(ධම්ම දිසානායක විසිනි)

ගම ඒකාබද්ධ ලෙස සංවිධානය කිරීමේ අවශ්‍යතාව කොවිඩ් 19 විසින් යළිත් අවධාරණය කරන ලද කරුණකි. මා ‘යළිත්’ යැයි සඳහන් කළේ ගම සංවිධානය කිරීමේ කටයුත්ත පිළිබඳව සමකාලීන නිරීක්ෂණ සහ, මැදිහත්වීම් පිළිබඳව අත්දැකීම් අප රට සතුවත් අප සතුවත් පවතින හෙයිනි. පශ්චාත් කොවිඩ් 19 හෝ පශ්චාත් කොරෝනා ලංකාව මේ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතුය යන්න මගේ තද බල හැඟීමක්ය යෝජනාවක්ය.

මේ කොරෝනා සමයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, භාණ්ඩ හා සේවා බෙදාහැරීම වගේම සැලසිය යුතුම අයට සුබසාධනය සැපයීම සහ දීමනා ලබාදීමේ දී මුහුණ දෙමින් සිටින අර්බුදය වනාහි ගමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් ව්‍යුහයක් නැතිකමේ ප්‍රති විපාකය. ගම නිසි ලෙස සංවිධානය නොකර අර්බුදවලට ආපදාවලට වසංගතවලට මුහුණ දිය නො හැකිය, රට ගොඩනැගිය නො හැකිමය. හැත්තෑවේ සමගි පෙරමුණු ආණ්ඩුවත් 2010 මේ පිළිබඳව ගත් උත්සාහය එහි දී ඉතා වැදගත්ය. හැත්තෑ වේ අප කුඩා වුන්ය. එහෙත් 2010 මේ ලියුම්කරු, එකී ගම සංවිධානය කිරීමේ කටයුත්තේ වගකීම් සහගත නිලධාරියෙකි.

2005 ‘මහින්ද චින්තනය’ තුළත් 2010 ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ තුළත් ගම සංවිධානය කිරීම පිළිබඳව ඉදිරිපත් වූ සංකල්පය සවිස්තරාත්මක ක්‍රියාකාරී වැඩ පිළිවෙළක් බවට පත් කිරීමේ නිල වගකීම පැවරුණේ මා ඇතුළු කණ්ඩායමකට ය. ඒ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ජනසභා අධ්‍යක්‍ෂ ජනරාල් නිලය මා භාරගත්තේ ආභරණයක් ලෙස නොව ඒ තුළින් සමාජ-ජාතික වගකීමක් ඉටු කිරීමේ හැකියාව තිබේය යන හැගීමෙනි. ඒ සඳහා ඉඩකඩ සැලසූ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ බැසිල් රාජපක්ෂ ඇමතිතුමාට මම අදත් ස්තුතිවන්ත වෙමි.

ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකකම සංකල්පීයව සඳහන් වී තිබු ජනසභා අදහස ප්‍රයෝගික වැඩපිළිවෙළක් සහ ක්‍රියාකාරකමක් බවට පත් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවිණි. විවිධ සිවිල් සමාජ සංවිධාන සහ රාජ්‍ය නිලධාරීන් මේ කටයුත්තේ දී දැක් වූ සහාය අති විශාලය. හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දොළහේම එකකින් ග්‍රාම වසම් පහ බැගින් නිලධාරීන් සහ නියෝජිතයන් විසින් තෝරා දුන් පසු අපේ වැඩ සටහන නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළෙමු.

ඒ අනුව වසම් හැටක ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණි. ක්‍රියාත්මක කරන අතරතුර ලැබූ අත්දැකීම් සහ ජනයාගේ සිතුම් පැතුම් තේරුම් ගත් අපි ‘ජන සභා’ යන නම වෙනුවට ග්‍රාම වසමේ සභාව ‘ග්‍රාම සභාව’ ලෙස නම් කළෙමු. පසු කලෙක කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශයේ තිබෙන සියලු‍ම වසම්වල මෙම නියමු ‘ග්‍රාම සභා’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළෙමු.

මෙවර ලිපිය තුළ ඒ ග්‍රාම සභා පිළිබඳව විධිමත් පැහැදිලි කිරීමක් සිදු කරන්නේ පශ්චාත් කොරෝනා ලංකාව ශක්තිමත්, විධිමත්, ජන කේන්ද්‍රීය සහ සොබාදම් කේන්ද්‍රීය ස්වදේශික රාජ්‍යයක් බවට පත් කිරීමට අවශ්‍ය නම් ගම විධිමත් ව සංවිධානය කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් වන නිසාය. එසේම ඒ කටයුත්තේ දී මේ සැලසුම කෙරෙහි දේශපාලන, පරිපාලන සහ සමාජ අවධානය යොමු කිරීම අත් උදව්වක් වන නිසාය. මෙතැන් සිට අප අත්දුටු ග්‍රාම සභා ක්‍රමයේ ස්වරූපය ආකෘතිය සහ අන්තර්ගතය කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලමි.

ග්‍රාම සභාවක් යනු ග්‍රාම (නිලධාරී) වසම තුළ සිටින ආගමික නායකයන්, වසම භාර රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ජනතා නියෝජිතයන්, පුරවැසියන්, වසමේ ක්‍රියාත්මක සිවිල් සමාජ සංවිධාන සහ ස්වේච්ඡා සංවිධානවල එකමුතුවෙන් සංවිධානය සහ සංවර්ධනය උදෙසා වූ ඒකාබද්ධ ග්‍රාම ආණ්ඩුකරණයේ සම්බන්ධීකරණ ව්‍යුහයය.

එහි අරමුණු කීපයකි. එනම් අරමුණු පහළොවකි.

 

  1. ජාතික සංවර්ධනයේ පදනම් ඒකකය ලෙස ගම සංවිධානය කිරීම,
  2. ග්‍රාමීය සංවර්ධනය සහ ආණ්ඩුකරණය සමස්තවාදී සහ ඒකාබද්ධවාදී ප්‍රවේශයක් මත සිදුකිරීම,
  3. ජාතික පිරිවැය අඩුකිරීම සඳහා ගමේ කාර්යයන් ප්‍රතිව්‍යුහගත කිරීම,
  4. ජාතික නිෂ්පාදනය සහ ජාතික ආදායම ප්‍රසාරණය සඳහා ගම යොදා ගැනීම,
  5. ගමට අදාළ පරිපාලන, දේශපාලන, සිවිල් සමාජ, ප්‍රජා මුලික, ආයතන හා සංස්කෘතික සංවිධාන සමඟ ඒකාබද්ධව සම්බන්ධීකරණයකින් යුතුව සංවර්ධන සහ ආණ්ඩුකරණ සැලසුම් සැකසීම, ක්‍රියාත්මක කිරීම සහ ඇගයීම,
  6. ග්‍රාමීය ජනයා බලගැන්වීම,
  7. නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිකරණයට අදාළ ජන ව්‍යවසායකත්වයක්’ හඳුන්වා දී ස්ථාපිත කොට පහසුකම් සලසා එය දිරි ගැන්වීම,
  8. ගමේ අවශ්‍යතා සහ ප්‍රමුඛතා මත ම යටිතල පහසුකම් සැලසීම සහ ඒවා ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම,
  9. ස්වයං පැවැත්මක් සහිත සම්මුතිකාමී ග්‍රාමීය ප්‍රජාවක් බිහි කිරීම,
  10. අන්තර් ප්‍රජාසමාජ සමඟිය ගොඩනැගීම,
  11. ජාතික ඒකාබද්ධතාවේ මුල් ඒකකය ලෙස ගම ගොඩනැඟීම,
  12. ගැටුම් අවම කරමින් ජනසම්මුතිවාදී භාවිත සහ පුරුදු ගම තුළ ගොඩනැගීම,
  13. ගම තුළ දේශපාලන සංහිඳියාවකට පසුබිම සැලසීම, (ඒ සියල්ලට අදාළ වන)
  14. ගමේ ආදායම් සහ මානවීය දිළිඳුකම පිටු දැකීම
  15. ඒ සියල්ල සඳහා වසමේ සියලු‍ නිලධාරීන්,සංවිධාන සහ ජනයා ඒකාබද්ධ කරගෙන වසමේ මානව භෞතික දත්ත බැංකුවක් සැකසීම යනු ඒ ග්‍රාම සභා අරමුණුය.

ග්‍රාම සභාවේ කාර්යභාරය පස් වැදෑරුම්ය. එනම් සංවර්ධන, සංවිධාන සහ ආණ්ඩුකරණ කටයුතු සඳහා

  1. සැලසුම්කරණය,
  2. සම්බන්ධීකරණය,
  3. අධීක්ෂණය,
  4. විමර්ශනය
  5. විගණනය

එසේම ග්‍රාම සභාවේ කාර්යභාරය ඉටු කිරීමේ මුලෝපා නව වැදෑරුම් ය. එනම් 1. මුණගැසීම, 2. සාකච්ඡා කිරීම, 3. එකඟතා ගොඩනැගීම, 4. සැලසුම්කරණය, 5. තීන්දු තීරණ ගැනීම, 6. සම්බන්ධීකරණය, 7. විමර්ශනය, 8. අගයනය සහ 9. විගණනය යනු ඒ මූලෝපායන්ය.

ග්‍රාම සභා පද්ධතිය ප්‍රජා, වසම්, සහ ප්‍රාදේශීය යනුවෙන් මට්ටම් තුනකි. එනම් ප්‍රජා මට්ටමේ දී ප්‍රජා සංවිධාන යනාදී ප්‍රජා සභා ද, වසම් මට්ටමේ දී ග්‍රාම සභාව ද ප්‍රාදේශීය මට්ටමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ආණ්ඩුව (පළාත් පාලන ආයතනය) සමඟ වූ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව යනුවෙනි.

ග්‍රාම සභාවේ සංයුතිය කෙරෙහි මීළගට අපගේ අවධානය යොමු කරමු. පුරවැසියන්, ප්‍රජා සභා නියෝජිතයන්, ආගමික නායකයන්, පහසුකාරකයන් (වසමට ඍජුවම අදාළ නිලධාරීන්), වසමට අදාළ ක්ෂේත්‍ර නිලධාරීන්, දේශපාලන නියෝජිතයින් යන අයගෙන් ග්‍රාම සභාව සමන්විත වේ. මෙහි වැදගත්ම කරුණ වන්නේ වසමේ ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරිනිය, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර, සංවර්ධන නිලධාරී සහ ප්‍රජා පොලිස් නිලධාරී යන වසමට ඍජුවම සම්බන්ධ නිලධාරීන් හය දෙනකු ග්‍රාම සභාව තුළ වසමට අදාළව ඒකාබද්ධව සහ සම්බන්ධීකරණයකින් යුක්තව ක්‍රියාත්මක වීමය. එසේම පනහකට ආසන්න ක්ෂේත්‍ර නිලධාරීන් ග්‍රාම සභාව සමඟ එ්කාබද්ධව කටයුතු කිරීමය. හිතන්න, වසමකට ඍජුව සහ වක්‍රව අදාළ නිලධාරීන් ගණන පනහකට වැඩිය.

ග්‍රාම සභාව විධායක සභාවකින් සහ උපදේශක සභාවකින් යුක්තය. එසේම ග්‍රාම සභාවේ කමිටු පහක් වේ. 1. පරිපාලන සහ සහජීවන කමිටුව, 2. ජීවනෝපාය සහ යටිතළ පහසුකම් සංවර්ධන කමිටුව, 3. පරිසර, සෞඛ්‍ය සහ සනීපාරක්ෂක කමිටුව, 4. පර් යේෂණ, ග්‍රාමීය තොරතුරු සහ සම්බන්ධීකරණ කමිටුව සහ 5. විගණන කමිටුව යනු ඒ කමිටු පහය. එහෙත් ගමේ ජනයාගේ අවශ්‍යතා සහ කැමැත්ත අනුව මෙ කමිටු ගණන සහ ඒවායේ අන්තර්ගතය වෙනස් කරගැනීමට පුළුවන.

ග්‍රාම සභාව තුළ ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිතයාගේ කාර්යභාරය ගැන ඉතා කෙටියෙන් අවධානය යොමු කරමු. ප්‍රාදේශීය ආණ්ඩුව (පළාත් පාලන ආයතනය) සහ ග්‍රාම සභාව අතර සම්බන්ධීකරණය, අදාළ ප්‍රාදේශීය ආණ්ඩුවේ කටයුතු පිළිබඳව ග්‍රාම සභාවට වගවීම, ග්‍රාම සභා කටයුතු පිළිබඳ උපදේශනය සහ ඉහළ දේශපාලන අධිකාරියට ග්‍රාම සභාවේ ඉල්ලීම් යොමු කිරීම යනු ග්‍රාම සභාවේ ප්‍රාදේශීය ආණ්ඩු නියෝජිතයාගේ කාර්යභාරය යි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය වන්නේ ග්‍රාම සභා පවත්වාගෙන යාමේ කටයුත්තට අදාළ සම්බන්ධීකරණය සහ නිලධාරීන් යොමු කිරීමය. එසේම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සාමාජිකත්වය එක් ග්‍රාම සභාවකින් එක් අයකුට ලබාදිය යුතුය. එහිදී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව යනු ග්‍රාම සභාවලට අදාළ ප්‍රාදේශීය වගවීම් කමිටුව ද වේ. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ රැස්වීම්වල න්‍යාය පත්‍රයේ එක් අයිතමයක් විය යුත්තේ ග්‍රාම සභා කටයුතු යන්නය.

මේ ඉහතින් සඳහන් කළේ ලංකාවේ වසම් හැත්තෑ හතරක 2012-2015 අතර කාලයේ නියමු ව්‍යාපෘතියක් ලෙස සාර්ථක අත්දැකීම් ලැබූ ග්‍රාම සභා ක්‍රමය පිළිබඳව ඉතාම කෙටි සාරාංශයකි. නැවතුණු තැනින් පටන් ගනිමු කියා විසුක දස්සන පෙන්නන අය සිතිය යුත්තේ සමහර නැවතුණු තැන් නැවත පටන් ගත යුතු නැති බවය. එහෙත් සමහර නවත්තපු තැන් කෙරෙහි නැවත අවධානය යොමු කළ යුතුමය. ග්‍රාම සභා එවැන්නකි. එය ස්වදේශික පෝෂිත රාජ්‍යයක් ගොඩනැඟීමේ අත්තිවාරමය. පටන්ගත යුත්තේ එතැනින්ය. පශ්චාත් කොරෝනා ලංකාව වනාහි පූර්ව කොරෝනා ලංකාවෙන් ජයගත නොහැකි රටක් බව කවුරුත් තේරුම් ගත යුතුය යන්න මේ කිවිදා මගේ දැක්මය.

කොළඹ විශ්වවිද්‍යාලයේ

දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශය