(ගිය සියවසෙහි මෙරට බිහි වූ අද්විතීය අග්‍රගණ්‍ය මහ පඬුවකු වූ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ (ශ්‍රී ජයවර්ධනපුර සරසවිය) ආරම්භ කරමින් මෙරට නූතන ධර්ම-ශාස්ත්‍රීය අධ්‍යාපනයට අනූපමේය සේවයක් කළ පණ්ඩිත ශිරෝමණී වැලිවිටියේ ශ්‍රී සෝරතාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හැට දෙවන (62) ගුණානුස්මරණය අද (17) යෙදී ඇත. මේ ඒ වෙනුවෙන් පළ කෙරෙන ලිපියකි.)
මිහිඳු මාහිමියන්ගෙන් ඇරැඹි ලක් බුදුසසුන මහාවිහාර - අභයගිරි දෙ-කඳවුරු තුළින් ථේරවාද-මහායාන දෙ-සම්ප්‍රදායයන්ට අයත් බෞද්ධ අධ්‍යාපන ක්‍රමවේද දෙක තුළින් ලෝකයක් විස්මයට පත් කළ පැනවතුන් පිරිසක් මෙරට බිහිවූහ.
මෙපින් බිමෙහි වාසනා බල මහිමයට වරින් වර මහ තෙදැති මහ පිනැති යුග පුරුෂයෝ බිහි වූහ. ඒ යුග පුරුෂයන් අතර හික්කඩුවේ සිරි සුමඟුල් බදත් මහා පඬුවාණනට හිමි වනුයේ, බෞද්ධ ඉතිහාසයේ අග තැන්පත් උසස් ම තැනෙකි. සිරි සුමඟුල් නාහිමියෝ හෙළදිවැ ජනිත වූ තෙවලා දහම හා සබැඳි අටුවා ටීකාදිය සමඟ ප්‍රාචීන භාෂා පිළිබඳව මෙන් මැ ඉංග්‍රීසි වැනි ප්‍රතිචීන භාෂා පිළිබඳව ද ශ්‍රේෂ්ඨතම විශාරදයන් අතරැ අග්‍රගණ්‍ය වෙති.
සමුද්‍රය ගැඹුරු ය. එසේ ම විශ්වවිද්‍යාලීය ශිෂ්‍යයින්ගේ පරමාර්ථ ද එකක් විය යුතු ය. එනම් රටට යෝග්‍ය, රටට ගැළපෙන, රටට ප්‍රයෝජනවත් පුරවැසියන් වීමයි. සමුද්‍රය හැම කුණු කසළක් ම ගොඩට ගසයි. නොපිළිගෙන ඈත් කරයි. ඉවත ලයි. එසේ ම විශ්වවිද්‍යාලය ශිෂ්‍යයින් ද නිතර ම සත්‍යය පිළිගත යුතු ය. අසත්‍යය, වැරදි දෙය ඈත් කළ යුතු ය. සමුද්‍රය කිසිකලෙක වෙරළ නො ඉක්මව යි. එසේ ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ද ස්වකීය විශ්වවිද්‍යාල සම්ප්‍රදායට එයට ඇති ලැදියාව අත් නොහළ යුතු ය. (කඩිභිංගල සෝරත හිමියන්ගේ “ධර්මය ශාස්ත්‍රෝන්නති” නමැති කෘතිය ඇසුරෙනි).
හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා ප්‍රාඥයන් වහන්සේගේ බුද්ධි ප්‍රභාවෙන් ආභාසය ලැබූ අප සෝරත නාහිමියෝ ගිය සියවසෙහි ලක්දිව පහළ වූ කුසාග්‍ර බුද්ධිමතුන් අතුරෙහි පළමු පෙළෙහි මැ වැජඹෙති. බොහෝ පඬිවරුන් තුළ වෙන් වෙන් ව පිහිටි සුවිශේෂ ගුණ සමුදායක් එක් පඬිවරයකු තුළ විද්‍යාමාන වීම වූ කලී අතිශය දුලබ වේ. සෝරත නාහිමියන්ගේ උද්ග්‍රහණය වනාහී අතිශීඝ්‍ර යි. ධාරණය වූ කලී ස්ථිරසාර යි. ස්මරණ ඥානය අතිශය ක්ෂණික වූ ද, අනුමානය ද බොහෝ සෙයින් නිරවද්‍ය වූ ද වේ. හේත්වාභාසයන්ගෙන් පූර්ණවශයෙන් මිදුණේ වූ ද වේ.
සෝරත නාහිමියන් විසින් විදුදය සරසවිය ඇරඹියේ, වෙසෙසින් ස්වදේශිකයින්ට ස්වභාෂාවෙන් උසස් අධ්‍යාපන කටයුතු කිරීම සඳහා බැව් අධ්‍යයන/ අනධ්‍යයන, ගුරු/ශිෂ්‍ය බොහෝ දෙනට අමතක වූ වා සේ යි.’ එයින් වූයේ ස්වභාෂා දැනුම සරසවි ප්‍රජාව තුළින් දුර්වල වීමයි. පරබස් කෙතරම් ඉගැන්නුව ද හෙළ බස, ලාංකේය සංස්කෘතිය හා ඉතිහාසය නිරවුල් ව නිවැරදි ව ඉගැන්වීම තවදුරටත් ශක්තිමත් කළ යුතු ය. සෝරත නාහිමියන්ට කෘතඥතාව හා භක්ත්‍යාදරය දක්වන්නෝ එසේ කරත්වා!
ලක්දිව සරසවි ශිෂ්‍ය ප්‍රජාව ද දේශානුරාගයෙන් හා දේශවාත්සල්ලයෙන් මෙන් ම සිය බසට හා දේශීය සංස්කෘතික උරුමයන්ට ගරු කරමින් කටයුතු කළ යුතු අන්දම සෝරත නාහිමියන් විසින් සිහිගන්වනු ලබන්නේ භාරත දේශයේ වැසියන් තුළ පවත්නා දේශමාමකත්වය සිහිගන්වමිනි. උන්වහන්සේ ඒ බැව් මෙසේ පවසති.
විදුදය සරසවිය අරඹන සෝරත නාහිමියෝ එවකට දකුණු ආසියාවේ සරසවියක නොපැවැති කළමනාකරණ පීඨය ද ස්ථාපිත කළහ. සරසවියෙහි සමාරම්භක ම පීඨය වූ බුද්ධ ධර්ම පීඨය, වර්තමානයෙහි පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය වශයෙන් කුඩා අධ්‍යනාංශයකට සීමා වී තිබීමෙන් ගම්‍ය වනුයේ, අනෙකක් නොව සෝරත නාහිමි උදාරාධ්‍යාශය වූ උන්නතිය වෙනුවට නූතනත්වය විසින් අවනතිය කරා ගෙන ගොස් ඇති බවයි.
බුදුරදුන්ගේ දේශනාවට අනුව මහා පුරුෂයකු තුළ පැවතිය යුතු පුරුෂාර්ථ රැසක් සෝරත නාහිමියන් තුළ පැවති බවට හොඳ ම සාක්ෂිය නම් කෘතවේදීත්වය යි. විදුදය සරසවිය ඇරඹීම වූ කලී එහි ප්‍රතිඵලය යි. නූතන පිරිවෙන් අධ්‍යාපනයේ පුරෝගාමී උතුමන් වහන්සේ වන පරමපූජනීය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ගේ ඒ අනුපම ධර්ම ශාස්ත්‍රෝන්නතියට කෘතඥතාව පළ කිරීම් වස් විදුදය සරසවිය ඇරඹියේ, ඉතා පාරිශුද්ධ වූ උත්කෘෂ්ට පරමාධ්‍යාස රැසක් පෙරදැරිව ය.
විදුදය සරසවියේ මහැදුරකු වශයෙන් කලක් සේවය කොට, උපකුලපති ධුරයෙහි ද කලක් කටයුතු කළ අග්ග මහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමියන් වහන්සේ ප්‍රකාශ කොට ඇත්තේ සෝරත නාහිමියන් ගේ අපවත් වීම අසන්නට ලැබීම තරම් එකල හද සසල කළ සිදුවීමක් නො වූ තරම් බවයි.
විශේෂ වශයෙන් ලෝකයේ පැවති විශ්මිත බෞද්ධ විශ්වවිද්‍යාලයක් වන භාරත දේශයේ නාලන්දා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික ආකෘතික හැඩ තල විදුදය සරසවියෙහි අධ්‍යාපන ක්‍රමවේදය තුළ ආභාසය කොට ගැන්මට සෝරත නාහිමි වග බලා ගත් බව අභාවප්‍රාප්ත දෙටු මහැදුරු විමල් ජී. බලගල්ල විද්වතාණන් විසින් වරෙක පවසන ලදී.
“දැන් අප විසින් කළයුතු එක ම කාර්යය ලෙස සැලකිය යුත්තේ විද්‍යෝදය විශ්වවිද්‍යාලය අභිවර්ධනයට පමුණුවා ලීමටයි. එහෙයින් අපේ කාලය විශ්වවිද්‍යාලය උදෙසා ම යොදන්නට අධිෂ්ඨාන කරගෙන සිටිමු. සිංහල භාෂා සාහිත්‍යයත් දියුණුකරලීමට හා සිංහල උගතුන්ගේ දැනීම පළල් කිරීමත් මේ විශ්වවිද්‍යාලයේ පරමාර්ථයන්ගෙන් කිහිපයකි. ඒ සඳහා විශ්වවිද්‍යාලයෙහි ශක්තිය හැම විට ම යොදනු ලැබේ. නූගතුන්ට උපාධි දී රටවැසියන් රවටන්නට අපේ බලාපොරොත්තුවක් නොමැති යි. (ධර්ම ශාස්ත්‍රෝන්නතිය නම් කෘතිය ඇසුරිනි).
විදුදය සරසවිය පිළිබඳ සෝරත නාහිමියන්ගේ දර්ශනය හා චින්තනය පිළිබඳව නිතර සඳහන් කරන ප්‍රකට කරුණුවලට අතිරේකව උන්වහන්සේගේ චින්තනයෙන් බිඳක් පිළිබඳ අප අවධානය යොමු කළේ, අප කථානායකයාණන්ගේ මානව සංහතිය පිළිබඳව ත්‍රෛකාලවර්තී අවලෝකනය කෙතරම් සර්වකාලීන ද යන්නත්, එය නූතනවාදී ගුණෙන් පිරිපුන් මානවහිතවාදී දයාලූ බවින් සමන්විත ද යන්නත් පිළිබඳ නූතන පරපුර දැනුවත් කිරීම සඳහා බව අවසන් වශයෙන් සිහිකට යුතුයි. අප සෝරත නාහිමියන්ට උතුම් බුදු බව අත්වේවා!
(***)
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය ජී.ඒ. ගාමිණී රත්න ශ්රී
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
විදුදය සරසවිය ගොඩනැගූ තුන්කල් දත් මහ ඉසිවරයාණෝ