දවස සිකුරාදාවකි. වේලාව සවස හතරයි තිහයි. පැය දෙක හමාරක පමණ කාලයක් මා ඔයේ කෙළිදෙළෙන් ගත කළ අලි රංචුව මඩ සහිත ඉවුරෙන් ගොඩ වී ගල් ඇතුරූ පාරට ගොඩවූයේ සිය නවාතැන් පොළ වෙත යන්නටය. මඟ දෙපසින්ම ඇත්තේ විවිධ සමරු තිළිණ සහිත වෙළෙඳසල් සහ බෝජුන් හල්ය. එවායේ රැඳී ඉන්නා දේශීය හා විදේශීය සංචාරකයෝ ඇස් අයාගෙන අර අලි රංචුව දෙස බලා සිටිති. ඔවුන්ගේ ඇස්වල සටහන්ව ඇත්තේ විමතියයි. මිනිත්තු කිහිපයක් ඇතුළත නික්ම ගිය අලි රැළ ඉනික්බිති පින්නවල අලි අනාථගාරය තුළට වැදෙනු ඇත්තේය. එහෙත් මේ පිරිස අතර සිටින එක් සතෙක් පිළිබඳ මතකය කොයි කාගේත් සිත් තුළ රැඳී පවතින්නේ කිසියම් අනුකම්පාවක්ද සමගය. ඒ සතා වූ කලී කෙනරකි. කවුරු කවුරුත් පොදුවේ වහරණ බසින් නම් ඇතින්නකි. නමින් සාමා වූ මේ ඇතින්න උතුරු පළාතේ වනයක දී බිම් බෝම්බයකට අසු වී පයක් අහිමිකරගත් අබ්බගාතයෙකි. එහෙත් දැන් රැළේ අනෙකුත් අලින් සමග ඇවිද යන විට මේ ඇතින්නගෙන් කිසිදු වෙනසක් නොපෙනෙයි. ඇය සාමාන්‍ය ලෙස පියවර තබා යන නිසාය. එහෙත් වසර දහයකට පෙර පස් හැවිරිදි පැටියකුව සිටි මේ ඇතින්න අලි අනාථගාරයට ගෙන එද්දී ඇය සිටියේ ඇවිද යන්නට පවා නොහැකිවය. ළඟට දෙන කෑමක් කමින්, බොමින් රැළේ අනෙක් සාමාජිකයන්ගේ උදව් පදව් ද ලබා ගනිමින් ය. දහසය වසරකට පෙර මා මුලින්ම සාමා දුටු දා පශූ වෛද්‍ය චන්දන රාජපක්‍ෂගෙන් සාමාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විමසුවෙමි. ඔහු කෙරෙන් පළවූයේ දුක්මුසු බැල්මකි. ”ටිකින් ටික වර්ධනය වෙන කොට සාමාගේ සිරුරේ බරත් වැඩිවෙනවා. එතකොට ඇගේ ශරීරයේ සමබරතාව බිඳෙන්න පුළුවන්. ඒ වගේම ඇය ඇවිද යන ඉරියව්ව වෙනස් වීම නිසා එය ඇගේ ශරීරයේ අභ්‍යන්තර අවයවවලටත් යම් බලපෑමක් කරන්න පුළුවනි. ඒ වගේම ඇයට බලපාන තවත් බරපතළම ප‍්‍රශ්නය වන්නේ ඇගේ ඉළ ඇට කූඩුව ඇගේ හදවතටත් පෙනහලූවලටත් කිසියම් තද වීමක් ඇති කිරීමයි. ඒත් ඒවට නම් අපට කරන්න කිසිම දෙයක් නෑ...” කෙසේ වෙතත් ජාත්‍යන්තරයේ අවධානය මේ කුඩා සාමා වෙත යොමු වීම නිසා ඇයට උදව් කරන්නට පිරිස් ඉදිරිපත් වූහ.විකලාංග චිකිත්සකයෙක්, පශූ වෛද්‍යවරයකු සහ කායික චිකිත්සකයකු ද අලි ඇතුන් පුහුණුකරුවකු ද මේ පිරිසට අයත් වූ අතර ඔවුන් පැමිණියේ සාමාට කෘතී‍්‍රම පාදයක් සවිකරන්නටය. ඔවුන් කෘතී‍්‍රම පාදයක් සවිකළත් ඒ ව්‍යායාමය අසාර්ථක විය. ඔවුන ද නැවත නැවතත් උත්සාහ කළත් තුන් වතාවක්ම ඒ කටයුත්ත අසාර්ථක විය. හේතුව වූයේ සාමා මේ බොරු කකුළට අනුගත වීමට අපොහොසත් වීමය. අවසානයේ ඇගේ ගොව්වෝ සාමාව රැළෙන් ඉවත් කිරීමටත්, රැළ සමග ඇයට එකතුවීමටත් ඉඩ නොදෙන්නටත් එකඟ වූහ. ඒ අනුව ක‍්‍රමයෙන් බොරු කකුළට හුරු පුරුදු වන්නට මේ ඇතින්න සමත් වූවාය. එහෙත් එහි ප‍්‍රතිඵලයක් ලෙස වසර කිහිපයක් යනතුරුම මේ ඇතින්නට ඇගේ රැළට එකතුවන්නට නොහැකි වූවාය. රැළේ සාමාජිකයන් ඇය ප‍්‍රතික්ෂේප කළ බැවිනි. (ෆ‍්‍රන්ට්ලයින් සඟරාව ඇසුරිනි) කොර ගසමින් යන සාමා