ලාංකේය ජන ව්‍යවහාරයේ භාවිත වන ගෝනි බිල්ලන් පිළිබඳ සංකල්පය, අතීතයේ පටන් ජනශ්‍රැතියේ භාවිත කෙරුණකි. කුඩා දරුවන් හඬන කලට බිය ගන්වා ඔවුන් නළවාගැනීම සඳහා මව්පියවරු 'ඔන්න බබෝ බිලු එනවෝ-අඬන ළමයි අල්ලනවෝ' ආදී වශයෙන් නැළවිලි ගී කියති. මෙම සංකල්යෙහි මූලාරම්භය සංත්‍රාසය දනවන සිදුවීම් වලින් පිරී තිබේ. එනිසාම ‘බිල්ලා‘ යයි කී පමණින් සැමට දැනෙන්නේ කිසියම් බිය ජනක හැඟීමකි.

බිලි සහ බිල්ලා

ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයට අනුව, 'බිලි' යනු, යක්ෂාදීන්ට පුදන ප්‍රාණ ආදිය (පිදේනිය) යි. සිංහල ශබ්ද කෝෂය සඳහන් කරන්නේ, ආගමික පූජාව, පඬුර යන ඊට සමාන අදහසකි. 'බිලි' + 'ආ' යන ප්‍රකෘති සහ ප්‍රත්‍ය එක්වීමෙන් 'බිල්ලා' යන්න සැකසෙන අතර, එසේ බිලි ගනු ලබන තැනැත්තා යන්න එහි වාච්‍යාර්ථය වේ. විවිධ ශබ්ද කෝෂ මේ සම්බන්ධයෙන් දක්වන අදහසෙහි සමස්ථාර්ථයක් බිල්ලා යන්න වටහාගැනීමට වැදගත් වේ. එම නිර්වචන පහත පරිදි වේ.

'නැළවීමේදී දරුවන් බියගැන්වීමට මේ නම භාවිත කෙරේ' (සිංහල ශබ්ද කෝෂය)
'දරුවන් සොරකම් කරන වනචාරී මිනිස් වර්ගයක්' (සිංහල-ඉංග්‍රීසි පර්යාය පද විශ්ව කෝෂය)
'ළමුන් ඩැහැගනු ලබන තැනැත්තා, බියපත් ළමුන්ට කතාකරන භූතාත්මය' (සිංහල ඉංග්‍රීසි අකාරාදිය)
බිල්ලා එන බව කියා දරුවන් බියගැන්වීම නොහොත් කරන කලබලය 'බිලි සංචලය' යනුවෙන් හැඳින්වේ.

බිල්ලා සම්බන්ධ ජන කවි
*ඔන්න බබෝ බිලු එනවෝ-අඬන ළමයි අල්ලනවෝ
තුට්ටු දෙකට විකුණනවෝ-තුට්ටු දෙකේ රා බොනවෝ

*ඔන්න බබෝ බිලු එනවා-නුඹ අල්ලන්නට එනවා
අල්ල අල්ල විකුණනවා-විකුණ විකුණ රා බොනවා (සිංහල ජන සම්මත කාව්‍ය)

මේ කවි, දරුවන් නළවන්නට කී ඒවාය. හුදෙක් බිල්ලා පිළිබඳව පමණක් නොව කවිය ඉපැදුණු, වැඩී වර්ධනය වුණු සමාජ පසුබිම ගැන ඉඟි ද සැපයේ. තුට්ටු දෙක වැනි මුදල් පරිහරණය වූ කාල වකවානුව, රා බීම ප්‍රමුඛ වූ කාල පරාස පිළිබඳව ද මෙයින් අවබෝධ කරගත හැකිය.

බිල්ලා පිළිබඳ ඓතිහාසික මත

අනුරාධපුර යුගයේදී වංකනාසික තිස්ස රජු දවස(ක්‍රි.ව.111-112) මෙරටට පැමිණි පිරිසක් විසින් වැව් සෑදීමෙහි සමත් ලාංකිකයන් අල්ලාගෙන සිය රටට රැගෙන යාමේ පුවතක් මීට මුල්ව ඇතැයි පැවසේ. ඒ සමයේදී, ඉන්දියාව පාලනය කළේ කරිකාල චෝල රජුය.

සිංහල ශබ්ද කෝෂයේ දැක්වෙන්නේ, අනුරපුර සමයේදී සොළී රටේ සිට ආ මනුෂ්‍ය වර්ගයක්, මුහුණට අළු ගසා තරුණයන් එහි රැගෙන ගිය බවයි. ඔවුන් ඉන්දියාවේ 'භිර්ලා' නම් ගෝත්‍රයට අයත් පිරිසක් බවත්, එය කඳුකර ම්ලේච්ඡ ගෝත්‍රයක නාමයක් බවත්, බිල්ලා යන්නෙන් එම ගෝත්‍රයට අයත් තැනැත්තා බව එය සඳහන් කරයි.

ඒ අනුව, භිර්ලා, භිල්ලා, බිල්ලා ලෙස පරිණාමය වන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය.
මහාවංසයේ සඳහන් නොවන මෙම පුවත රාජාවලියේ දක්වා ඇතත්, එම පිරිස බිල්ලා ලෙස හැඳින් වූ බවක් නොදැක්වේ.

'ඔහු පුත් වක්නැසිනම්බප (වංකනාසික තිස්ස) රජ තුන් අවුරුද්දක් රාජ්‍යය කළේය. එරජ රජ කරන අවධියට සොළී රටින් දෙමළ සෙනඟ ගෙන සොළී රජ මේ ලංකාවට ගොඩබැසලා හිර දොළොස්දහසක් අල්ලාගෙන සොළී රටට ගියාහ'
මෙලෙසින් අල්ලාගෙන ගිය පිරිස, එම රජුගේ පුතු වූ ගජබාහු රජුගේ පාලන කාලයේදී ඔහු යළි සොළී රටට ගොස්, ලංකාවෙන් අල්ලා ගත් පිරිස මෙන් දෙගුණයක පිරිසක් එයින් රැගෙන ආ බව ඉතිහාසයේ සඳහන් වේ.

උදුල බණ්ඩාර අවුසදහාමි ලියූ 'වැව' කෘතියෙහි සඳහන් වන්නේ, ඉන්දියාවේ සිට නැව් නැග මෙහි පැමිණි බිල්ලා නම් ගෝත්‍රික කණ්ඩායමක් රාත්‍රී කාලයේ දී ගම්වලට ඇතුළු වී වැඩුණු මිනිසුන් බලෙන් සිය රටට ගෙන ගොස් ඇත්තේ, ඔවුන්ගෙන් වැඩිදෙනෙකු වැව් තැනීම පිළිබඳ දැනමුත්තන් වන නිසා බවය.

බිල්ලා පිළිබඳ සෙසු මත

එසේම, කුඩා ළමුන් කරවල වාඩි සඳහා ගෙන යන පිරිසක්බවත්, ඔවුන් 'කරවල බිල්ලන්' යනුවෙන් හැඳිවෙන බවත් ව්‍යවහාරයේ පවතී. ලාංකේය යොවුන් නවකතා ඇසුරෙන් විමසනවිට, නිධාන සඳහා බිලි පූජා පිණිස ළමුන් රැගෙන ගිය පිරිසක් බවට ද මත පවතී.

උදාහරණ වශයෙන්, ටී.බී. ඉලංගරත්න ලියූ 'හපනා', කුලසේන පොන්සේකා ලියූ 'සෝමපුර වීරයෝ' වැනි යොවුන් නවකතා මෙන්ම, ජී.බී. සේනානායක ලියූ 'නිධානය' වැනි කෙටිකතා ද, බිලිගැනීම් පිළිබඳව සංත්‍රාසය වඩවන සාහිත්‍ය කෘති වේ. ගල් තලාවල, වන අරණක, ඓතිහාසික වශයෙන් වැදගත් වන නිධාන සඟවා ඇතැයිද, ඒවා ගනු සඳහා එහි ම සඳහන් කර ඇති පරිද්දෙන් කිසිවෙකු බිලි දිය යුතු යැයි ද මතවාද මෙරට ව්‍යාප්තව ඇති අතර, ඒවායේ වලංගුතාව පිළිබඳ බරපතල පැන මතුවේ.

ලාංකේය දේශපාලනික කැරලි පැවති අවධියේ පුද්ගලයන් මර්දනය සඳහා යෙදූ පිරිසක් ද බිල්ලන් ලෙසින් හඳුන්වන්නට යෙදිණි. එක්තරා පිරිසක් මාර්ගවල රැඳී හිඳ, බිල්ලන් යනුවෙන් නම් කළ පිරිසක් ද එහි රඳවා ඔවුන්ගේ හිස වැසෙන්නට ගෝනියක් දමා, එහි යනෙන මිනිසුන් අතරින් සැකකටයුතු අය අල්වාගෙන, බිල්ලන් මාර්ගයෙන් ඔවුන් තමන්ට වුවමනා මිනිසාදැයි දැන ගත්හ.

එබැවින් මෙම බිල්ලා සංකල්පය, 'ගෝනිබිල්ලා' දක්වා වර්ධනය වූයේ කෙසේදැයි උපකල්පනය කරතොත් පහත කරුණු ඉස්මතු වේ.
වංකනාසිකතිස්ස රජු දවස ලංකාවට ආ බිල්ලා නම් මිනිස් කණ්ඩායම්, මිනිසුන් ගෙන ගියේ ගෝනිවල බහාගෙනය යනුවෙන් මතයක් පවතී. එසේම නිධන් සහ බිලි පූජා සඳහා ද ළමුන් ගෙන ගියේ එවැන්නකයැයි ද විශ්වාසයක් විය. දේශපාලනික මර්දන අවස්ථාවන්හිදී ද බිල්ලන් ගෝනියක් හිස වැසෙන්නට දමා ඔවුන් හිස වැනීමෙන් සිය මතය පළ කළ බව වැඩිහිටියෝ සඳහන් කරති.

එබැවින් සිංහල ජනශ්‍රැතියේ ව්‍යවහාර වන බිල්ලා/ ගෝනිබිල්ලා යන සංකල්පය හුදු මිථ්‍යාවක් හෝ කල්පිතයක් යනුවෙන් ඉඳුරා ම බැහැර කළ නොහැකි බව පෙනෙන අතර, ඊට බලපෑ යම්බදු සත්‍ය කරුණු ද තිබූ බවද පැහැදිලි වේ.

ඩිල්ෂානි චතුරිකා දාබරේ
ඡායාරූප - අන්තර්ජාලයෙනි