ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ආයතන රැසක පසුගිය දිනවල වැඩි අවධානය යොමුවී තිබුණේ ශ්‍රී ලාංකික ජනතාවගේ බත් පිඟාන රස කරවන එළවළු සපයන ගොවියා වැටී ඇති අවදානම හා අගාධය පිළිබඳවයි. එහෙත් ගොවියාගේ ඒ හඬ පරදා විදුලි බිලේ අර්බුදය කරළියට පැමිණීමත් සමඟ ගොවියාට සිදුවූයේ ගන්ධබ්බයන් ලෙස විශ්වයේ සැරි සරමින් වගකිවයුතු බලධාරීන් සෙවීම පමණි.



එළවළු වගාව පිළිබඳව, ව්‍යාජ බීජ පිළිබඳව, එළවළු අලෙවියේදී සිදුවන මාෆියාව, ආර්ථික මධ්‍යස්ථාන වල ක‍්‍රියාකාරීත්වය, තොග හා සිල්ලර අලෙවිය ඇතුළත ඇති පරතරය, ආදී කරුණු පිළිබඳවත් ගොවි නිෂ්පාදන වලින් බැට කන ගොවීන් පිළිබඳවත් ගොවීන් සූරාකන අය පිළිබඳවත් අප දිගින් දිගටම හෙළිකළේ මාධ්‍යයක වගකීම භාරගෙනය.

අපි මෙවර එළවළු ගොවිබිම් වලට ගොස් ඔවුන්ට සිදුවී ඇති ආරවුල පිළිබඳව සොයා බැලූවෙමු.

මේ වනවිට පහතරට එළවළු වගා රැසක අස්වනු සාර්ථක වී ඒවා නෙළන සමයයි. අස්වැන්න ලැබී අටු කොටු සරුවන බක්, වෙසක් මාසවල සතුටින් සිටිය යුතු ගොවියන් අද තම සාර්ථක අස්වැන්න තම ගොවිපළ තුළම කුණු වෙන්නට ඉඩ හැර නෙතින් රූරා වැටෙන කඳුළු බිඳුව සෙමින් ඇඟිලි තුඩු වලින් ඉවත් කරමින් දුක් මහන්සියෙන් වවාගත් භෝග දෙස බලා හූල්ලමින් සිටිති.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයට අයත් දඹුලූ හල්මිල්ලෑව හබරත්නාවල ප‍්‍රදේශයේ එළවළු වගාබිම් කීපයකට ගිය අපට දැකගැනීමට හැකිවූයේ වම්බටු, මෑ කරල්, බණ්ඩක්කා, කරවිල, ගෝවා, කැකිරි, පිපිඤ්ඤා, බෝංචි, ආදි එළවළු කොටු රැුසක් අස්වනු නෙළීම අතහැර දමා තිබෙන ආකාරය යි. ගොවීන්ගේ මුහුණු දකින විට අපට ගොවිබිමේදී මතකයට නැඟුනේ වර්තමාන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා මාධ්‍ය වලට එළවළු ගොවීන් පිළිබඳව කියූ විශේෂ ප‍්‍රකාශයයි.

එම ප‍්‍රකාශය පිළිබඳව එළවළු ගොවීන්ගේද අප‍්‍රසාදය ද එල්ල වෙමින් පවතින බවක් අපටද දැනිණි.

‘‘ප‍්‍රයෝජනයට නොගෙන එළවළු කිලෝ දහස් ගණනක් ඉවත් කිරීම සෑම වසරකම සිදුවෙනවා. එයින් ගොවියාට පාඩුවක් සිදුවෙන්නේ නැහැ. එළවළු අහක දාන්න වෙන බව වගා කරන ගොවියොත් දන්නවා. ඒ බව දැනගෙනයි ඒ අය වගා කරන්නේ. මේ එළවළු ඉවත් කිරීම ප‍්‍රායෝගිකව කරන් පුළුවන් දෙයක් නොවෙයි. එළවළු නාස්තිය සිදුවන බැවින් ඒ ඒ කාලයට වෙනත් බෝග වගා කරන ලෙස ගොවීන්ට පැවසුවද ඔවුන් ඒවා නොපිළිගෙන තමන්ට අවශ්‍ය බෝග වගා කරන්නේ ඔය එළවළු අහකදාන එක  ඕන්නම් සති දෙකක් තියේවි පස්සේ හරියයි.’’



ඒ අපේ කෘෂිකර්මය බාර ඇමති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අදහසයි. අප හබරත්නාවල ගමට ගිය අවස්ථාවේ අනිල් විජේරත්න තරුණ ගොවි මහතා පැමිණ ඇමති වරයාගේ මෙම ප‍්‍රකාශය පිළිබඳව තමන්ගේ ස්වාධීන ප‍්‍රකාශයක් කිරීමට හැකිදැයි අපෙන් විමසීමක් කළේය. ඊට අප අවස්ථාව දුන්නෙමු.
‘‘ඔය පාඩුවක් නෑ කියන ඇමතිතුමාට මා ආරාධනා කරනවා වෙන කොහෙවත් ගොවි බිම් වලට නොයා අපේ ගොවිබිමට එන්න කියලා. අපිට පාඩුවක්ද ලාබයක්ද වෙලා තියෙන්නේ කියලා’’ බලන්න පුළුවනි. ඇත්තටම මට නම් දැන් කෘෂිකර්ම ඇමතිතුමා කරවිල වගේ!

‘‘දහස් ගාණක් වියදම් කොරලා ගස් පල්ලේ මේ අස්වැන්න කුණුවෙන්න ඉඩ හැරලා ඉන්න අපට මොලේ අමාරුවක් නෑ. තවත් වියදම් කරලා මේවා කඩලා වෙළෙඳපළට අරගෙන ගිහින් නැවත අත පිසදාගෙන එනවාට වැඩිය හොඳ නැද්ද ඒවා ගොවිපළේම විනාශ කරන එක ඔහු විමසයි.

මෙහිදී අයි.ජී. ජයරත්න ගොවි මහතා ද අප සමඟ තමන් විඳින දුක පිළිබඳව හෙළිකළේ හැඬූ කඳුළෙනි.

‘‘අපිට වහ බොන්ඩ බෑ. මොකද දරුවෝ තවත් අනාථ වෙනවා. මේ එළවළු කඩන්නේ නැතුව අතහැරලා දාලා තියෙන්නේ තව දුරටත් ණය කාරයෝ නොවී ඉන්න විතරයි. අඩුම තරමේ මේවා වගා කරනකොට අපට කිව්වේ නෑ. මේවා වගා කරන්න එපා. මේවා පමණක් වගා කරන්න කියලා. අඩුම තරමේ මේ එළවළු වගා වලට වැළඳෙන රෝගයක් ගැනවත් සොයා බලන්න කවුරුත් එන්නේ නෑ. පෞද්ගලික සමාගමක කීප දෙනෙක් අලූත් තෙල් බෙහෙත් විකුණලා අපට උපදෙස් දීලා යනවා.’’ අපි දන්නේ එච්චරයි. අවසානයේ අපට කියනවා වගා කරලා වැඩියි ඒ නිසා විකුණන්න බෑ කියලා.

එළවළු වගාව, අලෙවිය, මනා කළමනාකරණයක් නොකර ගෙවීන්ට එහි වගකීම පවරා නිලධාරීන්ට බලධාරීන්ට අතපිස ගැනීමට නොහැකිය. මන්ද සැලසුම් සාදන්නේ ගොවීන් නොවන නිසාය. වවන්නට එක් පාර්ශවයක්, අලෙවියට තවත් පාර්ශ්වයක් වෙන්වී ඇත. මේ දෙපිරිස තම තමන්ගේ වගකීම් හඳුනාගෙන ඇත්නම් එය සිදු නොවෙයි.

ශ්‍රී ලංකාවේ දත්ත අනුව සමස්ත එළවළු නිෂ්පාදනය වාර්ෂිකව ටොන් 700,000 කි. ඒ අනුව ඒක පුද්ගල එළවළු පරිභෝජනය කිලෝග්?ම් 75 කි. ඒ අනුව ගත් කළ ශ්‍රී ලංකාවේ ජනගහණය අනුව අතිරික්තයක් තිබිය නොහැකිය.

ශ්‍රී ලංකාවේ හැම ග‍්‍රාමසේවා වසමකම ගොවීන් වෙනුවෙන් වෙන්වූ නිලධාරි පිරිසක් ජනතා වැටුපෙන් පත්කැර සිටිති. ඔවුන්ගේ රාජකාරිය විය යුත්තේ ගොවීන්ට සේවය කිරීමයි. සැළසුම් සකස් කිරීමයි. එහෙත් එය නිසියාකාර සිදුවන්නේ නම් මේ තත්ත්වයක් ඇතිවිය නොහැකියි. අඩුම තරමේ රජය ගොවීන්ට ලබාදෙන සහනාධාර ටික හෝ නිසියාකාරව ගොවීන්ට ලබාදීමට නොහැකි බව ගොවි බිම් වලට ගොස් ගොවීන් සමඟ කතා කරද්දී පසක් වන කරුණකි.
කෘෂිකර්ම අමාත්‍යංශයේ මෙන්ම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ වගකීම් නිසියාකාර ඉටුවනවාදැයි සොයාබැලිය යුතුය. එළවළු අපතේ දැමීම පිළිබඳව ජනමාධ්‍ය මගින් දැනුම්වත් කිරීමෙන් පසු ලක් සතොස ඉදිරිපත් වී පසුගිය කාලයේ දින 10ක් පමණ එළවළු මිලට ගත්තේය. එහෙත් එය දීර්ඝ කාලීනව පවත්වාගෙන යෑමට නොහැකි විය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහය ඇතිව එය සිදු නොවීය. ඒ අනුව නැවත වරක් ගොවියාට සිදුවූයේ තම නිෂ්පාදන කුණු වෙන්නට හැර දමා හූල්ලන්නටය.  

මේ තත්ත්වය නිසා ගොවියා මෙන්ම ගොවියාට වගාවට උදව් කරන ව්‍යාපාරිකයාද නට්ටම් වී ඇති බව අපට දැකගත හැකි විය. මන්ද වගාකිරීමට ගොවියාට ණය මුදල්, තෙල් පොහොර ලබාදී එම ණය මුදල් හිලව් කැර ගැනීමට නොහැකිවීමයි.

 

ගොවි බිමේ මැරී යන එළවළු වගාව



ගොවීන් වගා කරන එළවළු සඳහා නිසි මිලක් නොමැත. එළවළු පරිභෝජනය කරන ජනතාවට අඩු මුදලකට එළවළු ලබා ගන්නටද නොහැකිය. එසේ නම් මෙහි කොනැතක හෝ වරදක් ඇති බව වැටහෙනු ඇත. ගොවියාට බලපාන සියලූ ආයතන එක්ව ගොවියා මෙන්ම පාරිභෝගිකයාද රැක ගැනීම සඳහා දීර්ඝ කාලීන වැඩ සටහනක් සැකසිය යුතුව ඇත. එසේම එම වැඩසටහන දියත් කිරීමට යොදවන නිලධාරීන්ගේ සේවාව පිළිබඳව අධීක්ෂණයක්ද සිදුකළ යුතුව ඇත. මන්ද එසේ නොවන්නට සිදුවන්නේ රජය ක‍්‍රියාත්මක කරන එකී වැඩසටහන් වලින් සිදුවන්නේ තවත් පිරිසකගේ මල්ල තරවීම පමණකි.

පොහොර සහනාධාරය, වී මිලදී ගැනීම බීජ ව්‍යාපෘති වලින් සිදුවූ අක‍්‍රමිකතා පිළිබඳව අමිහිරි අත්දැකීම් සමුදායක් අපට ඇත. ඒ සියල්ල සැළකිල්ලට ගෙන රජය ලබාදෙන සහන ඒ ආකාරයෙන්ම ගොවීන්ට ලැබෙන්නට අවශ්‍ය පියවර ගත යුතුව ඇත. එසේ වූ විට ගොවියා මෙන්ම පාරිභෝගිකයා ද රැුකෙනු නිසැකය.

 

සටහන හා ඡායාරූප  -  දඹුල්ල කාංචන කුමාර ආරියදාස