ගෙදර දරුමල්ලන් සමඟ දබරයක් වූ විට ගෘහ මූලිකයා වෙහෙසෙන්නේ ප‍්‍රථමයෙන්ම එම ප‍්‍රශ්නය විසඳාගැනීමටය. එය පිටස්තර ඥතියකු අරභයා සිදුවන්නේ නම් අකැමැත්තෙන් වුවද ඥතියාගෙන් ඈත්වීමට සිදුවේ. එහෙත් ඥතීන් යනු ඇතුවත් බැරි නැතුවත් බැරි පිරිසකි. ඒ නිසා ඈත්කර තැබීම තාවකාලිකය. නැතිනම් ගෙදර ප‍්‍රශ්නය විසඳගන්නා තුරුය.  ඕනෑම බුද්ධිමත් ගෘහමූලිකයකු කල්පනා කරන්නේ එහෙමය. අද ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවට සිදු වී තිබෙන්නේ මේ සන්තෑසියයි. මේ නිසා ශී‍්‍ර ලංකාවේ ම ප‍්‍රශ්නයක් අරභයා දකුණු ඉන්දියාව මුල්කොට ගෙන ඉන්දියානු මධ්‍යම රජයේ මතු වී තිබෙන අර්බුදය අමතක කර ”ජිනීවා” යෝජනාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය ගැන කතා කිරීම ප‍්‍රඥගෝචර වන්නේ නැත. ‘එතකොට ඉන්දියාව කලින් කීවනේ අපට සහාය දෙනවයි කියල.’ ඒකත් අපේ ”රාජ්‍ය තාන්ති‍්‍රක අමනෝඥ ක‍්‍රියාවකි” එය යම් ප‍්‍රමාණයකට වුව ද රහසක් සේ තබා ගැනීමට අප සමත් වුණේ නැත. ඉන්දියානු මධ්‍යම රජය අර්බුදයකට ගියේ මෙතැන් සිටය. දැන් එය මුලින්ම හෙළිදරව් කළේ කවුරුන්දැයි එකිනෙකාට ඇඟිල්ල දිගුකර ගැනීමෙන් පලක්     නැත. සාමාන්‍යයෙන් අපේ මුළු හැසිරීමම වගකීම් විරහිත ස්වරූපයක් ගෙන තිබෙනවා වාගේ ය. ශී‍්‍ර ලංකාවේ උතුරු නැගෙනහිර අර්බුදය අරභයා දකුණු ඉන්දියාවේ දෙමළ පක්ෂ සියල්ලම එක මතයකට පැමිණි විට ඊට අවනත වනවා හැරෙන්නට ඔවුනට කළහැකි වෙනත් දෙයක් නැත. ”එතකොට අපේ සහයෝගිතාවට මොකද වෙන්නෙ.” පෙරළා අපට එසේ ප‍්‍රශ්න කළ හැකිය. ‘‘තමුසෙලත් අපට ප‍්‍රශ්න ඇති නොවන විදියට සහයෝගිතාවය තබාගත්ත නම් හොඳ නේද කියා ඉන්දියාව අපට කිව්වොත් මොකද වෙන්නෙ ?’’ ඒකත් ඇත්තය. කිසිවෙක් තමන්ගේ රට අවුල් කරගෙන තවත් රටක් වෙනුවෙන් සහායට එන්නේ නැත. අපේ රටේ  ප‍්‍රශ්නය ඉන්දියාව දක්වා ගමන් කිරීම මේ අවුලට හේතු වී තිබේ. ඊට අපි ද අනියමින් වගඋත්තරකරුවෝ වෙමු. අපට මේ ආකාරයෙන් විදග්ධ ලෙස ප‍්‍රශ්න විග‍්‍රහ කර ගැනීමට නොහැකි වන්නේ නම් අනාගතය මීට වඩා අවුල් වියවුල් ඇතිවිය හැකිය. ”ඒක හරි වැඩක්නෙ. අපි ස්වාධීන රටක්නෙ. මේක ඉන්දියාවෙ ප‍්‍රාන්තයක්ද ? ‘‘අපේ ප‍්‍රශ්නයෙන් ඒ ගොල්ලන්ට වැඩක් නෑනෙ. ඒක අපට බලාගන්න පුළුවන්නෙ.” මෙහෙමත් කල්පනා කරන අය ද අප අතර සිටිති. ‘‘ඒ වුණාට අපේ දෙමළ නායකයොමනෙ ඉන්දියාවට ගිහිං ඔවුන්ගේ දුක් ගැනවිලි කියන්නෙ. එතකොට ඔවුන්ගේ තමිල්නාඩු ඥතීන් ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවට බලපෑම් කරනවනෙ.’’ චක‍්‍රයක් සේ ප‍්‍රශ්නය කැරකෙන්නේ එසේය. ”ඇයි එහෙම නම් තමුසෙලාගේ මිනිස්සු තමුසෙලාගේ අයටම දුක් ගැනවිලි ඉදිරිපත් කරන්නේ     නැතුව අපේ ළඟට එන්නෙ?. තමුසෙලා ඔවුන්ගෙ ප‍්‍රශ්නවලට නිවැරදිව ඇහුම්කන් දුන්නා නම් මෙහෙම නොවෙන්න තිබුණානෙ.” ඉන්දියාව අපෙන් එහෙම ඇහුවොත් මොකද වෙන්නේ? ඔව්. ඒකත් නොසලකා හැරිය නොහැකිය. ”ජිනීවාවල දී ඉන්දියාව අපට සහාය දෙන්නේ නැත්නම් අපි චීනය පැත්තට හැරෙනව. මතක තියාගෙන්න චීනය ඉන්නේ අපිත් එක්කනෙ. එතකොට ඉන්දියාව බම්බු ගහන්නද ?” මෙසේ කල්පනා කරන සිතන ගොඩ පෙරකදෝරුවෝ ද අප අතර සිටිති. ඒ ගොන් වැඩෙත් කරලාම බලන්න  ඕනෑය. ඉන්දියාව අපේ ඥතියාය. චීනය කිට්ටුම මිත‍්‍රයාය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නිතරම පවසන්නේ එහෙමය. එය සත්‍යයකි. එහෙත් ශී‍්‍ර ලංකාවේ උතුරු නැගෙනහිර බහුතර දෙමළ ජනයා හා ශී‍්‍ර ලංකාවට ආසන්නම ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ජනතාව සමඟ වාර්ගික මෙන්ම සංස්කෘතික වශයෙන් ද සබඳතා පවතින බව අප අමතක කළ යුතු නැත. දකුණේ වෙසෙන දෙමළ ජනයා වුවද ප‍්‍රශ්නයක් ඇති වූ විට එක්කෝ දුවන්නේ උතුරටය. නැතිනම් තමිල්නාඩුවටය. මේ නිසාම ඉන්දියාවේ දකුණ හා අපේ උතුර අතර කාලාන්තරයක් තිස්සේ ඡේදනය කළ නොහැකි සබඳතාවයක් පවතී. ඊට පාදක වූ ඓතිහාසික හේතු ද තිබේ. එනම් නිදහසින් පසු අප ”ශී‍්‍ර ලාංකික ජාතික රාජ්‍යය” ගොඩනඟා ගැනීමට අසමත් වීමයි. මේ නිසා අපේ රටේ ජීවත්වන සුළු ජන කොටස් තුළ හේතුවක් ඇතුව හෝ නැතුව ඔවුන් මෙරට පාලනයට  පිටස්තරයන්ය යන මනෝභාවයක් ඇති වී තිබේ. අද ඉන්දියාවේ මහා ආණ්ඩුවට වුවද ප‍්‍රශ්නයක් වී තිබෙන්නේ මේ මනෝභාවයයි. ඉන්දියාවේ බහුතරය ජීවත් වන්නේ ”ඉන්දීය ජාතියක් ලෙසිනි.” ඔවුහු හින්දු, මුස්ලිම්, සික්, ද්‍රවිඩ, කර්ණාට ආදී සියල්ලෝම ”ඉන්දියානුවෝ” වෙති. අපේ එවන් කල්පනාවක් නැත. එසේ නොවන නිසා නිදහස ලැබූ දා සිටම දෙමළ ජනතාවගේ ජාතිකත්‍වය පිළිබඳ ප‍්‍රශ්නය විවිධ යුගවල විවිධ ස්වරූපයෙන් මතුවිය. වසර තිහක් තිස්සේ පැවැති එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරාජය කිරීමත් සමඟම අවසන් වූයේ එම ප‍්‍රශ්නයේ ප‍්‍රචණ්ඩ හැඩතලයයි. ඒ සමඟම නැවත මතුවෙමින් පවතින්නේ ද පැරණි ප‍්‍රශ්නයමය. රටම නොසන්සුන් කරමින් තවමත් ඉන්දියාව දක්වා විහිදී ගොස් තිබෙන්නේ එයමය. මෙය තේරුම් නොගෙන ඉන්දියාව සමඟ වුවද ”එදාවේල ටුවර්ස් ක‍්‍රමයේ” ජාත්‍යන්තර සම්බන්ධතාවලට යෑම අති භයානකය. ”ජිනීවා” මානව හිමිකම් කවුන්සලයට ඇමරිකාව ගෙන එනු ලබන යෝජනාවට ඉන්දියාවට පක්ෂ වීමට සිදු වී තිබෙන්නේ මෙවන් පසුබිමකය. මේ නිසා ඉන්දියානු අගමැති මන්මෝහන් සිං අපට නොකියා කියන්නේ ”වරදක් වුණත් හිතකින් නොවේ” කියලාය. මෙය තේරුම් ගැනීමට නොහැකි නම් අපේ අනාගතය සුබ වන්නේ නැත. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යුගය ඉන්දියාව සමඟ ශී‍්‍ර ලංකාව වඩාත් සමීප වූ අවදියක් සේ පෙනේ. උතුරේ යුද්ධය ජය ගැනීමටද මේ ඉන්දියානු සහෝදරත්වය හේතුවක් විය. එය අප ”සිංහ පැටව්” වුවද අමතක කළයුතු නැත. දැන් ඔවුන් දිගින් දිගටම පවසන්නේ එම සිවිල් යුද්ධයට හේතු වූ කාරණා සොයා දේශපාලන විසඳුමකට යන ලෙසයි. ඊට උගත් පාඩම් කොමිසම ප‍්‍රයෝජනයට ගන්නා මෙන් පැවසීම ඉන්දියාවේ නවතම ඉල්ලීම වී තිබේ. මේ ඉල්ලීම සඳහා ඉන්දියාවේ ඇමතිවරු කීප වතාවක්ම අපගේ කකුල් දෙක ළඟට පැමිණ සිටියහ. ඒ ඥතිමිත‍්‍ර මට්ටමිනි. මේ සඳහා කිසි විටෙක ඉන්දියාව බලහත්කාරය පාවිච්චි කර නැත. ඊට අමතරව උතුර ගොඩනැඟීමට ආධාර කර ඇත. එම සබඳතා සිදුවූයේ ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ගෞරවයක් අත්වන අයුරිනි. ඉන්දියාවේ මෙම තාන්ති‍්‍රක භාෂාව තේරුම් ගැනීමෙන් අපේ අභිමානයට හෝ ජාතිකත්‍වයට කැළලක් වන්නේ නැත. ඉන්දියාව ද අනන්තවත් මෙවන් අභ්‍යන්තර සිවිල් යුද්ධවලට මුහුණ දෙමින් ඒවාට විසඳුම් දෙන රටකි. ඒ සම්බන්ධයෙන් අපට ඇත්තේ එක් අත්දැකීමකි. ඉන්දියාවට එවන් අත්දැකීම් බොහෝ වෙයි. ඉන් ආසන්නම හා අපට සමීපම ආදර්ශය ගත හැක්කේ නාගලන්තයෙනි. අති බිහිසුණු නාගලන්ත ගරිල්ලා ව්‍යාපාරය සටන් කළේ නාගලන්තය නමැති වෙනම රාජ්‍යයක් උදෙසාය. ඉන්දියාව එය මර්දනය කර නාගලන්ත ගරිල්ලා ව්‍යාපාරය පොළොවට සමතලා කළේය. අවසානයේ නොමැරී බේරුණ අය පෝලිමේ පැමිණ ඉන්දියානු හමුදාවන්ට යටත්වූහ. අවි ආයුධ ගොඩගැසුණේ කුඩා කඳුගැට ලෙසිනි. ඔවුන් හා නාගලන්ත දේශපාලන පක්‍ෂ සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව තමිල්නාඩු ප‍්‍රාන්තයට වඩා බලයක් නාගලන්තයට ලබාදීමට ඉන්දියානු මධ්‍යම රජය එකඟ විය. මේ අත්දැකීම් අධ්‍යයනය කිරීමෙන් අපේ අභිමානයට අවැඩක් වන්නේ නැත. ඔවුන් තාන්ති‍්‍රක භාෂාවෙන් පවසන්නේ ශී‍්‍ර ලංකාවේ උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුමක් ලබා නොදී එය ඉන්දියාවේ අර්බුදයක් දක්වා ඔඩුදුවන්නේ නම් රාජ්‍ය තාන්ති‍්‍රක නෑකම මොහොතකට අමතක කර නෑයා නොනෑයා කර ගැනීමට සිදුවන බවයි. ඉන්දියාව වැනි බලවත් රටක් අපේ අසලින් ඥාතියකු සේ සිටීම අපට වාසිදායකය. අවසානයේ එම බලවතා ඇමරිකාව වැනි මහා බලවතකුගේ දකුණු ආසියානු මිතුරා වී සිටීම අපට එරෙහි ව එල්ල විය හැකි ජාත්‍යන්තර බලපෑම අඩු කරනු ලබන බව අමුතුවෙන් කිවයුතු නැත. මෙය වෙනත් සමහර රටවලට නොමැති ගනයේ සුවිශේෂ වාසියකි. කොටින්ම ඉන්දියාටව අප සමඟ සිටින්නේ නම් ශී‍්‍ර ලංකාවට ජාත්‍යන්තර ”ගේමක්” නැත. මේ නිසා අපේ විදේශ අමාත්‍යාංශය තම ජාත්‍යන්තර පිළිවෙතේ වැඩිම අවධානය යොමු කරවීමට තිබුණේ ඉන්දියාවටයි. එය ”සෙනගාල්” ”පේරු” වැනි ඈත රටවල රස්තියාදු වෙනවාට වඩා වැඩදායකය. අපේ අය වැඬේ හදිස්සි වූ විට හතර වටේ ”ටුවර්” යෑමට රුසියෝ වෙති. මේ පිළිවෙත එය හරියට මලපහ කිරීමට අවශ්‍ය වූ විට පමණක් පිට්ටනි සොයනවා වාගේය. ඇමරිකාව ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ගෙන එනු ලබන යෝජනාව සමඟ ඉන්දියාව එකඟ වීම නිසා අපට වාසිදායක ජාත්‍යන්තරය අවාසියට කැරකී තිබේ. ඉන් පැහැදිලිවන්නේ ඉන්දියාවේ ශක්තිය බවට විවාදයක් නැත. එදා දරුස්මාන් වාර්තාවට තරයේ විරුද්ධ වූ අපේ විදේශ අමාත්‍යාංශය අවසන හොර රහසේ ම වාගේ දරුස්මාන්ලාගේ ප‍්‍රශ්න 15කට පිළිතුරු  දීමට ඉදිරිපත් වීම දන්නා අයට රහසක් නොවේ. මේ සඳහා අවසන ජනාධිපති ලේකම් කාර්යාලය ද ගාව ගෙන තිබුණි. මෙහි දී අපේ අභිමානය කොතැන සඟවා ගත්තාදැයි කියන්න දන්නේ නැත. නම්‍යශීලී භාවයේ වරදක් නැත. වරදකට ඇත්තේ ආතක් පාතක් නොමැතිව කකුල කටේ දාගෙන ප‍්‍රදර්ශනය කරන විරෝධතාය. එසේ නම් මේ මොහොතේ වුවද ඉන්දියාව සමඟ යම් සාකච්ඡාවක නියැළී ඇමරිකානු යෝජනාවට යම් සංශෝධනයකට ලක් කිරීම නිකම්ම පරදිනවාට වඩා හොඳ බව අමුතුවෙන් කිවයුතු නැත. අභිමානය වුවද උපක‍්‍රමශීලී නොවී සිල්ලරට පෙන්වන්නට යෑමෙන් සිදු වන්නේ රටකට කීර්තිනාමය දීර්ඝකාලීනව කෙළෙසා ගැනීමයි. අවසානයේ 1987 දී මෙන් යම් බලපෑමකට හසුවීමට සිදු වුවහොත් අපරාධයකි. ඊට වඩා උපක‍්‍රමශීලි අභිමානය යහපත් ය. ජනාධිපති මහින්ද රාජපක්ෂ වුවද අපේක්ෂා කරන්නේ එවන් අභිමානයක් බවට සැකයක් නැත.  ඕනෑම රජෙකුට මෝඩ වඳුරෝ සිටිති. ඔවුන්ගේ හැසිරීම කවදත් ප‍්‍රඥගෝචර නොවේ. එහෙත් රටවල් පාලනය කිරීමේදී මෙහෙම අයත් නැතුවම බැරිය. ඊට හේතුව පණ්ඩිතයන්ට ඒදණ්ඬේ වුවද යා නොහැකි නිසාය. මේ නිසා මේ දෙගොල්ලන් සමඟ ප‍්‍රායෝගිකව කල්පනා කරන අයද රටක ආණ්ඩු පාලනයට අවශ්‍යය. මේ අය අතර වෙනම දේශපාලන න්‍යාය පත‍්‍ර ඇති අයද රජාට සමීප අයද වෙති. ඒ අනාගත රජකම වෙනුවෙන් දැයි කියන්න දන්නේ නැත. ඔවුනට වඩා නම් මෝඩ වඳුරෝ වුවද අහිංසකයෝ වෙති. ඔවුහු කපටි කෛරාටිකයනට වඩා රජුට හිතවත් අය වෙති. මේ භක්තිය නිසාම මැස්සන් එළවීමට වුවද මේ අය කඩුව ඇදගන්නවාය. මේ අය අදාළ පරිදි ස්ථානගත කිරීම රජාගේ වගකීමකි. නොඑසේ නම් නොදැනුවත්වම නොසිතූ මොහොතක රජාගේ බෙල්ල වුවද යා හැකිය.
වසන්තප‍්‍රිය රාමනායක