IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


මගේ රත්තරං බේරගන්න මා එදා කොච්චර අඬුවද ?



 

රෝසපැහැති ඔසරියකින් සැරසුණු මැදි විය ඉක්මවු කාන්තාවක මහජන ප‍්‍රදර්ශනය සඳහා විවෘත වූ බෝගම්බර සිපිරි ගෙය නරඹන්නට පැමිණි මිනිසුන් අතරට එක්ව සිටියාය. සුදු පැහැ ගැසුණුු හිසකෙසින් ද බොර පැහැ ගැසුුණුු දැසින් ද යුත් ඇයගේ වියපත් මුහුණේ දසක ගණනාවක කතන්තරයක් ලියැවී තිබිණි. මසක පමණ කාලයක් අනුරාධපුර මහා රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි ඇයට බෝගම්බර සිපිරි ගෙය මහජනයාට ප‍්‍රදර්ශනය කරන බැව් දැනගන්නට ලැබිණි. කෙසේ හෝ එය නරඹන්නට අදිටන් කර ගත්තේ එ් සඳහා  ඇයට අරමුණක් තිබූ හෙයිනි.

සිය දියණියක හා මිණිබිරියක කැටුව ඇය එහි පැමිණියේ එම අරමුණ වෙනුවෙනි. තමන් බෙහෙවින් පේ‍්‍රම කළ මිනිසා වසර කීපයක් සිර කොට සිටි සිර මැදිරිය නරඹන්නට ඇය ගියාය. අද එය හිස්ව තිබුණද මින් වසර 39කට ඉහත ඔහුගේ නිවහන වූයේ එම සිරමැදිරියයි. දසක හතරක් ගෙවී ගියද ඔහු පිළිබඳ ඇය තුළ වූ සෙනෙහස එදා මෙන්ම නොමැකී තිබිණි.

එදා මෙම සිරකුටියේ ඔහු සිටි අයුරු ඇයගේ මතකයට නැඟිණි. ඇය මහා හඬින් හඬා වැටුණාය. -අනේ මයේ රත්තරං හිටියේ මේ කාමරේ. මං එයාව බේරගන්න කොච්චර ඇඬුවද. එ්ත් මාව දාල ගියා” කියමින් ඇය එම සිරමැදිරියේ බිත්තියට හිස තබා හැඬුවාය. ඔහු එල්ලා මරා දැමුණු එල්ලූම් ගස දුටු ඇය දැත හිස මත තබා වැළපුණාය.

ඇය ඞී. ආර්. රන්මැණිකාය. ඇතැම් විට එනමින් ඔබ ඇය නොහඳුනනවා විය හැකිය. එහෙත් ඞී. ජේ. සිරිපාල හෙවත් මරුසිරාගේ රන්මැණිකා යයි කී විට ඔබ ඇය හඳුනා ගනු ඇත. ඇය සොයා පසුගිය දිනෙක අනුරාධපුරයේ සාලියපුර ගම්මානයට අප ගියේ ඇගේ අතීත මතකයන් යළි අවදි කරන්නටය. සිය නිවසේ හුදකලාව සිටි ඇය අප පිළිගත්තේ මහත් ආදරයෙනි. එදා කඩිසර රූපත් කාන්තාවක වූ රන්මැණිකා ජීවිතය ගැට ගසා ගන්නට අනෙක් විධ දුක් කන්දරාවකට මුහුණ දුන්නාය. මේ වන විට ඇය ගිලන් වෙලාය. දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන්නීය. පෙනහළු රෝග, දියවැඩියාව සහ දණහිස් ආබාධ ඇයගේ සිරුර ආක‍්‍රමණය කොට ඇත්තේය. ඇගේ දෙනෙතින් ගලා ගියේ එ් වේදනාවේ කඳුළයි. -ජයසිරිමා බෝධීන් වහන්සේටයි, පුල්ලෙයාර් දෙවියන්ටයි පින්සිද්ධ වෙන්න මම තාම ජිවත්වෙලා ඉන්නවා” ඇය කීවාය.

සිරිපාල සමඟ ඇය ගෙවුයේ කෙටි කාලයකි. ඔහු පිළිබඳ මතකය අතීතයක් පමණි. එහෙත් එ් අතීතය තුළ ඇය තවමත් ජීවත් වන්නීය. ඔහු පිළිබඳ මතකය සදානුස්මරණීයව ඇය මියයන තෙක්ම පවතිනු ඇත. අනුරාධපුරයේ සාලියපුර ප‍්‍රදේශයේ කුඩා නිවසක ජීවත්වන රන්මැණිකා රැුක බලා ගන්නේ ඇයගේ එක් දියණියක විසිනි. -අනේ මහත්තයෝ මගේ දුව මහල හම්බකරන රුපියල් 9000 තමයි එයාගේ දරුවන්වයි මාවයි ජීවත් කරවන්නෙ.  එයාට මොකක් හරි හොඳ රස්සාවක් හොයල දෙන්න පුළුවන් නම් එ්ක ලොකු පිනක්” ඇය අපට ආයාචනය කළාය.

තම දුක්ගැනවිල්ල කී ඇය තම ජිවිතයේ අහුමුළු ඔස්සේ මතකය අවදි කළාය. රන්මැණිකාගේ  දෙමව්පියෝ හේවාහැට ගොඩමුන්නේ ගොවිතැනින් ජීවත් වූ අයයි. ඇය ළමා වියේදීම අනුරාධපුර සාලියපුර ප‍්‍රදේශයේ පදිංචියට පැමිණියේ දෙමව්පියන් නුවර ප‍්‍රදේශය අතහැර අනුරාධපුරයට පැමිණි බැවිනි. ඇයගේ පවුලේ සාමාජිකයෝ 11 දෙනෙකි. දැනට ජීවතුන් අතර ඇත්තේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු පමණි. තුරුණු වියට එළඹි රන්මැණිකා විවාහ වූයේ ගුණපාල නමැත්තෙකු සමඟිනි. ඔහුගෙන් ඇයට දරුවන් පස් දෙනෙකු ලැබිණි. 1970 ජනවාරි 30 වන දින ගුණපාල සර්පයකු දෂ්ට කිරීමෙන් මියයන විට රන්මැණිකා 18 හැවිරිදි වියේ පසුවූවාය. එ් වන විට ඇයට පස්වන දරුවා ලැබෙන්නට සිටියාය. සැමියාගේ අකල් මරණයෙන් පසු  දරු පස්දෙනෙකු පෝෂණය කිරීමේ වගකීම ඇය කර මත පැටවිණි.  තවමත් ලාබාල තරුණියක වු ඇය දරුවන් පෝෂණය කරන්නට කුලී වැඩ කළාය. ගල් වැඩපලවල ගල් කැඩුවාය. ඇයගේ පිහිටට කිසිවකු නොවීය. ඇය තනිවම ජීවිතයට මුහුණ දුන්නාය.

ගුණපාලගේ පියා ජීවිකාව ලෙස කළේ කසිප්පු පෙරීමය. රන්මැණිකා එ්වා නිපදවන ආකාරය පිළිබඳ දැනගෙන සිටියාය. දරුවන් පස්දෙනා පෝෂණය කරන්නට තමාද අරක්කු ව්‍යාපාරය ආරම්භ කළ යුතුයැයි ඇය සිතුවාය. එ් වනවිට එම ප‍්‍රදේශයේ හොර මත්පැන් ව්‍යාපාරය පවත්වාගෙන ගියේ ගුණපාලගේ වැඩිමහල් සොහොයුරා වූ සීමන් අප්පුය. ඔහු වටා ගමේ තරුණ පිරිස් හා නිකරුණේ කාලය ගත කළ පිරිස් රොක්වී සිටියහ. දිනපතා මත්පැන් පානය කරන්නට විශාල පිරිසක් සීමන් අප්පුගේ වාඩියට පැමිණියහ.

දෙද්දුව ජයතුංගගේ සිරිපාල ජීවත් වූයේ කොළඹට ආසන්න පන්නිපිටිය ප‍්‍රදේශයේය. පාසල් වියේ සිටම දඩබ්බරයකු වූ සිරිපාල දිනක් තම පන්තියේ සිසුවකු හා දබරකර ගත්තේය. එයට සිරිපාලගේ සොහොයුරා බැණවැදීම නිසා කෝපයට පත් සිරිපාල තම නිවස මතට ගසක් කපා දමා කොළඹින් අනුරාධපුරයට පැන ගත්තේය. සිරිපාලගේ පියා වු දාවිත් අප්පුහාමි  වැඩිහිටි නිවාසයක උපස්ථායකයකු ලෙස සේවය කළ හෙයින් ඔහු ජීවත් වූයේ අනුරාධපුරයේය. නිවසින් පලා ආ ඔහු තම පියා සමඟ අනුරාධපුරයේ නැවතුණේය. ජීවත්වීම සඳහා කිසියම් වෘත්තියක් සොයා ගැනීමට ඔහු බොහෝ සේ වෙහෙස විය. හිරිමල් වියේ තරුණයකු වූ සිරිපාලට වෙහෙස වී වැඩ කිරීමේ පුරුද්දක් නොවීය. එ් වන විට අවුරුදු 16ක් පමණ වයස තරුණයකු වූ ඔහු වරින් වර තැනින් තැන කුලී වැඩට සම්බන්ධ වුවද එය දැඩි වෙහෙසකාරී රැුකියාවක් විය. කැත්තේ උදැල්ලේ කිසිදු වැඩක් කළ නොහැකි වූ ඔහුට අනුරාධපුර නගරයේ යහළුවන් විශාල පිරිසක් සිටියහ. දවස පුරා ඉබාගාතේ යෑමටත් යහළුවන් සමඟ ගත කරන්නටත් ඔහු පුරුදු විය. සිරිපාල පික් පොකට් ගසන්නට පුරුදු වූයේ තම මිතුරන්ගෙනි. පහසුවෙන් මුදලක් ඉපයීමට හැකි බැවින් එය තමාට ගැලපෙන රැුකියාවකැයි ඔහු සිතුවේය. පසු කලෙක එම රැුකියාවේ නිපුණයෙක් වූයේය. අනුරාධපුර නගරයේ ගැට කපන්නන් අතර ඔහු යහමින් මුදල් හම්බ කළේය. මුදල් අත ඇති නිසා ඔහු මත්පැනට ද පුරුදු විය. සීමන් අප්පුගේ වාඩිය ඔහු පි‍්‍රය කළ ස්ථානයක් විය.

රන්මැණිකා හොර මත්පැන් ව්‍යාපාරය කළේ තනිවමය.  ගුණපාලගේ සොහොයුරා වු සීමන් අප්පු රන්මැණිකාට අයුතු යෝජනාවක් ගෙන ආවේ මේ අතරතුරය. එ් වන විට විසි වැනි වියේ පසු වූ රන්මැණිකාගේ රූපයට ඔහු ලොල් කළේය. එහෙත් රන්මැණිකා ඔහුගේ ඉල්ලීමට එකඟ වූයේ නැත. සීමන් අප්පු රන්මැණිකාට වෛර කරන්නටත් ඇගේ කුඩා ව්‍යාපාරය කඩා බිඳ දමන්නටත් කි‍්‍රයා කළේය. රන්මැණිකා කසිප්පු නිෂ්පාදනය කළේ ඇය සතු කුඩා ඉඩමේය. එම ඉඩමේ විශාල තේක්ක ගස්වලට මුවාවී සැඟවී සිටින සීමන් අප්පු රන්මැණිකා වත්තේ සඟවන මත්පැන් බෝතල සොරකම් කළේය. කසිප්පු නිෂ්පාදනය සඳහා වඩි දැමු විට එ්වාට වෙඩි තැබුවේය. නැත්නම් එ්වා පෙරළා දැමුවේය. දරු පස්දෙනෙකුගේ කුස පිරවිය යුතු වූ බැවින් රන්මැණිකා ද ඔහුගෙන් සිදුවූ සියලූ ගැහැට විඳ දරා ගනිමින් කෙසේ හෝ තම කුඩා ව්‍යාපාරය පවත්වා ගෙන ගියාය.

 

රන්මැණිකාගේ පියා මව සහ සොහොයුරියක්


    -කොහොමද රන්මැණිකාට සිරිපාලව හමුවුණේ” මම ඇසුවෙමි. ඇගේ මුව පුරා පුළුල් සිනාවක් ඉපැදිණි. දෑස දීප්තිමත් විය. ඇය එ් අතීතය සිහිපත් කළාය.  සිරිපාලගේ මිතුරන් අතර නිතර ඔහු සමඟ සිටියේ ලයනල්ය. ලයනල් රන්මැණිකාගෙන් මත් පැන් බොන්නට හුරුවී සිටියේය. දිනක් ලයනල් -රන්මැණිකාගේ වත්තට ගොස් මත්පැන් ටිකක් බොමු” යැයි සිරිපාලට ඇරයුම් කළේය. සිරිපාලට රන්මැණිකා හඳුනා ගන්නට හැකි වූයේ එදා ලයනල් සමඟ ගිය ගමනිනි.  නිතර සීමන් අප්පුගේ වාඩියේ සිටි බැවින් සීමන් රන් මැණිකාට බැණ වදින අයුරුත් ඇයට කරන අඩන්තේට්ටමුත්  සිරිපාල  දුටුවේය. රන්මැණිකාගේ කි‍්‍රයා කලාපය තමාට මහත් හිසරදයක් වී ඇතැයි දිනක් සීමන් සිරිපාලට කීවේය. ඔහු සීිමන්ට හිතවත්ව සිටි බැවින් සීමන් පවසන්නේ සත්‍යයක් දැයි සොයා බලන්නට සිතුවේය. රන්මැණිකාගේ නිවසේ නිතර වසා තිබූ කාමරයක් විය. සැමියා මිය යාමෙන් පසු එය කිසිවකු විසින් පරිහරණය නොකළ අතර ඉඳහිට ජනෙල් පියන් හැර දැමුණේ පුස් ගඳ පහව යනු පිණිසය. ඇතැම් දිනවල වසා දමා තිබූ එම ජනේලය විවෘත වී තිබෙනු රන්මැණිකාට දැක ගන්නට ලැබුණත් එය සුළඟින් ඇරෙන්නට ඇතැයි ඇය සිතුවාය.

රන්මැණිකා හඳුනා ගන්නට ලැබී මඳ කලකට පසු දිනක් සිරිපාල රන්මැණිකා හමුවන්ට පැමිණියේය.       -මට සීමන් කිව්වා රන්මැණිකා වැරදි වැඩ කරනවා කියලා. මම මාසයක් විතර හැංගිලා බැලූවා රන්මැණිකා එහෙම වැරදි වැඩ කරනවාද කියලා. මම තමයි කීප දවසක්ම අර කාමරේ ජනේලෙ ඇරල දැම්මේ.” යනුවෙන් පැවසූ සිරිපාල -මං දන්නවා රන්මැණිකා හොඳ කෙනෙක් කියලා. අද ඉඳන් රන්මැණිකගේ තනිනොතනියට මම මෙහේ නතරවනවා”යි කියමින් ඇගේ දෑස දෙස බැලීය.

එතකොට මං කිව්වා -එපා එපා, මගේ මහත්තයා නැති වෙලා මහ දවසක් ගියේ නෑ. මට කතන්දර හැදෙන්න පුළුවන්. මහත්තය එ් නිසා එ්ක කරන්න එපා කියලා” රන්මැණිකා මතකය අවදි කළාය. ඇය ගේ මතකය වසර ගණනක් ඈතක නතර වී තිබිණි. මම එපා කිව්වට සිරිපාල ඇහැව්වෙ නැහැ. එයා බලහත්කාරයෙන් වගේ නතර වුණා. මට එයාව යවන්න හිත දුන්නෙත් නැහැ.” පැවසූ ඇය මඳක් හඬ නගා සිනාසුණාය. නව යොවුන් වියේ පසුවූ ඇය තුළ ඔහු පිළිබඳ කිසියම්  ආකර්ෂණයක් ඇති වී තිබිණි.

සිරිපාල සමඟ රන්මැණිකා අලූත් ජීවිතයක් ආරම්භ කරන විට ඇය අවුරුදු 20 ක පමණ තරුණියක වූ අතර සිරිපාලට වයස අවුරුදු 17ක් හෝ 18 පමණ වන්නට ඇති බව ඇය පවසයි. ජීවිකා වෘත්තිය ලෙස දෙදෙනාම එක්ව මත්පැන් පෙරීම ආරම්භ කළහ. නව යුවලගේ මත්පැන්වලට වැඩි ඉල්ලූමක් තිබිණි. දුර බැහැර සිට ද ඇතැම් අය මත්පැන් මිලට ගැනීමට ඔවුන් වෙත ආහ. සිරිපාලගේ මිතුරෝද පැමිණ වෙනත් ප‍්‍රදේශවල අලෙවි කරන්නට මත්පැන් ගෙන ගියහ. වෙළෙඳාම සරු විය. අත මිටද ටිකක් සරුවන්නට වූ අතර දරුවන්ටද කුස පුරා ආහාරයක් ලැබිණි. සීමන්ගේ මත්පැන්වලට වඩා වැඩි ඉල්ලූමක් සිරිපාලගේ සහ රන්මැණිකාගේ මත්පැන්වලට තිබිණි. තම ව්‍යාපාරය අඩාළ වෙද්දී රන්මැණිකාගේ ව්‍යපාර දියුණු වනු දැකීම සීමන්ගේ වෛරය තවත් තීව‍්‍ර කරන්නක් වූයේය.

සිරිපාලට ආරි නමින් මිතුරකු විය. දිනක් සිරිපාල ආරි සමඟ අනුරාධපුර දුම්රිය පළ දෙසට ගමන් කරමින් සිටියේය. රේල්ගේට්ටුව අසල, සිරුරේ පච්ච කොටන මිනිසකු තම ආම්පන්න තබාගෙන සිටිනු දෙදෙනා දුටුවෝය. -මචං අපිත් පච්චයක් කොටමුදැ”යි ආරි සිරිපාලගෙන් ඇසීය. සිරිපාලත් එකඟ විය. ආරි තම කම්මුල් දෙක මත කුරුල්ලන් දෙදෙනෙක් කොටා ගත්තේය. එතැන් පටන් ඔහු කුරුළු ආරි ලෙස හැඳින්විණි. සිරිපාල ද තම ළය මත අකුරු වැලක් කොටා ගත්තේය.  ඔහු කොටා ගත්තේ -මරුවා සමග වාසේ” යන්නයි. පසු කාලයේ සිරිපාලට මරු සිරා යනුවෙන් අන්වර්ථ නාමයක් නිර්මාණය කළේ එම අකුරු පෙලය. සිරිපාල බොහෝ මිතුරන් ඇසුරු කළේය. -එයා යාළුවන්ට හරි හිතවත්. එ් නිසා ගොඩාක් යාළුවො හිටියා. කවුරු හරි කරදරයක් කියල කිව්වොත් අතේ තිබුණු ඔක්කොම එ් යාළුවන්ට දුන්නා. අපේ ගෙදර තිබුණු බඩු මුට්ටු හිටං යාළුවන්ට දීපු වෙලාවල් තිබුණා. කොටින්ම මගේ රත්තරං බඩුත් සමහර යාළුවන්ට කරදර තිබුණු වෙලාවට එයා දුන්නා. මම කිසි දෙයක් කිව්වේ නැහැ.” ඇගේ දෑස නැවතත් කඳුළින් පිරි ගියේය.

පියදාස නමැති පුද්ගලයෙක් සාලියපුර ගල්වළ හන්දියේ කුඩා සිල්ලර කඩයක් පවත්වාගෙන ගියේය. ඔහුද තම කඩයේ රහසින් මත්පැන් ව්‍යාපාරයක් පවත්වා ගෙන ගියේය.  සිරිපාල අතින් ප‍්‍රථමයෙන් මරණයට පත් වූයේ මේ පියදාසය. -මේ පියදාස දවසක් එයාගේ කසිප්පු බූලියක් හොරකම් කළා කියලා බොරු චෝදනාවක් කරලා සිරිපාලට ගහන්න ඇවිත් තිබුණා. සිරිපාල වැඩි වශයෙන් රාති‍්‍රය ගත කළේ ගල් කඩන මිනිස්සුන්ගේ වාඩියේ. එ්කට කිව්වෙ ගල්වළ හන්දියේ වාඩිය කියල. එ්ක තිබුණේ ගල්වළ හන්දියෙන් උඩට යනකොට තිබුණු මහ කැලේ. දවසක් සිරිපාල එතැනට යනකොට පියදාස අක්කර 12 පැත්තෙ 18 දෙනෙක් විතර කට්ටියක් එක්ක කැති පොලූ අරගෙන ඇවිත් එයාට ගහන්න පැනලා. එතකොට සිරිපාල එයාට වෙඩි තියල.”

එම වෙඩි පහරින් පියදාස මිය ගියේය. සිරිපාල පසුපස නීතිය එළවන්නට විය. ඔහු නීතියට වසං වෙමින් ජීවත් වන්නට විය. මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්නට සීමන් සිතුවේය. තම සගයකු වූ වෙල්ලියා කැඳවූ සීමන් ඔහුට තුවක්කුවක් දී සිරිපාල මරා දමා ඔහුගේ කනක් කපාගෙන එන ලෙසට උපදෙස් දුන්නේය.

    ”සිරිපාලට තිබුණේ ටිකක් වෙනස් කන් දෙකක්. එ්වා අනෙක් අයගෙ කන්වලට වඩා ලොකුයි. මං දන්නේ නැහැ ඇයි සීමන් කන කපා ගෙන එන්න කිව්වෙ කියලා. සීමන් වෙල්ලියට කියල තිබුණා සිරිපාලව මරල දැම්මට පස්සේ එයා සීමන්ගේ පවුලගේ ගමේ එ් කියන්නේ නාලන්දෙ ගෙනහිං හංගල තියන්නං කාටවත් අල්ල ගන්න බැරි විදියට කියලා.”

 

සිරිපාල පොලිස් අත්අඩංගුවට පත්වූ පසු



වෙල්ලියා සීමන්ගේ අදහසට එකඟ විය. සීමන් ඔහුට රුපියල් පනහක්  දුන්නේය. වෙල්ලියා තුළ සිරිපාල කෙරෙහි පැහැදීමත් තිබිණි. සීමන්ගෙන් නොමිලයේම අරක්කු බී දිවා ආහාරයත් ගෙන පැමිණි වෙල්ලියා සිරිපාල සැඟවී සිටි වාඩිය සොයා ගියේය. ඔහු ගියේ සිරිපාල මරන්නට නොවේ. සීමන් තමාට පැවරූ රාජකාරිය පිළිබඳව සිරිපාලට කියන්නටය. වෙල්ලියා කියූ රහස ඇසූ සිරිපාලට මාරයා ආවේශ විය. සිරිපාලට බියෙන් සීමන් රාති‍්‍රය ගත කළේ තම වත්තේ තිබූ විශාල ගසකය. සවස හය හයහාමාර වනවිට සීමන් ගසට නගින්නේ රාති‍්‍රය වන තෙක් නිවසේ සිටියොත් සිරිපාල තමාට අනතුරක් කරාවිය යන බිය නිසාය. සිරිපාල එය දැන සිටියේය. සීමන් ගසට යාමට පෙර සිරිපාල ඉස්සර විය. වෙඩිල්ල එල්ල වූයේ සීමන්ගේ ළය පෙදෙසටය. -බුදු අම්මෝ”යි කියමින් සීමන් කපා හෙලූ ගසක් මෙන් නිවස ඉදිරිපිට ඇද වැටිණි.

සීිමන්ට වෙඩි තියල ඇවිත් සිරිපාල මට කිව්වා මම සීමන්ව මැරුවා කියලා. මට හිතා ගන්නවත් බැරි වුණා. මම ඇහුවා ඇයි මහත්තයා එහෙම කළේ කියලා. එතකොට කිව්වා ඌ මාව මරන්න ඉස්සෙල්ලා මම ඌව ඉවරයක් කළා කියලා.”

සීමන් අප්පු ඝාතනය කළ සිරිපාල නැවතත් සුපුරුදු ලෙස නීතියට කට්ටි පනිමින් සැඟවී සිටියේය. ඔහුගේ නැන්දා කෙනෙකු හලාවත ප‍්‍රදේශයේ වාසය කළාය. සිරිපාලට එම ඥතියාගේ නිවසේ සැඟව සිටින්නැයි රන්මැණිකා  ඉල්ලා සිටියාය. සිරිපාල එයට එකඟ විය. වාහනයක් සූදානම් කරගත් ඇය සිරිපාල හලාවතට ගෙන ගියාය. රථය පැදවූ රියදුරා සිරිපාලගේ ළය මත කොටා තිබූ -මරුවා සමඟ වාසේ” යන අකුරු පෙළ දුටුවේය. මින් ඉහත ඔහු සිරිපාල නොහඳුතත් අකුරු පෙළින් හඳුනා ගත්තේය. ඔහු පොලිසියට නිවැරදිව ඔත්තුව දුන්නේය. එදින රාති‍්‍රයේ සිරිපාල ආහාර ගනිමින් සිටියේය. බර සපත්තු අඩි හඬක් මිදුල දෙසින් ඔහුට ඇසිණි. කිසිවක් සිතා ගැනීමට පෙරම ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණේය.

(තව කොටසක් ලබන සතියේ)
විශේෂ ස්තුතිය අනුරාධපුර ලංකාදීප වාර්තාකරු සරත් මනුල වික‍්‍රම මහතාට.


 



අදහස් (0)

මගේ රත්තරං බේරගන්න මා එදා කොච්චර අඬුවද ?

පෙරේරා Wednesday, 02 April 2014 11:37 PM

සිරිපාලට දුන් දඬුවමින් නම් නීතිය අකුරට පිළිපැදලා තිබෙනවා (නි)

:       0       0

අතාවුද Saturday, 05 April 2014 01:45 PM

සත්‍ය ආදරයක් (දී)

:       0       0

අශාන් Friday, 04 April 2014 08:39 AM

දුෂ්ට සමාජය විසින් වැරැද්දට ඇද දැමු සිරිපාලලා කොච්චර ඉන්නවද. මොනවා වුනත් ඇය සැමියාට දක්වන ආදර ගෞරවයට අපි ඇයට ගරු කල යුතුයි.(නදී)

:       0       0

කුසුමලතා Thursday, 24 April 2014 12:11 AM

රන්මැණිකා ගැන මට නම් දුකයි (නි)

:       0       0

චන්ද්‍රිකා Friday, 04 April 2014 12:28 PM

සමාජයට සාධාරනයක් ඉෂ්ට කිරි‍මේදී සිරිපාලලා වැනි අයට දඩුවම් දීම සාධාරණයි. එසේ වුවද රන්මැණිකා වැනි අය එයින් ලබන දඬුවම මිහිපිට අයෙක්ට කියා හෝ ලියා නිමකළ නොහැකිය. එනිසා සත්පුරුෂ සමාජයක මෙවැනි සිරිපාලලා යලි බිහි නොවේවා! (නි)

:       0       0

කිංස්ලි පෙරේරා Friday, 25 April 2014 11:33 PM

දුක හිතෙන ආදර කතාවක් අනෙත් කොටසත් එක්මනට බලාපොරොත්තු වෙමි (දී)

:       0       0

වීරසේකරගේ Sunday, 06 April 2014 01:15 AM

ඒ කාලේ නිතිය හරියට අකුරට තිබුන (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 233 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 112 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 237 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 606 2

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4817 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site