සනිටුවන් කරන  මන්නාරමට යාවෙයි. විජය රජු හා පැමිණි පිරිස උපතිස්ස ග්‍රාමය ලෙස මුල්ම ජනපදය ගොඩ නගා ගත්තේ කනදරා ඔයත් මල්වතු ඔයත් යාවුණු ස්ථානයේ බව වංශකතාවල දැක්වේ. මේ උපතිස්ස ගමේ මුදුන් මල්කඩ තන්තිරිමලේ පර්වත පූජා භූමිය වේ.

සඟමිත් මහ රහත් තෙරණිය ලක්දිවට වැඩමවා ගෙන ආ ජය සිරි මහාබෝ අංකුරය අනුරාධපුරවරයේ මහමෙව්නා උයනේ උඩ මළුවේ දෙවැනි පෑතිස් මහ රජතුමන් විසින් රෝපණය කරවන ලද අවස්ථාවේ ආශ්චර්යයක් ලෙසින් සිරිමා බෝ සමිඳුන්ගෙන් අංකුර අටක් පැන නැගුණ බව සෑම ඓතිහාසික  මූලාශ්‍රයක ම කියැවේ. ඉන් එක් බෝ අංකුරයක් දෙවැනි පෑතිස් මහ රජතුමන් විසින් තම හිතෛෂිවන්ත තිවක්ක බමුණු තෙමේට ප‍්‍රදානය කර තිබිණ. ඒ, සිරිමා බෝ සමිඳුන් වහන්සේ දඹකොළ පටුනේ සිට වැඩමවා ගෙන අනුරාධපුරවරයට පෙරහරින් එන ගමනේ දී සඟමිත් මහරහත් තෙරණිය සහ සහ පිරිවරත්, දෙවැනි පෑතිස් රජතුමන් ඇතුළු පිරිසත් තිවක්ක බමුණුගම දී මහත් හරසරින් පිළිගෙන මහ ගල් තලාව මත රැයක් පහන් කිරීමට පහසුකම් සලසා දී දැක්වූ ගරු සැලකිලි වෙනුවෙන් තිවක්ක බමුණු තෙමේට කෘතවේදීත්වය පළ කිරීම උදෙසායි.

බමුණු තෙමේ ද රජුගෙන් තමන්ට ලැබුණු බෝ අංකුරය මහත් හරසරින් පිළිගෙන පෙරහරින් තිවක්ක බමුණුගමට වැඩම කරවා කලින් අවස්ථාවේ සිරිමා බෝධීන් වහන්සේ රැයක් පහන් වන තුරු වැඩ සිටුවා තැබූ ගල් තලාව මත්තෙහිම බෝධි ප‍්‍රාකාරයක් තනවා එතැන රෝපණය කරන ලදී. පුරාවිද්‍යාත්මකව යම් යම් තර්ක විතර්ක ඇතත් අදත් ඇත්තේ එදා ඒ රෝපණය කෙරුනු අෂ්ඨඵල බෝධීන් වහන්සේ බවට ජනතාව අතර විශ්වාසයක් පවතී.

අෂ්ඨමහා පල බෝධීන් වහන්සේ වැඩ වසන මහ ගල් තලාවේ නැගෙනහිර බෑවුමේ නටබුන්ව තිබෙන පධානඝර භාවනායෝගී මහරහතන් වහන්සේලා මේ පිංබිමේ වැඩ විසූ බව සනාථ වන සාධකයකි. උන්වහන්සේලා පරිහරණය කළ කළුගලින් නිමැවූ පොත් ගුල, ස්නානය කළ නෙළුම් මලින් පිරුණු ජල පොකුණ අදත් මේ පිංබිමේ දී දැකගත හැක.

බෝධීන් වහන්සේ වැඩවසන ගල් තලාවට පහළින් ඒ ආසන්නයේ දකුණු පැත්තෙහි ගල් කුලෙහි නෙළා තිබෙන සමාධි පිළිමය අඩි අටක පමණ උසින් යුක්තය. පිහිටි කළුගල හාරා මතු කොට සැකසූ මෙය උන්නත නිර්මාණයකි. මහමෙවුනාවේ සමාධි පිළිමය තරම්ම එය කලාත්මක ය.

සමාධි පිළිමය දෙපසින් වාමනධාරී දෙවිවරුන් නිරූපනය කර තිබේ. පිළිමයේ පසුපසින් අපූරු මකර තොරණක් නිර්මාණය කර ඇත්තේ එහි බර උසුලන ආකාරය දැක්වෙන සිංහ රූප දෙකක් ද සමගිනි. මෙම සමාධි පිළිමය අව්වෙන්, වැස්සෙන්, සුළගින් ආරක්ෂා කිරීම සඳහා පියස්සක් ඉදි කර තිබූ ලක්ෂණ  පෙනෙන්ට තිබේ. එහි සුවිශාල දොරටුවෙහි උළුවහු හා කුලුනු නිමවා ඇත්තේ කළු ගලෙනි. බොරදම් කැටයම්වලින් එම උළුවහු හා කුළුණු අලංකාරවත් කර තිබේ. මේ ඇතැම් නිර්මාණ අඩක් නෙළා නැවතී තිබීමෙන් පැහැදිලි වන්නේ එවකට සංවර්ධනය වෙමින් තිබූ විහාර බිමේ වැඩ සතුරු ආක්‍රමයක් හමුවේ නැවතුන බවයැයි ඉතිහාසඥයෝ  කියති.

බෝධීන්වහන්සේ වැඩවසන මහ ගල් තලාවෙහි උතුරු බෑවුමේ පිහිටි කළු ගලෙන් මතු කර නෙළා තිබෙන අඩි 45ක් දිගින් යුතු සැතපෙන පිළිමය අනුරාධපුර යුගයේ විසූ   ශිල්පීන්ගේ කුසලතාවන් පිළිබිඹු කෙරෙන මනරම්  නිර්මාණයකි. ගල්බිත්තිය හා බැඳුණ තුරු ලතා ඊට සෙවන සලසා පවන් සලයි.

මීට සියවස් දෙකකට පෙර නිධන් හොරුන් විසින් විනාශ කර තිබූ මෙම සැතපෙන පිළිමයේ ශීර්ෂය ඇතුළු කොටස් පුරාවිද්‍යාඥයින්ගේ උපදෙස් මත පෙර පැවැති අයුරින්ම යළි සංරක්ෂණය කෙරුනේ 2012 වසරේයි. මහ ගල් තලාව මත  දිස්වන වත්මන් චෛත්‍යය රාජයා ඉදිකර ඇත්තේ පුරාණයේ චෛත්‍ය ඉදි කර තිබුණු ස්ථානයේම බව පැවසේ. ඊට අමතරව මෑත භාගයේ ඉදි කෙරුණු විහාර මන්දිරයෙන් ද මෙම පිංබිමේ අගය ඉහළ නංවා තිබේ.

අනුරාධපුර රාජධානියේ පරිහාණි යුගයෙන් පසු විවිධ ව්‍යයසන ද පසුකරමින් අද දක්වා ශේෂ වූ මේ නටබුන් නැවත ජීවමාන පූජාවස්තුන් බවට පත්කරන්නේ කුඩා කොන්ගස්කඩ ඥාණ විමල නාහිමියන් ය. ඒ ගතවූ අඩසිය වසේ මුල ය. උන්වහන්සේ ගේ අභාවයෙන් පසු තන්තිරිමලේ විහාර බිම සංරක්ෂණය මෙන්ම සංවර්ධනය ද ඒ හා බැඳුණු ගම් බිම් රැකගනිමින් පුනර්ජීවනයක් ලබාදීමද ඉටුකරන්නේ  වර්තමාන තන්තිරිමලේ රජමහා විහාරාධිපති හා උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්දරතන නාහිමියන් ය. උන්වහන්සේගේ ආගමික, ජාතික සංස්කෘතික හා ආර්ථික සේවාව වෙනම වංශකතාවක ලිවිය යුතු  පරිච්ඡේදයකි. ඒ තුළ වඩාත් ගැඹුරුම දර්ශනය වන්නේ විහාර බිමත් ඉන් ඔබ්බට ගිය ප්‍රදේශයේ  පෞරාණිකත්වයත් අතීත ශ්‍රි විභුතියෙන් යළි ගොඩනැංවීමට දරන උත්සාහයයි.

විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් නැගෙන ආලෝකයත් සමඟ ලැබෙන ශක්තියෙන් මෙවර නාහිමියන් දරන වෑයම මහානාග තොට රජමහා විහාරය සංරක්ෂණය කර බෞද්ධ ලෝකයට එක් කිරීමය.

තන්තිරිමලේට උතුරින් මල්වතුඔය අසබඩ පිහිටි මහානාග තොට, මහානාග නම් දේවානම් පියතිස්ස රජුගේ අමාත්‍යවරයා විසින් කරවන ලද තොටුපලක් වන අතර ඒ ආශ්‍රීතව අමාත්‍යවරයා විසින් ගොඩනැගූ   විහාරය මෙයයි. මෑත දී කරන ලද පර්යේෂණ වලට අනුව එහි දාගැබක්, සේලිලිපි, ගොඩනැගිලි පාදම් හා ශේෂ වූ ප්‍රතිමා කොටස් ඇතුළු පුරා විද්‍යාත්මක සාධක රැසකි. මේ වන විට  එහි ආවාස ගොඩනැගිලි ඇතුළු භික්ෂූන්ගේ පරිහරණය සඳහා අවශ්‍ය පහසුකම් සංවර්ධනය වෙමින් හා පුරාවස්තු සංරක්ෂණය වෙමින් පවතී. පවතින වඳුරු වසංගතය හමුවේ මෙවර පොසොන් ආලෝක පූජාවට සමගාමීව පෙර වර්ෂවල කළසමාජ සත්කාරක වැඩසටහන් අත්හැරදැමීමට සිදුව ඇති බැවින්  මේ පෞරාණික අගය ලොවට හඬගාකීම තේමාවක් කරගැනීම  නාහිමියන්ගේ අරමුණ ය.

‘‘තිසා වැවේ සිට තන්තිරිමලේ දක්වා වූ මහ මඟ දෙපස සිට මහා වෙළෙඳසල් හිමියාගේ සිට මුරුංගාකරල විකුණන ගෘහණියගේ මෙන්ම , දිවුල් මල්ල විකුණන කුඩා දරුවා දක්වා පවුල් හාර පන්සීයක  පිරිසකට ආර්ථිකය ගොඩනගා ගැනීමට පාදක වී ඇත්තේ අපේ  විහාරය. එය එක් අතකින් අෂ්ඨඵල මහා බෝධියේ අනුහසයි. ඒ වගේම මුළු මහත් රටට ජාතියට මේ බෝ සමිඳු මහා ආශිර්වාදයක්. ආලෝක පූජාවේ හරය එයයි. නිරෝධායන නීතිරීතිවලට අනුව සෞඛ්‍ය උපදෙස් මත මෙවර සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ආලෝක පූජාව සිදුකරනවා. ඒ වගේම සතර පේරුවේ දායකයන්ගේ යම් පිරිසක් සිල් සමාදන්ව ආගමික වතාවත් ඉටුකරනවා. 5වැනිදා පෙරවරුවේ ඔසුපැන් කල 108ක්, ඔසු මංජුසා 108ක්, මානෙල් මල් බඳුන් 108ක්, සුදු නෙළුම් මල් බඳුන් 108ක්, රතු නෙළුම් මල් වට්ටි 108ක්, පිච්චමල් වට්ටි 108ක්, හා විවිධ මල්වට්ටි 108ක් ආදීවශයෙන් අෂ්ඨඵල බෝධියට පූජාකර රතන සූත්‍රය 108 වරක් සජ්ඣායනාකර රටට ආශිර්වාද කරන්නත් සූදානම්’’යි නාහිමියෝ පැවැසූහ.

(*** රඹෑව මනුල වික්‍රම)