මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යා යුත්තේ රටේ මහජනතාවගේත් ව්‍යාපාරිකයන්ගේත් අවශ්‍යතා සැලකිල්ලට ගනිමිනි. ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු කරමින් තමන් ද ලාභ ලබන ආයතන වශයෙන් ඒවා පවත්වාගෙන යාම ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණ විය යුතුය. එහෙත් ඒ වෙනුවට ජනතාවගේ රීරිමාංස උරා බොන, ෆිනෑන්ස් ලීසිං පහසුකම් ලබාගත් ගනුදෙනුකරුවන් උස්සා පොළොවේ ගසන තත්ත්වයක් පවතී නම් එහි කොතැනක හෝ බරපතළ වැරැද්දක් තිබිය යුතුය.

තමන්ගේ තැන්පතු භාරගෙන ඒවාට වඩා හොඳ පොලියක් ලබාදෙන කප්රුකක් සේ මහජනතාවගේ පිළිගැනීමට ලක්ව තිබෙන මූල්‍ය ආයතන තම තැන්පතු ගිලගත් යමපල්ලන් සේ ජනතාවට පෙනෙන්නේ එවැනි තත්ත්වයක් පවතින විටය. එවිට ජනතාව වැටෙන්නේ අන්ත අසරණ තත්ත්වයකටය. ලීසිං වාරික නොගෙවා සිටීම නීතිය හමුවේ වරදක් බව සැබෑය. එහෙත් ඒ සම්බන්ධව කතා කරන්නට යාම ජීවිතය අහිමි කරන අත්දැකීමක් විය යුතු නැත. එසේ සිදුවීම සමස්ත ලීසිං ව්‍යාපාරයම කෙරෙහි ජනතා විශ්වාසය කඩා ගැනීමකි. මේ වැරැදි දැක දැක ඒවා නියාමනය කිරීමේ පරම අයිතිය හිමි මහ බැංකුව ද බකං නිලාගෙන සිටීම මෙහි බරපතළම අනතුරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතාම සැර කතාවක් කළේ මේ තත්ත්වය පිළිබඳව යථා අවබෝධයකින් යුතුව බව මේ රටේ ජනතාව දැක ගත්හ. මහ බැංකුවේ කටයුතු පිළිබඳ සියලු‍ විස්තර ඔහුගේ ඇඟිලි තුඩු මත රැඳී තිබිණි. ඊ.ටී.අයි. ෆිනෑන්ස් සමාගමේ කඩාවැටීම පිළිබඳ වගකීමෙන් ගැලවීමට මහ බැංකුවට හැකියාවක් නැතැයි කී ජනාධිපතිවරයා එම ආයතනය සම්බන්ධව කටයුතු කිරීමේදී මහ බැංකුව අසමත්වී ඇති බව ද ප්‍රකාශ කළේ එම කඩාවැටීම පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කරන ලද විමර්ශන කමිටුව හමු වූ අවස්ථාවේදීය. ආරම්භයේ සිටම නිසි ක්‍රමවේදවලින් බැහැරව කටයුතු කර තිබූ ඊ.ටී.අයි. ආයතනයේ කටයුතු මහ බැංකුව මගින් අධීක්ෂණය කර නැතැයි ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබිණි. මහ බැංකු නිලධාරීන් හමුවේ ඉන්පසුව පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ද ෆිනෑන්ස් සමාගම වසා දැමීමේ තීරණය තමා දැන නොසිටි බවය.

ද ෆිනෑන්ස් සමාගම වසා දමන ලද ආකාරය මේ රටේ ෆිනෑන්ස් සමාගම්වල පමණක් නොව බැංකුවල පවා මුදල් තැන්පත් කර ඇති සියලු‍ දෙනා තුළ දැඩි කම්පනයක් ඇති කිරීමට සමත් විය. වසා දැමුණු එම ආයතන ඉදිරිපිට හඬා වැටුණු මෙරට වැඩිහිටි ජනතාවගේ විලාපය මෙරට සෙසු තැන්පතුකරුවන්ට අකුණු පහරක් විය. එහිදී තමන් ආපසු ලබා දෙන්නේ ලක්ෂ 06 ක් පමණක් බවට වන මහ බැංකුවේ ප්‍රකාශය මෙරට මූල්‍ය සමාගම් කෙරෙහි ජනතාව තුළ තිබූ විශ්වාසය දැඩිව පළුදු කිරීමට සමත් විය. ලක්ෂ 50 ක් 60 ක් තැන්පත් කර ඇති අයකු තමන්ට ලැබෙන්නේ ලක්ෂ 06 ක් පමණක් බව දැනගැනීම ඒ සියලු‍ තැන්පතුකරුවන්ගේ හදවතට පිහියෙන් ඇනීමකි. ඒ බව නොදන්නා නිලධාරීන් මහ බැංකුවේ භාරධූර කටයුතු මෙහෙයවන්නේ කෙසේදැයි සිතාගැනීමත් අමාරුය.

මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල සිදුවන අක්‍රමිකතා සහ නීති විරෝධී ක්‍රියා සොයා බලා වාර්තා කිරීමට මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබීම වැදගත් වන්නේ මේ පසුබිමේය. මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය සමාගම් මගින් සිදුකරන ෆිනෑන්ස් සහ ලීසිං ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් සහ ලියාපදිංචි වූ මූල්‍ය සමාගම් තම ගනුදෙනු සිදු කිරීමේදී සිදු කරනු ලබන සමාජය අනුමත නොකරන ක්‍රියා සොයා බලා ගත යුතු ඉදිරි පියවර හා නිර්දේශ පිළිබඳ වාර්තාවක් දින 14 ක් තුළදී ලබා දිය යුතු බවට ද මහ බැංකු අධිපතිවරයා එම කමිටුවට නියෝග කර තිබේ.

එහෙත් ජනාධිපතිවරයා ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වන තුරු නොසිට මේ වැනි කමිටුවක් ඊට පෙර පත්කර තිබුණා නම් වඩා සුදුසු බව අපගේ විශ්වාසයයි. මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් හරහා මහජනතාව අනුමත නොකරන බොහෝ දේ සිදුවන බව ඒ වනතුරු මහ බැංකු අධිපතිවරයා නොදැන සිටීම ඊට හේතුවී දැයි අපි නොදනිමු. එහෙත් අඩුම තරමින් ද ෆිනෑන්ස් සමාගමට ඉබියතුරු දමන අවස්ථාවේදී හෝ ඒ ගැන විමසිලිමත් වීමට ඉඩ තිබිණි. ඒ පිළිබඳ තමන්ට තොරතුරු නොදන්වා සිටි නිලධාරීන් පිළිබඳ මහ බැංකු අධිපතිවරයාට දැන් හෝ අවබෝධයක් තිබිය යුතුය. නැතහොත් අනාගතයේදී මීට වඩා බරපතළ ප්‍රතිවිපාක ඇතිවන සිද්ධීන් පිළිබඳ අපට අසන්නට ලැබෙනු ඇත.

මේ රටේ මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් සම්බන්ධ කටයුතුවලදී තමන්ට සිදුකළ හැක්කේ තැන්පතුකරුවන්ට සහ ගනුදෙනුකරුවන්ට සොච්චමක් ලබාදී ආයතන වසා දැමීම පමණක් නම් මහ බැංකුව එකී ආයතන සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු කිරීමෙන් ඵලක් නැත. අඩුම තරමින් ජනතාවට පොලු‍ තබන මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් අයිතිකරුවන් හිරගෙදරට යවන නීති හඳුන්වාදීමේ වගකීම හෝ මහ බැංකුවෙන් ඉටුවිය යුතුය.