IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ශිෂ්‍ය ප්‍රජාවේ නාමයෙන් ප්‍රශ්නය විසඳගන්න

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ ගුරු සංගම් නායකයන් අතර පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බවත් ඒ අනුව ගුරු සංගම් මෙතෙක් ක්‍රියාත්මක කළ වර්ජන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගුරු සංගම් නායකයන් පැවැසූ බවත් අප පුවත්පත ඊයේ වාර්තා කළේය.


රටේ පවතින්නේ අතිශයින්ම සුවිශේෂී තත්ත්වයකි. ඉතිහාසයේ මෙතෙක් හමුනොවූ  දවස් ගෙවා දමමින් හෙට කුමක්වේදැයි සිතාගත නොහැකිව අවිනිශ්චිතව දවස් ගෙවා දැමීමට රටේ සෑම පුරවැසියකුටම සිදුවී තිබේ. ඇත්ත යථාර්ථය එයයි. මෙම කටුක යථාර්ථය අමතක කර කටයුතු කිරීමට කිසිදු පුරවැසියකුට අයිතියක්  නැත. මෙය රටේ තරාතිරම් බේදයකින් තොරව සෑම පුරවැසියකුටම වලංගු තත්ත්වයකි.

ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවට වසර 24 කි. එම ගැටලුව මෙතෙක් විසඳීමට අපොහොසත් වූ සෑම වර්ණයකටම අයත් පාලකයන් ලජ්ජා විය යුතුය. ජාතියේ අනාගතය නිර්මාණය කිරීමේ සුවිශේෂී වගකීම් දෙඋරට ගත් ගුරුදෙවිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කර ඔවුන්ට උද් යෝගයෙන් යුතුව එම මෙහෙවරෙහි නියැළීමට නිර්බාධක පරිසරයක් නිර්මාණය කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් මෙම පාලක පංති ජාතියෙන් සමාව ගත යුතුය.

එමෙන්ම විසිහතර වසරක් මුළුල්ලේ නොවිසඳුණු ප්‍රශ්නයක් අතිශයින්ම තීරණාත්මක දවස් ගෙවා දමමින් සිටින මොහොතකදී එක රැයින් විසඳන්නැයි  පාලකයන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් හා ඒ වෙනුවෙන් ජාතියේ දුවා දරුවන් පළිහක් කර ගැනීම සම්බන්ධයෙන් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති නායකයන්ද පරීක්ෂාවට ලක් කළ යුතුය.

අග්‍රාමාත්‍යවරයා වෘත්තීය සමිති නායකයන්ට පවසා තිබෙන්නේ වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා ඇමැති අනුකමිටුවක් පත් කරන බවය. එමෙන්ම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා මුදල් නොමැති බවය. එමෙන්ම ඉදිරි අයවැයේදී වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බව එම සාකච්ඡාවට එක්වූ අමාත්‍යවරුන් ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශිත අදහස් ‘ජයවේවා’ යි පිළිගැනීමට වෘත්තීය සමිති නායකයන්ට නොහැකි බව අපි පිළිගනිමු. ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවක් තිබෙන බව ආණ්ඩුව පිළිගැනීමම වෘත්තීය සමිති ලද අනගිතම ජයග්‍රහණයකි. එමෙන්ම ප්‍රශ්නය විසඳීමට ක්‍රියා කරන බවට ආණ්ඩුව පොරොන්දුවීම ද තවත් ජයග්‍රහණයකි. රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගත්විට මේ මොහොතේ ඊට වඩා ජයග්‍රහණ අත්පත් කරගත හැකිද යන්න සම්බන්ධයෙන් ගුරු - විදුහල්පති වෘත්තීය සමිති නායකයන් සිය බුද්ධිය මෙහෙයවා තේරුම් ගත යුතු කාරණාවකි.

ප්‍රශ්නය තිබෙන්නේ ගුරු - විදුහල්පති වෘත්තීය සංගම් හා පාලකයන් අතරය. එහෙත් මෙම ප්‍රශ්නයෙන් විඳවන්නේ පාසල් දූ පුතුන්ය. ඔවුන්ගේ අධ්‍යාපනය ඇණහිට වසර එකහමාරකට අධිකය. මෙම තත්ත්වය මෙම දූ පුතුන්ගේ ජීවිතවලට එල්ල කරනු ලබන බලපෑම සරල නැත. රටේ අනාගතය බාර ගැනීමට සිටින මේ දූ පුතුන් නිසි පරිදි හදාවඩා අනාගත අභියෝග ජයගැනීමට සමත් පරම්පරාවක් බවට පරිවර්තනය කිරීමේ අභියෝගය අප සැවොම ඉදිරිපිට තිබේ. සියලු බේද ඉවතලා සියලු නොගැළපීම් පසෙලකා සියලු අසමානකම් අමතක කර සියලු දුක් පීඩා උසුලමින් වුවද එම අභියෝගය ජය ගැනීමට සියලු දෙනාම එක්සත්ව එක්සිත්ව දළ රළ පෙළක් සේ උස්ව නැගෙමින් පෙරට ආ යුතුය.

මෙම ගෙවා දමමින් සිටින පැයෙහි භයංකාරත්වය අමතක කර යමකු කටයුතු කරන්නේනම් එහි විපාකය මුළු මහත් ජාතියටම අත්විඳීමට සිදුවීම වැළැක්විය නොහැකිය. කොරෝනා මාරාන්තික වයිරසය හමුවේ පාසල් පද්ධතිය වසා දැමිමත් සමග මෙරට ගුරු පරපුර ස්වේච්ඡාවෙන් ‘ඔන්ලයින්’ ක්‍රමයට ඉගැන්වීම් ආරම්භ කළහ. ඒ සම්බන්ධයෙන් එම ගුරු පරපුරට මුළු මහත් ජාතියේම ප්‍රමාණය ඉක්මවා ගිය ප්‍රණාමය හිමිවිය යුතුය. අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීමේදීත් පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේදීත් අපේ ගුරු පරපුර අප්‍රමාණ ආදර්ශ සපයමින් එම කටයුතුවලට සක්‍රීයව දායක විය. එහෙයින්ම එම කටයුතු අමතර ප්‍රශ්න කිසිවකින් තොරව සාර්ථකව නිම කර ගැනීමට හැකි විය. මුළු මහත් ජාතියම දෑත දිගුකොට මේ මොහොතේත් ඉල්ලා සිටින්නේ ජාතියේ අනාගතය බාර ගැනීමට සිටින දූ පුතුන් වෙනුවෙන් එම මෙහෙවර ඉටු කරන ලෙසය.

වර්ජකයන්ට එරෙහිව සමාජය නැගී සිටිනු ඇතැයි ද එහෙයින් ප්‍රශ්න විසඳිය යුතු නැතැයි ද පාලකයන් සිතන්නේනම් එය ඓතිහාසිකව මුළාවේ වැටීමකි. පාලකයන් මේ මොහොතේ කළ යුත්තේ අතිශයින්ම සංවේදී ගුරු - විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කිරීමය.

මෙම ප්‍රශ්න ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළට ගෙන විශේෂ අවධානය යොමු කිරීමය. ‘මේ මොහොතේ වැඩ වර්ජනය කරන්නේ කාලකන්නින්’ වැනි වැකි මැති ඇමැතිවරුන්ගෙන් ප්‍රකාශ වීම ගුරුවරුන් ප්‍රකෝපයට පත් කිරීමකි. සටන් විවිධ පැතිවලට ඇදීයාමට එය ද හේතුවකි. එහෙයින් මේ මොහොතේ බලපුළුවන්කාරකම්, මහන්තත්වකම් මෙන්ම මුරණ්ඩුකම් ප්‍රදර්ශනයට නොතබා ජාතියේ දුවා දරුවන් වෙනුවෙන් සියලු පාර්ශ්ව එකට එක්විය යුතුය.



අදහස් (1)

ශිෂ්‍ය ප්‍රජාවේ නාමයෙන් ප්‍රශ්නය විසඳගන්න

විපුල Thursday, 29 July 2021 09:59 PM

ඇත්තෙන්ම ඔව්... ගුරුවරුන්ට කාලකණ්ණි යැයි කියූ ඇමැතිවරයා අවම වශයෙන් ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටිය යුතුයි..

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 328 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2142 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1621 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site