IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාව අර්බුදයක - 1953 හර්තාලය 2022 හර්තාලය

ශ්‍රී ලංකා දේශපාලනයෙහි දකින්නට ලැබෙන්නේ ස්ථාපිත පක්ෂ බිම් මට්ටමේ ව්‍යාපාර අත්පත් කර ගන්නා පුනරාවර්තන රටාවකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා මහජන කෝපය භාවිත කළ 1953 හර්තාලය හරහා මෙය සනාථ විය. මාක්ස්වාදී පක්ෂ මෙම ව්‍යාපාරය ආරම්භ කර සංවිධානය කළ නමුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා හොඳ සංවිධානයක් සහ පුළුල් ආකර්ෂණයක් තිබුණි. අවසානයේදී මුල් සංවිධායකයන් පසෙකට තල්ලු‍ කර ඔවුහු දේශපාලන බලය ලබා ගත්හ. ශ්‍රී ලංකා ඉතිහාසයේ නැවත නැවතත් සිදුවෙමින් පවතින්නේ මෙයයි.

 

කැරැල්ල සහ දේශපාලන පරිවර්තනය

2022 වසරේදී අරගලය විරෝධතාව ආරම්භ වූයේ ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු‍ සහ දූෂිත දේශපාලනඥයන් පිළිබඳව සාමාන්‍ය ජනතාව කෝපයට පත් වූ විටය. මුලදී, තනි කණ්ඩායමක් එහි ප්‍රධානත්වය හෙබවූයේ නැත. හුදෙක් එහි සිටියේ එකට එක්ව වැඩ කරන සාමාන්‍ය පුරවැසියන් පමණි. එහෙත් අවසානයේ, ජනතා විමුක්ති පෙරමුණ සහ ඔවුන්ගේ බිඳී ගිය කණ්ඩායම ව්‍යාපාරය පැහැර ගත්හ.

ජනතා විමුක්ති පෙරමුණ-ජාතික ජන බලවේගය මෙම විරෝධතා ආරම්භ නොකළත්, රජයට එරෙහි ප්‍රධාන හඬ ලෙස පෙනී සිටියෝ ඔවුහුය. ඡන්ද දිනා ගැනීමට උදව්වක් වශයෙන් ඔවුන් භාවිත කළේ අරගලයෙන් ලැබුණු කෝපය සහ ශක්තියයි. මෙම සැලැස්ම හරිගිය අතර, ඔවුන් 2024 මැතිවරණය ජයග්‍රහණය කළේ විරෝධතාකරුවන්ට අවශ්‍ය දේ නියෝජනය කරන කණ්ඩායම ලෙස ජනතාව ඔවුන් දුටු නිසාය. 1953-1956 දී ද එයම සිදු විය. ඒ වසර 68 ක පරතරයකි. මින් ශ්‍රී ලංකා දේශපාලනයේ රටාවක් පෙන්නුම් කරන අතර, එහිදී සිදුවන්නේ දේශපාලනඥයන් සැමවිටම තමන්ගේම ප්‍රයෝජනය සඳහා සැබෑ ජනතා ව්‍යාපාර අත්පත් කර ගැනීමට උත්සාහ කිරීමයි.

මෙය දිගින් දිගටම සිදුවන්නේ සැබෑ බිම් මට්ටමේ ව්‍යාපාරවලට ස්වාධීනව සිටීම දුෂ්කර වන නිසාය. දේශපාලනඥයන්ට මුදල්, සංවිධානය සහ අත්දැකීම් ඇති විට, ඔවුන්ට ව්‍යාපාරය ආරම්භ කළ සාමාන්‍ය ජනතාවගෙන් එහි පාලනය පහසුවෙන් ඉවත් කළ හැකිය. එබැවින් 1956 හෝ 2024 වේවා, කතාව ඒකාකාරය: මිනිසුන්ට එපා වී, ඔවුහු සංවිධානය වී විරෝධතා දක්වති, එහෙත් අවසානයේ, දේශපාලනඥයන් එම කෝපය භාවිත කර ජනතාවට මුලින් අවශ්‍ය දේ ලබා ගැනීම වෙනුවට තමන්ව බලයට පත් කර ගැනීමට ක්‍රමයක් සොයා ගනී.

 

2022 ජූලි 9, අරගලය - සියල්ල වෙනස් කළ දිනය

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත්ම දිනයක් ලෙස මතකයේ රැඳෙනු ඇත. මාස ගණනක විරෝධතාවලින් පසුව, අවසානයේ එම දේවල් රටේ දේශපාලනය සම්පූර්ණයෙන්ම වෙනස් කළ දැවැන්ත නැගිටීමක් බවට පත් විය.

එය ආරම්භ වූයේ මුදල් ගැටලු සහ නරක රජයක් පිළිබඳ සාමකාමී විරෝධතා සමගිනි. එහෙත් පසුව එය ඊටත් වඩා විශාල දෙයක් බවට පත් විය. කෝපයට පත් දහස් ගණනක් ජනතාව පොලිස් මාර්ග බිඳ දමා ජනාධිපති මන්දිරය, ඔහුගේ කාර්යාලය සහ අරලියගහ මන්දිරය වැනි රජයේ වැදගත් ගොඩනැගිලි අත්පත් කර ගත්හ. ශ්‍රී ලංකාවේ මීට පෙර මෙවැනි දෙයක් මිනිසුන් දැක තිබුණේ නැත. සාමාන්‍ය පුරවැසියෝ ජනාධිපතිවරයාගේ නාන තටාකයේ පිහිනමින් සිටි අතර, මූලික වශයෙන් රජයේ ගොඩනැගිලිවල පාලනය තමන් පවත්වාගෙන ගියහ.

 

1953 දී සිදු වූයේ කුමක්ද?

1953 වසරේදීද මෙවැනිම අර්බුදයක් ඇති විය. රජය සහල් සහනාධාර සඳහා ඕනෑවට වඩා මුදල් වියදම් කරමින් සිටි අතර, ඔවුන්ගේ අයවැය ගැටලුවලින් සියයට 72 ක් පැමිණියේ ඒ කාරණය හරහාය. එබැවින් මුදල් අමාත්‍ය ජේ. ආර්. ජයවර්ධන සහනාධාර එකවරම කපා හැරීමට තීරණය කළේය.

එය විශාල වැරැද්දක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස සහල් මිල එකවරම ශත 25 සිට ශත 70 දක්වා ඉහළ ගියේය. ජනතාව කෝපයට පත් විය. ප්‍රධාන විපක්ෂය “හර්තාලයක්” (මහා වැඩ වර්ජනයක්) ප්‍රකාශයට පත් කළේය. භීතියට පත් රජය, හදිසි නීති බලතල සහිතව හමුදාව යෙදවීමට පියවර ගත්තේය.

 

ජනාධිපතිවරයා පලා යයි

2022 ජූලි 9 වැනි දින, අලු‍යම 1:00 ට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය බිරිඳ සහ ආරක්ෂකයන් දෙදෙනකු සමග රහසේ රටින් පිටව ගියේය. පළමුව විවිධ ස්ථානවල සැඟවී සිටීමෙන් අනතුරුව ඔහු ප්‍රධාන ගුවන් තොටුපළෙන් පිටතට පියාසර කළේය. මෙම පැය දෙකක ගුවන් ගමන මූලික වශයෙන් ශ්‍රී ලංකා දේශපාලනය කෙරෙහි ඔහුගේ පවුලේ පාලනය අවසන් කළේය.

එහෙත් රාජපක්ෂ විශාල ගැටලු‍වක් ඇති කළේය. ඔහු පිටත්ව ගියේ නිල වශයෙන් ජනාධිපති ධුරයෙන් ඉවත් නොවී ය. මේ නිසා රටට පැහැදිලි නායකත්වයක් නැති විය. ඉක්මන් තීරණයක් ගත් පාර්ලිමේන්තුවේ කථානායකවරයා, දහවල් 12:45 වන විට අගමැති රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කළේය. එහෙත් ඉන් මිනිසුන් තවත් කෝපයට පත් වූයේ, ඔවුන් වික්‍රමසිංහටද අකමැති වූ නිසාය.

 

ප්‍රචණ්ඩත්වය පුපුරා යයි

වික්‍රමසිංහගේ පත්වීමේ ප්‍රතිඵලයක් ලෙස නව විරෝධතා ඇති විය. රජයේ ගොඩනැගිලි අත්පත් කර ගැනීමේ සාර්ථකත්වයෙන් දිරිමත් වූ දහස් ගණනක් විරෝධතාකරුවෝ, ඔහුගේ ඉල්ලා අස්වීම ඉල්ලා අගමැති කාර්යාලය දෙසට හැරුණහ. වැඩබලන ජනාධිපති වික්‍රමසිංහ, බස්නාහිර පළාත පුරා ඇඳිරි නීතිය පැනවූ අතර, හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් විරෝධතාකරුවන් “ඉවත් කිරීම” සඳහා සන්නද්ධ හමුදාවලට නියෝග කළේය.

ප්‍රතිචාරය ක්ෂණික හා කුරිරු එකක් විය. පොලිසිය කඳුළු ගෑස්, ජල තුවක්කු සහ බැටන් ප්‍රහාර එල්ල කළ නමුත් විරෝධතාකරුවන් නැවත එක්රැස් වී දැඩි ලෙස සන්නද්ධ වී සිටි හමුදා බලා සිටියදී අගමැති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු විය. සංකේතාත්මක මොහොතක, විරෝධතාකරුවන් අතහැර දැමූ පොලිස් වාහනයක් අල්ලා ගත් අතර, එය ආරක්ෂක විධිවිධාන බිඳවැටීම ඉස්මතු කළේය. ආරක්ෂක අංශවලට ද හානි සිදු වූ අතර, පුද්ගලයන් පස් දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කළේය. පොලිස් නිලධාරීන් 22 දෙනෙකු සුළු තුවාල සඳහා ප්‍රතිකාර ලබා ඇති අතර ඉන් අවධාරණය වූයේ ගැටුම්වල තීව්‍රතාවය සහ සාමාන්‍ය ජනතා පාලන පියවර බිඳවැටීමයි.

කොල්ලු‍පිටියේ පස්වැනි පටුමගේ පිහිටි අගමැති වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට විරෝධතාකරුවන් ගිනි තැබූ විට ප්‍රචණ්ඩත්වය රජයේ ගොඩනැගිලිවලින් ඔබ්බට විහිදී ගියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කළේ මෙය සංවිධානාත්මක කණ්ඩායමක්  ක්‍රමානුකූලව පෙට්‍රල් භාවිත කරමින් සිදු කරන ලද බවයි.

සාක්ෂිවලින් පැහැදිලි වූයේ මේ සඳහා පූර්ව සූදානමක් තිබූ බවයි: සිද්ධිය වූ ස්ථානයේ පෙට්‍රල් කෑන් එකක් දමා ගොස් තිබුණි. ප්‍රහාරකයෝ ඔහුගේ සහෝදරයා වන චන්න වික්‍රමසිංහගේ යාබද නිවසට ද හානි කළ අතර, රන් ආභරණ ඇතුළු ගෘහ භාණ්ඩ සොරකම් කළහ. අපරාධකරුවෝ විසින් ගිනි නිවන හමුදාවට ඇතුළුවීම වළක්වා, උපරිම හානියක් වන බව සහතික කළහ. අගමැතිගේ නිල වාහනය විනාශ වූ අතර, නිවස සම්පූර්ණයෙන්ම ගිනිබත් විය. එය දේශපාලන විරෝධතාවේ සිට පෞද්ගලික දේපළ විනාශය දක්වා භයානක වර්ධනයක් සනිටුහන් කළේය.

 

ආරක්ෂක අංශ ප්‍රතිචාරය

රජය, ජූලි 9 වැනිදා රාත්‍රී 9:00 සිට බස්නාහිර පළාතේ ප්‍රදේශ හතකට ඇඳිරි නීතිය පැනවීය. මෙය කොළඹ, මීගමුව සහ ගල්කිස්ස ඇතුළු සියලු‍ම ප්‍රධාන නගර ආවරණය කළ අතර, මූලික වශයෙන් රටේ වැදගත්ම ප්‍රදේශ වසා දැමීය. ඇඳිරි නීතිය කඩ කරන ඕනෑම අයකු අත්අඩංගුවට ගන්නා බවට පොලිස් ප්‍රධානියා අනතුරු ඇඟවීය. මෙම ප්‍රදේශවල ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබුණි.

හමුදාව වඩාත් පරෙස්සම් විය. සහයෝගයෙන් කටයුතු කරන ලෙසට ඉහළම ජෙනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටි අතර, අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට ඔවුන්ට අවශ්‍ය බව පැවසීය. සිදුවන්නේ කුමක්දැයි නැරඹීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා ගාලු‍ මුවදොර ප්‍රදේශයට ඉහළින් පහළට පියාසර කළ නමුත්, සමහරුන් මෙය දුටුවේ හමුදාව ඔවුන් බිය ගැන්වීමට උත්සාහ කරන බවයි.

 

දේශපාලනඥයෝ නැව අතහැර දැමීමට පටන් ගනිති.

තත්වය නරක අතට හැරෙත්ම, රජය බිඳ වැටීමට පටන් ගත්තේය. සියලු‍ම දේශපාලන පක්ෂ එක්ව වැඩ කරන නව රජයක් පිහිටුවීමට හැකි වන පරිදි සියලු‍ම කැබිනට් අමාත්‍යවරුන් තම ධුරවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍යවරයා නිවේදනය කළේය. මෙය සිදු වූයේ අගමැති කාර්යාලයේ පැවති රැස්වීමකින් පසුවය.

මෙය දැවැන්ත වෙනසක් වූ අතර, එහි තේරුම වූයේ දේශපාලනඥයන් අවසානයේ තම රජය තවදුරටත් ක්‍රියාත්මක නොවන බවත් සම්පූර්ණයෙන්ම අලු‍ත් දෙයක් අවශ්‍ය බවත් පිළිගන්නා බවයි.

 

ජූලි 9 වැනිදා ඇත්තටම අදහස් කළේ කුමක්ද?

ජූලි 9 ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සදහටම වෙනස් කළේය. සාමාන්‍ය ජනතාව රජයේ ගොඩනැගිලි සාර්ථකව අත්පත් කරගත් විට, ජනාධිපතිවරයා පලා ගිය විට සහ ප්‍රචණ්ඩත්වය ඇති වූ විට, ඉන් කරුණු දෙකක් පෙන්නුම් කළේය: ඒ මිනිසුන් එක්සත් වූ විට සැබෑ බලය ඇති බවයි, එහෙත් පීඩනය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධති කොතරම් පහසුවෙන් බිඳ වැටිය හැකිද යන්නත් එහිදී පෙන්නුම් කළේය.

ලොකුම ගැටලු‍ව වූයේ මෙයයි: වික්‍රමසිංහ, වැඩබලන ජනාධිපති කිරීම ව්‍යවස්ථාවට අනුව නීත්‍යනුකූල වුවත්, විරෝධතාකරුවෝ ඔහු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළහ. මෙයින් පෙන්නුම් කළේ නීත්‍යනුකූලව නිවැරැදි දේ සහ නීත්‍යනුකූල නායකත්වය ලෙස මිනිසුන් සැබවින්ම පිළිගන්නා දේ අතර විශාල වෙනසක් ඇති බවයි.

 

සංක්‍රාන්ති සමයක ජාතියක්: නැගිටීම් දෙකෙහි ප්‍රතිලාභීහු

විරෝධතා සාර්ථක විය. ඔවුහු ජනාධිපති රාජපක්ෂ බලයෙන් ඉවත් එහෙත් ඔවුහු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ විශාල ගැටලු ද හෙළි කළහ.

ප්‍රචණ්ඩත්වය, ආරක්ෂාව බිඳවැටීම සහ පෞද්ගලික දේපළවලට එල්ල වූ ප්‍රහාර මගින් පෙන්නුම් කළේ සාමකාමී විරෝධතා ඉක්මනින් පාලනයෙන් මිදී මිනිසුන්ට මුලින් අවශ්‍ය වූ දෙයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් බවට පත්වන බවයි. මෙම සිදුවීම් වැදගත් පාඩම් දෙකක් ඉගැන්වීය: මිනිසුන්ට සැබෑ බලය ලැබෙන්නේ ඔවුන් එකට එකතු වූ විටය, එහෙත් දේශපාලන බෙදීම් ඉතා භයානක හා මිල අධික විය හැකිය. සියලු‍ම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වී සියලු‍ පක්ෂ එක්ව වැඩ කරන නව රජයක් පිහිටුවීමට පොරොන්දු වූ විට, එය නැවත ගොඩනැගීමේ උත්සාහයේ ආරම්භයයි. එහෙත් එම සියලු‍ විරෝධතා ශක්තිය සැබෑ ධනාත්මක දේශපාලන වෙනසක් බවට පත් කරන්නේ කෙසේදැයි කිසිවෙකු නිශ්චිතව දැන සිටියේ නැත. දුෂ්කර කොටස තවමත් ඉදිරියෙහි තිබේ. ඒ කලින් තිබූ දේ විනාශ කිරීම වෙනුවට, විරෝධතාවලින් ලැබුණු කෝපය සහ ශක්තිය රට යහපත් කිරීමට යොදා ගන්නේ කෙසේද යන්න සොයා ගැනීමය.

 

(***)

(“ඬේලිමිරර්” පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ අනිල් කරුණාරත්න)



අදහස් (0)

ශ්‍රී ලංකාව අර්බුදයක - 1953 හර්තාලය 2022 හර්තාලය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site