දකින්නට ඇති පැහැදිලි අහස පවා ඒ දැවැන්ත කුණු කන්දෙන් මුවාවී ඇතැයි සිතෙන තරමට ඒ කුණු කන්ද උස්ව නැඟී සිටී. ඒ කුණු කන්දට උඩින් අහස පසුබිම්ව නිරන්තරයෙන් සැරිසරන්නේ කපුටන්ය. කොළඹ කපුටන්ගේ රජදහන මීතොටමුල්ල ඩිපෝව පාරෙන් හැරී ටික දුරක් ගිය විට හමුවෙන කොළොන්නාව, වැල්ලම්පිටිය කුණු කන්ද අසල ප‍්‍රදේශ දැයි සිතෙන තරමට විශාල කපුටු ගහණයක් ඒ ප‍්‍රදේශයේ සිටිති. ඒ උන්ට බඩ වියත රැක ගැනීමට ඇති තරම් කුණු නිරන්තරයෙන් එහි පවතින හෙයිනි. කපුටන් පරයමින් ඒ පෙදෙස තම රජදහන කරගත් අනෙක් පිරිස මැස්සන්ය. ඒ අවට නිවෙසක බත් පතක් බෙදූ විට බත් ඇටයක් ඇටයක් ගානේ පිඟාන මත මැස්සන් වසන්නේ ඒ බව මනාව ඔප්පු කරමිනි. එය ඉන්පසු වෑංජන සමඟ බත් කෑමකට වඩා මැස්සන් සමග බත් කෑමක් වෙයි. කුණු කන්දෙන් සොරාගත් කෙළකෝටියක් විෂබීජ ගම්දනව්ව පුරා පැතිරවීමේ ඍජු වාහකයන්ගේ කාර්ය භාරය අණදීමකින් තොරවම මේ කපුටු ගහණය විසින් ඉටුකරනු ලබයි. එමෙන්ම දඩාවතේ යන නිමක් නැති බල්ලන්ටද මේ කුණුකන්ද අපූරු ලැගුම් හලකි. ඒ අප කතා කළේ කොළොන්නාව වැල්ලම්පිටිය දැවැන්ත කුණුකන්ද තම රජදහන කරගත් සතුන් පිළිබඳවය. ඒ කුණුකන්ද ජාවාරමක් බවට පත් කරගත් ඒ කුණු කන්දට අධිපතිත්වය දරන මැස්සන්ට, කපුටන්ට හා බල්ලන්ට ඇරෙන්නට ඒ කුණුකන්ද සහිත භූමියට අනවසර කිසිවකුට අඩියක්වත් තබන්නට නොදෙන තරමේ අණසක පතුරුවා සිටින ඔවුන් ඔවුන්ගේම ව්‍යවහාරයෙන් හඳුන්වන්නේ නම් ”අයියලාය” නිකම්ම ”අයියලා” නොව ”කුණු අයියලාය”. මේ අයියලාගේ ”කියුම් කෙරුම් ජාලය පුළුල් වපසරියක විහිදී පැතිරී ඇත. ඒ අයියලාට එරෙහිව වචනයක් කතා කිරීමේ අවම දඬුවම දැලි පිහි පහරක් බවට පත්වීම දක්වා මේ අයියලාගේ මැර බලය උච්චය. ඉකුත් 16 වැනිදා අප එහි යද්දීද ඒ ”අයියලා” හා වන්දි භට්ටයන් ඒ අවට කරක් ගසමින් සිටිනු අපේ නෙතට හසුවූ දසුනයි. කුණු කන්දට කුණු කන්ද යැයි කියන්නට තරම්වත් වාතාවරණයක් නැති ඒ ”අයියලාගේ පුරවරයේදී” කාටත් නොදැනෙන්ට සේයාරුවක් දෙකක් කැමරා කාචය මත සටහන් කර ගැනීමද අතිශය දුෂ්කර කාර්යයකි. මීට පෙර මෙම කුණු කන්ද ජාවාරමක් බවට පත් කරගෙන සිටියේ පොට්ට ජනක නම් පාතාල සාමාජිකයෙකි. එහෙත් ඔහු ඝාතනය වීමෙන් පසු කොළොන්නාව වැල්ලම්පිටියේ කුණු ජාවාරමේ මෙහෙයවන්නා බවට පත්වූයේ මෙරට දේශපාලන කරළියේ නොයෙක් කරුණු කාරණා මත කතාබහට ලක්වූ දේශපාලනඥයකුගේ ඉතා කිට්ටුවන්ත සහචරයෙකි. වරක් එක්තරා රාජ්‍ය මාධ්‍ය ආයතනයකට කඩා වැදී කලබගෑනියක් කළ මේ දේශපාලනඥයා පසුව එම මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් දැලි පිහිවලින් කපා දැමීමේ කොන්තරාත්තුව බාර කළ එක් ප‍්‍රධාන සහචරයෙක් වූයේ අද මේ කුණු කන්දේ ”අයිතිකාරයා” බවට පත්ව සිටින පුද්ගලයාය. ඇමැතිවරයාගේ ගෝලයන් අතර ප‍්‍රධාන චරිතයක් වූ මේ පුද්ගලයා බොහෝ අය හඳුන්වන්නේ කුඩු යන විශේෂණය අකුරු තුනකින් යුත් ඔහුගේ නමට මුලින් යෙදීමෙනි. ඔහුගේ අවසරයෙන් තොරව මෙම කුණු කන්දෙන් ප්ලාස්ටික් කැබැල්ලක් කරම්වත් දෙයක් කිසිවකුට ගත නොහැකි තරමට කුණු කන්ද කෙරෙහි වන ඔහුගේ ආධිපත්‍ය ප‍්‍රබලය. මෙම කුණු කන්ද වසාගත් සමස්ත භූමි ප‍්‍රදේශයේ වපසරිය පර්චස් 50 කට ආසන්නය. බ්ලූමැන්ඩල් කුණුකන්ද, මෙන්ම කොළොම්තොටට විනයක් වූ මේ කුණු කන්දට දිනපතාම පාහේ මුල්ලේරියාව, කොටිකාවත්ත, රාජගිරිය, කොළොන්නාව ආදි ප‍්‍රදේශවලින් බැහැර කරන කුණු අදාළ ප‍්‍රාදේශීය දේශපාලන ආයතන මගින් බැර කරනු ලබයි. මෙම කුණු කන්ද ජාවාරමක් බවට පත්කර ගත් අදාළ දේශපාලනඥයාගේ කිට්ටුවන්ත සහචරයා ප‍්‍රමුඛ තිහකට ආසන්න පිරිසක් කුණු විකුණාගෙන කන මේ ජාවාරම පිටුපස සිටිති. ”මට ඉහළින් මම නොදැන මේ කුණු කන්දට ඉහළින් මැස්සෙකුටවත් එන්ට බෑ මල්ලි තේරුණාද? මම නැතත් උඹලා ඇහැ ගහගෙන ඉන්ට  ඕනෑ.” ඒ කුණු ජාවාරමේ ප‍්‍රධානියා තිහකට ආසන්න ගෝල බාලයන්ට දී ඇති අණයි. ඒ අණට ඔවුන් කීකරුය. කුණු මතින් නොයැපෙන කොළොන්නාව, වැල්ලම්පිටිය ජනතාවට මේ කුණුකන්ද එදා මෙදා තුර මහත් වූ හිසරදයක් බවට පත්වුවත් ඔවුන් ඊට එරෙහිව හඬක් නොනඟන්නේ අදාළ කුණු ජාවාරමේ ප‍්‍රධානියාට හා ඔහුගේ අවම දඬුවම වන දැලි පිහි පාරට ඇති බිය නිසාමය. මීට කාලයකට ඉහතදී කුණු ප‍්‍රතිචකී‍්‍රයකරන ආයතන මෙම කුණු කන්දේ ඇති කුණු නොමිලයේම රැගෙන ගියත් මේ කුණුකන්ද ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට පත්වූ පසු එයින් අනවසරයෙන් කුණු බිඳක් තරම්වත් රැගෙන යාමට කිසිවකුටවත් අවසරයක් නැත. වීදුරු, ප්ලාස්ටික්, යකඩ, ආහාර ද්‍රව්‍ය ඇතුළු නොයෙක් මාදිලියේ අප ද්‍රව්‍ය කුණු ට‍්‍රැක්ටර් මගින් අති විශාල ප‍්‍රමාණවලින් එක් දිනකදී මෙම කුණුකන්ද වෙත බැර කරනු ලැබේ. ඉවසිය නොහැකි දුර්ගන්ධයක් සමග මැසි කපුටු වන්ගෙන් වන අවහිරය ඉවසා, අදාළ ”කුණු ලොක්කාගේ” බහට අවනතව සිටින ප‍්‍රදේශවාසීන් ඒ සියල්ල එසේ ඉවසා සිටින්නේ අනතුරකට මෙන්ම ක්ෂණික මරණයකටද ඇති බිය නිසාමය. අදාළ ”කුණු ලොක්කා” කුණු ප‍්‍රතිචකී‍්‍රයකරණ ආයතන වෙත ප‍්‍රතිචකී‍්‍රයකරණය කළ හැකි කුණු ලබාදෙන්නේ නියමිත කප්පම් මුදල ලබාදීමෙන් අනතුරුවය. ඒ කොන්දේසියෙන් එපිටට යාමට කිසිවකුටවත් නොහැකිය. ඔහු මෙන්ම මේ ජාවාරමේදී ඔහු හා එක්ව සිටින සියල්ලන්ම දෛනිකව මේ කප්පම් මුදල්වලින් යැපෙති. ඉතා විශාල කුණු කන්දක් වූ මෙහි එසේ ප‍්‍රතිචකී‍්‍රයකරණය කළ හැකි භාණ්ඩ ලබාදීමෙන් පමණක් ”කුණු ලොක්්කා” ප‍්‍රමුඛ හෙංචයියලා මාසිකව කප්පම් වශයෙන් විශාල මුදලක් හම්බ කරති. මීට අමතරව සුපිරි වෙළෙඳසල්වලින් ඉවත් කරන කල් ඉකුත්වූ බිත්තර, කුකුල් මස්, චීස්, රට ඉඳි වැනි ආහාර ද්‍රව්‍යද විනාශ කිරීමේ රෙගුලාසියට අදාළව මෙම කුණු කන්ද වෙත භාර කෙරේ. එහෙත් පරිභෝජනයට නුසුදුසු ඒ ආහාර ද්‍රව්‍ය වැල්ලම්පිටිය කුණු කන්දේදී විනාශවීමක් කිසි අවස්ථාවක නොවේ. එම ආහාර ද්‍රව්‍ය සාමාන්‍යයෙන් වෙළෙඳසල්වලින් ලබාගත හැකි මිලට වඩා සහන මිලකට ලබා ගන්නට සැදී පැහැදුණු ස්ථිර ගැනුම්කරුවන් පිරිසක් සිටිති. ඒ ගැණුම්කරුවන් වෙන්නේ ඇතැම් බේකරි හිමියන් හා හෝටල් හිමියන්ය. කුණු ලොක්කාගේ කුණු ජාවාරම් ජාලයේ තවත් එක් අංගයක් වෙන මෙම ජාවාරම හරහාද ඔහුට විශාල මුදලක් ලැබෙයි. කල් ඉකුත්වූ බිත්තර චීස්, රටඉඳි ආදි ආහාර ද්‍රව්‍ය යොදා දිනකට නිෂ්පාදනය වෙන දේ සෑහෙන ප‍්‍රමාණයක් දිනකට නොවැරැදීම කොළොන්නාව, වැල්ලම්පිටිය හා ඊට තදාසන්න ප‍්‍රදේශවල ජීවත්වෙන කුඩා දරුවන්, පාසල් දරුවන් ගර්භණී මව්වරුන් මෙන්ම වැඩිහිටියන්ද ඔවුන් නොදැනම පරිභෝජනයට ගනී. එමෙන්ම විශේෂයෙන් සුපිරි වෙළෙඳසල්වලින් ඉවත් කෙරෙන නරක්වීමට ආසන්න මිදි, ඇපල් හා දොඩම් වැනි පලතුරුද මේ කුණු කන්ද වෙතම බැර කරනු ලැබේ. මේ පලතුරු අවට ඇතැම් හෝටල්වලට මෙන්ම පිටකොටුවේ ආහාර විකිණීමේ ඇතැම් තැන්වලටද නැවත විකිණේ. හෝටල් හා එවැනි තැන්වල පලතුරු සලාද සඳහා පසුව මෙම පලතුරු යොදා ගැනේ. කල් ඉකුත්වූ කුකුළු මස් නැවත විකිණෙන්නේද ඉහත සඳහන් කළ අදාළ ප‍්‍රදේශවල හෝටල් වෙතය. බත් පැකට් සඳහා මෙන්ම දෛනිකව පිළියෙළවන බත්, කොත්තු සහ කෙටි කෑම වර්ග සඳහාද මෙසේ කල් ඉකුත් වූ කුකුල් මස් අදාළ හෝටල් හිමියන් විසින් භාවිත කරනු ලැබේ. එමෙන්ම කල් ඉකුත්වූ ඇතැම් පැණි බීම වර්ගද විනාශ කිරීමේ රෙගුලාසියට යටත්ව ගෙන ආවත් ඒ පැණි බීමද නැවත කල් ඉකුත්වීමේ දිනය වෙනස් කළ ඇසුරුම් සහතිව නැවත විකිණේ. පසුගිය කාලයේ පැණිබීම වර්ග විෂවීමෙන් සිදුවූ මරණ පිළිබඳව වාර්තාවිය. එය එසේ වූයේ කෙසේදැයි විනිවිද භාවයකින් යුත් පැහැදිලි වාර්තා මෙතෙක් ඉදිරිපත් වී නැත. මෙසේ කල් ඉකුත්වූ පැණිබීම වර්ග නැවත ජනතාවට නොයෙක් වෙසින් පරිභෝජනය කරන්නට සිදුවීමත් ඒ පසුපස ගැබ්වූ හේතුවක්ද යන්න පිළිබඳව තර්ක මතුකළ හැක්කේ මෙවන් පසුබිමකදීය. මේ කුණු ලොක්කාට අදාළ දේශපාලනඥයාගේ සහාය මෙන්ම කොළොන්නාව ප‍්‍රාදේශීය සභාවේ අදාළ බලධාරියකුගේ සහායද මේ ජාවාරම කරගෙන යාම සඳහා නොඅඩුව ලැබෙයි. ඒ ඔහුගේ සාක්කුවටද මේ හරහා මුදල් වැටෙන වාතාවරණයකදි හා අදාළ කුණු ලොක්කා හා ඔහු අතර ඇති මිත‍්‍ර සන්ධානය හේතුවෙනි. එහෙත් කොළොන්නාවේ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා මෙයට විරුද්ධවුවත් ඔහුට ඉහළින් ඇති දේශපාලන හයියකින් ඒ විරුද්ධත්වය යටපත්කර දමා ඇත. ඉහත සඳහන් කළ අප ද්‍රව්‍ය හැරුණු විට කොළොන්නාව, වැල්ලම්පිටිය කුණුකන්ද වෙත දෛනිකව මෘත ශරීරාගාරවලින් හා රෝහල්වලින් පිටකරන අප ද්‍රව්‍යයද බැරවෙයි. විශේෂයෙන් මළ සිරුරු එම්බාම් කරද්දී මළ සිරුරුවලින් පිටතට ගන්නා කුණුවූ ශරීර කොටස් වළදැමීම සඳහා මේ කුණුකන්ද වෙත ගෙන එයි. අධික දුර්ගන්ධය හා විෂබීජ සහිත මෙම ශරීර කොටස් ඉතා ගැඹුරු ලෙස වළ දැමීමක් නොවේ. නොගැඹුරු වළවල්වල වළ දමනු ලබන මේ මළ ශරීර අප ද්‍රව්‍ය කපුටන් ඇතුළු සතුන් හාරනු ලැබේ. ඒ එයින් වහනය වන දුර්ගන්ධය නිසාය. එසේ සතුන් විසින් ඇද දමනු ලබන මෘත ශරීර අභ්‍යන්තර කොටස් කුණු කන්දේ තැනින් තැන විසිරි ඇති අතර ඇතැම් විට කපුටන් මෙම මෘත ශරීර කොටස් හොටෙන් එල්ලාගෙන යනු ලැබේ. එසේ එල්ලගෙන යන මෘත ශරීර කොටස් මස් කැබලි ඒ අවට නිවෙස්වල වහල මතට මෙන්ම වනා ඇති රෙදිමතටද වැටීම නිතර සිදුවෙන්නකි. ඒවා කුණුවී ගඳ ගසනවිට හා වැසි සහිත පරිසරවලදී වහල මත රැුඳුණු එවන් ශරීර කොටස් බිමට වැටුණු විට කුඩා දරුවන් ඒ මොනවාදැයි නොදැන අතින් පවා අල්ලන අවස්ථා තිබේ. මේ මිහිපිට නරකාදියක් දැයි සිතෙන තරමට කොළොන්නාව, වැල්ලම්පිටිය දැවැන්ත කුණුකන්ද ආශි‍්‍රතව නිවෙස්වල පරිසරය පිළිකුල් සහගත වෙන්නේ නිරායාසයෙනි. ඒ අවට නිවෙස් බොහොමයක් පිහිටා ඇත. ඉන් බහුතරය ඉතා අඩු පහසුකම් සහිත නිවාසය. එම නිවාසවල කුඩා දරුවන් මෙන්ම ගැබිණි මාතාවන් හා ලෙඩ දුක්වලින් පෙළෙන වැඩිහිටියන් ජීවත්වෙයි. එහෙත් ඒ කිසිවකුට ඔබින සනීපාරක්ෂක පසුබිමක් එම පරිසරයේ දක්නට නැත. රෝහල්වලින් පිට කරන අප ද්‍රව්‍යයද විශේෂයෙන් සේලයින් බට ආදි දේ මේ කුණු කන්ද මත නිතර දැකිය හැකි අප ද්‍රව්‍යයන්ය. මේ කුණු කන්ද වූ කලී එක් අතකින් නරකාදියකි. තවත් අතකින් ජාවාරම් තිප්පොළකි. තවත් අතකින් ලෙඩ රෝග හා ඉක්මන් මරණය මිනිසුන්ට උරුම කරන කේන්ද්‍රස්ථානයකි. සංවර්ධනය කරා යන රටක ජනතාවගේ යහපත් සෞඛ්‍යයට අනිවාර්යයෙන්ම ප‍්‍රමුඛස්ථානයක් හිමිවිය යුතුමය. මෙවන් පසුබිමකදී කුණු කන්දක් ආශි‍්‍රතව ජීවත්වීමේ ඵල විපාක මොනවාදැයි යන්න ගැඹුරින් විමසා බැලීම කළ යුතුමය. කුණු කන්දකින් ප‍්‍රධාන වශයෙන් වැඩිපුරම පිට වෙන්නේ මීතෙන් වායුවයි. මීතෙන් වායුව ආඝ‍්‍රාණය දිගුකාලීනව ශ්වසන ආබාධ ඇති කරයි. මෙම කුණු කඳු ආශි‍්‍රතව ගිනිගැනීමක් වුවහොත් එහිදී පිට කරන වායුන් ආඝ‍්‍රාණයද දිගුකාලීන හා කෙටි කාලීන ශ්වසානාබාධ ඇති කිරීමට ඍජු හේතුවක් වෙයි. එමෙන්ම කැළි කසළ ආශි‍්‍රතව දිරාපත් වෙද්දී එකතුවෙන ජලීය අප ද්‍රව්‍ය සියල්ල භූගතවී ඒවා ළිං ජලයට එක්වීමෙන් ජල මූලාශ‍්‍ර දූෂණය වෙයි. මෙම ජලය භාවිතය දිගුකාලීනව හා කෙටිකාලීනව ආහාර මාර්ග ආශි‍්‍රත රෝග ඇතිවීමටත් හේතුවකි. මෙකී වාතාවරණයක් මධ්‍යයේ ජීවත්වීම විශේෂයෙන්ම කුඩා දරුවන්ට, ගැබිණි මව්වරුන්ට හා දුර්වල ශරීර ශක්තිය සහිත පුද්ගලයන්ට ඉතා අහිතකරය. කුණු කඳු ආශි‍්‍රතව මීතෙන් වායුව නිකුත්වන විට ගින්නක් ඇතිවිය හැකි යම් ප‍්‍රභවයක් (උදාහරණයක් ලෙස ගිනි පුපුරක් සිගරැට් කොටයක් වැනි දෙයක්) තිබුණොත් විශාල ගිනි ගැනීමක් ඇතිවිය හැක. මේ අවට නිවෙස් විශාල සංඛ්‍යාවක් පවතී. එමෙන්ම නිරන්තරයෙන් දක්නට ලැබෙන්නේ දුම්වැටි පානය කරන තරුණ පිරිසකි. එවන් පසුබිමකදී ගිනි ගැනීමක් වුවහොත් දේපළ හානියක් මෙන්ම ජීවිත හානියක්ද සිදුවීම වළක්වාලන්නට අසීරුවනු ඇත. ජාතික පාරිසරික පනතට අනුව කුණු දැමීම විධිමත්ව සිදුකිරීමේ හැකියාව තිබිය යුතුය. ප‍්‍රාදේශීය සභා ආඥා පනත, මහ නගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත මේ පනත් යටතේ අදාළ ආයතනවලට කුණු දැමීම විධිමත් කිරීමේ කාර්යය භාරය පැවරී ඇත. කුණු බැහැර කිරීම මහජන පීඩාවක් නොවනා ලෙස සිදුවිය යුතුය. අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 98 වැනි වගන්තිය යටතේ විධිමත් නොවන කුණු බැහැර කිරීම්වලට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගත හැකිය. ඒ එය එසේ නොවුණු විට එය මහජන පීඩාවක් වන හෙයිනි. නීති පැවතුනත් නීතියටද එරෙහිව දේශපාලන හයිය කරපින්නාගත් හෙංචයියලා ගේ හයිය බලවත්වෙද්දී ඒ බලවත්කමට ජනතා හඬ නොඇරෙද්දී තව දුරටත් කොළොන්නාව, වැල්ලම්පිටිය කුණු කන්ද මේ ”කුණු ලොක්කන්”ගේ සුරපුරක්වීම නොවැළැක්විය හැක්කකි. එය සල්ලි ගරන උල්පතක්වීම නොවැළැක්විය හැක්කකි. අදාළ සියලූ බලධාරින් මේ ජාවාරම් ඉදිරියේ තව දුරටත් ඇස්කන් වසාගෙන නොසිටිය යුතු බව අප අවධාරණය කරන්නේ මෙකී වාතාවරණය මධ්‍යයේය.
සටහන - සංජීවිකා සමරතුංග / ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය
කුණුගොඩ කුණුගොඩ අසල ඇති පාසල