IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


රටට නොමියෙන නමක් තැබූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක

කෘතහස්ත දේශපාලඥයකු හා විද්වතකු වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාගේ 157 වැනි ජන්ම දිනය අදට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ඔහුගේ පියා දොන් ඩැනියෙල් ජයතිලක නමින් ප්‍රකට ඉඩම් හිමි වැවිලිකරුවෙකි. ඩී.බී. ජයතිලක පවුලේ වැඩිමහල් දරුවා විය ඔහුට බාල සහෝදරයෝ දෙදෙනෙක්ද, සහෝදරියෝ දෙදෙනක්ද සිටියහ.

 පියා සිය පුතුට වයස අවුරුදු හත පිරෙත්ම, මූලික අධ්‍යාපනය සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළු කළේය. එකල එහි සේවය කළ රත්මලානේ ධර්මාලෝක යතිවරයාණන්ගේ සෙවණේ මේ ශිෂ්‍යයා ඉගෙනුම ලැබුවේය. පසුව ජයතිලක ද්විතීයික අධ්‍යාපනය  හැදෑරීම සඳහා කොළඹ වෙස්ලි විදුහලට ඇතුළු වන්නේය.  එම විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී ඔහු තුළ සැඟවී තිබුණ දක්ෂතා ඉස්මතු විය. පිරිවෙනේ අධ්‍යාපනය  ලැබූ අවධියේ පාලි, සංස්කෘත, සිංහල යන ප්‍රාචීන භාෂා පිළිබඳ දැනුම ප්‍රගුණ කරගැනීමට ජයතිලක සමත් විය.

තරුණ ජයතිලක 1890 දී පරම විඥානාර්ථ සමිතිය විසින් පිහිටුවන ලද මහනුවර ධර්මරාජ විදුහලේ විදුහල්පති තනතුර බාර ගත්තේය. එතුමා 1898 වසර දක්වා එහි සේවය කළේය. එම විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා මේ විදුහල්පතිවරයා කැපවිය.

1898 වසරේ දී හෙතෙම කොළඹ ආනන්ද විදුහලේ උපවිදුහල්පති ධුරයේ රාජකාරි බාර ගත්තේය. එම විද්‍යාලය මෙරට පැවති ඉහළම පෙළේ බෞද්ධ ද්විතීයික අධ්‍යාපන ආයතනයයි. තරුණ නියෝජ්‍ය විදුහල්පතිවරයාට එම විද්‍යාලයේ විදුහල්පති තනතුරට උසස්වීමක් ලැබිණි. ජයතිලක විද්වතා නිසා කොළඹ ආනන්දයේ කීර්තිය පැතිරිණ. මෙතුමා විශිෂ්ට අධ්‍යාපනවේදියකු පමණක් නොව දක්ෂ පරිපාලකයෙක්ද විය. එබැවින් පරම විඥානාර්ථ සමාගම එතුමාට තවත් බාරදූර රාජකාරියක් පැවරුවේය. එනම් බෞද්ධ පරමවිඥානාර්ථ සමාගම විසින් මෙරට ස්ථාපිත කරන ලද බෞද්ධ පාසල් අධීක්ෂණය සඳහා සාමාන්‍ය  කළමනාකරු වශයෙන් පත් කිරීමය.

1898  ජනවාරි මාසයෙදී තරුණ බෞද්ධ සංගමය (YMBA) පිහිටුවීමත් සමගම, ජයතිලකයෝ එහි සභාපති තනතුරට පත් කෙරෙති. එතුමා 1898 සිට 1942 දක්වා කාල පරිච්ඡේදය පුරා එහි සභාපති වශයෙන් සේවය කළේය. බෞද්ධ පුනරුදය සඳහා කෙරෙන කටයුතුවලදී තරුණ ජයතිලක පෙරමුණේ සිටියේය. දහම් පාසල්වල පැවැත්වෙන ධර්ම විභාග ආරම්භ කිරීමේ පුරෝගාමියා වූයේ ජයතිලක සූරින්ය.

මේ මානව හිතවාදී බෞද්ධයා ධර්මය ඇසීමට පමණක් නොව ඒ අනුව ජීවිතය හැඩගසා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරුවේය.

ජයතිලකගෙන් සිදුවූ සමාජ සේවාවක් වන්නේ අමද්‍යප ව්‍යාපාරයට සම්බන්ධ වී කරන ලද මෙහෙයයි. නොබෝ කලකින් එතුමා එහි මුල් පෙළේ නායකයෙක් වෙයි. මේ ව්‍යාපාරය පිහිටුවීමේ මතුපිට අරමුණ වූයේ සිංහල ජාතිය  මත්පැන් පානයෙන් මුදවාගෙන ධනාත්මක හා ගුණාත්මක මිනිස් පරපුරක් බිහිකිරීමය. එහෙත් එම ව්‍යාපාරය පිහිටුවීමේ යටි අරමුණ වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මේ මාතෘ භූමිය මුදාගැනීමය. ඒ අනුව ජාතික නිදහස දිනාගැනීම සඳහා දැවැන්ත මතවාදී අරගලයක් මෙරට සියුම්ව දියත් කෙරිණ. එම ජාතික නිදහස් අරගලයට පුරෝගාමී වූ නායකයන් අතර ජයතිලකයන්ට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.

ජයතිලක ඉගෙනීම් කටයුතුවලදි සුවිශේෂ කුසලතා පෙන්වූයේය. 1898 දී හෙතෙම ඉන්දියාවේ කල්කටා විශ්වවිද්‍යාලයෙන් තම ප්‍රථම  උපාධිය දිනාගනියි. අනතුරුව ඔහු 1910 දී එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් ජිසස් විද්‍යාලයට ඇතුළු වී 1913 දී එයින් තවත් උපාධියක් දිනාගත්තේය. තවත් වසර කිහිපයකට පසුව ජයතිලක එම්.ඒ. උපාධියක්ද හිමිකර ගත්තේය. පසුව 1916 දී එංගලන්තයේ ලින්කන්ස් නීති විද්‍යාලයෙන් හේ අධිනීතිඥ (බැරිස්ටර්) විභාගය සමත් වී යළි දිවයිනට සම්ප්‍රාප්ත විය.

 1924 දී ජයතිලක ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙයි. එහිදී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින්, ඔහු ව්‍යවස්ථාදායක සභාවට නිතරගයෙන් පැමිණෙයි. අනතුරුව 1931 දී නව රාජ්‍ය මන්ත්‍රණ සභාවට කැලණිය ආසනයෙන් ජයතිලක යළිත් තෝරා පත්කර ගැනෙයි. පසුව 1936  පැවති මැතිවරණයෙන්ද ඔහු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරගනු ලැබිණ.

1931-1942 දක්වා කාල පරාසය තුළ එතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායකවරයා වශයෙන්ද, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන්ද මහත් කැපවීමෙන් සේවය කළේය. කෙසේ වෙතත් 1942දී දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් එතුමාට සිය අමාත්‍ය ධූරයෙන් සහ සභානායක තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.

ජයතිලක කෘතහස්ත දේශපාලනඥයෙකි. නීතිඥවරයෙකි. සාහිත්‍යධරයෙකි. රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. අධ්‍යාපනඥයෙකි. බහුශ්‍රැත පඬිවරයෙකි. චතුර කථිකයෙකි. විවාදකයෙකි. සැබෑ මානව හිතවාදියෙකි.

 ජයතිලක ඉන්දියාවේ ලංකා  තානාපති වශයෙන් සේවය කරමින් සිටිය දී හදිසියේ අසනීප විය. හෙතෙම ලංකාව බලා ඒමට ඉන්දියාවෙන් ගුවන් යානයකට නැගුණේය. එහෙත් 1944 මැයි මස 31 වැනිදා බැංගලෝරයේ ගුවන් කලාපයේ දී ගුවන් යානය තුළ එතුමා අවසන් හුස්ම හෙළුවේ ය. එයින් සිදුවූයේ ලංකා මාතාවට තවත් ශ්‍රේෂ්ඨ පුත්‍ර රත්නයක් අහිමිවීම ය. 

(*** රෝහණ වංශතිලක)



අදහස් (1)

රටට නොමියෙන නමක් තැබූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක

sunil Tuesday, 18 February 2025 06:34 AM

දැනට මහාභාරකාර දෙපාර්තමේන්තුව පවතින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට දෙමහල් මැදුර ජයතිලක පවුලේ බුදලයක්. අක්කර සියයක පමණ වපසරියකින් යුත් නැගෙනහිර කොළඹ රෝහල් (මුල්ලේරියාව රෝහල) භුමිය ට තවමත් කියන්නේ ජයතිලක වත්ත කියලයි. ඒවායින් කොටසක් දැන් දේශපාලන හිතවත්කම් මත බෙදා ගෙන. එහෙම බැලුවහම අතීත දේශපාලකයින් කොතරම් ප්‍රධාන ජනතාවට කරලා තියෙනවද?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28964 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18210 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11312 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 698 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 212 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site